උරුම දහමේ අගය කියාපාන
එතෙර නැණවතුන්ගේ පිළිවෙත
ස්විට්සර්ලන්තයේ ජීනීවා බෞද්ධායතනාධිපති
ආචාර්ය
තවලම ධම්මික හිමි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, ලොව්තුරා බුදුබව හා මහා පරිනිර්වාණය
සියලු ලෝකවාසීන්ගේ අනුස්මරණයට ලක්වීම, පසු ගිය වෙසක් සමයෙහි
උත්කර්ෂවත්ව ලොව පුරාම සිදුවිය.
මනුෂ්‍ය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ ඒ අසිරිමත් සිදුවීම මෙයින් ශතවර්ෂ
විසි පහකට පෙර මෙවන් සමයක සිදුවූ බව ඉතිහාසය අපට කියාපායි. මෙම
ඓතිහාසික සංසිද්ධිය එදා මෙන්ම අදටත් මොන තරම් ප්‍රබල ලෙස ජන සමාජයේ
ප්‍රගමනයට බලපා ඇත්දැයි විමසා බැලීමට , මේ සමය බෙහෙවින් කාලෝචිතය. එදා
මෙන්ම අදත් ලෞකිකත්වය බෙහෙවින් වැළඳ ගත් මානව සමාජයකට මෙබදු ධර්මයක
සහනය ලබන්නට ලද භාග්‍යය වඩාත් අර්ථවත් බව බුද්ධිමත් ලෝකයාම අවිවාදයෙන්
පිළිගනිති. විශේෂයෙන් සම්ප්‍රදායික හා ඉතිහාසයෙන් බොදු උරුමය ලබා ගත්
රටවලටත් වඩා, අලුත් බටහිර හා ඇමෙරිකා රටවල මෙම උතුම් දහම් මඟ පිළිබඳ
දක්වන ප්‍රසාදජනක ආකල්පය, බෙහෙවින්ම ආශ්වාදජනක ය.
බටහිර බෙහෙවින් දියුණු වූ භෞතික බොහෝ විද්‍යාවන්ගෙන් ලබා දී ඇති භෞතික
ඵල ජන සමාජයේ ප්‍රගමනයට අතිශය පිටුබලයක් ලබා දී ඇති බව සත්‍යයයක් වුවද,
එම උත්කෘෂ්ඨ ඵල ගැඹුරින් විමසා බලන කල්හි, ඒවා තවත් බොහෝ අංශ වලින්
මානව සන්තාන තුළ ඇති කර ඇති අසහනය, හා පීඩාකාරිත්වය ,ඔවුන් ගේ දැඩි
උදහසට ලක්ව ඇති ආකාරයක් මැනවින් ප්‍රකට කැරෙයි. තරගකාරිත්වය, තමා පමණක්
මුල් කොට සලකන අස්මිමානය, කායික හා මානසික අතෘප්තිකරතා දැඩිව ආශාවනට
ආසාදිත වීම නිසා ඇතිකර ඇති අසහනය, පවුල් අවුල් අඹු දරු ප්‍රශ්න හා
ශීඝ්‍රයෙන් වැඩිවන දික්කසාද, කලින් සඳහන් කළ භෞතික ඉහළ දියුණුවෙන් සුව
කළ නොහැකි තරමටම මේ මහා සමාජ ගිලන් කර ඇති බවට, කරුණු දිනපතා අපට මෙම
රට වලින් අසන්නට කියවන්නට ලැබේ.
තම සංස්කෘතිවලින්, එදිනෙදා තමන්ට ඇති දැවෙන හා දැනෙන ප්‍රශ්න වලට
පිළිතුරු සොයා ගත නොහැකි වූ කල්හි, ඔවුන් නිසගයෙන් ම හැරී බලන උත්තේජක
විසඳුම ලෙස බෞද්ධ දර්ශනය කැපී පෙනෙයි. උපතින් බෞද්ධ වීමට මේ ජීවිතයේ
අවස්ථාව නොලැබීම ගැන කනස්සල්ලකින් කථා කරන මෙබඳු ඇතැම් බුද්ධිමත්
ජනතාව, උපතින් එම වාසනාව ලද අප බොහෝ දෙනකුටත් වඩා ඉක්මනින් , මෙම
ධර්මයේ සාංදෘෂ්ඨික ඵල ලබන්නට උත්සුක වන ආකාරයට මෙම බොහෝ රටවල බෞද්ධ
භාවනාවට දක්වන සුවිශේෂ උනන්දුව, ජීවමාන සාධකයකි.
එබඳු අය හැරුණු විට සමස්තයක් ලෙස බටහිර බොහෝ සමාජ මෙම දහම අගය කරන්නේ,
ඔවුන්ට කිසියම් ආකාර අපහසු අත්දැකීම් ඇති කළ ආගමික ලක්ෂණ, මෙම නිර්මල
දහම තුළ නොදකින නිසා ය. මේ නිසාම තම සංස්කෘතිය තුළ ගත කරමින් ම මෙම
දහමෙහි ආශ්වාදය ලබන්නට බුදු දහම තුළ දක්නට ලැබෙන විවෘත භාවය බලවත්ම
පිටුබලයක් වී ඇති නිසාය. ඔවුන් බොහෝ දෙනකුට බුදු දහම ආගමක් නොව
දර්ශනයක්, වඩා ඈතට ගිය සැනසුම හා සතුට සඳහා මඟ පාදා දෙන විද්‍යාව
නැතහොත් මනසට සාමය ළඟා කරදෙන විද්‍යාවකි.
(Science of the Happiness or Science of the peace )
ඔවුන් මෙතෙක් දැන හෝ නොදැන අනුගමනය කළ සැප සතුට සැනසුම සොයා යෑමේ
අනුසෝතගාමී මාවත තව දුරටත් මිරිඟුවක් පසු පස හඹා යෑමක් සේ දකින්නට තරම්
විශද බුද්ධියක් ඔවුන් තුළ සිය දීර්ඝ කාලීන අත්දැකීම් තුළින්ම නිතැතින්
පහළ වූවා සේ ය.
මේ නිසා ම ගඟ හරහා හෝ ගඟේ උතුරට පිහිනා යෑමට සිදුවන දුෂ්කර ගමනක
(against the current ) හෙවත් පටිසෝත ගාමී මාවතකට හැරෙන්නට, දැන් දැන්
ඔවුන් සූදානම් ය. සිත රවටන භෞතික වූ තාවකාලික සැප සොයා යෑමේ ගමනට
ආයුබෝවන් කියන්නට ඔවුන් දැන් සූදානම් සේ ය. ගැඹුරු මානසික
පරිවර්තනයකින් ලැබිය යුතු සනාතන සතුටක් පිළිබඳ නොසංසිඳෙන ආශාවක්
ඔවුන්ගේ මනස් තුළ ලියලමින් පවතින බව කිවමනා ය. එබඳු සතුටක් හා සැනසුමක
සියුම් ඡායා බෞද්ධ භාවනාව ඇසුරින් ඔවුහු අත්දකිමින් සිටිති. මේ තත්ත්වය
අප සැමගේ අමන්දානන්දයට හේතුවිය යුතුය.
එපමණක් ද නොවේ. සිතක් තුළ කැකෑරෙමින් ඇති සිත් වේදනා, අතීත සැමරුම් හා
පශ්චාත්තාපවලින් සිත නිදහස් කර ගන්නට මෙන් ම දහසක් සිහින මාලිගා
තනමින්, තවමත් නොපැමිණි අනාගතයක සිහින මවමින් කල්මැරීම, බෙහෙවින්ම අර්ථ
ශූන්‍ය බව බුදුරදුන්ගේ මේ අනගි දර්ශනය තුළින් ඔවුන් වටහා ගෙන ඇත. සතුට,
සැනසුම ඇත්තේ මියගිය අතීතයේවත්, නොපැමිණ අනාගතයේවත් නොව, නිවැරදිව ගත
කරන අපහසුවෙන් ග්‍රහණය කර ගත යුතු ‘දැන් මේ මොහොතේ බවත් ‘
(Here and Now ) භාවනා අත්දැකීම් වලින් ඔවුන් ප්‍රත්‍යක්ෂ කර ගෙන ඇතිවා සේ ය.
තවත් ලෙසකින් විග්‍රහ කළ හොත් සාංදෘෂ්ටික දහමක ජීවමාන ප්‍රතිඵල අපටත්
වඩා කිසියම් අයුරකින් ඔවුන් භුක්ති විඳිමින් සිටිනා බව කිව හැකිය.
බුද්ධිමතුන්, වැඩිහිටියන් පමණක් නොව වත්මන් යුරෝපීය තරුණ පරපුර ද
බුදුදහමට ක්‍රමයෙන් ළං වෙමින් පවතින බවට කදිම උදාහරණයක්
ස්විට්සර්ලන්තයෙන් ඔබට මෙසේ ඉදිරිපත් කළ හැකිය. ස්විට්සර්ලන්තයේ රජය හා
ආගම සපුරාම වෙන් වූ ආයතන දෙකක් ලෙස අතීතයේ සිටම ක්‍රියාත්මක වෙයි.
මේ නිසා කිසිඳු අධ්‍යාපන ආයතනයක් විෂයයක් ලෙස ආගම උගන්වනු නො ලැබේ. මේ
නිසා බොහෝ තරුණ තරුණියන්ට තම මවුපියන්ගෙන් ලද ආගම ගැන ද ගැඹුරු
අවබෝධයක් නැත. කෙටියෙන් සඳහන් කළහොත් ඔවුන් බොහෝ දෙනකුට ආගමක් නැතිවා
සේ ය. නමුත් ආගම් ගැන පාසලින් හෝ නිදහස්ව කියවා ලබා ගත් දැනුමක් ඔවුන්
හැමට ඇත.
පසුගිය වසරේ දී ලුසාන් හා නිව්ෂතෙල් නගර වල පිහිටි විශ්ව විද්‍යාල
දෙකක් මැදිහත්ව, අපද සම්බන්ධව වසර 14 - 18 අතර වයස් වල සිසු සිසුවියන්
සිටින (college ) මහා විද්‍යාලවල කළ සමීක්ෂණයකින් හෙළි වූයේ එම
ව්‍යාපෘතියට සම්බන්ධ වූ 62% සිසුන් සඳහන් කර තිබුණේ, තමන් ජීවිතයට
ආගමක් සම්බන්ධ කර ගන්නේ නම්, එය නියත වශයෙන්ම බුදු දහම වන බවයි. මේ
පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර කරමින් වෙසක් සමරන අප
හැමට සතුටක් නොවන්නේද?
මේ කරුණු දැන් සලකා බලන කල මෙබඳු සනාතනික දහමක ප්‍රායෝගිකත්වය හා අදාළ
බව ලෝකයට ම ඉතා ඉහළින් පසක් වන්නට පටන් ගෙන ඇති බව පැහැදිලි වෙයි. අද
බුදුරජාණන් වහන්සේගේ සාම පණිවිඩය ලෝකයේ සියලු දේශ දේශාන්තර යන් හි,
සියලු සීමා කඩඉම් අභිභවා ව්‍යාප්තවනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්
බුදුදහමහෙි පහස නො ලැබූ රටක් නැති තරම් ය.
සාකල්‍යයෙන් ම කතෝලික වූ ඈත ලතින් ඇමෙරිකානු රටවලත්, යුදෙව් දහම අදහන
ඊශ්‍රාලය හා මැද පෙරදිග බොහෝ මුස්ලිම් රට වලත් අඩු තරමින් සෙන් බෞද්ධ
කණ්ඩායමක් වත් දැක ගත හැකි ය. තමන් ගේ මූලික ආගමික විශ්වාස ඇදහිලි කිසි
සේත් වෙනස් නොකරත, ඒවාට හානි නොකරමින්, සිත් සනසවාලන සාමයේ හා සතුටේ
නැවුම් පණිවිඩයක් ලෙස, විදේශ රැසක මෙම දහමේ ආශ්වාදය ලබන්නට පෙළඹුමක්,
අද දක්නට ඇති බව රහසක් නොවේ. මනස සන්සුන් කරන සිත් පුහුණු කරන ක්‍රම
වේදයක් ලෙස ඔවුන් අතර ප්‍රචලිතව ඇති බුදු දහම, ඔවුන්ගේ පාරම්පරික මුල්
බැස ගත් ආගම් වෙනස් කරන්නට පැමිණි සතුරකු නොව, තම ජීවිත වලට අලුත්
අර්ථයක් ලබා දෙන්නට හමු වූ අලුත් මිතුරකු ලෙස හඳුනා ගන්නට ඔවුන් සමත්
වී ඇති ආකාරය, ප්‍රාසාද ජනක ය.
ශත වර්ෂ විසි පහක ඉතිහාසය තුළ කිසිවිටෙක මිනිසුන් බලෙන් හරවා ගැනීමකට
කටයුතු නොකළ බුදු දහම් හා සම්බන්ධ ශුද්ධ වූ අභිමානයම මෙබඳු ගෞරවයකින්
සම්මානිත වීමට හේතුකාරක වී ඇති බවට සැකයක් නැත. බෞද්ධ සම්ප්‍රදාය
සියවස් ගණනක් පුරා අනුගමනය කළ මෙම විවෘත ආකල්පය, දේශ දේශාන්තරව
සනාතනිකව මෙම දහමෙහි සාංදෘෂ්ඨික බව හා අකාලික බව වඩාත් දීප්තිමත්
කරමින් සමස්ත ලෝකයා හමුවෙහි සිදු කර ඇති සන්තාන ගත විප්ලවය නැවත
නැවැතත් අධ්‍යයනයට ලක් කළ යුතු නැවුම් මාතෘකාවකි. මේ මහනීය ගුණය නිසා
බුදුරජාණන් වහන්සේගේ ධර්මය සදා නැවුම් බවකින් යුතුව ඊටම සාධාරණ වූ
සියලු ගති ලක්ෂණ රැක ගනිමින්ම දිනෙන් දින වඩ වඩාත් ලොවට අධ්‍යාත්මික
සතුට සඳහා මග පෙන්වමින්, මානව සංහතියේ සුබවාදී ප්‍රගමනයකට මං පෙත් සලසා
ඇති බව, මේ සමයේ අප මෙසේ සනිටුහන් කරන්නේ, බුදුන්වහන්සේ වෙනුවෙන් පුදන
වන පස මලක් පරිද්දෙනි.
යාඤා කිරීම් හා යාතිකා කිරීම් වලින් ඔබ්බට ගිය, තම තම නැණ පමණින්
ප්‍රායෝගිකව හදාරන, මනස දියුණු කරන අධ්‍යාත්මික ක්‍රමවේද වලින් ලබන
සාන්දෘෂ්ඨික ප්‍රතිඵල සිය අත්දැකීමෙන්ම පසක් කර ගන්නට මෙම දහම තුළින්
ලෝකයා ලබා ඇති භාග්‍යය. මේ උතුම් සනාතන දහමෙහි චිරස්ථිතිය හා පැවැත්ම
තවත් දිගු අනාගතයකට මං හෙළි කරමින් පවතින බවට සුබවාදී ජීවමාන සාධකයක්
අප හමුවේ දිදුලමින් පවතියි.
සමස්ත ලෝකය පුරා විහිදෙමින් යන බුදුදහම පිළිබඳ මෙම සුබවාදී හිතකර
පරිසරය, මෙම දහමේ උරුමය ඉතිහාසයෙන් හා කර්ම සංසිද්ධියක් ලෙස උරුමකර ගත්
අප විසින් විශේෂයෙන් සිතා බැලිය යුතු කරුණක් වෙයි.
මෙම උරුමය ඓතිහාසික සංසිද්ධියක් ලෙස පමණක් නොව අප සසරින් ලබා ගත් පරම
භාග්‍යයක් ලෙස අර්ථවත් ව ගැඹුරින් තේරුම් ගැනීමයි අප විසින් කළයුතු
වන්නේ. නැතහොත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ගැන අප තුළ දියුණු කර ගෙන
ඇති අචල ශ්‍රද්ධාව මොනම බලවේගයක් හමුවේ වුව ද නොසැලී අචලව පවත්වා
ගැනීමටත් එම අචල ශ්‍රද්ධාව වඩාත් දියුණු කර ගැනීමට අනලසව කටයුතු
සම්පාදනය කර ගැනීමත් ය. අකාලික වූ සාංදෘෂ්ඨික් වූ දහමක ඵල නෙලාගත
හැක්කේ, එබඳු උත්සාහයකින් පමණි. |