UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති ප්‍රඥාව නමැති ආලෝකයෙන් ලෝකයෙහි මායාව නම් වූ ඝණාන්ධකාරය නැති කළාවූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූයේ බුදුරජාණන් වහන්සේ ය.

 

ඒක පුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ ඒක පුග්ගලෝ? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති

මහණෙනි! එක් පුද්ගලයෙක් ලොව උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස සුව පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක් ද යත්? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ අසිරිමත් උතුම් මනුෂ්‍ය රත්නය විසින් තම කරුණා ගුණය මතු කරමින් ලොව සුවපත් කළ අයුරු මෙම දේශනාවෙන් විස්තර කැරේ.

කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති ප්‍රඥාව නමැති ආලෝකයෙන් ලෝකයෙහි මායාව නම් වූ ඝණාන්ධකාරය නැති කළාවූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූයේ බුදුරජාණන් වහන්සේ ය. බෝධිසත්ව අවධියේ පටන් එතුමන්ගේ් අභිලාෂය වූයේ තමනුත් යථාභූත ඥානය හෙවත් බුදුබව ලබා අන්‍යයන්ට ද එම නුවණ ලබාදීමය. තමන් මෙම දුකින්පිරි මෙම සසරින් එතෙර වී අන්‍යයන් ද එමගින් එතෙරවීමට මග සැළස්වීමය.

ගෞතම බුදුරජාණන් වහන්සේ, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරාතුව සුමේධ නම් තාපසව දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබූහ. එනම් මතු මත්තෙහි තමන් වහන්සේ සෙයින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිවීම ලබා අන්‍යයන්ටද කෙලෙස් ගින්නෙන් ඒ නිවීම ලබාදෙන බවය. එතැන් පටන් බෝධිසත්ව උතුමන්ගේ් කරුණා ගුණය ඉස්මතු විණි. දානය ආදී දස පාරමිතා සම්පුර්ණ කිරීමෙන් සිදුවන්නේ තමන් වහන්සේ සැනහී අන් සත්වයන්ට ද කායික වූත් මානසික වූත් සුවයක් ලබාදීමය. කරුණා ගුණයෙන් තොරව කෙසේ නම් තම ශරීරයේ ඇස්, මස්, හිස්, ලේ ආදිය පරිත්‍යාග කරන්නේද? කාරුණික ගුණයෙන් තොර වූ සිතකින් කෙසේ නම් රට රාජ්‍ය හා අඹුදරුවන් අත්හරින්නටද? මහා කරුණා ගුණයෙන් තොරව නම් තමන්ගේ අත්පා කපා හිරිහැර කරන අයට පවා මෛත්‍රීය කරන්නේද?

තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසිරිමත් වූ බුදු සිරිතෙන්ම කරුණා ගුණය විදහා දැක්වූහ. සාමාන්‍ය මනුෂ්‍යයන් අතර ඉපිද, සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා ආහාරපානම, තම කුසට ගෙන, සාමාන්‍ය මනුෂ්‍යයන් ශරීරය ශීතලෙන් උෂ්ණයෙන් හා විළි බියෙන් ආරක්ෂා කර ගැනීමට ගැනෙන වස්ත්‍රවලින්ම තමන් වහන්සේ ද බුදු සිරුර වසා ගත්හ. මෙලොව උපන් මනුෂ්‍යයෙකුට අනුගමනය කළ නොහැකි කිසිවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. එපමණක්ද නොව, බෝධිසත්ව අවධියේ පටන් සසර කතරේ ගමන් කරමින් දුක පිළිබඳව මනාවූත් විස්මිත වූත් අවබෝධයක් ලැබූහ. තමන්ට තමන්ගේ් ජීවිතයෙන් අත්දැකීම් ලබා අකුසලය ඉවත්කොට යහපත් ප්‍රතිඵලම ලබන මාර්ගයම මනුෂ්‍යයන් ප්‍රමුඛ අන් සත්ත්වයන්ට පෙන්වා දුන්හ. පාරමී පුරන සමයේ පවා තමන් ලැබු කිසිදු දුක්ඛ දෝමනස්සයක් අන් අය ලැබීමෙන් වළක්වාලීමට උත්සාහ ගත්හ. කරුණාබර මෑණියන්දෑ කෙනෙක් හා ගුණබර පියාණන් දෑ කෙනෙක් තමන් ලැබූ කටුක අත්දැකීම් තම දරුවන් ලබනවා දැකීමට අකමැති වෙනවා මෙන්ම තථාගතයන් වහන්සේ ද සසරේ කටුක අත්දැකීම් අන් සත්ත්වයන් ලබනවා දැකීමට අකමැති වූහ. ‘අකුසල් අත් හරින්න. අකුසල් නිසා බොහෝ භයානක වූ කුරිරු දුක්වලට පත්වෙනවා. අකුසල් අත් හරින්නට බැරිනම් එසේ කරන්නට යයි මම කිසිවිටෙකවත් එසේ කරන්නට යයි අනුශාසනා කරන්නේ නැහැ. කුසල් මඟ යන්න. කුසල් කිරීම සැප පිණිස හේතුවෙනවා. කුසල් කරන්නට බැරිනම්, එසේ කරන්නට යයි මම කිසිවිටෙකවත් අනුශාසනා කරන්නේ නැහැ. මෙය ප්‍රමාදවීමට කාලයක් හෝ වේලාවක් නොවේ. ඉපදීම නිසා ඇතිවන ජරාව හෙවත් දිරීම, ලෙඩදුක් මරණය මුල්කොට ගත් අප්‍රමාණ දුක් මහා පර්වත මෙන් වේගයෙන් අප දෙසට පෙරළිගෙන එනවා. ඒවායින් බේරෙන්නට යයි පැනදිවීමට අපට හැකියාවක් නැත. ශක්තියක්ද නැහැ. රාග, දෝස, මෝහා ආදී කෙලෙස් ඉවත් කොට දුක් ලැබෙන මාර්ගය නැතිකිරීම පමණයි අපට කළ හැකිව පවතින්නේ. ඉක්මන් කරන්න තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්වා දෙන්නෝම වෙති. ඔබ කිසිවෙකුත් ඇදගෙන යාමට නොහැකිය. තමා විසින්ම මේ මාර්ගය අනුගමනය කළ යුතුය. එම මාර්ගය ජරා, ව්‍යාධි, මරණ නම් වූ බියවලින් තොර සුවගෙන දෙන නිරාමිස පී‍්‍රතිය ගෙනදෙන මාර්ගයකි. සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාව මුල්කොට ගෙන ලෝක සත්ත්වයා වෙනුවෙන් කරන ලද අනුශාසනයෙන් බිඳකි ඒ මතුකොට පෙන්වූයේ.

සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගත් බුදු උතුමෝ පන්සාළිස් වසක් මුළුල්ලෙහි ලෝක සත්ත්වයාට අමපණ සදාතනික සේවයක් සිදුකළේ මහා කරුණා ගුණය නිසාවෙනි. සෑම දිනකම කාලසටහන ආරම්භ වූයේ මහා කරුණා සමාපත්තිය සමවැදී දුකෙන් පෙළෙන හදවත් සොයා වැඩම කිරීමට මග සෙවීමෙනි. ගිහි කළ තම එකම පුතු කුඩා රාහුල කුමරුන්ට සෙයින්ම බුද්ධත්වය ලැබූ පසු දුකින් පෙළුණු සුනීත, සෝපාක, රජ්ජුමාලා, පටාචාරා, කිසාගෝතමී ආදී අපමණ පිරිස්වලට සිත් සනහා පිහිට වූහ. කුඩා දරුවෙක් යි පැත්තකට නොදමා පා ගමනින් වැඩම කොට බැඳ තිබූ මළ මිනියෙන් ඉවත්කොට පුංචි චිත්ත සන්තානයට දහම් පද ඇසෙන්නට සළක්වා ඒ සිත සැනසූහ. සමාජය විසින් කොන් කරන ලද සුනීතගේ සිත අමා සද්ධර්මයෙන් සැනසීමට සුනීතගේ පහත් යයි නම් කළ ශුද්‍ර කුලය තථාගතයන් වහන්සේට බාධාවක් නොවීය. දිවි නසාගන්නට සූදානම් වූ රජ්ජුමාලාවන්ට බුදුරදුන් පිහිට නොවූයේ නම් මෙලොව පමණක්ම නොව සසර ගමන ද දුකින් පිරී තව තවත් දීර්ඝ වන්නට ඉඩ තිබුණි. ‘මගේ’ යි වරදවා සිතින් අල්ලා ගත් මුළු ‘ආදර’ ලෝකයම තම හිස මතම කඩාගෙන වැටෙන විට සිහි විකල් වූ පටාචාරාවන්ට සාමාන්‍ය ලෝකයා ගල්මුල් ගසා එළවා දැමූහ. රිදුනු හා බිඳුනු සිතක ඇතිවන වේදනාව තමන්ට ගලපා සිතන්නට තරම් වර්තමානයේ යම් තැනෙක මෙන්ම එදා ද සාමාන්‍ය මනුෂ්‍යයන්ට ඕනෑකමක් නොවූහ. ‘පිස්සියේ’ ‘පිස්සියේ’ යි ගල්මුල් ගසා එළවා දැමූහ. කාගෙන්දෝ හෝ මඟ පෙන්වීමකින් බුදුරදුන් වෙතට පැමිණි පටාචාරාවන්ට තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවුනු ‘නැඟනියේ’ යි නම් වූ වදන විරහ වේදනාවෙන් ගිනිගත් අසරණ පටාචාරාවන්ගේ හදවතට අමා වැස්සක් විය. ඇය සුවපත් වූවාය. ගුණබර අම්මා කෙනෙක් නම් දරුවෙකුගේ වියෝව කෙසේ නම් දරන්නද? බෙහෙවින්ම පිපෙන්නට නෙත් අයාගෙන සිටින මලක් බඳු කුඩා සුරතල් දරුවෙකුගේ හදගැස්ම නැවතීම අම්මා කෙනෙකුට වාවා නොදෙන්නකි. මළ කුඩා පුතුගේ නිසල සිරුර කරපින්නාගත් කිසාගෝතමියෝ විලාප දෙමින් තම දරුවා සුවපත් කරන්නට යැයි බෙහෙත් සොයා යෑම හද කකියවන්නකි. ‘නුඹට පිස්සු නුඹේ දරුවා මැරිලා ගැහැනියේ’යි නපුරු මිනිසුන් කෑගසද්දී බුදුරදහු මහා කරුණාවෙන් පිරි මනෝ වෛද්‍යවරයෙක් වූහ. දරු දුක විඳදරා ගැනීමට අපහසු වූ මේ අසරණ සිතට එකවිටම මරණයේ යථාර්තය අවබෝධකරන්නට යාම තවත් සිත් රිදීමක් බව දුටු බුදුපියාණෝ පුතු සුවපත් කරන්නට නොමළ ගෙයකින් අබ ඇට මිටක් සොයා එන්නට යයි ඉල්ලූහ. අබ ඇට සොයා ගිය පටාචාරවන්ට කිසිවකුත් නොමළ ගෙයක් සොයා යන්නට නොහැකි වූහ. මරණය, ළමා තරුණ, මහළු ඕනෑම වයසකදී පැමිණිය හැකි බව ඇයට අවබෝධ වූවාය. සිතින් සිත බැඳෙන ආශා බැමි හැඩීමට, වැළපීමට ශෝකයන්ට මුල බව ඇයට වැටහිණි. දුක බඳින බැමි ලිහාදමන මග සොයා ඇය බුදුරදුන් වෙතට පැමිණියාය.

අසරණ තිස්ස ස්වාමීන් වහන්සේගේ ලේ , සැරව වැගිරෙන ගෙඩිවලින් යුතු සිරුර නිසා පූතිගත්ත තිස්ස නම් විය. දායකයින් හා ශිෂ්‍යයින් විසින් අත්හැර දමනා ලද පූතිගත්ත තිස්ස තෙරණුවන් සොයා බුදුපියාණෝ මහා කරුණාවෙන් වැඩම කළහ. තම දෑතින් ශරීරය පිරිසුදු කොට ආනන්ද තෙරුන් හා එකතුව උණු පැනින් ගිලන්වූ සිරුර නහවා ගත ගිලන් වූවත් ගිලන් නොවූ සිතට සදහම් පද දේශනා කළහ. තුන්ලොවක් සැනසූ, වර්තමානය දක්වාම රටක ජාතියක්, පෙනුමක්, භාෂාවක් නොතකා දුකින් පෙළෙන හදවත් සුවපත් කරන විශ්වය පවත්නා පුරා ‘බුද්ධ’ නම් හඬ ඇසූ පමණකින්ම සිත් සැනහෙන ඒ අසිරිමත් මහා කාරුණික බුදු සිරිත ලොවටම සැනසුමකි. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් උතුම් නිවන් සුව සැලසේවා.

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]