ත්‍රස්තවාදී කෙළිබිම
අද දින කතු වැකිය සඳහා අප තෝරාගත් මාතෘකාව පිළිබඳ ව ලොව පුරා
පුවත්පත්වල බොහෝ දේ ලියා අවසන් ය. එහෙත්, ඒ වෙනුවෙන් අද දින
කතු වැකිය වෙන් කිරීම වරදක් යැයි අපි නො සිතමු.
පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය වෙත ටෙස්ට් තරගයක්
සඳහා යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මාර්තු මස 03 වන
දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අප ගේ මාතෘකාව ය. 1972 දී
ජර්මනියේ මියුනිච් නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට
සහභාගිවීමට ගිය ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11 දෙනකු ‘බ්ලැක්
සැප්තැම්බර්’ නමැති ත්‍රස්ත කණ්ඩායම විසින් ඝාතනය කිරීමෙන් පසු
අසන්නට ලැබුණු එ බඳු අවාසනාවන්ත ම සිද්ධිය මෙය යි. මේ කුරිරු
ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිලාන් සමරවීර, තරංග පරණවිතාන,
අජන්ත මෙන්ඩිස් හා කණ්ඩායමේ සහාය පුහුණුකරු පෝල් ෆර්බස් තවමත්
රෝහල්ගත ව ප්‍රතිකාර ලබති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
ක්‍රීඩාංගණය වෙත රැගෙන යමින් සිටි බස් රථයේ රියැදුරු මීර්
මොහොමඩ් කලීල් ගේ දක්‍ෂතාව නිසා ක්‍රීඩකයන් ගේ ජීවිත ආරක්‍ෂා
වූව ද එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පාකිස්ථාන් පොලිස් නිලධාරීන් හය
දෙනකුට හා සාමාන්‍ය වැසියන් දෙදෙනකුට ජීවිත අහිමි වී තව
පිරිසකට තුවාල සිදු විය.
මෙහි දී අප ක්‍රීඩකයන් ගේ හැසිරීම කෙ සේ වී දැයි දැන ගැනීම
වැදගත් ය. ලාහෝර් ප්‍රහාරයට පසු දින ඒ ගැන ලන්ඩන් ගාර්ඩියන්
පුවත්පත තබා තිබූ සටහනක කොටසක් මෙහි පහත උපුටා දක්වමු.
“වසර විසිපහක් පුරා ජීවිත 70, 000 ක් බිලිගත් දෙමළ කොටින් ගේ
යුද්ධය මැද ජීවත් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කී‍්‍රඩකයන්, ජීවිත
30, 000 ක් බිලිගත් සුනාමි ව්‍යසනය ද අත්විඳ ඇත.”
“වරින් වර කොළඹ දී සිදුවන ත්‍රස්ත ක්‍රියා ඔවුන්ට හොඳින් ම
පුරුදු ය. එ බැවින් තමන් ගේ ආරක්‍ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම
අනුන් ගෙන් ලබා ගත නො හැකි බව ඔවුහු හොඳින් දනිති. තම රටේ
තත්ත්වයන් ගෙන් මනා අත්දැකීම් ලබා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම මෙය තමන්ට පෞද්ගලික වශයෙන් එල්ල කළ ප්‍රහාරයක් නො ව
පාකිස්ථානය අරාජික කිරීමට දැරූ උත්සාහයක් බව අවබෝධ කැර ගෙන
තිබේ.”
“වෙනත් රටවල් පාකිස්ථානයේ සංචාරය කිරීම වර්ජනය කළ විට
සහෝදරත්වය පෙන්වීම සඳහා එහි ගිය එක ම ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී
ලංකා කණ්ඩායම ය. තමන්ට පොරොන්දු වූ තරම් ආරක්‍ෂාවක් ලැබී
නොමැති ව තිබිය දී වුව ද කිසිදු මැසිවිල්ලකින් තොර ව ඔවුහු
ක්‍රීඩා කළ හ.”
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හා අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් නියෝජනය
සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීමට ලාහෝර් ප්‍රහාරය ද හේතු
වන බවක් නො පෙනේ. බුදු දහමෙන් පෝෂණය වූ වසර දහස් ගණනක
සංස්කෘතික උරුමය පිළිබඳ ව කතා කළ ද එය අන්තර්ජාතික ප්‍රජාව වෙත
රැගෙන යෑමට අප අපොහොසත් වී ඇති බව ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය
ආශි‍්‍රත සිදුවීම් මඟින් සනාථ කැරේ. මෙ රට ක්‍රිකට් ක්‍රීඩකයන්
ගේ විනයගරුක හැසිරීම බෙදුම්වාදී යුද්ධය හා සුනාමිය වැනි
ඛේදවාචක නිසා ලැබූ අත්දැකීම් වල ප්‍රතිඵල ලෙස විග්‍රහ කිරීම
විශාල අසාධාරණයකි. එහෙත් ලන්ඩන් ගාර්ඩියන් පුවත්පත පළ කළ එම
මතය බිඳ දැමීම එ තරම් පහසු නැත.
පසුගිය වසරේ තිරගත කළ ‘මචං’ නමැති චිත්‍රපටය ද මෙහි දී අප ගේ
මතකයට එයි. ව්‍යාජ ලෙස ‘ත්‍රෝ බෝල්’ ක්‍රීඩා කණ්ඩායමක් බිහිකැර
ජ්ර්මනියට ගොස් අතුරුදන් වූ ශ්‍රී ලාංකියන් පිරිසක ගේ සත්‍ය
කතාව පදනම් කොට ඉතාලි ජාතික උබර්ටෝ පැසෝලිනී විසින් නිර්මාණය
කළ එම චිත්‍රපටයෙන් ලජ්ජාසහගත සමාජ යථාර්ථයක් හෙළි කැරේ.
ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය හා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතය ගැන
කතා කිරීමේ දී මේවා අමතක කළ නො හැකි ය.
අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් නියෝජනය කිරීමේ දී ශ්‍රී ලංකාව අමතක
කොට ඇති වැදගත් ම කරුණ දෙසට අපි දැන් හැරෙමු. එ නම් ක්‍රිකට්
කණ්ඩායම ඇතුළු බොහෝ ජාතික ක්‍රීඩා කණ්ඩායම් මඟින් අප ගේ මහඟු
සංස්කෘතිය නිසි ලෙස බාහිර ලෝකයට ප්‍රදර්ශනය නොකිරීම එම කරුණයි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා කණ්ඩායම් පුහුණු කිරීම සඳහා
විදේශීය විශේෂඥයන් වෙත පමණක් විශ්වාසය තැබීම අප ගේ පිළිවෙත ය.
එම පුහුණුකරුවන් ක්‍රීඩා පිළිබඳ විශේෂඥයන් විය හැකි වූව ද අප
සංස්කෘතිය සම්බන්ධයෙන් ආධුනිකයන් බව කිව යුතු නැත. මෛත්‍රීය,
කරුණාව, දන්දීම හා ආගන්තුක සත්කාරය ආදී අප සතු මහඟු ගුණ ලොවට
ප්‍රදර්ශනය කළ හැකි ජාතික ක්‍රීඩා කණ්ඩායම් ගොඩනැඟීම ක්‍රීඩාවේ
ත්‍රස්තවාදයට අපට දිය හැකි එක ම පිළිතුරයි. |