UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය

බුදුන් වහන්සේ කවර දාකවත් ජීවයේ සම්භවය ගැන විවරණය කරන්නට යත්න දැරුවේ නැත. උන්වහන්සේ මිනිසාට දෙන එක ම අවවාදය නම්, සිය බුද්ධි මහිමය විශ්ව සම්භවය පිළිබඳ ප්‍රශ්න සමග පටලවාගෙන වටිනා කාලය අපතේ නොයවන ලෙසයි. එහෙත් චතුරාර්ය සත්‍ය අධ්‍යයනය කර සිය විමුක්තිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ලෙස උන්වහන්සේ අනුශාසනා කරති.

මේ ලිපිය ඩී.පඤ්ඤාසාර මාහිමියන්ගේ The Buddhist Conception of Life මැයෙන් වූ ප්‍රබන්ධයේ පරිවර්තනයකි. උපුටා ගැනුණේ Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA කලාපයෙනි.

මිනිස් ජීවිතය ගැන සිතීම පමණක් වූවත් ආනන්දජනක ය. කිසිදු සැකයකින් තොරව චින්තනශීලී මිනිසා විසින්, මිනිසා වනාහි පුදුම සහගත සත්ත්වයෙකි යි නිගමනය කළ යුතු යැයි සිතේ. ඔහු සිය බුද්ධි මහිමයෙන් අන් සියලු සතුන් මෙල්ල කරනු පමණක් නොවේ ඔහුට තමා වෙනුවෙන් වැඩ කරන්නට වුවමනා මෙවලම් නිපදවා ගන්නටත් හැකි ය. මෙසේ ජීවත් වන මිනිසා පුදුම සහගත දේ කරයි. එහෙත් අවාසනාවන්ත ලෙස බොහෝ මිනිස්සු ජීවිතය යනු කුමක් ද හෝ තමන් ජීවත් වන්නේ කුමක් සඳහා දැයි කියා සිතා නොබලති, ප්‍රශ්න නොකරති. මා දන්නා තරමින් බටහිර රටවල් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා නැත. එහෙත් පෙරදිග රටවල නම් බොහෝ කලකට පෙරම ඒවාට පිළිතුරු සපයා ගෙන තිබේ. එබැවින් අපරදිග මිනිස්සු, ජීවිතය පිළිබඳ ප්‍රශ්න ගැන සිතන්නට යොමු වූ කල්හි මුළුමනින් ම වාගේ පෙරදිගට නැඹුරු වන්නට පුරුදුව සිටිති.

ඉතින් ජීවිතය යනු කුමක්ද? එය කිසියම් මැවුම්කරු දෙවියකු විසින් පරිවාස කාල සීමාවක් සඳහා අප වෙත ප්‍රදානය කරන ලද්දක් ද? නැත. මෙවන් සමයකදී නම් එය සාධනය කරන්නට තරම් සහතිකයක් ඉදිරිපත් කළ නොහැකි ය. නූතන ලෝකයේ අපරදිග ජනතාව විද්‍යා ඥානයෙන් අසීමිත ප්‍රගතියක් ලබා ඇත. ඔවුහු ඕනෑම දෙයක් කෙරෙහි විශ්වාස කරන්නට පළමු නිරීක්‍ෂණය කරති, විශ්ලේෂණය කරති. සියලු සංයුක්ත ද්‍රව්‍යයන්ගේ අනිත්‍යතාව පිළිබඳ දර්ශනය ඔවුහු විශ්වාස කරති. (සබ්බේ සංඛාරා අනිච්චා) ඇයි ද යත්, ඔවුන් අත්දැකීමෙන් ඒ අවබෝධය ලබා ඇති නිසා ය. මිනිසාගේ අත්දැකීම් පිළිබඳ සියලු දේ අනිත්‍ය බව දකිමින්, සනාතන දෙවියකු වෙති යි නිගමනය කරන්නේ කෙසේ ද?

වරක් සැලකිය යුතු බුද්ධියකින් හෙබි, මූකුරා ගිය වයසේ සිටි, නමුත් බෞද්ධයකු නොවූ ඉංගිරිසි ජාතිකයෙක් මට මෙසේ කීය. ‘මම හරි කැමැති යි විශ්වාස කරන්න.’ ඒ ඔස්සේ මම මෙසේ අනුමාන කරන්නට පටන් ගතිමි. අපරදිග බුද්ධිමත් මිනිස්සු බොහෝ දෙනෙක් මැවුම්කරුවකු බව අදහති. එහෙත් ඇත්තටම කියතොත් ඔවුන් එසේ ඇඟෙවුවත් නියත වශයෙන් විශ්වාස කරන බවක් නොපෙනේ. ඒ කුමක් නිසා ද? එවන් විශ්වාසයක් සාධාරණීකරණයට ප්‍රමාණවත් සාක්‍ෂි ඔවුන් සතුව නැති හෙයිනි. දැන් අපට මෙසේ නිගමනය කළ හැකි ය. එනම්, මැවුම්කරුවකු පිළිබඳ විශ්වාසය අඩු හෝ වැඩි වුණ එය මුළාවක් බවයි.

ජීවිතය පිළිබඳ මේ ගැටලුව සම්බන්ධයෙන්, බුදුන් වහන්සේ විසූ සමයට පෙර පිළිගැනුණු විවිධ මතවාද දෙසැටක් තිබිණ. උන්වහන්සේ විසින් ඒ සියල්ල පිළිකෙව් කැරිණ. උන්වහන්සේ විසින් පිළිගනු ලැබුවේ තමන් විසූ සමයේ පැවති පුනර්භව මතවාදය පමණි. උන්වහන්සේ ඒ විශ්වාසයට අනුබල දුන්හ.එපමණක් නොව සිය ධර්ම දේශනා වලදී අදාළ ආකර්ෂණීය උදාහරණ ඉදිරිපත් කරමින් බෙහෙවින් සිත් ගන්නා ආකාරයෙන් එය පැහැදිලි ද කළහ. හේතුපල සම්බන්ධය විෂයයෙහි බුදුන් වහන්සේගේ ඉගැන්වීම, නූතන විද්‍යාව පිළිබඳ පරීක්‍ෂණ වලංගු කරන්නට හැකි එකම විවරණය යි. මිනිසා මෙලොව ඉපදී සිටින්නේ ඔහු විසින් පූර්ව භවයන්හි කරන ලද කර්ම හෙවත් ක්‍රියාවල ප්‍රතිඵලය විසිනියි බුදුන් වහන්සේ කියති.

මිනිසකු මෙලොව ජනිතව ඇලීගැලී සිටීම හෝ ජීවිතය පිළිබඳ යථාර්ථය සාවද්‍ය ලෙස තේරුම් ගැනීම නිසා ඔහු දෝමනස්ස හෝ සෝමනස්ස සහගත පැවැත්මකට හේතුවන කුසල හෝ අකුසල පාක්‍ෂික ක්‍රියා කරයි. හේතුපල සම්බන්ධය හෙවත් පටිච්ච සමුප්පාදය පිළිබඳ ඉගැන්වීම මෙවැන්නකි.

අවිද්‍යා හේතුවෙන් සංස්කාර හෙවත් කර්ම ද, සංස්කාර (කර්ම) හේතුවෙන් විඥානද, විඥාන හේතුවෙන් නාමරූපද, නාමරූප හේතුවෙන් සළායතන ද, සළායතන හේතුවෙන් ඵස්ස හෙවත් ස්පර්ශද, ස්පර්ශ හේතුවෙන් වේදනා හෙවත් විඳීමද, විඳීම් හේතුවෙන් තෘෂ්ණා ද, තෘෂ්ණා හේතුවෙන් උපාදාන හෙවත් දැඩිව අල්ලා ගැනීම ද වෙයි. මේ වනතුරු පුද්ගලයා විසින් කරන ලද අතීත කර්ම හේතුවෙන් ඔහු උපදින හැටි, ජීවිතය පවත්වන හැටි, ද්‍රව්‍ය ලෝකය කෙරෙහි ආසා කරන හැටි සහ එහිලා උපාදානය වන හැටි ද දක්වා ඇත.

මෙසේ උපාදානයෙන් හෙවත් දැඩිව අල්ලා ගැනීමෙන් පුද්ගලයා යළි යළිත් කර්ම කරයි. එයින් ඔහු යළි යළිත් භවයෙන් භවය තුළ උපත ලබමින් භව චක්‍රයෙහි ආසක්තව සංසාර ගමනෙහි යෙදී සිටියි. බුදුන් වහන්සේ මෙසේ කියා ඇත්තේ ඒ නිසා ය. එනම් උපාදානය මත කර්මය හෙවත් සංස්කාර ද, සංස්කාර මත ඉපදීම ද, රඳා පවතී යනු යි. මෙසේ ඔබ දුටු පරිදි මේ චක්‍රාකාර ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ජීවිතය පිළිබඳ ප්‍රපඤ්චයේලා විවරණය එබඳු ය.

එහෙත් බුදුන් වහන්සේ කවර දාකවත් ජීවයේ සම්භවය ගැන විවරණය කරන්නට යත්න දැරුවේ නැත. උන්වහන්සේ මිනිසාට දෙන එක ම අවවාදය නම්, සිය බුද්ධි මහිමය විශ්ව සම්භවය පිළිබඳ ප්‍රශ්න සමග පටලවාගෙන වටිනා කාලය අපතේ නොයවන ලෙසයි. එහෙත් චතුරාර්ය සත්‍ය අධ්‍යයනය කර සිය විමුක්තිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ලෙස උන්වහන්සේ අනුශාසනා කරති.

මෙසේ “ජීවිතය යනු කුමක්ද?” යන ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් පසු එයට පිළිතුරු සෙවීමට අප යත්න දැරිය යුතු ය. “අප ජීවත් වන්නේ කුමක් සඳහාද?” මිනිසුන් ජීවත් වන්නේ කන්නටද? නිඳන්නටද? නැතහොත් අනෙක් අය බිය වද්දන්නටද? සිත් සේ පඤ්චකාම ආස්වාද රති විඳින්නටද? ඒවා මිනිස්, තිරිසන් කාටත් පොදු ය. එහෙත් එහිලා මිනිසාත්, තිරිසනාත් අතර පරතරයක් තිබිය යුතු ය. ඉහත සඳහන් අරමුණු සඳහා පමණක් තමන් ජීවත් වෙතියි කියන්නට සිදුවතොත් ඒ ගැන මිනිසා ලජ්ජා විය යුතු යැයි මම සිතමි. තමන් ජීවත් වන්නේ දෙවියන් වහන්සේ මැවූ නිසා යැයි කිසියම් දේවවාදී ආගම් බැතිමතකු පිළිතුරු දෙන්නට පුළුවන. එහෙත් මේ ජීවිත කාලය පුරාත්, ජීවිතාවසානයේත් නුදුටු දෙවියකුගේ අත්තනෝමතිකත්වයට වන්දි ගෙවන්නට තවදුරටත් අප ජීවත් විය යුතු ද?

මේ කාරණය සම්බන්ධයෙන් තවදුරටත් ඔබ සුනංගු නොකර “අප ජීවත් වන්නේ කුමක් සඳහා ද?”යන ප්‍රශ්නයට විවරණයක් ඉදිරිපත් කරමි. එනම් බුදුන් වහන්සේ මෙසේ වදාරති.

“යථාපි පුප්ඵරාසීම්හා - කයිරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං” (ධම්මපදය – 53 )

“මල් රැසකින් නොයෙක් ආකාර බොහෝ මල්දම් කරනු ලබන්නේ යම්සේ ද, එසේම මෙලොව උපත ලද, නමුත් මැරෙන්නට සිටින පුද්ගලයා විසින් බොහෝ කුසල් කටයුතු ය.”

එබැවින් තමා ජීවත් වන්නේ කුමක් සඳහා දැයි අසනු ලැබූ බෞද්ධයකු තමා ජීවත් වන්නේ කුසල් හෙවත් යහපත කරනු පිණිසැයි පිළිතුරු දෙනු ඇත.ඒ අනුව යළිත් මේ ප්‍රශ්නය පැනනඟී. එනම් අප යහපත කරන්නේ ඇයි ද යනුයි. ඇතැම් විට ඇතැම් මිනිසුන් යහපත කිරීමෙන් ඇති පලක් නැතැයි කියති. එසේ කියන්නේ කුමක් නිසා ද යත්, බොහෝ වංක පුද්ගලයන් සමෘද්ධිමත් සහ මැනවින් වැජඹෙන අතර ඇතැම් අවංක මිනිසුන් කෙමෙන් පිරිහෙන ආකාරයත් ඔවුන් දැක ඇති නිසා ය. එහෙත් අප යහපත හෙවත් කුසල් කරන්නේ ඇයි? යන ප්‍රශ්නය ඇසිය යුත්තේ මේ වර්තමාන භවයට පසු භවය හෝ භවයන් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ගෙන් පමණි. මේ භවයෙන් මතු, අනාගත භවයක පැවැත්ම කෙරෙහි විශ්වාසයක් නොතබන මිනිසුන් කුසල් කිරීමෙන් පලක් නැතැයි කීමේ පුදුමයක් නැත. ඇයි ද යත්, ඔවුන් වර්තමාන භවය ගැන පමණක් සිතන හෙයිනි. තමා කුසල් කරන්නේ කුමක් නිසා දැයි දේවවාදියකුගෙන් ඇසුවහොත් තමා එසේ කරන්නේ සදාකාලික ස්වර්ගයට ප්‍රවේශය සඳහා දෙවියන් වහන්සේ සතුටු කරනු පිණිසැ යි පිළිතුරු දෙනු ඇතැයි මම අනුමාන කරමි. බෞද්ධයන් වන අප කුසල් කරන්නේ කවරාකාරයක හෝ දෙවියකු සතුටු කිරීමට නොවේ, අප හේතුඵල න්‍යාය විශ්වාස කරන නිසා ය. තමන් පාපක්‍රියා කළහොත් එහි ආනිශංසය හෙවත් හොඳ ප්‍රතිඵල තමනට විඳ ගන්නට ලැබෙන බවත් අපි දනිමු. බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. “උපන් හැම කෙනකුටම මරණය පොදු ය. හැම කෙනෙක් ම පමාවී හෝ කඩිනමින් මරණයට පත්විය යුතුම ය.

ඉතිරි කොටස ලබන සතියේ

 

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]