ධර්ම දේශනාව:
පිදිය යුත්තන් පුදමු හැම විට
ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින් කදිමට දැක
ගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය. ඇතැම් විට
අම්මා, තාත්තා,
ගුරුවරු, වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට තරම්වත් ඇතැම් දරුවන්
මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම නිසා දරුවන් මෙන්ම
වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත්
ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ.
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පරිවේණාධිපති
යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ
ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස,
සො මෙ ආචාරියො ආසි - අස්සජි නාම සාවකො
යස්සං දිසායං වසති – උස්සි සම්හි කරො මහං
පින්වත්නි,
සැරියුත් මහාරහතන් වහන්සේ මහා ප්‍රාඥයන් අතුරින් අගතනතුර ලද අතර
ධර්මසේනාපතින් වහන්සේද වනුයේ සැරියුත් මහ රහතන් වහන්සේ ය. අසූ
මහාශ්‍රාවක චරිත ඔබ අපගේ ජීවන ගමන් මඟ හැඩ ගස්වා ගන්නට මහෝපකාරී වේ. එම
නිසා එම චරිතාපදානයන් දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබ අප හැමට නිතර නිතර
අසන්නට කියවන්නට අවස්ථාව ලබා ගන්නේ නම් මහත් වූ ප්‍රතිඵල රැසක් ඉන් අත්
කර ගත හැකිවේ. සතර අපායෙන් මිදෙන්නටත් ශ්‍රද්ධා භක්තිය දියුණු කර
ගන්නටත් මෙබඳු උදාර චරිත හැදෑරීමට සුවිශාල පිටුබලයකි. සිල්වත් බව,
ගුණවත් බව ශික්‍ෂාකාමී බව හික්මුණු දැමුණු බව ජීවන ගමන් මගේ ගැටලු,
ප්‍රශ්න රැසක් විසඳන්නට මඟ බව මජ්ඣිම නිකායේ ආකංඛෙය්‍ය සූත්‍රයෙන්
විස්තර කර ඇත.
අත්‍ථ දීපා විහරථ යන්නෙන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන්
වහන්සේ දෙසූ පරිදි තමන් තමන්ට පහනක් වී දිවයිනක් වී ගොඩබිමක් ව ක්‍රියා
කරන්නයැයි දෙසු සේක. තමන් හිසට තම අතමය සෙවණැල්ල යන අපේ ඉපැරැණි කියමනට
අනුවද තමාගේ ගැලවුම් කාරයා වන්නේ ද තමාමය. ඒ බව තේරුම් ගෙන වටිනා කියන
චරිත තුළින් ආදර්ශ ලබා ගනිමින් තම දිවි මඟ සරසා ගන්නට අප්‍රමාදිව
ක්‍රියා කළ යුතු වේ.
ශාරිපුත්ත මහාරහතන් වහන්සේ දිනපතා පිණ්ඩපාතයේ වැඩම කරන්නේ අනිකුත්
භික්‍ෂූන් වහන්සේට පසුවය. විහාර භූමියේ සියලු තැන ඇවිද බලා පිරිසුදු
නොකළ ඒ ඒ ස්ථාන පිරිසුදු කොට කුටි තුළ අපිළිවෙළට දමා ඇති සිවුරු පිරිකර
සකසා නවා යෑම උන්වහන්සේගේ සිරිත විය. ගිලන්හලට වඩින සැරියුත් මහාරහතන්
වහන්සේ ගිලනුන්ට උපස්ථානය කිරීමේ වැදගත් කම කුඩා සාමණේර හිමිවරුන්ට
කියා දී උපස්ථාන කටයුතු වල යොදවනු ලබයි. අග්‍රශාවකයන් වහන්සේ කියා
කිසිවිටෙක ඉදිරියෙන් වැඩම වීමට හෝ සෙසු අය පසු කර වඩින්නට කිසිවිටෙක
උත්සුක නොවූහ. කාරුණිකව නිහතමානිව ඉවසීමෙන් හැම නිමේශයක්ම ගත කළ
සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය රටේ එකල නන්දෙස ප්‍රකටව පැවති
බැවින් එක් බමුණෙකු එය පරීක්‍ෂා කරන්නට සෙනඟ රැස්ව සිටින ස්ථානයක දී
උන්වහන්සේට අවමන් කළේ ය. උන්වහන්සේ එය ගණන් නොගෙනම වැඩම කළ අතර එය දුටු
පිරිස බමුණා පසු පස එළවාගෙන පැමිණියේය. එම බමුණා සැරියුත් මහරහතන්
වහන්සේගේ කුටියේ සැඟවී බේරුණේ ය. එපමණක්ද නොව සැරියුත් මහරහතන් වහන්සේ
ඔහු තම ශිෂ්‍යයකු ලෙස ද පැවිදි කරගන්නට තරම් කාරුණික වූහ.
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වඳින විට ඒ සමගම තම
ආචාර්යයන් වහන්සේ වන අස්සජි මහ රහතන් වහන්සේට වන්දනා කරන්නට අමතක
නොකළහ. උන්වහන්සේ නැති විට ඒ දෙසට වඳින්නට තරම් ගුරු ගෞරවයෙන්
භක්තියෙන් ක්‍රියා කළහ. මෙය දුටු ඇතැම් අය බමුණු සිරිත් තාම අත්හරින්නට
නොහැකි වී ඇතැයි ඇනුම් පද කීහ. එහෙත් සැරියුත් මහරහතන් වහන්සේ තම ගුරු
දේවයන් වහන්සේ යම් දිසාවක ද ඒ දිසාවට වඳින එක අත්නොහළහ. අස්සජි නම්
බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කිසියම් දිසාවක වෙසෙත්ද මම එදෙසට හිසලා
සැතපෙමි. ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින්
කදිමට දැක ගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය.
ඇතැම් විට අම්මා, තාත්තා, ගුරුවරු, වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට
තරම්වත් ඇතැම් දරුවන් මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම
නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය
යුත්තන්ට පුදන්නටත් ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ. එසේ නොවන්නට
සදාචාරාත්මක සිතුම් පැතුම් අපෙන් ඈත් වී යනු ඇත.
උතුමන්ගේ උසස් ජීවන කථා තුළින් ඔබ සැමගේ ජීවිත ආලෝකවත් වේවා.
|