UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

එකම ගඟට දෙවරක් බැසිය හැකි ද?

ගී‍්‍රක මහා දාර්ශනික ප්ලේටෝ (pleto) පවසන්නේ ද කිසියම් ආකාරයකින් ලෝකයේ ඇති සෑම දෙයක්ම ප්‍රවාහි ස්වභාවයක් ගන්නා බවත් කිසිවක් ස්ථාවර ආකාරයෙන් නොපවත්නා බවත් හෙරක්ලීටස් සිය ප්‍රවාහ දහම ඇසුරින් පෙන්වා දෙන්නට උත්සාහ ගෙන ඇති බවයි. මෙය උපමාවක් ඇසුරින් පැහැදිලි කරන හෙරක්ලීටස් දක්වා ඇත්තේ පවතින දේවල් සියල්ල ගඟක දිය පහරක් මෙන් නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වන බවයි.

අප අවට පවත්නා ලෝකය ස්ථාවර එකක් නොවේයැයි මොහොතකවත් සිතන්නට අපට අවශ්‍යතාවක් නොමැත. මන්දයත්, පෙර දිනවල අප ප්‍රත්‍යක්ෂ කරන ලද ගෙවල් දොරවල්, මේස පුටු, ගහ කොළ, ඇළ දොළ ගංගා ආදී වූ සියලු දේවල් ඒ ආකාරයෙන් ම අදත් ප්‍රත්‍යක්ෂ වන බැවිනි. එහෙත් මෙසේ අප නිරන්තරයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නා වූ සියලු භෞතික වස්තූන්ගේ ස්ථාවරභාවය පිළිබඳව අප තුළ පවත්නේ ප්‍රබල විශ්වාසයක් මිස නිශ්චිතතාවක් නම් නොවේ. ඊට හේතුවනුයේ එවන් නිශ්චිතතාවක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාධක කිසිවක් බාහිර ලෝකය ඇසුරෙන් සපයාගැනීමට අපට හැකියාවක් නොමැති බැවිනි. ලෝකය නිරන්තරයෙන් වෙනස්වීමට භාජනය වන බව අතීතයේ පටන් ම දාර්ශනිකයන් ප්‍රකාශකොට ඇත. ලෝකය පිළිබඳ සත්‍ය ගවේෂණයෙහි යෙදුණු චින්තකයින් මේ වෙනස්වීම අවධාරණයකොට ඇති අතර විශ්වයේ යථාර්ථය සොයා යන ගමනේ දී මෙම වෙනස්වීම පිළිබඳ සංකල්පයෙන් බැහැර වීම දුෂ්කර බවත් ඔවුන් තේරුම්ගෙන ඇත. ලොව සියල්ල මොහොතක් පාසා වෙනස්වන බවත් එය ස්වභාවධර්මයේ අසිරිමත් සංසිද්ධියක් බවත් මෙම චින්තකයින් විසින් අවධාරණය කර ඇති බව පෙනේ. ස්වභාවධර්මයේ පවත්නා මෙම අසිරිමත්භාවය නිසා අප ප්‍රත්‍යක්ෂ කරන, අප අවට ඇති ලෝකය සත්‍යලෝකය විය හැකිද? යන ගැටලුවක් අප ඉදිරියට පැමිණෙනු ඇත. මේ සම්බන්ධයෙන් සුප්‍රකට ගී‍්‍රක දාර්ශනිකයකු වන හෙරක්ලීටස් ගේ සහ බෞද්ධ දර්ශනය තුළ ඉදිරිපත්වන විමර්ශන පිළිබඳව විමසා බැලීම වැදගත්වේ.

ඉපැරණි ගී‍්‍රක චින්තනයේදී සුවිශේෂී වැදගත්කමක් හිමිකරගන්නා දාර්ශනිකයකු වශයෙන් හෙරක්ලීටස් (Heraclitus ) හඳුනා ගත හැකිය. ඔහු විසින් ඉතා ඈත අතීතයේ දී මෙවන් කතාවක් පවසා තිබේ. එනම් කෙනකුට එකම ගඟකට දවරක් බැසිය නොහැකිය .  It is not possible to step into the same river twice) යනුවෙනි. ඇත්ත වශයෙන් ම ඔබෙන් මෙම ප්‍රශ්නය කෙනකු ඇසුවහොත් ඔබගේ පිළිතුර කෙබඳු විය හැකිද? ඔබ මහවැලි ගඟ අසබඩ ජීවත් වන අයකු නම් සහ ඔබ එහි දිනපතා ස්නානය කරනවිට ඔබ ස්නානය කරන්නේ එකම ගඟේ නොවේ යයි මොහොතකටවත් සිතුවාද? පළමු දිනයේ මෙන්ම ඊළඟ දිනයේ දී ද ඔබ ස්නාන කරන ලද්දේ එකම ගඟකින් නොවේ යැයි ඔබ කෙසේ වත් නොසිතන්නට ඇත. එසේ සිතන්නට අවශ්‍යතාවක් ද නැත. එහෙත් ක්‍රි.පූ. 536 දී උපත ලද හෙරක්ලීටස් සිය ප්‍රවාහි දහම (Theory of flux ) ඇසුරින් ඉදිරිපත් කරන දර්ශනය තුළ ඉහත කාරණාව සම්බන්ධයෙන් ඔබත් මමත් සිතන ආකාරයට වඩා වෙනස් ලෙසකින් සිය අදහස් ගෙනහැර දක්වා තිබේ. ඔහු පවසන ආකාරයට දෙවැනි දිනයේ දී ඔබ ස්නානය කරන්නේ මුල් දිනයේ ස්නානය කරන ලද ගංගාවෙහි නොවේ. වෙනත් ගඟකයි. මේ නම් අපූරු කථාවකි. එහෙත් පුදුම වන්නට කරුණක් නොමැත. එනම් ලෝකය තුළ අප නිරීක්‍ෂණය කරනු ලබන වෙනස්වීමේ ක්‍රියාදාමය තුළ ඊයේ ස්නානය කරන ලද ගංගාවන්හි නොවේ. වෙනත් ගඟකයි . මේ නම් අපූරු කථාවකි. එහෙත් පුදුම වන්නට කරුණක් නොමැත. එනම් ලෝකය තුළ අප නිරීක්‍ෂණය කරනු ලබන වෙනස්වීමේ ක්‍රියාදාමය තුළ ඊයේ ස්නානය කරන ලද ගංඟාවෙහි ඔබට නැවත වාරයක් ස්නානය කිරීමට හැකියාවක් නොමැත. මක්නිසාද ද යත් ඊයේ ගඟ දියෙන් ඔබ ගොඩට එන විටත් එම ගඟ වෙනස්වීමට භාජනය වී ඇති නිසාය. එසේනම් එකම ගඟකට දෙවරක් බසින්නට කවරෙකුට හැකි වෙද්ද? සියල්ල සෑම මොහොතක් පාසා ම වෙනස්වීමට භාජනය වන නිසා එකම ගඟක දෙවරක් දිය නෑමට කිසිවෙකුටත් හැකි නොවේයැයි හෙරක්ලීටස් කර ඇති ප්‍රකාශය මෙහි දී සාධාරණ බව පෙනේ. ඒ අනුව වෙනස්වීම පිළිබඳ සංකල්පය තහවුරු කරමින් ලෝකස්වභාවය පිළිබඳව ඔහු කර ඇති විග්‍රහය හුදු සංකල්පනාවක් පමණක් නොව දාර්ශනික වශයෙන් ද සුවිශේෂ වටිනාකමක් හිමිකර ගන්නා බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.

ඔහුගේ මෙම අදහස් පිළිබඳව විමර්ශනයක යෙදෙන ගී‍්‍රක මහා දාර්ශනික ප්ලේටෝ (pleto) පවසන්නේ ද කිසියම් ආකාරයකින් ලෝකයේ ඇති සෑම දෙයක්ම ප්‍රවාහි ස්වභාවයක් ගන්නා බවත් කිසිවක් ස්ථාවර ආකාරයෙන් නොපවත්නා බවත් හෙරක්ලීටස් සිය ප්‍රවාහ දහම ඇසුරින් පෙන්වා දෙන්නට උත්සාහ ගෙන ඇති බවයි. මෙය උපමාවක් ඇසුරින් පැහැදිලි කරන හෙරක්ලීටස් දක්වා ඇත්තේ පවතින දේවල් සියල්ල ගඟක දිය පහරක් මෙන් නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වන බවයි. එකම ගඟට දෙවරක් පය තැබිය නොහැකි වන්නේ සියල්ල ප්‍රවාහයක් මෙන් එසේ වෙනස්වන නිසාවෙනි.

මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන ක්‍රැටිලස් (Cratylus) පෙන්වා දෙන්නේ අපට එකම ගඟකට එක වතාවක් හෝ බැසිය නොහැකි බවයි. එනම් කෙනකු ගඟකට බසින අවස්ථාවේ දී ඔහුගේ පය ජලයේ ගැටෙන අවස්ථාවේ සිට එය ගඟේ පතුලට ළඟා වන මොහොත වන විටත් ගඟ වෙනස් වී ඇති බැවිනි. ගැඹුරු අධ්‍යයනයක නිරත වන්නකුට මෙය සත්‍යයක් බව පැහැදිලි වනු ඇත. ඒ අනුව හෙරක්ලීටියානු ප්‍රකාශය එහි මතුපිටින් දැක්වෙන ආකාරයේ සරල ප්‍රකාශයක් නොවන බව අප අවබෝධ කර ගත යුතුය.

මෙම හෙරක්ලීටියානු වෙනස්වීම පිළිබඳ සංකල්පය බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට කෙතරම් දුරට සමීපදැයි මෙහි දී විමසා බැලීම වැදගත්ය. බෞද්ධ දර්ශනය වනාහි හේතුඵලවාදය මත පිහිටා යථාර්ථවාදී දෘෂ්ටිකෝණයෙන් ලෝකය දෙස බලන්නා වූ අසහාය දර්ශනයකි. නිරන්තරයෙන් වෙනස්වන සත්ත්වයා ඇතුළු විෂය ලෝකය හේතුඵල ප්‍රවාහයක ප්‍රතිඵලයක් බවත් එහි කිසිදු තැනක සදාකාලික ආත්මයක් හෝ වෙනත් ස්ථාවර යමක් විද්‍යමාන නොවන බවත්, වෙනස්වීමේ ධර්මතාව නිසා සියල්ල දුකින් පිරි පවත්නා බවත්, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කොට ඇත. ඒ අනුව ලොව පවත්නා සියලු දේ අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණයන්ගෙන් යුක්ත බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ‘ඇතිවීම නැතිවීම පිළිබඳ නොදැන ශතවර්ෂයක් පුරා ජීවත් වනවාට වඩා සියලු සංස්කාර ධර්මයන් ඇතිවී නැතිවන්නේය යන්න දැනගෙන එක් දිනක් ජීවත්වීම වඩාත් වැදගත් වන්නේය ‘ යනුවෙන් උන්වහන්සේ දේශනා කොට ඇත්තේ එබැවිනි.

එනමුදු පුද්ගලයකුට සිය සාමාන්‍ය ජීවිතය තුළ දී අවබෝධ කර ගැනීමට බෙහෙවින් අසීරු කාරණාව වන්නේ ද මේ වෙනස්වීම පිළිබඳ වූ කාරණාවයි. මන්ද ලෝකයේ ද්‍රව්‍ය වස්තූ®න් ස්ථාවර ලෙස ඒකාකාරයෙන් පවත්නා බවක් අපි ප්‍රත්‍යක්ෂ කරන්නෙමු. නමුත් යථාර්ථමය ස්වභාවය එය නොවේ. එනම් ද්‍රව්‍ය වස්තූන්ගේ යථා ස්වභාවය අපගේ ප්‍රත්‍යක්ෂයෙන් සැඟව පවත්නා බවයි.

ඒ අනුව හෙරක්ලීටියානු ගංඟා උපමාවේ නියම අර්ථය නම් ක්ෂණික වශයෙන් ඇතිවන්නා වූ වෙනස්වීම ස්ථාවරභාවය මඟින් සඟවනු ලබන බවයි. බෞද්ධ දර්ශනය තුළ දී ද සියල්ල ක්ෂණයක් පාසා වෙනස්වන බව පෙන්වා දී ඇති අතර මේ වෙනස්වීම අපගේ පියවි ඇසින් දැකගත නොහැකිවීම හේතුකොටගෙන පෘථග්ජන මිනිසාට එය අවබෝධ කර ගැනීමේ දුෂ්කරතා ඇතිබව සඳහන් වේ. ගංඟාවක ජලය සෑම මොහොතක් පාසා ම වෙනස් වුව ද එම ගං¼ගාව ඒ අයුරින් ම පවතින බව ප්‍රත්‍යක්‍ෂ කරන්නාක් මෙන් මිනිසා ඇතුළු ලොව සියලු ද්‍රව්‍ය වස්තූ®න් නිරන්තර වෙනසකට භාජනය වුවද අපගේ පියවි ඇසට එය ග්‍රහනය කරගත නොහැකි නිසා සියල්ල නොවෙනස්ව පවතින බවක් අපි ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමු. ලෝකයේ පවත්නා මෙම සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමට අපොහොසත් වීම නිසා මේ අනිත්‍ය හෙවත් වෙනස් වන ලෝකය තුළ සැපත පමණක් ම ප්‍රාර්ථනා කරමින් ඒ පසුපස ම හඹායන මිනිසා අවසානයේ දී දුකට පත්වන බව බෞද්ධ දර්ශනයේ ඉතා පැහැදිලිව දැක්වේ. ඒ අනුව මේ අස්ථාවර ලෝකස්වභාවය මගින් මුළාකරනු ලබන මිනිසාට පරම ශාන්තිය ලබාගැනීම දුෂ්කර බව පැවසේ. එම පරමාර්ථ සුවය මෙම අනිත්‍ය වූ ;ලීකස්වභාවය නිවැරැදිව වටහාගැනීම ඇසුරෙන් ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේය.

ඒ අනුව සියලු දුකින් නිදහස් වූ පරම සුවය ලබා ගත හැක්කේ මේ අස්ථාවර ලෝකස්වභාවයෙන් ඔබ්බට ගියාවූ නිර්වාණ ධර්ම අවබෝධය තුළින් පමණක් බව බෞද්ධ දර්ශනය පෙන්වා දී තිබේ. මෙහි දී බුදු දහම හෙරක්ලීටස් මෙන් සත්‍ය ගවේෂණයෙන් පමණක් නොනැවතී ඉන් ඔබ්බට ගොස් මෙම අනිත්‍යතාවයෙන් මිදීම සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකට එළඹ්මට උත්සාහ දරා තිබීම එහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේය. එසේම මෙම අනිත්‍ය සංකල්පය සහ ලෝක ස්වභාවය දුක් සහිත බව සඳහන් කෙරෙන බෞද්ධ ආකල්පය ඉන්දියානු දාර්ශනික සම්ප්‍රදායට සම්පූර්ණයෙන් ම නවතම සංකල්පයක් නොවුන ද හෙරක්ලීටියානු චින්තනය මගින් ඉදිරිපත් කරන ලද අනිත්‍යතා සංකල්පය හෙවත් ප්‍රවාහී දහම තත්කාලීන බටහිර චින්තන ධාරාව තුළ සම්පූර්ණයෙන් ම නවතම සංකල්පයක් වූ බව දක්නට ලැබීම එහි ඇති සුවිශේෂී බව තහවුරු කරන්නකි. මෙනයින් බලන කල බුදුරජාණන් වහන්සේ විසින් ‘ සබ්බේ සංඛාරා අනිච්චා ‘ හෙවත් සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වේ යනුවෙන් කරන ලද දේශනාව සහ හෙරක්ලීටස් විසින් කෙනකුට එකම ගඟට දෙවරක් බැසිය නොහැකි වන්නේ යැයි කර ඇති ප්‍රකාශය මගින් ඉදිරිපත් කරන ප්‍රවාහී දහම තුළින් ද පෙන්වා දීමට උත්සාහ ගෙන ඇත්තේ ලෝකස්වභාවයේ පවතින්නා වූ අස්ථාවර ස්වභාවය ම බව නිගමනය කළ හැකි වේ.

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]