ධර්ම දේශනාව:
දැමුණු සිත සදයි සෙත
හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර
සමණධම්ම හිමි
අපේ සිත, අපේම සිතින් මවාගත් සිහින ලෝකවලට
නිතැතින්ම ගෙන යනවා. සමහරු රේස් දැමීමෙන්, සූදුවෙන් ජයලබා ධනවතකු වන්න
සිතනවා.
අවසානයේ මෙලොව ජීවිතයත් අඳුරුවෙනවා. පරලොව
ජීවිතයත් අදුරුවෙනව. සූදුවට යොමුවීම අගය කළ නොහැකි දෙයක්, අහංකාරකම,
මානය, උඩඟුව , සිත ඉතාම ආශාවෙන් වැළඳගන්නවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දුරං ගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා”
පින්වත්නි,
ඉහත සඳහන් ගාථාව අයිති වන්නේ සූත්‍ර පිටකයේ ධම්ම පදය නම් බෞද්ධ අත්පොතේ
චිත්ත වර්ගයටයි. මෙහි සාමාන්‍ය සරල අර්ථය වන්නේ දුර අරමුණු කරා නිතර
ගමන් කරන, නිතර තනිවම හැසිරෙන ශරීර ගුහාවෙහි නිදන සිත යම් කෙනෙක්
තැන්පත් කර ගනීද? ඔහු මාර බන්ධනයෙන් හෙවත් සංසාර බැම්මෙන් මිදෙන බවය.
බුදුපියාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ භාගිනෙය්‍ය
සංඝරක්ඛිත තෙරුන් වහන්සේ අරභයාය.
ස්වභාවයෙන් සිත ගමන් කරන්නේ බොහෝ විට ආශාවන් පසුපසයි. පංචකාම සම්පත්
කෙරෙහි දමනය නොවූ සිත පහසුවෙන්ම නොමගට ඇදී යනව. ඇස, කන, නාසය , දිව,
ශරීරය පිනවීම සඳහා ගමන් කරන සිත සීමාවක් නැතිව නිතර ගමන් කරනව.
අපේ සිත, අපේම සිතින් මවාගත් සිහින ලෝකවලට නිතැතින්ම ගෙන යනවා. සමහරු
රේස් දැමීමෙන්, සූදුවෙන් ජයලබා ධනවතකු වන්න සිතනවා. අවසානයේ මෙලොව
ජීවිතයත් අඳුරුවෙනවා. පරලොව ජීවිතයත් අදුරුවෙනව. සූදුවට යොමුවීම අගය කළ
නොහැකි දෙයක්, අහංකාරකම, මානය, උඩඟුව , සිත ඉතාම ආශාවෙන් වැළඳගන්නවා.
එක උත්සවයකට පාවිච්චි කළ ඇඳුම නැවත තවත් උත්සවයකට පාවිච්චි කරන්න සමහරු
කැමති නැහැ. ඇතැම් විට දරුවන් ලොකු පාසල්වලට යවන්න මහන්සි ගන්නවා.
ඇතැම් විට කෙනකුට ලැබෙන ආදායමට වඩා වියදම වැඩි කර ගන්නව. ආදායම
සීමිතයි. වියදම සීමාවකින් තොරයි. බාහිර ආටෝපයට අලංකාරයට පුරුදු වුනොත්
එහි පාඩුව තමාටමයි. දරුවන් ජනපි‍්‍රය පාසල්වලට යවන ඇතැම් දෙමව්පියන්ට
කෙතරම් මුදලක් ඒ සඳහා වැය වනවාද? ඒ සඳහා මසකට දහස් ගණන් මුදල් වැයවන්නට
පුළුවන්. එසේ වියදම් අධික වන විට ඒ වියදම් සඳහා තම රැකියා ආයතනයෙන්
ලබාගත හැකි උපරිම ණය රැකියාවක නිරත අයකු නම් ලබාගන්න උත්සාහ කරනව.
අවසානයේ පඩිපතට ලැබෙන්නේ ණය වාරික කැපුණුවිට ඉතා සුළු මුදලක් වන්න
පුළුවන්. අන්තිමේදී පවුලේ නඩත්තුවට වැටුපෙන් දෙනතුරු ණයට අතමාරුවක්
ගැනීමට තරම් සිදුවන්න පුළුවන්. ලැබීමට වඩා වියදම අධික වූ විට සැමියා
දෙලොවක් අතර තනි වෙනවා. රැකියාවෙන් මුදල් උපයන මං සොයන ඔහු අවසානයේ
අල්ලස් ගැනීමට පවා පෙළඹේ. නැතහොත් වැඩිමුදල් ඉපයීමට සූදුවට පෙළඹේ.
එයින් තව තවත් දරිද්‍රතාවයට පත්වේ. අල්ලස්ගැනීම නීතියේ රැහැනට
අසුවීමෙන් රැකියාව පවා අහිමි වේ. සිත පාලනය කිරීමට නොහැකි ඔහු අවසානයේ
සුරාවටද පෙළඹේ. සිත යහමගට නොගෙන අවිචාරවත්ව හැසිරීමෙන් සිදුවන මෙවැනිදේ
ගැන සමාජයේ වරින්වර අසන්න ලැබේ.
මෙම සියලු උවදුරු පැමිණෙන්නේ තම සිත පාලනය කිරීමට නොහැකි වීමෙනි. තම
ස්වාමියාගේ වැටුප අනුව තම ගෘහ ජීවිතය සකස් කර ගැනීමට බිරිඳ තම සිත
යොදවන්නේ නම් එම පවුල් ජීවිතය වාසනාවන්ත වනු නොඅනුමානය.
චන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්හිවාරයං
උජුංකරෝති මේධාවි
උසුකාරෝව තේජනං
කලබල වූ චපල වූ රැක ගැනීමට අසීරු වන මේ සිත ඇද වූ හී දඩු ඍජුකර සාදන හී
වඩුවාමෙන් තම සිත දමනය කරන ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත.
තම සිත මනාකොට හසුරුවා ගන්නේ නම් පරලොව ජීවිතයට පමණක් නොව මෙලොව
ජීවිතයද සාර්ථක කර ගත හැකිය. අවිචාරවත් ලෙස අයාලේ යාමට සිතට ඉඩ නොදී තම
ආදායමට සරිලන පරිදි තම වියදම් සකස් කරගත හොත් එය වාසනාවන්ත ජීවිතයකට
මඟපාදයි.
සිත,කය, වචනය, සංවර කරගතහොත් එය සසර ගමනේ නැවතුම වෙත යාමේ එකම මඟ වනු
ඇත. කය, වචනය, මොහොතකට හෝ සංවර කර ගත හැකිය. එහෙත් සිත තත්පර ගණනකින්
වෙනස් වේ. එසේ නම් එම සිත සංවර කර ගත යුත්තේ තමා විසින්මය. අසංවර සිත
සංවර කර ගැනීමේ අසීරු භාරදූර වගකීම පැවරෙන්නේ තමාටමය.
අහිංසක , අංගුලිමාල කෙනකු බවට පත්වූයේ ඔහුගේ සිත වැරදිමගට පෙළඹවීම
නිසාය. මව මරා හෝ ඇඟිලි දහස සම්පූර්ණ කිරීමට තරම් ඔහුගේ සිත නොමගට
යොමුවිය. මව මැරුවේ නම් ආනන්තරිය පාපකර්මය ඔහුට අත්වේ. එහෙත්
අමාමෑණියන් වහන්සේ ඔහු තුළ රහතන් වහන්සේ නමක් සැගවී සිටිනු දුටු නිසා
අංගුලිමාලගේ සිත යහමගට ගැනීමට හැකිවිය.
නතං මාතා පිතා කයිරා -අඤ්ඤවාපිච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං - සෙය්‍යසෝනං කතෝ කරේ
මනාකොට පිහිටුවන ලද සිත මව්පිය නැදෑයන් විසින් පවා නොකළ හැකි යහපතක්
කරන්නේය. ඒ පුද්ගලයා උතුමෙකු කරන්නේ ය.
අමාමෑණියන් වහන්සේ සිත දමනය කිරීමේ මාර්ගය පහදා දී ඇත. ඒ බුදුමග ඔස්සේ
ගොස් භාවනාවෙන් සිත දියුණු කරන්නේ නම් ඔහු මෙලොවද පරලොව ද ජයගත් අයකු
වේ. එසේ නම් අපි සිත දමනය කර යහමගට යොදවා මෙලොව පරලොව දෙලොවම ජයගැනීමට
අදිටන් කරගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි
|