දහම් පාසලයි ළමා පරපුරයි
නාලිනී පනංගල
ඕවාදකාරි හතපෝසි - කුල වංසං අභාසයං
සද්ධෝ ශීලෙන සම්පන්නෝ - පුත්තෝ හෝති පසංසියො
(අං. නි/ පුත්ත සූත්‍රය)
මවුපියන්ගේ අවවාද පරිදි ක්‍රියාකරන තමා පෝෂණය කළ මවුපියන් පෝෂණය කරන,
පරම්පරාව පරිහාණියට පත් නොකරන, ශුද්ධාව ඇති සිල්වත් වූ පුතා ප්‍රශංසා
ලැබිය යුත්තෙක් වේ.
තම දරුවා රටේ, සමාජයේ, පාසලේ පැසසුම් ලබන විට මවුපියන්ට ඇතිවන සතුට
මැනිය නොහැකිය. එමෙන්ම දරුවා සමාජයෙන් ගැරහුම් ලබන විට මවුපියන්ට ඇතිවන
සිත් වේදනාවද අපමණයි. මිනිසාට ඇති උතුම් වස්තුව දරුවාය. දරු සෙනෙහස
වනාහී මවගේත් පියාගේත් ලේ, මස්, නහර ඇට විනිවිද දිවෙන තීව්ර චින්තනයකි.
එවන් දරුවා හදාවඩා පෝෂණය කර යහපත් පුරවැසියෙකු සේ හැඩගස්වා සමාජයට
දායාද කිරීම මවුපියන් සතු පරම යුතුකම වෙයි. බුදුරජාණන් වහන්සේ සබ්‍රහ්ම
සූත්‍රයේ මවුපියන් හඳුන්වා ඇත්තේ සබ්‍රහ්ම කුල, සපුබ්බාදේවකුල,
සපූබ්බාචරිය කුල ආදී වශයෙනි. ‘බ්‍රහ්මාති මාතා පිතරෝ’ යනුවෙන්ද වදාරා
ඇත්තේ බ්‍රහ්ම විහරණ මව්පියන් තුළ ඇති හෙයිනි. මෙයින් පැහැදිලි වන
සත්‍යය නම් දරුවකු ජීවිතාන්තය දක්වා ගෙනයන හැදියාවේ පදනම දැමිය යුත්තේ
මවුපියන් බවයි. පූර්වාචාරීන් ලෙස හඳුන්වා ඇති මවුපියන් පළමුවෙන්
කළයුතු වන්නේ දරුවා පාපයෙන් (වරදින්) වැලැක්වීමය. දෙවනුව, යහපතෙහි
(නිවැරදෙහි) යෙදවීමය. විධිමත් අධ්‍යාපනය සඳහා නිවසින් බැහැර යනතාක්ම
දරුවා වැඩෙන්නේ මව්පිය සෙවනෙහි ය. විශේෂයෙන් මවගේ ආදරය, උණුසුම
සුරැකියාව උපරිම අයුරින් ලැබෙන මෙම වකවානුවේදී සාරධර්ම පෝෂණයට හා චරිත
සංවර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කළ හැකිවන්නේ මවටය. මවගේ් අපරිමිත සෙනෙහස
මත එම ආකල්ප ළදරු හදවත තුළ තිර ලෙස සනිටුහන් වෙයි. මවුපිය දෙදෙනාම
රැකියාවල නිරත වන අවස්ථාවක මවුපිය දරුවන්ට එම සැප අහිමිවීම අවාසනාවනි.
දරුවකුගේ චරිත සංවර්ධනයට තොටිල්ල පදවන දෑත තරම් සවිය ඇති දෙයක් තවත්
නැති බව මවුපියන් සිතට ගත යුතුවෙයි. අප කළ යුත්තේ එකිනෙකා එකිනෙකාට වරද
පටවමින් වාද විවාද ඇතිකර ගැනීම නොවේ. ඉදිරියේදී භාර දෙන්නට සිටින රටේ
ජීවනාලිය බඳු අනාගත පරපුරට යම් ව්‍යසනයක් සිදුවන්නේ් නම් ඊට අප කවුරුත්
වරද කරුවන් වී ඇති බව සිතා යළි සුඛනම්‍ය සමාජයක් ඇති කිරීමට යුහුසුළුව
ක්‍රියාකාරී වීම නොවේද?
දහම් පාසල බාල පරපුර සුසිරිතෙහි පිහිටුවන ප්‍රබල සාධකය බව සැබවෙකි. එසේ
වන්නේ එය නිසිසේ කළහොත් පමණි. ඇතැම් විට ආර්ථික අපහසුතා ඇති නොදියුණු
පළාත්වල තුරුසෙවනේ් බිම වාඩි වී අපහසුවෙන් ඉගෙනීම ලබන සිසුන් සිටින
අතර, ඒවායේ ගුරුවරුන්ද අඩුය. ආගමික අධ්‍යාපනය පොත පතින් ලබාදෙන දැනුම්
සම්භාරයකට සීමා කළ යුතු දෙයක් නොවේ. බුද්ධ ධර්මය විෂයය, සෙසු විෂයයන්ට
වඩා චරිත සංවර්ධනයට මහෝපකාරි වන නිසා දහම් පාසල් අධ්‍යාපනය සවිමත්විය
යුතුවේ. ලාභ අපේක්ෂාවෙන් තොරව ස්වේච්ඡාවෙන් උතුම් මෙහෙවරක යෙදෙන
ගුරුවරුන්ට කාගේත් ප්‍රණාමය හිමිවිය යුතුය. එමෙන්ම දහම්පාසල් වල අඩුව
පුරවා ගන්නට ගුරුවරයකු වශයෙන් කවුරුන් හෝ ඇද ගැනීම ගැන විමසිලිමත් වීම
වටනේය. දහම් පාසල් ගුරුවරයා බුද්ධ ධර්මය ගැනත් කුඩා දරුවන් ගැනත්
මැනවින් අවබෝධයක් ඇති අයකු වීම වැදගත් වේ.
සුදුසුකම් නොමැතිනම් පුහුණුවක් මඟින් ඔවුන් දැනුවත් කිරීමෙන් විපුලඵල
ලැබිය හැකිවේ. බෞද්ධ අධ්‍යාපනයේ පුළුල් පරමාර්ථ ඉටුකිරීමට සැමතින්ම
ගුරුවරයාගේ සවිමත් බව අත්‍යවශ්‍ය ය. සදාචාරාත්මක ඇවතුම්, පැවතුම්,
සාරධර්ම ආචාර සමාචාර, පුද පූජා හා වන්දනා කිරීම් ප්‍රායෝගික වීමෙන්
මිස, පොතේ දැනුම දීමෙන් පමණක් වර්ධනය කළ හැකි දේවල් නොවේ. සිසු දරුවන්
පොතටම වහල් නොකර, සුදුසු පැවරුම් හා ක්‍රියාකාරකම් තුළින් අවශ්‍ය
නිපුණතා වගා කිරීමට ධර්මය පදනම් කරගත් ක්‍රම වේදයන් ගුරුවරයා දැනගත
යුතු වෙයි. ආගමික අධ්‍යාපනයෙන් අනිවාර්යෙන් දරුවාගේ චර්යාමය වෙනසක්
ඇතිකළ යුතු වෙයි.
ඉහළම ප්‍රතිඵලය එයයි. එසේ නොවේනම් එම ඉගැන්වීම අසාර්ථක විය
හැකිවේ.කෙනකු බෞද්ධයකු වන්නේ ගුණ හඳුනාගෙන ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ
යාමෙනි. පස් පවින් වැලකී පන්සිල් රැකීමෙනි. දහම් අධ්‍යාපනයේ මූලිකම
අංගය පංචශීල ප්‍රතිපදාවයි. බුදුරජාණන් වහන්සේ, පන්සිල් රැකීමේ පිළිවෙත්
අනුදැන වදාළේ එමඟින් පොදු ජනසමාජයේ අයිතිවාසිකම් පහක් සුරැකෙන හෙයිනි
පන්සිල් රැකීමේ ප්‍රතිලාභ තමාට පමණක් නොව මුළු මහත් සමාජය පුරා විසිරී
යයි. එමඟින් දුසිරිත ඉවත් වී සුසිරිත වගා වර්ධනය වන්නේ නිතැතිනි. මේ
කරුණෙහිලා මවුපියන්, ගුරුවරුන් වැඩිහිටියන් ආදර්ශවත් වීම අත්‍යාවශ්‍ය
බව කිවමනා නොවේ.
දරුවා වැඩි කාලයක් හැසිරෙන නිවසේදීත්, දිනපතා පාසලේදීත් අතිරේක පන්ති
වලදීත් මෙන්ම දහම් පාසලේදීත් එය පෝෂණය වෙමින් ගලා යා යුතු වෙයි.
දහම් පාසල්වල ප්‍රගතිය මැනිය යුත්තේ සිසුන් විභාගයකින් ලබාගන්නා ලකුණු
මට්ටම හා ගායනා, චිත්‍ර, කථික තරග ආදියෙන් ලබන ප්‍රමුඛත්වය මතම නොවිය
යුතුය. මේ නිසාම දහම් පාසල් ගුරුවරු සිසුන් තරගකාරී වී ජය ගැනීමට
උනන්දු කරවති. මවුපියන්ට වුණද අවශ්‍ය තම දරුවා සෙස්සන් අභිබවා ඉහළම
තැනට නැංවීමය. තරගකාරිබව ගුණධර්ම වෙනුවට ඊර්ෂ්‍යාව, තමා ඉස්මතු වීම
අනුන් හෙළා දැකීම බොරුව අසමගිය වැනි ගර්හිත ගති ඇතිවේ. උදාසීන බව නසා
උනන්දුවෙන් ඉදිරියට යාමට තරගකාරී වීම අවශ්‍ය ය. එසේ විය යුත්තේ අනෙකාගේ
පරාජය දැකීමට නොවේ. එකිනෙකා අතර, සහයෝගිතාව පරෝපකාරය, සමගිය,
සමාජනුයෝගය, අවංකබව වැනි සාරධර්ම පුහුණු වීමටය.
ඉහත කී තරග අතරට රෝගීන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සත්කාර කිරීම,
අසරණයින්ට ආබාධිත අයට උපකාර කිරීම විහාරස්ථාන පවිත්‍ර කිරීම වැනි
ප්‍රායෝගික වැඩමුළු මඟින් දරුවන්ගේ සිත් තුළ පරාර්ථකාමී සංකල්පනා
ඇතිකිරීම මහඟු මෙහෙවරකි.
එමෙන්ම, දහම් පාසල් තුළදී දරුවන් අතරින් විනය ගරුකබව, කීකරුකම,
මවුපියන්ට සත්කාර කිරීම, පන්සිල් රැකීම යන උතුම් ගුණාංග වලින්
ඉදිරියෙන් සිටින ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සියුම් ලෙස තෝරා, ත්‍යාගයක්, සහතික
පත්‍රයක් පිදීමෙන් ඔවුන් දිරි ගැන්විය හැකිය. එවිට එම උතුම් ගුණධර්ම
ඇතිකර ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නිතැතිනි. නූතන මව්පියන් වැඩි අවධානයක්
දක්වනුයේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදී ඉහළපෙළේ රැකියාවක් කර සමාජයේ
ධනවත් බලවත් අයකු වනු දැකීමටය. එය වරදක් නොවේ. එය දියුණුවේ එක්
පැතිකඩක් පමණක් බව ඔව්හු නොදනිති. අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ දරුවා
පිරිපුන් පුද්ගලයකු කිරීමයි. ඔහුට උගත්කම මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාවද
අත්‍යවශ්‍ය ය. අධ්‍යාපනයෙන් දරුවාගේ් මොළය මෙන්ම හදවතත් පෝෂණය විය.
හොඳට වඩා ඉක්මණින් නරකට ඇදීයාම මිනිස් සිතේ ස්වභාවය යි. විද්‍යා
තාක්ෂණය නිසා අද සම්පත් ඇතැම් විට මිනිසාගේ ව්‍යසනය සඳහා හේතු වෙමින්
පවතී.
ඉමහත් ව්‍යසන වලට මඟ පාදන මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව භාවිතයෙන් වැලකී
සිටීමට මවුපියන් හා වැඩිහිටියන් සිහියේ තබා ගැනීමෙන් බාල පරපුරද එය
ආදර්ශයට ගනු ඇත.
නිරතුරුව වෙනස්වන ලෝකයේ විවිධ අභියෝගවලට මුහුණ දී ජය ගැනීමේ ආත්ම
ශක්තිය බුදුදහම තුළින් දරුවන්ට ඇතිකිරීමත්, චාම් සරල දිවි පැවැත්මට
දරුවන් හුරු පුදුරු කිරීමත් විසි එක් වැනි සියවසට අවශ්‍ය අංගයක් වනු
ඇතැයි සිතිය හැකිය. |