UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය

සදාචාර සද්ගුණයන් ප්‍රගුණ කිරීම සඳහා ගිහි සමාජයට උදව් උපකාර කිරීම සංඝ සමාජයේ ප්‍රධාන යුතුකම විය. බහුජන හිත සුව පිණිස ගම් දනව්වල හැසිරෙන්න යනුවෙන් බුදුන් වහන්සේ භික්‍ෂූන්ට අවවාද කළේ එබැවිනි. වැසි කාලය තුළ දී භික්‍ෂූන් වහන්සේ ආරාමවල වැඩවසමින් භාවනානුයෝගී විය යුතු ය. එය වස්කාලය යනුවෙන් හැඳින්වේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය වශයෙන් විදේශිකයෙකු දැක් වූ අදහසකි. මේ මෙහි සඳහන් ඇතැම් යෝජනා වල දුෂ්කරතා ඇතත් සමස්තය වශයෙන් ගත් කළ වර්තමානික භික්‍ෂු ශාසනික මෙහෙවරට ආලෝකයක් වනු ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර

භාවනා කිරීමට හොඳම ස්ථානය නම් සියලු දුක් කම්කටොලු වලින් ගහණ වූ සාමාන්‍ය සමාජය බවත් එම සමාජයට යහපතක් කිරීමේ බලවත් චේතනාවක් යෝගාවචරයා තුළ තිබිය යුතු බවත් බුදු සමය කියා සිටියි. භික්‍ෂූවගේ මූලාදර්ශය විය යුත්තේ, බැඳීම් වලින් සහ පීඩාවන්ගෙන් ගහණ වූ සමාජය මැද ශාන්ත භාවයෙන් යුතුව වාසය කරන්නෙමි යන්නය. ඔවුන්ගේ විශ්වාසය වූයේ හොඳ සිතිවිලි නරක සමාජ පරිසරයන් තුළ ප්‍රගුණ කිරීමෙන් වගා කිරීමෙන් එම නරක සමාජ ගතිකයන් (පැවැත්ම) යහපත් ගතියකින් බවට හැරවීමට එම සිතිවිලි වලට හැකියාවක් ඇති බවය. නිරන්තරයෙන්ම දුකට සහ පීඩනයට පත් වන පස්කම් සැපතට ගිජු වූ මිනිසුන් සිටින පරිසරයක පිහිටා තිබෙන විහාරයක ජීවත් වන්නා වූ භික්‍ෂූවගේ ජීවිතය එවැනි වටාපිටාවක් අතහැර හුදකලාව ජීවත් වන භික්‍ෂුවගේ ජීවිතයට වඩා වැදගත් ලෙස බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. තමනට භික්‍ෂුවක් වීමට නොහැකි වූ අයට ආදර්ශයක් වශයෙන් භික්‍ෂූව ක්‍රියා කළයුතු බව පිළිගෙන ඇත.

ස ්වභාව ධර්මය කෙරෙහි මෙන් තමන් සතු සුළු සන්තකයන් කෙරෙහි පවා සංඝ සමාජය දැක් වූ වගකීම සියලු කුදු මහත් දේ පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බවකින් යුක්ත වූයේ විය. ස්වභාව ධර්මය කෙරෙහි තමා තුළ ඇත්තා වූ වගකීම සෘජුය. එම නිසා ස්වභාව ධර්මය සමඟ ගනු දෙනු කිරීමෙහිදී සම්ප්‍රදාය හෝ සමාජ චාරිත්‍ර අනුව කටයුතු නොකළ යුතු ය. (එනම් සමාජ චාරිත්‍රයක් වන නිසා යම් යම් දේ අපතේ නොහැරිය යුතු ය) මක් නිසාද? ස්වභාව ධර්මය සමඟ ඇති කරගන්නා වූ ඉතාම කුඩා සම්බන්ධයක් පවා අතිශයින් පෞද්ගලික හෙවත් ඉතා කුලුපහ වන නිසා ය. ස්වභාව ධර්මය සමග සිදු වන්නා වූ සෑම හුවමාරුවක්ම පූජනීයත්වයෙන් යුක්ත වන්නේ ය. එම නිසා කිසිවක් අපතේ නොහැරිය යුතු ය. වරක් ආනන්ද හිමියන්ට අමතර සිවුරු කිහිපයක් ලැබුණු විට ඒවායින් උන්වහන්සේ කරන්නේ කුමක්දැයි උදේනි රජු ඇසූ විට උන්වහන්සේ පිළිතුරු දෙමින් කියා සිටියේ පරණ වූ සිවුරු ඇති අයට ඒවා දෙන බවයි.

එම පරණ සිවුරු වලට එවිට කරන්නේ කුමක්දැයි දිගින් දිගටම ඇසූ විට ඒවා ඇතිරිලි සඳහා යොදන බව දැන්වූහ. එම ඇතිරිලි පරණ වූ විට ඒවා මෙට්ටා කවර සඳහා යොදන බවත්, ඒවා පරණ වූ විට බුමුතුරුණු වශයෙන් ප්‍රයෝජනයට ගන්නා බවත් ඒවා පැරැණි වූ විට පාපිසි වශයෙන් යොදන බවත් ඒවා පරණ වූ විට දුහුවිලි පිස දැමීමට රෙදි කඩලෙස පාවිච්චි කරන බවත් දැක් වූහ. ඒවා පරණ වූ විට කරන දෑ දක්වමින් මෙසේ ආනන්ද හිමියෝ පැහැදිලි කළහ. එවිට ඒවා කුඩා කැබලි වලට කඩා මහරජතුමනි! මැටි සමඟ අනා බිත්ති වරිච්චි ගැසීම සඳහා යොදන්නෙමුයි. පැවසූහ. පුදුමයට පත් උදේනි රජතුමා මෙසේ සිතීය. ශාක්‍ය පුත්‍ර වූ මෙම ශ්‍රමණයින් සෑම දෙයක්ම මනා සංවිධානාත්මකව ප්‍රයෝජනයට ගණිති. කිසිවක් අපතේ නොහරින්නාහ.

ආගන්තු වත පිළිබඳව භික්‍ෂු පිළිවෙත අතිශයින් ප්‍රශස්තය. බොහෝ කලක් තිස්සේ පාවිච්චි නොකළ කාමරයකට ඇතුල් වීමට ප්‍රථමයෙන් දොරට කීපවරක් තට්ටු කර දොර නොහැර දොර ළඟ සුළු වේලාවක් පමාවිය යුතු ය. කාමරය අපිරිසුදුව තිබුණේ නම් ඇඳත්, පුටු එක මත තබා අවුල්ව තිබේ නම් මෙට්ට සහ ඇඳ ඇතිරිලි ඒ මේ අතට විසිරී දුහුවිල්ලෙන් වැසී පවතින්නේ නම් එවිට එක්තර ශිෂ්‍යයෙක් තම ගුරු කාමරය සහ ගෘහ භාණ්ඩ පිරිසුදු කළේ යම්සේද? ඒ ආකාරයට මනාව පිරිසුදු කළ යුතු ය. (චු’පාලිධ්ධ්ධ්) බෞද්ධ ආරාමයකට පැමිණි ආගන්තුක භික්‍ෂුවක් කිසි විටෙකත් අමුත්තකු ලෙස සැලකෙන්නේ නැත. එම ආගන්තුක භික්‍ෂුව සලකන ලද්දේ සංඝ සමාජයේම කෙනෙකු ලෙසටය.
 


ප්‍රශ්නය

පහත සඳහන් ඡේදය මහායානික ශාන්තිදේව ආචාර්ය පාදයන්ගේ බෝධි සත්වාදර්ශ ග්‍රන්ථයෙන් උපුටා ගත් අනුවාදයකි. බෝධි සත්වයා නිරන්තරයෙන්ම අන්‍යයන් සමග අනන්‍ය වීමට (සුවිශේෂ වීමට) උත්සාහ කරයි. මෙය ප්‍රඟුණ කිරීම සඳහා අනුගමනය කළ යුතු අභ්‍යාස ක්‍රමය ආචාර්ය ශාන්ති දේව මෙසේ විස්තර කරයි. වෙනත් කෙනෙකුගේ දුක මා විසින් දුරුකළ යුතු ය. මක් නිසාද ඒ තැනැත්තාගේ දුක මගේම දුකට සමානය. මා අනිත් සත්වයනට උදව් උපකාර කළ යුතු ය. මන්ද ඔවුන්ගේ සත්ව භාවය මාගේ සත්වභාවයට සම්පූර්ණයෙන්ම සමාන වන නිසා ය. මමද ඔවුන් වාගේම සත්වයෙකු වන නිසා ය. මහායානික මේ අදහස් හා ථෙරවාද වේළුද්වාර සූත්‍රයෙහි එන මම ජීවත්වීමට කැමැත්තෙමි. දුක පිළිකුල් කරමි. ආදී වශයෙන් සඳහන් වන බුද්ධ දේශනා හා සසඳන්න.

පිළිතුර

මහායානික ආචාර්ය වරයකු වන ශාන්තිදේවයන් බෝධි සත්ව පරමාදර්ශ පිළිබඳව දක්වා ඇති අදහස් ශ්‍රී ලාංකික දහම් පාසල් මාධ්‍ය කොටගෙන අනාගත පරපුර වෙත ගෙන යන්නේ නම් ‘මානව හිමිකම්’ වැනි අල්ප වූ සීමාවන් තුළ මිනිසා නොසිට කරණීය මෙත්ත සූත්‍ර දේශනාවලට අනුව ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙන් සියලු ප්‍රාණීන් වෙත මෙත් සිත පතුරවමු යන්න මිනිසා විසින් ප්‍රගුණ කරනු ඇත. ශාන්තිදේවයන්ගේ අදහස් තවදුරටත් පැහැදිලි කරන පරිදි, මාගේ අසල්වැසියාද මා මෙන්ම සැපයට කැමැත්තේ ය. එසේ නම් සැපය යන්න ‘මාගේ’ වූ පමණින් එය පමණක් වර්ධනය කිරීමට උත්සාහ කිරීමට ඇත්තා වූ සුවිශේෂ වූ හේතුව කුමක්ද? දුක සහ බිය යන දෙකම මට මෙන්ම මගේ අසල් වැසියාට පි‍්‍රය මනාප වන්නා වූ දෙයක් නොවේ. මෙහිදී බෝධි සත්ව මාර්ගය ප්‍රගුණ කළයුතුයැයි ශාන්තිදේව වැදගත් අවවාදයක් දෙයි. අන් අයගේ යහපත සඳහා යමක් කිරීමෙන් පසුව ඒ පිළිබඳව ආඩම්බරයක් හෝ උද්දාමයක් හෝ එම පිනෙන් පසුව ඇතිවන්නා වූ හොඳ පින්ඵල ගැන කිසිදු අපේක්‍ෂාවක් හෝ සිත තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතු ය. තිබිය යුත්තේ අන් අයගේ යහපත සඳහා ඇති වූ බලවත් පිපාසයක් පමණි.
 


ප්‍රශ්නය - බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් නිවන් සුවය පතා දුෂ්කර චර්යාවන්හි යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත් තෙරුන් සමඟ පවසා තිබේ. සසුනෙන් බැහැරව ගිය ලිච්ඡවි පුත්‍ර ‘සුනක්ඛත්ත’ මුල් කොට ගෙන ඇති වූ සාකච්ඡාවෙහි දී සීහනාද සූත්‍රය දේශනාකොට ඇති බව එහි නිදාන කථාවෙන් පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ සසර දිගු කලක් අත්හදා බැලීමෙන් පර්යේෂණයෙන් ප්‍රායෝගිකව ඤාණ දර්ශනය ලබාගත් බවත් කටුක අත්තකිලමථානුයෝගී ප්‍රතිපදාවලින් එය නොලැබිය හැකි නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් සැරියුත් තෙරුන්ට පැහැදිලි කළහ. මෙහිදී බෝධි සත්ත්වයන් වහන්සේ ප්‍රායෝගිකව සිදුකළ අත්තකිලමථානුයෝගය (දුෂ්කර ක්‍රියාව) පැහැදිලි කරන්න.

පිළිතුරු - සිදුහත් බෝසතාණන් වහන්සේ අත්තකිලමථානු යෝගීව ගතතළ දුෂ්කර ක්‍රියා සමය පිළිබඳව ම.නි. මහාසීහනාද සූත්‍රය ඇසුරෙන්ම සකස් කර ගැනීම වඩාත් යෝග්‍ය වන බව පෙනෙන නිසා සූත්‍රාගත තොරතුරු වඩාත් සමීපව විස්තර කළ හැකිය. බෝසතාණන් වහන්සේ සසර බොහෝ දිගු කාලයක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත් තෙරුන් වහන්සේ සමග පවසා තිබේ. මහාසීහනාද සූත්‍රයෙහි විස්තර වන අත්තකිලමථානුයෝගී දුෂ්කරචර්යා සමහරක් මහාසච්චක සූත්‍රාගත තොරතුරු වලට සමාන වන අතර සමහරක් සිද්ධාර්ථ බෝසත් අවදියට අයත් සාවුරුදු දුෂ්කර ක්‍රියා අයත් නොවන බව බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රකාශ කොට තිබේ. ‘සාරිපුත්ත මෙකල මසං ගෙඩි වලට වඩා එකල මසං ගෙඩි ලොකු යැයි ඔබට සිතෙන්නට පුළුවන. මේසා දීර්ඝ කාලයෙහි ක්‍ෂත්‍රිය රජබවට පත්ව මහා සාර බ්‍රාහ්මණ බවට පත්ව නොකළ යාඥාවක් නැත. නොකළ ගිනිදෙවි පිදීමක් නැත’ යන පාඨ වලින් ඒ බව පෙනී යයි. මහා සීහනාද සූත්‍ර දේශනා වලදී විස්තරවන පරිදි හණ වැහැරි දරමි. නන්හූයෙන් මුසුපිලී ගස්පොතු වලින් තැනූ පිළි දරමි. අඳුන්, දිවිසම්, මුවසම්, කුස වැහැරි නියඳ වැහැරී, කෙස් කම්බිලි, අස්ලොම් කම්බිලි, බකමූණු පිහාටු කම්බිලි දරමි.

කෙස් රැවුල් උදුරා දමම්. ආසන ප්‍රතික්ෂේප කොට හිටගෙන සිටිමි. කඹ ඇතිරියෙ හි සක්මන් කරමි. සයනය කරමි. උක්කුටුකයෙන් සිටිමි. දවසට තෙවරක් දියෙහි බැස සිටිමි. මෙසේ ශරීරය තැවීමෙහි නානාප්‍රකාර අනුයෝගයන් හි යෙදී වාසය කරමි. සාරිපුත්ත මගේ ‘පරම තපස්වී භාවය මෙබඳුයි’ මගේ රූක්ෂ, ප්‍රතිපදාව මෙසේය. ශරීරයේ අවුරුදු ගණන් ගතවූ දූවිලි කුණු තට්ටු බැඳී ඇත. අවුරුදු ගණන් පැරණි පපුරා පතුරු හැදුණු තිඹිරිකණුවක් වැනිය. එහෙත් මේ දූවිලි තට්ටු පිසමින් ඉවත් කළ යුතුය කියාවත් මට නොසිතෙයි. සාරිපුත්ත මගේ රූක්ෂ ප්‍රතිපදාව මෙබඳුය. මාගේ පුවිවේකය මෙසේය. මම යම්කිසි ආරණ්‍යයකට වැදී සිටිමි. කවර වෙලාවක නමුත් ගොපල්ලකු, පශු පාලකයකු තණ කපන්නකු, දර කපන්නකු වන කාර්මිකයකු මුණ ගැසුනහොත් මම ඒ වනයෙන් වෙනත් වනයකට යමි. තමාට ඔවුන් නොහමු වීමටත් ඔවුන්ට තමා නො හමුවීමටත් වනයෙන් වනයට ළැහැබෙන් ළැහැබට කන්දෙන් කන්දට පල්ලමෙන් පල්ලමට පැන යමි. මිනිසුන් දැක පලා යන වන මෘගයෙකු මෙනි. හරකුන් , ගොපල්ලන් පිටමං වී ගිය පසු දෙදණ දෙවැලමිට බිම ඔබා ගාලට ගොස් දෙනුන් ළඟට ගොස් කිරිබොන වසුපැටියන්ගේ ගොම කමි. ස්වකීය මළමුත්‍රා හීනනොවන තෙක් මළමුත්‍රා කමි. සාරිපුත්ත ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්යභාවය ඇතිකරන ඤාණ දර්ශනයක් ලැබූ බව මම නොදනිමි. කුමක් නිසාද? අද මා ලබා ඇති මාර්ග ඥානය වැනි පිළිපදිනවුන්ගේ දුක් නැසීමට හේතුවන මාර්ග ප්‍රඥාවක් නොලත් හෙයිනි. බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන අසිරිමත් ලක්ෂණය නම් ඒසා මහත් දුක්වේදනා වලිනුත් උන්වහන්සේගේ සිතේ පසු බැසීමක් හෝ සත්‍යගවේෂණයෙන් බැහැරවීමේ හෝ අදහසක් ඇති නොවීමය.

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]