දොළොස් මහේ පිරිත
නව සමාජ සංකල්පයක් -පල්ලේගම හේමරතන නා හිමි
රත්නපුර සිවංකර හිමි
රත්නමාලි මහ සෑ පියගැටපෙළ පාමුල පැවැති මල්වෙඩි දර්ශනය |
අලුත් නමකින් හැඳින්වෙන නැවුම් ප්‍රබෝධමත් සිත්කලු සිතිවිලි ජනිත කරන
බුදුරැස් දහරක් ස්වර්ණමාලි මහ සෑරදුන් වෙතින් මතුවී තුන් සිංහලය
ආලෝකවත් කරමින් ගලා යනු පෙනේ. මේ පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමු වී
තිබෙන මේ මොහොතේ මම ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති ගෞරවණීය පල්ලේගම
හේමරතන නාහිමියන් වෙත ගියෙමි.
ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස පැවැත්වෙන දොළොස් මහේ පිරිත්
පින්කම පිළිබඳව උන්වහන්සේ මෙසේ අප දැනුවත් කළහ. “වරු පිරිත්,
සතිපිරිත්, ආදී වශයෙන් මෙතෙක් අප පිළිගත් සම්ප්‍රදායික පිරිත් දේශනා
ක්‍රමයක් මේ රටේ පැවතුණා. මේ තත්ත්වය ඉක්මවා තවත් ඉදිරියට පියමං
කිරීමක් දොළොස් මහේ පිරිතෙන් සිදුවෙනවා. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික
බොදු සැදැහැවන්තකු වන ඇස්.ආර්. වීරසිංහ මහතාගේ සංකල්පයක් මතයි නොකඩවා
තුන්සිය හැට පස් දිනක් පුරා දේශනා කරන පිරිත් මංගල්‍යයක් පවත්වන්නේ.
දුරුතු පුන් පොහොය දා ඇරැඹි මේ පින්කම දින 365 ක් නොකඩවා පැවැත්වෙනවා.
කරඬුව වැඩම කරගෙන ඒම |
මුලින්ම මොනරාගල බුදුපිළිමය නෙළන අවස්ථාවේ ආරම්භ වුණ මේ පිරිත්
මංගල්‍යය දෙවනුව වාරියපොළ සුමංගල පිරිවෙනේ නව සක්මන් බුදුපිළිම
පිංකමේදීත් භාවිතා කෙරුනා. රජරටදී මෙවැනි මහා පිරිත් මංගල්‍යයක්
පැවැත්වීමේ කැමැත්තක් වීරසිංහ මහතා තුළ හට ගැනීමෙන් පසු අටමස්ථානාධිපති
පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක්
පැවැත්වුණා.
‘ප්‍රසාදයට පත් නාහිමියන් එය අනුමත කරමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම
අපට පැවරුවා.
වීරසිංහ මහතා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපගේ අනන්‍යතා ලක්‍ෂණ
සහිතව මහා පිරිත් මංගල්‍ය පැවැත්වීමට අප තීරණය කළා. අපේකම අපේ
සංස්කෘතික බැඳීම් දොළොස් මහේ පිරිත තුළින් වර්නවත් වන වා. මෙතනදී
දොළොස්මහේ පහන ද නිතැතින්ම සිහියට නැඟෙනවා.
“අපේ නායක ස්වාමින් වහන්සේ සාහිත්‍ය ලෝකයටත් දහම් ලෝකය ලබාදෙන
පඬිරුවනක් නිසා මේ අලුත් හඳුන්වාදීමට ඔබ වහන්සේ යමක් එකතු කරන්න ඇති?
ඇතැම්විට වෙන්න පුළුවන්. වීරසිංහ මහතාගේ සංකල්පය මුල් කරගෙන, එය පෝෂණය
කර, රටට දැනෙන ආකාරයේ මුළු රටම වැළඳ ගන්නා පින්කමක් කරන්නයි අපි උත්සාහ
දරන්නේ, ඒ සඳහා අපට උරුම අපේ කම, අපේ සවිය , ආවේණික සංස්කෘතික ලක්‍ෂණ
දොළොස් මහේ පින්කමට ඇතුළු කරන්න අපි උත්සාහ කළා.
පිරිත් සජ්ඣායනාව ආරම්භ කිරීම |
අනුරාධපුරය කියන්නේ අපගේ අධ්‍යාත්මික නගරයයි. ඒ අධ්‍යාත්මික නගරයේ
අධ්‍යාත්මික ශක්තිය නැවත අවදි කිරීමට දරන උත්සාහයක් හැටියට මේ පින්කම
හඳුන්වා දිය හැකියි.
රුවන්මැලි සෑ මළුවේ වැලිමළුවේ ඉදි කළ පිරිත් මණ්ඩපයේ සිට එක් පිරිත්
නූලක් ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්ගේ සිරුරේ දවටා එහි ස්පර්ශය ලබා
ගන්නවා.
මෙම ස්පර්ශය ළහිරු කිරණක් මෙන්, සිසිල් මඳ පවනක් මෙන්, පොද වැස්සක්
මෙන්, වියළී ගිය හෙළ බිමක් , දැවී ගිය මිනිස් සන්තානත් කවර ආකාරයෙන්
සුවපත් කරනු ඇත්ද?
අලංකාර පිරිත් මණ්ඩපය |
අපි විශ්වාස කරනවා ශ්‍රී මා බෝ සමිඳුන් කියන්නේ ජාතික වස්තුවක් පමණක්
නොවෙයි මුළු මහත් ලෝකවාසී බෞද්ධයාගේ පූජණීය වස්තුවක්. ශ්‍රීමාබෝ
සමිඳුන් සෙවණෙන් ලැබෙන සිසිලස වචනයෙන් විස්තර කළ නොහැකියි. ශ්‍රී මා බෝ
සමිඳුන් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක්, කලක් ශ්‍රී ලංකා රාජ්‍යය
තන්ත්‍රයේ සංකේතය ලෙස භාවිතා වූණේද ශ්‍රීමාබෝ සමිදුයි. රාජ්‍ය සංකේතයක්
ස්පර්ශ කරනවා කියන්නෙ මුළු රටම වැළඳ ගන්නවා යන්නයි.
ඒ පිරිත් හුයේ අනිත් කෙළවර පිරිත් මණ්ඩපයේ සිට පැන් කළය ඔස්සේ අසදෘෂ්‍ය
මහා සෑරදුන් වහන්සේ ස්පර්ශ වන ආකාරයට සකස් කර තිබෙනවා. සෑ රදුන් වෙතින්
විහිදෙන ජීව ශක්තිය අපමණයි. පිරිත් මණ්ඩපය තුල සධාතුක කරඬුව තැන්පත් කර
තිබෙනවා. ධාතු කරඬුව රුවන්මැලි සෑරදුන් වහන්සේ සංකේතවත් කරනවා.
මෙවැනි පිරිත් දේශනාවක් බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි සිදුවන්නේ. ඈත
අතීතයේ කෙසේ වෙතත් අප දන්නා මෑත අතීතයේ මෙබඳු පින්කමක් කෙරුණු බවක් අප
අසා නැහැ. ඒ ඈත අතීතය දොළොස් මහේ පහනයි එකතු කළ විට මේ පිරිත් පින්කම
මහගු පින්කමක් වෙනවා “
බොහෝ දෙනෙක් නොයෙක් ප්‍රදේශ වලදී මගෙන් අසන ලද ප්‍රශ්නයක් මේ
අවස්ථාවේදී අපේ නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමට අදහස් කළා.
නොයෙකුත් ස්ථානවල විවිධාකාරයෙන් පිරිත් දේශනා නිරතුරුවම පැවැත්වෙනවා.
මේ පිරිත් දේශනා ඇසීමෙන් ගුණ ලද පුද්ගලයන් සිටිනවාද?
රැස්ව සිටි බැතිමතුන්ගෙන් කොටසක් |
“මේ කාරණය විස්තර කරන්න සිදුවන්නේ පුද්ගලානු බද්ධවයි. පිරිත් ධර්මය
ශ්‍රවණය කිරීමෙන් අපේක්‍ෂක ප්‍රතිඵල ලබාගත් අය අදත් ඉන්නවා. ආනන්ද
හාමුදුරුවන් වගේ කාරුණික සිත් උපදවා ගත හැකි අය පරිත්‍රාණ දේශනා සඳහා
තෝරා ගන්න හැම විටම පුළුවන් වෙන්නෙ නැහැ. හැබැයි පිරිත් ශ්‍රවණය කරන අය
ශීල ගුණයක පිහිටා තිදොර සංවර කරගෙන තෙරුවන් කෙරෙහි ගෞරවය පෙරදැරි කරගෙන
යෝනිසෝ මනසිකාරයෙන් පිරිත් ශ්‍රවණය කරන්න ඕනෑ. එහෙම වුණොත් තමයි පිහිට
ලැබෙන්නේ. පිරිතේ යම් කිරණ ශක්තියක් පවතිනවා. විශේෂයෙන්ම ජලය හා නූල මේ
කිරණ ශක්තිය උරාගන්න පුළුවන් දේවල් හැටියටයි සලකන්නේ. ඒ නිසයි
පරිත්‍රාණ දේශනාවලදී ජලය හා නූල පාවිච්චි කරන්නේ. මම මුලින් සඳහන් කළ
ගුණාංග පවතින ස්ථානවල පිරිතෙන් අත්වන ගුණය අනන්තයි අප්‍රමාණයි.
මේ බැරෑරුම් කාර්යය සඳහා දේශකයාණන් වහන්සේලාගේ දායකත්වය ලබා ගන්නේ කවර
ආකාරයෙන්ද?
මේ පිරිත් මංගල්‍යයේ වැදගත් තැන එතැනයි. එය ඉතාමත් බැරෑරුම් කාර්යයක්.
දෙදහස් පන්සීයටත් තුන් දහසටත් අතර භික්‍ෂූන් වහන්සේලා පිරිසකගේ සක්‍රිය
දායකත්වය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එවිට මුළු රටම වැළඳ ගන්නා
පින්කමක් බවට පත්වේවි.
“නිකාය භේදවලින් තොරව පළාත් භේද වලින් තොරව පිරිත් දේශනයේ දක්‍ෂතා ඇති,
සර්ධාසම්පන්න ස්ථවිරයන් වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීමට අපි උත්සාහ
කරනවා. මේ සඳහා ඇල්මක් ඇති දක්‍ෂතා ඇති භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්
වලටත් අපි ඉඩ දෙනවා. “
“ප්‍රදේශවල නායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් වලටත් ආයතන හා විහාරස්ථානවල
දායකත්වය ලබා ගැනීමටත් අපි උත්සාහ කරනවා.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන ඇමැති බර්ටි
ප්‍රේමලාල් දිසානායක, ඇමැතිවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, පණ්ඩු
බණ්ඩාරනායක, පළාත් කෘෂිකර්ම ඇමැති කේ.එච්. නන්දසේන යන මහත්වරුන් සහභාගි
වූ අයුරු. |
එදා රතන සූත්‍ර දේශනාවෙන් තුන්බිය දුරුවී විශාලා මහනුවර පාරිශුද්ධ
වුනාවගේ මේ දොළොස් මහේ පිරිතේ මංගල්‍යයෙන් පසු අප රටට කවර ආකාරයේ සෙතක්
ශාන්තියක් උදාවනු ඇතැයි සිතිය හැකිද?
“මේ පිරිතේ අරමුණු කිහිපයක් තියෙනවා. හීනවෙමින් පවතින පුද්ගල
අධ්‍යාත්මික ශක්තිය පෝෂණය කිරීමේ දායකත්වය ලබා ගැනීමත් සිවුපසය හිඟ
භික්‍ෂූන් වහන්සේලාට යම් ප්‍රමාණයක උදව් උපකාර කිරීම පිණිස ශක්ති
සම්පන්න අරමුදලක් ගොඩ නඟා ගැනීමත් විශේෂයෙන් සඳහන් කළ හැකියි.
“රටට ඇතිවෙලා තියෙන විපත්තියෙන් මිඳිලා සාමකාමී, සමෘද්ධිමත් රටක් ඇති
කිරීමට රතන සූත්‍රයේ හා සද්ධර්මයේ ශක්තිය ලබා ගැනීම පොදු අරමුණයි “
මෙතනදී දේශපාලන බලපෑම් ආදිය මතුවිය නොහැකිද?
මුලින්ම මෙය දකින විට කෙනෙකුට එබඳු හැඟීමක් ඇති වුණත් මම පුදුම වෙන්නෙ
නැහැ. මේ කාර්යය සඳහා මූලිකව ක්‍රියාකරන කිහිප දෙනෙකු ඉන්නවා. ඔවුන් මේ
සඳහා සම්බන්ධ වන්නේ ක්‍රම කිහිපයකින්.
මම මුලින් කී සටන් බිමේ සිටින ආරක්‍ෂක හමුදාවන්ට ආශිර්වාද කිරීම සඳහා
සේනාධිනායක ජනාධිපතිතුමා දායක වෙනවා.
වීරසිංහ මහතා හැරුන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු
මන්ත්‍රී ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ඇස්.ඇම්. චන්ද්‍රසේන මහතා විශේෂ
දායකත්වයක් ලබා දෙනවා. ඔහු අපෙත් දායකයෙක්. ශ්‍රී ලංකාව තුළ ජාතිය ගොඩ
නැගීමට නම් අවංක බවක් අවශ්‍යයි. මේ පිරිත ජාතිය ගොඩ නැගීමේ අවස්ථාවක්.
ඒ නිසයි අප එතුමාගේ දායකත්වය ලබා ගන්නේ.
ඒ වගේම දාන මාන කටයුතු වලදී ගම්වල දුප්පත් දායක දායිකාවන්ගේ ශ්‍රමය හා
ශක්තිය අප ලබා ගන්නවා. ඒ දෙය අප ලබා ගන්නේ මෙවැනි පින්කම් වලට දායකත්වය
ලබාදීමෙන් ඔවුන් තුළ අභිමානයක් ඇති කරවන්නයි . තමන් මේ පින්කමේ
දායකයින්ය කියල විශාල අභිමානයක් ඔවුන්ට දැනෙනවා.
රණවිරුවන්ට හා මිය ගිය අයට පින්පැමිණ වීම සඳහා ඒ පවුල්වල අයගේ
දායකත්වයද ලබා ගන්නවා. තෛ‍්‍රනිකායික සංඝයා වහන්සේලා ගේ සහභාගිත්වය ලබා
ගැනීමයි අපේ අරමුණ. පුළුල් පදනමකින් මේ පින්කම පවත්වාගෙන යන්න අපි
උත්සාහ කරනවා. මේ පින්කම මගේ පෞද්ගලික දෙයක් නොවෙයි. මැරෙන කොට සිහිපත්
වන පින්කමක් හැටියට යි මං මෙය කරන්නෙ.
මේ පින්කමට මූලිකත්වය දැරීමෙන් ඔබ වහන්සේ තුළ පිළිසිඳ ගෙන ඇති පැතුම්
කෙබඳු ද?
ඇත්ත වශයෙන්ම අප කාගේත් අවසාන අරමුණ සසර දුකින් මිඳීමයි. ඒ අදහස මුල්
කරගෙන මේ රටට සෙතක් ශාන්තියක් සෞභාග්‍යයක් යහපතක්ම උදාවේවායි
ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාත්මික පෝෂණය තුළින් මිනිස්කමට අලුත් වටිනාකමක්
ලබාදෙන දැහැමි සමාජයක් බිහිවෙනවා දැකීමයි මගේ අරමුණ” “ එදා බරණැස
මිගදායේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා වෙද්දී මහත් අසිරිමත් දෑ
සිදුවිය. එවන් අසිරිමත් දෑ දොළොස් මහේ පිරිත් දේශනය පැවැත්වෙද්දී බොහෝ
අසිරිමත් දේ සිදුවිය හැකියි.
ඡායාරූප - වෝල්ටර් දයාරත්න
අනුරාධපුර දිසා විශේෂ
|