UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත පිළිබඳ සිතිය යුත්තේ ඇයි?

සිත අපිරිසුදු කර ගැනීමෙන් මිනිසකුට වන හානි අධික ය. අපිරිසුදු සිත මිනිසා තුළ අකුසල සිතිවිලි උපදවන අතර, දුකෙන් දොම්නසින් කාලය ගෙවීමට ද පසුව අකුසල විපාක විඳීමට ද සලස්වයි. ලෝභය තාවකාලික සතුටක් හිමි කර දෙන අතර, ද්වේෂය කෙනකුට එම මොහොතේ දී ද වේදනාව උරුම කරදෙයි.

තථාගත දේශනාවට අනුව සෑම සත්ත්වයෙකුටම කය හා සිත යනුවෙන් දෙකක් ඇත. මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාව සෑදී ඇත්තේ මේ අංග දෙකෙන් මිස එකකින් නොවේ. මෙම අංග දෙකෙන් නො සෑදුණු සත්ත්වයෝ ද ලොව ඇත්තාහ. එහෙත් ඔවුන් සිටිනුයේ අරූප ලෝකයේ මිස මනුෂ්‍ය ලෝකයෙහි නොවේ. අරූප ලෝකයෙහි වෙසෙන සත්ත්වයන්ට කයක් නැත. ඔවුන්ට ඇත්තේ සිතක් පමණකි. ඔවුහු අසංඥතලයෙහි උපන්නාහු ලෙස ධර්මයෙහි සඳහන් වේ. සත්ත්වයා හා ලෝකය කිසියම් දෙවියකු විසින් නිර්මාණය කරන ලදැයි සිතන ඊශ්වර නිර්මණවාදී ආගම් සත්ත්වයාට කිසිදා නො නැසෙන ආත්මයක් ඇති බව කියන නමුත් බුදුදහම එය ඉඳුරා බැහැර කරයි. බුදුදහමට අනුව සත්ත්වයාගේ සියලු හැසිරීම් මෙහෙයනු ලබන්නේ සිත මගිනි. එහෙයින් ජීවත්වන මිනිසුන් විසින් තම කය මෙන්ම සිත පිළිබඳව ද සැලකිල්ලක් දැක්විය යුතුය.

අප දන්නා පරිදි සිතක් නැති කයක් වේ නම් එය මළ සිරුරකි. එයට අඟලක්වත් සෙළවිය නොහැකිය. සිත නැති නිසා එයට කිසිදු ක්‍රියාකාරකමක් කිරීමේ ශක්තියක් නැත. මෙයින් සිතෙහි ප්‍රබල බව ඔබට සිතාගත හැකි ය. සිත යනු එක මොහොතක සිදුවන සිතිවිලි ධාරාවක ක්‍රියාවලියක් බව බුදුදහමෙහි පෙන්වා දී ඇත. සිත සහ සිතිවිලි කයට වඩා බලවත් හෙයින් සිත පිළිබඳව බුදු දහමෙහි කෙරෙන සාකච්ඡාව අතිශය පුළුල් ය. නිදසුනක් ලෙස සමස්ත අභිධර්මයෙන් හතරෙන් තුනක් ම සිත පිළිබඳ කෙරෙන පුළුල් විවරණයක් ලෙස හැඳීන්වීම නිවැරැදි ය. එහෙත් විශ්මයට කරුණ නම් බෞද්ධ ප්‍රජාව තුළ කයට වඩා සිත ප්‍රබල ය යන අදහස මුල් බැස ගෙන නො තිබීමයි. එය දාර්ශනික ඉගැන්වීමක් මෙන්ම අධ්‍යයනය කළ යුත්තක් වශයෙන් පසෙක තබා ඇත.

මිනිස්සු බොහෝ විට දවසේ වැඩි කාලයක් තම ශරීරය රැක බලා ගැනීම හා සැරසීම සඳහා ගත කරති. තම කාලය හා ශක්තිය වැය කරමින් ව්‍යායාම කිරීම, දිවීම, ඇවිදීම ආදි අනේක ප්‍රකාර දේ කරමින් තම ශරීරික ස්වස්ථතාව පවත්වා ගනිති. අසනීපයක් වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් හා ප්‍රතිකාර ලබා ගනිමින් ඒ අනුව ඛ්2යා කරති. මෙහි දී තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම් මනසේ බලපෑම නිසා ද ඇති විය හැකි රෝග සඳහා එනම්, දියවැඩියාව හෘද රෝග වැනි ඇතැම් රෝගවලට සමහර රෝගීන් ජීවිත කාලය පුරාම ආහාර පාලනය කරමින් වෛද්‍ය ප්‍රතිකාර කරමින් කල් ගෙවනා බවයි. සමස්තයක් හැටියට සිත මුල් වී සෑදෙන බරපතල ලෙඩ රෝග බහුල බවත්, ඒවා අපිරිසුදු මනස නිසා හට ගැනෙන හා උත්සන්න වන බවත් වෛද්‍ය විද්‍යාවෙන් හඳුනා ගෙන ඇති බවද අප විසින් තේරුම් ගත යුතුය. එහෙත් සිත කයට වඩා ප්‍රබල බවත්, සියලු අරමුණු හා බලාපොරොත්තු වඩාත් ඵලදායක ලෙස ඉටු කර ගැනීමට නම් අප කයට වඩා සිත කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතුය යන්නත් පිළිබඳ අපේ සමාජයේ බොහෝ අය තුළ තවම ඇත්තේ අඩු අවධානයක් බව කිව යුතු ය.

සැබැවින්ම සමාජයේ ස්ත්‍රී පුරුෂයන් තම ශරීරය දෙස වැඩි අවධානයක් යොමු කළත් එය වයස හා කාලයත් සමඟ නො නැවැත්විය හැකි දිරීමකට හසු වෙයි. එය සෑම මොහොතකම සිදුවේ. මෙම දිරීම පිළියම් නො කළ හැකි මට්ටමට සිදුවීම මරණය ලෙස අපි දකිමු. එවිට සිත කය අතහැර වෙනත් කයක් සොයා ගෙන යයි. මෙය ඉබාගාතේ සිදු වන්නක් නොවේ. මරණාසන්න චිත්තවීථියේ දී නැතහොත් මරණාසන්න සිතිවිලි ධාරාවේ දී බලපාන කර්ම, කර්ම නිමිතිවල බලපෑම මත ලැබෙන ස්ථානයක එකී සිත නව කයක් සමග එකතුව යළි ක්‍රියාත්මක වේ. මරණයේ දී කය කුණු වී විනාශයට යන නමුත් සිත එයින් නො නවතී. එය කර්මානුරූපී මවු කුසක් සොයමින්, බිහිවෙමින් මුහුකුරා යමින්, රහත් වන තුරු එලෙස නො නවතින ගමනක් යෙදේ.

නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරය යනු ශෛල රාශියක එකතුවකි. ශෛල වූ කලී මිනිස් සිරුරේ අවසාන සංඝටක නොවේ. බුදුරදුන්ට අනුව අපගේ භෞතික ශරීරය රූපනම් වන විශේෂ නමකින් හඳුන්වනු ලබන මූල ද්‍රව්‍ය රාශියක එකතුවකි. මෙම මූල ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් නො පවතී. ඒවා පවතින්නේ රාශියක් එකතුව නිසා රූපකලාප යන වචනයෙන් ඒවා හඳුන්වා ඇත. ඉතා කුඩාම එකී මූලද්‍රව්‍ය එකතුව හෝ රූප කලාප සුද්ධට්ඨක යන නමින් අභිධර්මයේ විස්තර කොට ඇත. ශරීරය සෑදී ඇති මූලද්‍රව්‍ය හතර ලෙස අප දන්නා පඨවි ආපෝ තේජෝ වායෝ යන හතරත් එහි විද්‍යමාන වන වර්ණ, ගන්ධ, රස, ඕජස් නැතහොත් වර්ණය, ගන්ධය, රසය, හා පෝෂණ පදාර්ථ හතරත් යන අට නිසා සුද්ධට්ඨක නම් රූප කලාපය සෑදී ඇත. මේවා එකිකෙන වෙන් කළ නොහැකි ය. පඨවි හෙවත් තද හෝ සිනිදු ගතිය, අපෝ හෙවත් දියාරු නැතහොත් වැගිරෙන ගතිය, තේජෝ ‍ෙහවත් උණුසුම් ගතිය හා වායෝ හෙවත් වායුව යන ප්‍රධාන මූලද්‍රව්‍ය හතර යථෝක්ත අනෙක් රූප හතර සමග ඒකාබද්ධ වී ඇත. තවද රූපය සෑදී ඇත්තේ කම්ම, චිත්ත, උතු, ආහාර යන හතරෙනි. එහි කම්ම යනු අතීත චේතනා අරමුණු බලාපොරොත්තු ආදියයි. චිත්ත යනු වර්තමාන සිතිවිලි ය. උතු යනු දේශගුණය උණුසුම ආදියයි. ආහාර යනු පෝෂණ පදාර්ථ ය. මෙයින් පැහැදිලි වන පරිදි කම්ම චිත්ත දෙකම සිත හා බැඳී ඇත. ආහාරය පමණක් කය සමඟ බැඳේ. එයද තවදුරටත් විමසා බැලුවොත් ආහාර ද කබලිංකාරාහාර , ඵස්සහාර, මනෝසංචේතනාහාර හා විඤ්ඤාණාභාර යනුවෙන් සිවු වැදෑරුම් ය. එයිනුදු කබලිංකාරාහාරය හැර අනෙක් ආහාර තුනම මනස හරහා ලබා ගත යුතුය. මෙයින් බුදු දහම අවධාරණය කරන්නේ කුමක්ද? ශරීරය ලස්සනට තබා ගැනීමට අවශ්‍ය කෙනෙකු අනිවාර්යයෙන්ම මනස ද පිරිසුදුව ලස්සනට තබා ගත යුතු බවය.

ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ගේ සිත් කෙලෙස් (කිලෙස) නම් වන අකුසල හෝ ලාමක සිතිවිලිවලින් දූෂිතව පවතී. එයට බලපානුයේ අකුසල චෛතසික නම් වන මානසික කරුණු කිහිපයකි. අකුසල චෛතසික ලෝභ දෝස මෝහ යන මුල් තුන නිසා හටගන්නා බව බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. ලෝහ යනු ආශාව නැතහොත් පහත් ඇලීමයි. දෝස යනු තරහයි. මෝහ යනු සත්‍යය පිළිබඳ නො දැනුමයි. මෙම ගති ස්වභාව උසුලන කාමාචවර ලෝකයේ සත්වයෝ සතුට සොයනුයේ ඉඳුරන් පහ මගිනි. මිනිසුන්, දෙවිවරුන් හා අපාගත වූවන් මෙයට අයත්ය. මොවුන් පසිඳුරන් මගින් සොයන සතුට විධිමත්, ස්ථාවර හා දීර්ඝකාලීන වූවක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාරති. මෙය සැපක් ලෙස සත්වයා මුලා කරමින් දුක් වේදනාව සන්තාපය ඇති කරවන බවද පෙන්වා දෙති එපමණක් නොව සත්ත්වයෝ විශේෂයෙන් ලෝභය මුල්කොට අපමණ අකුසල සිතිවිලි ද උපදවා ගනිති. මේ නිසා සතුට සොයන සතුටින් විසීම පිළිබඳ අවදියෙන් සිටින අයට තම ඉන්ද්‍රිය පාලනය කර ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙති. එය ඉන්ද්‍රිය සංවර ශීලය යන නමින් ද විස්තර කොට ඇත.

සිත අපිරිසුදු කර ගැනීමෙන් මිනිසකුට වන හානි අධික ය. අපිරිසුදු සිත මිනිසා තුළ අකුසල සිතිවිලි උපදවන අතර, දුකෙන් දොම්නසින් කාලය ගෙවීමට ද පසුව අකුසල විපාක විඳීමට ද සලස්වයි. ලෝභය තාවකාලික සතුටක් හිමි කර දෙන අතර, ද්වේෂය කෙනකුට එම මොහොතේ දී ද වේදනාව උරුම කර දෙයි. මේ නිසා බොහෝවිට මිනිසා ලෝභය, ආශාව, ඇලීම, තණ්හාව යන දේ සමග කාලය ගෙවන අතර ද්වේෂය ද අකුසල චෛතසිකයක් හෝ පහත් ධර්මතාවයක් හෝ නිෂ්ඵල දෙයක් ලෙස නො සිතති.

අප විසින් සිත මුල් කොට කරනු ලබන කර්මවලට වටිනාකමක් ලැබේ. බුදු දහම අනුව කර්ම යනු සචේතනික ක්‍රියා ය. එබැවින් කරනු ලබන සෑම දෙයක්ම සිතා මතා සිහි කලප්නාවෙන් කිරීමට හුරුවීම වැදගත් ය. දීර්ඝකාලීන හා අර්ථවත් මානසික සුවයක් අපේක්ෂා කරන්නේ නම් යහපත් දේ කිරීමට පෙළඹීය යුතු ය. කුමක් නිසා ද යත් කර්මවල විපාක මෙලොවදීම හෝ පරලොව දී හෝ ඉඩ ලද විටක පල දෙන හෙයිනි. අකුසල කර්මවලට වඩා කුසල කර්ම බලවත් බව ද තේරුම් ගත හැකි යන්නේ, කුසල කර්ම හේතුවෙන් අහෝසි කර්ම ගණයට වැටෙන අකුසල කර්ම විශේෂයක්ද ඇති බැවිනි. වැරැදි ක්‍රියාවලට නැත්නම් අකුසල්වලට මූලික හේතුව මෝහය නැතහොත් සත්‍යය පිළිබඳ වැටහීමක් නැතිකමයි. මෙම නො දැනුවත්කම හෙවත් මෝහය නැති කිරීම, අවබෝධය දියුණු කිරීම කළ හැකි පියවර තුනක් පෙන්වා දී ඇත. එයින් පළමුවැන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයට ඇතුළත් වී ඇති ධර්මය හා අටුවාවලින් ඒවා විවරණය කර ඇති ආකාරය, අසා හෝ කියවීමෙන් තේරුම් ගැනීමයි. එය ‘සුතමය පඤ්ඤා’ නමින් ධර්මයේ විස්තර වේ. දෙවැන්න තමා කී හෝ ඇසූ දේ පිළිබඳව චින්තන ශක්තිය මෙහෙයවීමයි. එය චින්තාමය පඤ්ඤා නමින් දැක්වේ. තෙවැනි ක්‍රමය විදර්ශනා භාවනාවෙන් මනස දියුණු කිරීමයි. එය භාවනාමය පඤ්ඤා නමින් විස්තර වේ.

අප ජීවත්වන සමාජයෙහි විවිධ තරාතිරමේ පුද්ගලයෝ ජීවත් වෙති. ඔවුහු විවිධ වෘත්තිකයෝ ය. ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන් , උපදේශකයන් ආදී වශයෙන් වෘත්තීය වශයෙන් විවිධ වන මොවුන් තුළ ඇත්තේ දැනුම් සම්භාරයකි. මෙම දැනුම් සම්භාරය අප විසින් කිසිසේත් අවතක්සේරු නො කළ යුතුය. එහෙත් තමා අවට ලෝකයේ හැසිරීම පිළිබඳ පර්යේෂණ කළ ද තම අධ්‍යාත්මය පිළිබඳ බොහෝවිට මොවුහු අවිඥානකයෝය. මේ නිසා තම සිත විනිවිද දැකීමට සුදුසු සහ පහසුම මාර්ගය වන්නේ බුදුවදන පිළිබඳ හැකි තරම් හැදෑරීමයි. යමෙකුට අභිධර්මයෙහි ඉගැන්වෙන සිත හා කය පිළිබඳ අතිසූක්‍ෂ්ම විශ්ලේෂණාත්මක ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කළ හැකි නම්, ඔහු තම සිත සීඝ්‍රයෙන් දියුණු කර ගනු නො අනුමාන ය.

අභිධර්මයට අනුව සිතීමේ දී අකුසලය කරා සිත මෙහෙයවන චෛතසික කිහිපයක් ඇත. මුලින් සඳහන් කල ලෝභ, දෝස, මෝහ තුන එයින් මුල්ම චෛතසික තුනයි. සිතෙහි විසිරුණු බව (උද්ධච්චය) කර්ම විපාක විශ්වාස නො කරන බව (මිච්ඡාදිට්ඨි) මානය (මාන) ඊර්ෂ්‍යාව (ඉස්සා) මසුරුකම (මච්ඡරිය) වරදක් කිරීම හෝ යහපත් දෙයක් නො කිරීම ගැන පසුතැවීම (කුක්කුච්ච) සැක නො කළ යුතු දේ එනම් බුදුන් දහම් සඟුන් ආදිය පිළිබඳ ව සැක කිරීම (විචිකිච්ඡා) යනාදියයි.

සතුටෙන් සිටීම හෝ ජීවිතය සමබරව පවත්වා ගෙන යෑම පිළිබඳ බටහිර රටවල් දැන් වැඩි වශයෙන් සිතන්නට පටන්ගෙන ඇත. ඒ නිසාම සිත පාලනය කර ගන්නා ක්‍රම පිළිබඳ දේශන පැවැත්වීම, අභ්‍යාස කිරීම හා ඉගැන්වීම ‍ෙවනම විෂයක් හැටියට එකී රටවල ව්‍යාප්තව ඇත. මෙය සම්පූර්ණයෙන්ම අනෙකක් නොව බුදුදහමේ ඉගැන්වෙන අපට යල් පැන ගිය වචනයක් සේ පෙනෙන සතිපට්ඨානයයි. ඇමෙරිකාව , එක්සත් රාජධානිය වැනි බටහිර රටවල බුදුදහම සීඝ්‍රයෙන් පැතිර යෑමට මෙය ප්‍රබල හේතුවක් ලෙස සඳහන් කළ යුතු ය. මේ නිසා බුදු දහමේ ඉගැන්වෙන මනස, මනසිකාරය, සතිය, සතිපට්ඨානය වැනි සිත හා බැඳෙන ඉගැන්වීම් පාසැල් මට්ටමේ සිට ආගමික ආයතන රාජ්‍ය ආයතන හා පෞද්ගලික සේවා ස්ථානවල පවා ඉගැන්වීම් පමණක් නොව ඒ පිළිබඳ අභ්‍යාස කරවීම ද යහපත් රටක අනාගතයට ඵලදායක වනු නො අනුමාන ය. සැබැවින්ම අකුසලයක් කිරීමට පෙර අකුසල චෛතසික පිළිබඳ අප දැනුවත් වී සිටීම, එම වරදින් වැළකී සිටීමට අපට ප්‍රයෝජනවත් වේ. නිදසුනක් ලෙස අප ද්වේෂය නම් වන අකුසල චෛතසිකය ගැන දැනුවත් නම්, සමාජයට මෛත්‍රී කිරීමට ඊර්ෂ්‍යා නො කිරීමටත්, සතුටින් සිටීමේ වටිනාකම තේරුම් ගැනීමට හා සිත සමබරව පවත්වා ගෙන යෑමටත් (උපේක්ඛා) පෙළඹෙනුයේ අපහසු කාර්යයක් හැටියට නොව පුරුද්දක් ම වශයෙනි. බුදුරජාණන් වහන්සේ විසින් කුරු රටවැසියන් ඉතා විශිෂ්ට ජන කොටසක් හැටියට වර්ණනා කරන ලද්දේ ඔවුන් සියලු කටයුතුවල දී සිහියෙන් (සතිපට්ඨාන) යුතුව සිටි නිසාය. ආර්ය මාර්ගයට පිවිසෙනු කැමති තැනැත්තෙකු විසින් නම් වඩාත් විදර්ශනා භාවනාව මගින් සිත දියුණු කළ යුතුය.

සතිථට්ඨානය නැතහොත් සිහි බුද්ධියෙන් යුතුව සියලු කටයුතු කිරීම එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක කළ හැකි නම් අකුසල චෛතසිකයක් ඇති වන මොහොතෙහි ම එය යටපත් කිරීමටත් කරදර සම්බාධක විවිධ ගැටලු විසඳා ගැනීමටත්, අසතුට දොම්නස වෙනුවට සතුට හා සොම්නස උපදවා ගැනීමටත් හැකිය. දිනපතා අලුයම අවදි වූ මොහොතෙහි සිට ශරීරය පිරිසුදු කරන මිනිසුන් වශයෙන් අපි එසේ නොකළහොත් අත්විඳීමට සිදු වන ඛේදජනක ඉරණම ගැන දනිමු. සිරුර ගඳ ගැසීම, සෙසු අය විසින් පිළිකුල් කිරිම, හොරි දද කුෂ්ට තුවාල ඇති වීම සිරුර කුණුවීම රෝගී වීම, දුක වේදනාව දරා ගත නොහැකිවීම යනාදිය එහි ප්‍රතිඵලය , දුගඳ හමන, කුණු වන තම සිරුර අන් අයට පමණක් නොව තමාටම අප්‍රසන්න අත්දැකීමක් වේ. මේ නිසා සාමාන්‍ය මොළයක් ඇති කවරෙකු වුවද හැකි තරම් තම සිරුර පිළිදැගුම් කළ යුතුය.

අපගේ ජීවිතය සැදී ඇත්තේ කය සිත යන දෙකෙහි සමවායෙන් බව මුලින් පැහැදිලි කළෙමු. එහෙයින් කය මෙන්ම සිත ද දිනපතා පිිරිසුදු කිරීම අවශ්‍ය ය. නො එසේ නම් එය ද කය මෙන්ම කුණු වීමට දුඟද හැමීමට පටන් ගනී. රාගය ‍ෙද්වේෂය, මානය, ඊර්ෂ්‍යාව , කුහකකම, උඩඟු බව, සැකය ලෝභය, මසුරුකම, ගුණමකුකම ආදී , ජුගුප්සාජනක දේ කරුණාව , මෛත්‍රිය, සංයමය, පරෝපකාරය, සීලය, සමාධිය භාවනාව ආදියෙන් පිරිසුදු නො කළහොත් සිත ද දුගඳ හැමීමට පටන් ගනී. සුවඳ විලවුන් ගා අබරණ ලා සරසා කය අලංකාර කිරීම ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම අවශ්‍ය වුවත් වඩා වැදගත් වන්නේ සිත රැක ගැනීම හා දියුණු කිරීම බව පැරැණි යතිවරු ජන සමාජයට වටහා දුන් අයුරු ලෝවැඩ සඟරාවේ

කුමට ද කා බී නිති සැර සෙන්නේ
කොතැන ද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැලිව පින් කර ගන්නේ
එමවද බව සයුරෙන් ගොඩ ලන්නේ

යනුවෙන් දක්නට ලැබේ.

මෙයින් අදහස් කෙරෙනුයේ සිත පිරිසුදු කරන කාර්යයන්හි නිරතවීමේ අවශ්‍යතාවයි. ලෝකයේ වෙසෙන සියලු දෙනාම සෞන්දර්යාත්මකව ජීවත්වීමේ අපේක්‍ෂාව සිත දරා ගත් අය වෙති. බාහිර සෞන්දර්යය කායික අලංකාරයෙන් ලැබේ. එහි සැබෑ අරුත ඊට වඩා පුළුල් ය. සැබැවින්ම මනුෂ්‍යයකුට අධ්‍යාත්මික සෞන්දර්යයක් නොමැති නම් ඔහුගේ හෝ ඇයගේ බාහිර සෞන්දර්යය යථාර්ථවත් නොවේ.

මේ නිසා සිත තුළ පවත්නා අව්‍යාජ නිරපේක්‍ෂක මනෝභාවයන් දියුණු තියුණු කර ගනිමින් බුදුදහමේ ඉගැන්වෙන සතුට, සුවය, සොම්නස යනාදි වචනවලින් කුළු ගැන්වෙන අර්ථවත් ජීවිතය ගොඩ නගා ගත යුතුය.

මෙබඳු තත්ත්වයකින් ආශ්වාදනීය ජීවිතක් පරිහරණය කිරීම දියුණු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ ජන සමාජයට ද අතිශය ප්‍රයෝජනවත් වන්නේ, එමගින් බොහෝ ගැටලු විසඳෙන හෙයිනි.

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]