අන්‍යාගම්කරණ අභියෝගය
මේ මොහොත වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ම ප්‍රශ්නය
දෙමළ සන්නද්ධ බෙදුම්වාදී තර්ජනය බව ඇත්ත ය. එ සේ වූව ද
අන්‍යාගම්කරණය වැනි වෙනත් බරපතළ තර්ජන අප සමාජය හමුවේ තිබේ.
යුද්ධය නිසා එ බඳු ප්‍රශ්න යටපත් වී ඇති නමුදු විවිධ සමාජයීය
ක්‍රියාකාරකම් මඟින් ඒවා යළි ඉස්මතු වන අයුරු දක්නට පුළුවන.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ශ්‍රී බුද්ධ වර්ෂ 2550
පොසොන් පොහොය දා මිහින්තලා පුදබිමේ දී පත් කළ ශ්‍රී ලංකාවේ
බෞද්ධයන් සදාචාර විරෝධී හා කූඨ උපක්‍රම මඟින් අන්‍යාගම්වලට
හරවා ගැනීම පිළිබඳ ව පරීක්‍ෂා කැර වාර්තා කිරීම සඳහා වූ
කොමිෂන් සභාව වැදගත් කාර්යයක් ලෙස අප සැලැකිය යුත්තේ මේ සමාජ
පසුබිම මත ය. පසුගිය 6 වන දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න
ශාලාවේ දී එළි දැක් වූ එහි වාර්තාව සමාජයේ අවධානයට යොමු විය
යුතු යැයි සිතමු.
අධිරාජ්‍යවාදීන් ගේ අවශ්‍යතාව හා උපක්‍රම නිසා ශ්‍රී
ලාංකිකයන්ට අත් වූ අවාසනාවන්ත ඉරණම වෙනස් කිරීමට 1948 දී ලැබූ
නිදහස උපයෝගී වූයේ ද යන්න සැකයකි. බෞද්ධ සම්මේලනයේ සභාපති
ගුණපාල මලලසේකර මහතා විසින් බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවක් පත්
කිරීමට 1953 දෙසැම්බර් මස 27 වන දා උත්සුක වූයේ එ බැවිනි. එම
උත්සාහය ඉදිරියට ම ගෙන ගිය අගමැති බණ්ඩාරනායක මහතා විසින් 1957
මාර්තු 04 වන දා බෞද්ධ කොමිෂන් සභාවක් පත් කරන ලදී.
මේ කොමිෂන් සභා වාර්තා මඟින් සමාජයට අත් වූ සෙත කුමක්දැයි යමකු
මෙහි දී ප්‍රශ්න කළ හැකි ය. බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා විසින්
පත් කළ බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවේ නිර්දේශ කිහිපයක් වෙත
අවධානය යොමු කිරීමෙන් සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට අපට පුළුවන.
එහි ඇතුළත් සෘජු ආගමික කාර්යයන් නො වන නිගමන කිහිපයක් මෙ සේ ය.
අසභ්‍ය පොත් – පත්, චිත්‍රපට නිපදවීම, පළ කිරීම, විකිණීම හා
පිටරටින් ගෙන්වීම නීතියෙන් තහනම් කළ යුතු ය.
ජාතික සංස්කෘතිය පිළිබඳ මනා දැනීමක් හා හැඟීමක් ඇති පුද්ගලයන්
පමණක් චිත්‍රපට පාලක සභාවට පත් කළ යුතු ය.
පෝ දින නිවාඩු දින කළ යුතු ය.
මත්පැන් පෙරීම, විකිණීම ආදී මත්පැන් පිළිබඳ සියලු කටයුතු
නීතියෙන් තහනම් කළ යුතු ය.
1957 ජනවාරි 01 වන දා වන විට සූදුව සඳහා කරන තුරඟ තරග
සම්පූර්ණයෙන් තහනම් කළ යුතු ය.
පුවත්පත් මඟින්, ගුවන් විදුලි මඟින් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ
එකී තුරඟ තරග පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම නීතියෙන් තහනම්
කළ යුතු ය.
රජයේ කාර්යාලයන්හි රාජකාරී වේලාව උදේ 8 සිට සවස 3.30 තෙක් විය
යුතු ය.
මේ නිර්දේශ පසුකාලීන ව විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වූ බව රහසක්
නො වේ. බුද්ධ ශාසනයට අදාළ කරුණු පිළිබඳ නිර්දේශ ඇතුළත් ස්‍යාම
මහා නිකායික ශාසනාරක්‍ෂක කතිකාවත ඉන්පසු අපට හමුවන වැදගත්
අවස්ථාවකි. එහි දී පණ්ඩුපලාස හෙවත් පැවිදි අපේක්‍ෂක අවස්ථාවේ
සිට අධ්‍යාපනය ලැබිය යුතු ආකාරය පැහැදිලි කැර තිබේ.
ඒ අනුව පැවිදි අපේක්‍ෂකයකු හෙරණසිඛ, දිනචරියාව, සතර සංවර ශීලය,
ප්‍රත්‍යවේක්‍ෂා, සෙඛියා ආදිය පුහුණු කැර විය යුතු ය. යටත්
පිරිසෙයින් දොළොස් අවුරුදු පිරුණු දරුවකු පැවිදි කිරීමට
නිර්දේශ කොට ඇති නිසා වයස අවුරුදු 10, 11 සීමාවේ දී ගිහි
ගෙයින් පන්සලට කැඳවීම ප්‍රමාණවත් වෙයි. වර්තමාන සාමාන්‍ය
අධ්‍යාපනය අනුව වයස අවුරුදු 5 දී පමණ පාසලට ඇතුළත් වන දරුවා
වයස අවුරුදු 10, 11 පමණ වන විට පාසලේ 5, 6 වැනි වසරවල
අධ්‍යාපනය ලබයි. ඒ මඟින් ඔහුගේ ලිවීමේ හා කියවීමේ හැකියාව
වර්ධනය වී ඇත. මේ නිසා බොහෝ දුරට පැවිදි ජීවිතයේ පැවැත්ම සඳහා
අවශ්‍ය කැරෙන හෙරණ සිඛ, දිනචරියා ආදී වශයෙන් ඇති දෑ ප්‍රගුණ
කිරීම අත්‍යවශ්‍ය බව ද 1974 දී එළිදුටු එම කතිකාවත පෙන්වා
දෙයි.
මේ සියලු කරුණු ඉදිරිපත් කිරීමට හේතුව අන් කිසිවක් නො ව බුද්ධ
ශාසනය මුහුණ දී ඇති අභියෝග පිළිබඳ ව පාඨකයා දැනුවත් කිරීම ය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පත් කළ අන්‍යගම්කරණය පිළිබඳ
කොමිෂන් සභාවේ නිර්දේශයන් ද එම අභියෝගයන් හි තවත් පැතිකඩකි. එය
සමස්ත ජනතාව ගේ ම අවධානයට යොමු වේවා යි පතමු. |