දේවත්වය ඉක්ම වූ මිනිසා
ගණේගම සරණංකර නා හිමි
1973 වසරේ පළ වූ විශිෂ්ට කෘතිය ලෙස
රාජ්‍ය සම්මානය දිනූ
‘බුදුහාමුරුවෝ’ කෘතියෙනි
බුදුහාමුදුරුවෝ දෙවියෙක් නොව උත්තරීතර මනුෂ්‍යයෙකි
බුදුන්වහන්සේ ගැන හරිහැටියට නොදත් අය උන්වහන්සේ දේවත්වයෙහිලා සළකති.
එබඳු අනවශ්‍ය කීර්ති, ප්‍රශංසා, ගෞරවාචාර උන්වහන්සේ කිසි විටකත් අගය
නොකළහ. බලාපෙරොත්තු නුවූහ. මහණෙනි! ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා,
දරුණු ය. තියුණු ය. අනුත්තරවූ රහත්බව ලබාගැනීම පිණිස අන්තරායකරය’.
‘දාරුණො භික්‍ඛවෙ ලාභ සත්කාර සිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස
යෝගක්ඛෙමස්ස අධිගමාය’ (සංයුක්ත නිකාය – ලාභ සත්කාර සංයුක්ත) උන්වහන්සේ
ලෝකයා තුළ පවත්නා අවිද්‍යාව, නොදැනීම, නූගත්කම, වැරදි දෘෂ්ටි, වැරදි
මත, වැරදි ක්‍රියා, පෙන්වාදීම සඳහා ම පහළ වූ උතුමෙකි. එබඳු උතුමෙක්
ලෝකයාගෙන් සීමාව ඉක්ම වූ ගෞරවාචාර කිසිසේත් බලාපොරොත්තු නොවෙයි.
දිනක් බුදුන්වහන්සේ උක්කට්ඨා හා සේතව්‍යා යන නගර දෙක අතර පා ගමනින්
වඩිද්දී ඒ මගෙහි ම ගමන් ගත් ද්‍රෝණ නම් බමුණෙක් බුදුරදුන්ගේ පා සටහන්
දැක, ‘ඒකාන්තයෙන් මේ පා සටහන් මනුෂ්‍යයෙකුගේ නම් නොවේ.’
යයි සිතා, ඉතා ඕනෑකමින් බලා සිටියේ හ. බුදුන්වහන්සේ මාර්ගයෙන් පැත්තකට
ගොස් ගසක් මුල වැඩ හුන් ය. බමුණා අතිශය ශාන්ත දාන්ත ඉරියවුවෙන් හෙබී
බුදුරදුන් ළඟට ගොස් පහත සඳහන් ප්‍රශ්න ඇසී ය.
බමුණා - ඔබ දෙවියෙක් ද?
බුදුහු - බමුණ, මම දෙවියෙක් නො වෙමි.
බමුණා - ඔබ ගාන්ධර්වයෙක් ද?
බුදුහු - බමුණ මම ගාන්ධර්වයෙක් නො වෙමි.
බමුණා - ඔබ යක්ෂයෙක් ද?
බුදුහු - බමුණ, මම යක්ෂයෙක් නො වෙමි.
බමුණා - ඔබ මනුෂ්‍යයෙක් ද?
බුදුහු - බමුණා මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.
බමුණා - මම ඔබෙන් දෙවියෙක්දැයි ඇසූ විට ‘මම දෙවියෙක් නොවෙමි’ යි ඔබ
කියයි. ඔබ ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද? මනුෂ්‍යයෙක්දැයි ඇසූ විට ‘මම
ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ නොවෙමි’ යි කියයි. එසේනම්
ඔබ කවරෙක් ද?
බ්‍රාහ්මණය, මා දෙවියෙක් නම් දෙවියෙකු තුළ පවත්නා කාමාදි ආශ්‍රවයන් මා
තුළත් තිබිය යුතු ය. එහෙත් මම කාමාදී ආශ්‍රවයන් සියල්ල සහමුලින් ම
ප්‍රහීණ කෙළෙමි. මුලිනුපුටා දැමීමි. ඒ නිසා මම දෙවියෙක් නොවෙමි.
බ්‍රාහ්මණය, මා ගාන්ධර්වයෙක් නම් ගාන්ධර්වයෙකු තුළ පවත්නා කාමාදී
ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත් මම ඒ සියල්ල ප්‍රහීණ කෙළෙමි. ඒ
නිසා මම ගාන්ධර්වයෙක් ද නොවෙමි. බ්‍රාහ්මණය, මා යක්‍ෂයෙක් නම්
යක්‍ෂයෙකු තුළ පවත්නා කාමාදී ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත්
මම ඒ සියල්ල ප්‍රහීණ කෙළෙමි. ඒ නිසා මම යක්‍ෂයෙක් ද නොවෙමි. බ්‍රාහ්මණය
මා ‘සාමාන්‍ය මනුෂ්‍යයෙක්’ නම් සියලු මිනිසුන් තුළ පවත්නා කාමාදී
ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත් මම ඒ සියල්ලම ප්‍රහීණ කෙළෙමි.
ඒ නිසා මම අනික් මිනිසුන් වැනිමිනිසෙක් ද නොවෙමි. බ්‍රාහ්මණය, උපුලක්
හෝ පියුමක් හෝ හෙළපියුමක් හෝ දියෙහි ඉපිද, දියෙහි වැඩී, දියෙන් ඉස්මතු
වී දියෙහි නොගෑවී තිබෙනවා වගේ මමත් ලෝකයෙහි මිනිසුන් අතර ඉපිද, ලෝකයෙහි
මිනිසුන් අතර වැඩී, ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී, ලෝකයා සමඟ
නොගැටී, නොගෑවී, නොබැඳී සිටිමි. ඒ නිසා බමුණ මම මිනිස් දුර්වලකම්
සියල්ල නැති කළ උත්තර මනුෂ්‍යයෙක්මි. ‘උත්තරමනුස්සො’ කොටින්ම මම
බුදුවරයෙක්මි මා හැඳින්විය යුතු හොඳම නම ‘බුද්ධ’ යනුයි. ‘බුද්ධොති මං
බ්‍රාහ්මණ ධාරෙහි’ (අංගුත්තර නිකාය – චතුක්ක නිපාත - ද්‍රෝණලෝක
සූත්‍රය)
බුදුන්වහන්සේ හා බමුණකු අතර සිදු වී ඇති මේ සාකච්ඡාවෙන් පෙනී යන්නේ
කෙලෙසුන්ගෙන් පිරුණු සාමාන්‍ය මිනිසුන් සඳහා පොදුවේ යෙදෙන ‘මනුෂ්‍ය’ යන
මේ වචනය බුදුහාමුදුරුවන් ගැන යෙදිය යුත්තේ සුර, අසුර, නර, නාග ආදී සත්ව
ජාතීන් හැඳින්වීමේදී පමණක් බවයි. බුදුන්වහන්සේගේ ජීවිතය පරිච්ඡේද
දෙකකින් යුක්තය. සිද්ධාර්ථ කුමාර කාලයේ සිට බුද්ධත්වය ලබන තුරු
උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකි. බෝධිසත්ව වරයෙකි. බුදු බව ලැබූ කෙණෙහි
සිට සියලු මිනිසුන් තුළ පවත්නා රාගාදී ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම
නැතිකළ බැවින් ‘උත්තරීතර’ මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයන් අතර මෙතෙක් උපන්
ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ය. උන්වහන්සේ සමකළ හැක්කේ මිනිසෙකුට නොව
බුදුවරයෙකුට පමණෙකි. උන්වහන්සේට සමකළ හැකි තවත් මිනිසෙකු නැති නිසා
‘අසම’ යනුවෙන් හැඳින්වෙති. සමකළ හැක්කේ බුදුවරයෙකුට ම නිසා ‘අසමසම’
යනුවෙන් ද හැඳින්වෙති. බුදුහාමුදුරුවෝ පුද්ගලයන් අතර ආශ්චර්යවත්
පුද්ගලයෙකි. ‘ආච්ඡරියෝපුග්ගලො’ මනුෂ්‍යයන් අතර ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි.
‘අච්ඡරිය මනුස්සෝ’.
සිදුහත් කුමරා මිනිස් මවුපියන්ට දාව මිනිස් සිරුරක් ඇතිව ඉපිද,
බුදුවරයෙකු මෙන් ජීවත්ව සිට, මිනිස් ආයුෂ වළඳා උත්තරීතර මනුෂ්‍යයෙකු
වශයෙන් පිරිනිවන් පෑවේ ය. සියලු මිනිසුන් තුළ දක්නට ඇති රාග, ද්වේෂ,
ෙමීහ, මද, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ක්ලේශ ධර්මයෝ උන්වහන්සේ තුළ
අවිද්‍යාමාන වූහ. මිනිසුන්ට අයත්, මිනිසුන් තුළ ම දක්නට ලැබෙන මෛත්‍රී,
කරුණා, මුදිතා, උපේක්‍ෂා, සීල සමාධි, ප්‍රඥා ආදී ශ්‍රේෂ්ඨ මිනිස් ගති
උන්වහන්සේ තුළ විද්‍යාමාන විය.
බුදුන්වහන්සේ කථා කළේ එකළ ව්‍යවහාරයෙහි ඇති කාටත්, තේරෙන මිනිසුන් කථා
කරන භාෂාවෙනි. උන්වහන්සේ වැළඳුවේ මිනිසුන් කනබොන ආහරපාන වර්ගයි.
උන්වහන්සේගේ කථාවෙහි මිනිස් ලක්‍ෂණ හොඳින් දිස්වෙන තැන් බොහෝ ය.
“පරි – පක්කො වයො මය්හං - පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි – කතං වො සරණ මත්තනා”
“මම දැන් මහල්ලෙක්මි. මට ජීවත් වීමට ඇත්තේ තව ස්වල්ප වේලාවකි. මම නුඹලා
අත්හැර දමා යන්නෙමි. මා විසින් නුඹලාට කළ යුතු උපකාරය පිහිට කරන ලද්දේ
ය.”
මහලු පියෙකු තම මරණය මඤ්චකය වටා රැස්ව සිටින දූ දරුවන් අමතා කියන
අන්තිම වචනයේ විලාසය මෙහි දක්නට ඇත. බුදුන්වහන්සේ මිනිසෙකු වශයෙන්
මිනිසුන් සමඟ කථා කරනු මෙහි ඉතා හොඳින් දිස්වේ.
ආනන්දය, මම දැන් ජරාවට, වැඩි වයසට, මහලු බවට, වයස්ගත බවට, පත්වීමි, මගේ
වයස අසූවකි. දිරූ රියක් රෝද බැඳීම් ආදී ප්‍රතිසංස්කරණයෙන් අල්ලා
සිටිනවා වගේ මගේ කයද අර්හත් බලවේගයෙන් බඳනා ලදුව අල්ලා සිටී. (අහංඛො
පනානන්ද එතරහි ජිණ්ණෙණා වුද්ධො, මහල්ලකො, අද්ධගතො වයො අනුප්පතො,
ආසීතිකො මෙ වයො වත්තනි සෙය්‍යථාපි ආනන්ද ජජ්පර සකටං වෙධ මිස්සකෙන
යාපෙති. එව මෙව ඛො ආනන්ද වෙධමිස්සකෙන මඤ්ඤෙ තථාගස්ස කායොයාපෙති.)
(මහාපරිනිබ්බාන සූත්‍රය)
මේ වචන තුළින් අසූහැවිරිදි වැඩිහිටියෙක් දිස් වෙයි.
චුන්දකර්මාර පුත්‍රයාගේ ආහාර වැළඳීමෙන් පසු බුදුරදුන්නට දරුණු රෝගයක්
වැළඳුනේ ය. එවිට බුදුහු ‘ආනන්දය’ හොඳටම වතුර පිපාසයි. ඉක්මනට පැන්ටිකක්
ගෙනත් දෙන්න. (ඉංඝ මෙ ත්වං ආනන් ද පානියං ආහර, පිපාසිතොම්හි ආනන්ද
පිබිස්සාමි) යයි තෙවරක් ද අනඳ තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී
උන්වහන්සේ භාවිත කළ වචන තුළින් වතුර පිපාසයෙන් පෙලෙන රෝගියෙක් දිස්
වෙයි.
බුදුරදුන්ගේ අනූපම රූසපුවෙන් වශී වී ඒ දෙස ම බලා සිටීම සඳහා මහණ වී
සිටි වක්කලී තෙරුන් අමතා ‘වක්කලිය මේ කුණු සිරුරෙන් ඔබට ඇති ඵලය
කුමක්ද? ‘කිං තෙ වක්කලී ඉමිනා පූතිකායෙන්’ ඇසූහ. මෙයින් උන්වහන්සේගේ
සිරුර දෙතිස් කුණුපයෙන් යුත් මිනිස් සිරුරක් බව පැහැදිලි වෙයි.
‘මහණෙනි’, මගේ කීමට එක දෙයක් අත්හරින්න. එය අත් හැරියොත් නුඹලා අනාගාමී
වන බවට මම පොරොන්දු වෙමි. මම ඇප වෙමි. ඒ එකම දෙය නම් ලෝබකමයි. ‘එකධම්මං
භික්ඛවෙ පජහථ අහං වො පාටිහොගො අනාගාමිතාය. කතමං එකධම්මං. ලෝහං භික්ඛවෙ
එක ධම්මං. (ඉතිවුත්තක – එකක නිපාතය)
‘මම පොරොන්දුවෙමි.මම ඇප වෙමි’ යි යන මේ බුදුවදනෙහි ඇත්තේ සාමාන්‍ය
මිනිස් ස්වරූපයයි. මම පොරොන්දු වෙනවා ය. මම ඇප වෙනවාය කියා හැමෝම හැම
විටම නොකියති. දැකීමෙන්, කළ පුරුද්දෙන්, අත්හදා බැලීමෙන් ලැබූ බලවත්
විශ්වාසය ඇති කෙනෙකු ම කියන කතාවකි මේ.
බුදුහු පිරිනිවන් මඤ්චකයෙහි වැඩ හිඳ භික්‍ෂූන් අමතා, මහණෙනි, මේ සිටින
එක භික්‍ෂුවකට හරි මා ගැන ,ධර්මය ගැන, සංඝයා ගැන, මාර්ග ගැන, ප්‍රතිපදා
ගැන මොනවිදියේ හෝ සැකයක් තිබේ නම් දැන් මගෙන් අහන්න. අපේ ශාස්තෘවරයා
ජීවත්ව සිටියදී මේ ප්‍රශ්න අසන්නට බැරි වුණා ය. මේ සැකය අත්හැර ගන්නට
බැරි වුනාය කියා පසුව කනගාටු වෙන්ට එපා. ඒ නිසාම ඇසිය යුතු යමක් ඇත්නම්
දැන්ම මගෙන් අසා දැන ගන්න. මට ඇති ගෞරවය නිසා යමෙක් මගෙන් ප්‍රශ්න
අසන්නට අකමැති නම් යහළුවකු ලවා හරි අස්වාගන්න යයි තුන්වරක්ම භික්‍ෂූන්ට
කියා සිටියහ. එහෙත් භික්‍ෂූහු තුෂ්ණිම්භූතව හුන්හ. ‘සියා ඛෙ පන භික්ඛවෙ
එක භික්ඛුස්සපි කඩ්කා එක භික්ඛුස්ස වා කඩ්කා වා විමති වා බුද්ධෙ වා
ධම්මෙ වා සංඝෙ වා මග්ගෙ වා පටිපදාය වා පුච්ඡථ භික්‍ඛවේ. මාපච්ඡා
විප්පටි සාරිනො අහුවත්ථ, සම්මුඛීභූතො නො සත්ථා එවංවුත්තෙ තෙ භික්‍ඛු
තුණ්හී අහෙසුං දුතියම්පි - තතියම්පි සිය ඛො පන භික්‍ඛවෙ සත්ථු
ගාරවෙනාපි න පුච්ඡෙය්‍යාථ සහායබොපි භික්‍ඛවෙ සහායකස්ස ආරොචෙත ති එවං
වුත්තෙ තෙ භික්‍ඛු තණ්හී අහෙසුං’ (මහා පරිනිබ්බානසුත්ත – අංගුත්තර
නිකාය, චතුක්ක නිපාත)
බලන්න! මේ ප්‍රධානියාගේ හැටි, මේ නායකයාගේ හැටි මේ ගුරුවරයාගේ හැටි,
අන්තිම හුස්ම හෙලන්නට පෙර තමන්ගේ චරිතය ගැන, පැවැත්ම ගැන, තමන්ගේ අදහස්
ගැන, තමන්ගේ පිරිස ගැන මොනවිධිෙය් හරි සැකයක් තියෙනවා නම්, එසේම
නොදන්නා දෙයක් අසා දැනගන්නට ඕනෑකම තිබෙනවා නම්, ඒ ඕනෑම දෙයක් ගැන අසා
දැනගන්නට යයි මරණ මඤ්චකයේ සිටගෙන එක් වරක් නොව තුන්වරක්ම දන්වා
සිටියහ.තම චරිතයෙහි ඇති පිරිසුදු බව, අනුන් නොදන්නා දෙයක් අන්තිම
අවස්ථාවේ හරි කියාදීමෙහි ඇති ඕනෑකම මෙයින් පෙනේ. අන්තිම හුස්ම හෙලන
මොහොතෙහි පවා අනුන්ට සේවය කිරීමේ බලාපොරොත්තුව මෙයින් පෙනේ. මෙබඳු
ශෝචනීය අවස්ථාවක මෙබඳු ඉල්ලීමක් කළ ගුරුවරයෙක්, නායකයෙක්,
ශාස්තෘවරයෙක්, මවෙක්, පියෙක්, වැඩිහිටියෙක් මේ මානව ඉතිහාසයෙහි වෙන
සිටියේ ද? සේවය කරන අයට, සේවය කිරීමට බැඳී සිටින අයට මෙය හොඳ ආදර්ශයක්
නොවේ ද?
මහණෙනි, අකුසල් අත්හරින්න. අකුසල් අත්හරින්න පුළුවනි. අකුසල් අත්හරින්න
බැරිනම් අකුසල් අත්හරින්නය කියල මම කියන්නේ නැහැ. අකුසල් අත්හරින්න
පිළිවන් නිසාමයි මම එසේ කියන්නේ. අකුසල් අත්හැරීමෙන් අහිතක්, දුකක්,
අවැඩක් වෙනවා නම් මම කිසි කලෙක එසේ කියන්නේ නැහැ. අකුසල් අත්හැරීම හිත
පිණිසම, සැප පිණිසම හේතුවන නිසාමයි මම එසේ කියන්නෙ.’අකුසලං භික්ඛවෙ
පජහථ සක්කා භික්ඛවෙ අකුසලං පජහිතුං නොවෙතං භික්ඛවෙ සක්කා අභවිස්ස
අකුසලං පජහිතුං නාහං එවං වදෙය්‍යං අකුසලං භිඛවෙ පජහථාති, යස්මා ච බො
භික්ඛවෙ සක්කා අකුසලං පජහිතුං තස්මා හි එවං වදාමි අකුසලං භික්‍ඛවෙ
පජහථාති, අකුසලං ච හිදං භික්ඛවෙ පහීනං අභිතාය දුක්ඛාය සංවත්තෙය්‍ය නාහං
එවං වදෙය්‍යං අකුසලං භික්ඛවෙ පජභාථාති. යස්මා ච ඛො භික්ඛවෙ අකුසලං
පහීනා හිතාය සුඛාය සංවත්තති තස්මාහං එවං වදාමි අකුසලං භික්ඛවෙ පජහථාතී”
(අංගුත්තර නිකාය – දුක නිපාත)
බලන්න මිනිස් මවක හෝ පියෙකු ‘පුතේ ! දුවේ, නරකවැඩ කරන්න එපා. නුඹලාට
වැරදි වැඩ නොකර ඉන්න පුළුවන්. ඒ නිසාමයි මම කියන්නේ වැරදි වැඩ නොකොට
හිටියොත් එයින් වෙන්නේ හොඳක්ම යයි දූදරුවන්ට බල කර සිටීමක, ඇවිටිල්ලක
ස්වරූපය මෙහි නැද්ද කියා. මෙබඳු කීම දෙවිවරුන් කියා තිබේද? ඇත්තෙන්ම
නැහැ. මහණෙනි, දීමෙහි හා බෙදීමෙහි අනුසස් මම දන්න තරම් අනික් අයත්
දන්නව නම් ඒ කිසිවෙක් ටිකක් හරි අනුන්ට නොදීනම් අනුභව කරන්නෙ නැහැ.
මසුරු කමට ඉන්නෙ නැහැ. තමන් කකා සිටින අන්තිම බත්පිඩෙන් කොටසක් හරි එය
පිළිගන්ට කෙනෙකු සිටිනවා නම් ඉන් කොටසක් හරි නොදී අනුභව කරන්නෙ නැහැ.”
“එවං චෙ භික්ඛවෙ සත්තා ජානෙය්‍යුං දානං සංවිහාගස්ස විපාකා යථා අහං
ජානාමි න අදත්වා භුඤජෙය්‍යං න ච තෙසං මච්ජෙරමළං චිත්තං පරියාදාය
තිට්ඨෙය්‍ය. යොපි තෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබලං තතොපි න
අසංවිභජිත්වා භුඤජෙය්‍යුං” (ඉතිවුත්තක පාලි - එකක නිපාත)
මෙය ද හොඳට දන් දී පුරුදු ඇති දානපතියෙකුගේ කථාවකි.
එකළ බුදුරදුන්ට වාතාරෝගයක් හැදුනේ ය. උපවාන හාමුදුරුවෝ බුදුරදුන්ට
උපස්ථාන කරති. බුදුහු ඒ තෙරුන් අමතා ‘උපවානය’ මට උණුවතුර ටිකක් ගෙනැත්
දෙන්නයයි කීහ. ‘තෙන ඛො පන සමයෙන භගවා වාතෙහි ආබාධිතො හොති ආයස්මා ච
උපවානො භගවතා උපට්ඨාකො හොති අථඛො භගවා ආයස්මන්තං උපවානං ආමන්තෙසි, ඉඩස
මෙත්වං උපවාන උණ්හොදකං ජානාහිති’ (සංයුක්ත නිකාය – බ්‍රාහ්මණ සංයුක්ත)
මේ කියමනෙහි දක්නට ඇත්තේ ද මිනිස් ස්වභාවයකි.
දිනක් බුදුහු මහාකාශ්‍යප මහතෙරුන් සමග ගසක් යටට වැඩ එහි වාඩිවී
සිටින්නට කැමති බවක් ඇඟවූහ. මහා කාශ්‍යප තෙරණුවෝ පට පිළියෙන් කළ තමාගේ
සගළ සිවුර හතරට නමා බිම එලා බුදුරදුන්ට අසුනක් පැනවූහ. එහි වැඩසිටි
බුදුහු ‘මහා කාශ්‍යපය, ඔබේ මේ සිවුර සිනිඳු’ යයි කීහ. ස්වාමීනී, මට
අනුකම්පාකොට මේ සිවුර ඔබ වහන්සේ පිළිගනු මැනවි’ ‘කාශ්‍යපය, පෙරවීමෙන්
පරණ වී හණ වැහැරියෙන් කළ මගේ පාශුකූල සිවුර පොරවා ගන්නට ඔබ
කැමැත්තෙහිද?’ ‘එසේය මම කැමැත්තෙමි’ ‘ඇවැත්නී, මෙසේ මා පෙරවූ සිවුර
බුදුරදුන්ට දී බුදුරදුන් පෙරවූ හණ රෙද්දෙන් මැසූ පාංශුකූල සිවුර මම
පොරවා ගතිමි.’ මුදුකා ඛොත්‍යායං කස්සප පට පිලොතීනං සංඝාටී’ පතිගණ්හාතු
මෙ හන්තෙ භගවාපට පිලොතීනං සංඝාටි අනුකම්පං උපාදායාති ධාරෙස්සති පන මෙ
ත්වං කස්සප ඝාණාති පාංසුකුලානි තිබ්බංසනානිති ධරෙස්මසාහං හන්තෙ භගවතො
සාරණානි පාංසුකුලානි නිබ්බසනානිති සො ඛො අහං ආවුසො පටපිලෝතීනං සංඝාටිං
භගවතො පාදාසිං අහං පන භගවතො ඝාණානි පාංසුකූලානි නිබ්බසනානි පටිපජ්ජිං’
(සංයුක්ත නිකාය – කස්සප සංයුක්ත)
මෙහි ද බුදුන්වහන්සේ මහ කසුප් තෙරුන්ගේ පටපිළියෙන් කළ සඟල සිවුර සිනිඳු
බව අඟවා, එය තමන් වහන්සේට පිළිගන්වාගෙන තමන් පෙරවූ හණ රෙද්දෙන් කළ පරණ
සිවුර කසුප් තෙරුන්ට පොරවන්ට දීම බුදුරදුන් හා මහ කසුප් තෙරුන් අතර
පැවති සමාන හා මිත්‍ර ආකල්පයක ලකුණු පෙන්වති.
දිනක් පඤ්චවග්ග දායක නම් බමුණෙක් සිය නිවසෙහි මිදුලට පිටු පා වාඩි වී
සිට ආහාර අනුභව කෙළේ ය. බැමිණිය ඔහුට ව්‍යාංජන බෙදමින් සිටියා ය.
බුදුන්වහන්සේ ඒ දෙදෙනාගේ හේතු සම්පත් දැක ඔවුන්ට යහපතක් කරනු සඳහා ඒ
නිවසට පිඬුසිඟා වැඩිසේක. බැමිණිය මිදුලේ වැඩ සිටින බුදුරදුන් දැක
‘බමුණා දැන් බුදුරදුන් දුටුවොත් අනුභව කරමින් සිටින කෑම ටික පාත්‍රයට
බෙදනු ඇත. එසේ වුවහොත් මට නැවතත් උයන්නට සිදුවේ යයි සිතා බමුණාට බුදුන්
නොපෙනෙන ලෙස මුවා කරගෙන ආහාර බෙදුවා ය. බුදුරදුන් ද එතනින් නොගොසින්
එහිම සිටිනු දුටු බැමිණිය. බමුණාට නො පෙනෙන ලෙස ඔළුව වනා බුදුරදුන්ට
යන්ට යයි සංඥා කළාය. බුදුහුද ඔළුව වනා ෙනායන බව ඇඟවූහ.
එතරම් ශ්‍රේෂ්ඨ රාජවංශික මහා තවුසෙකු හිස වැනූ හැටි දැක බැමිණියට බක බක
ගා හිනා ගියේය. හදිසියේ බැමිණිය සිනාසුනේ කා සමඟ දැයි ඇසූ බමුණා මිදුල
දෙස බැලීය. පිඬු සිඟා වැඩ සිටි බුදුරදුන් දුටු ඔහු බාගයක් පමණ අනුභව
කොට බඳුනේ ඉතුරු වී තිබුණු කොටස බුදුරදුන්ගේ පාත්‍රයෙහි බහාලීය. බුදුහු
ඉඳුල් බත්යයි ප්‍රතික්ෂේප නොකොට “ බමුණ අග කොටස හෝ මැද කොටස හෝ අවසාන
කොටස හෝ අපට සුදුසුය. අපි වනාහි පරදත්තුපජීවි ප්‍රෙතයන් වැන්නෙමුයි
කීහ. බමුණා රාජවංශයෙහි උපන් මෙතරම් උත්තමයෙක් “ මට ඉඳුල් බත් එපා “ යයි
නොකියා පිළිගත්තේයයි බුදුරදුන් ගැන තදින් ම පැහැදුනේ ය.
(ධම්මපදට්ටකථා - පඤ්චවග්ග දායක බ්‍රාහ්මණ වත්ථු)
ඉඳුල් බත් වළඳා හෝ අනුන්ට සේවය කිරීමට, යහපතක් සෙතක් සැලසීමට බුදුරදුන්
තුළ පැවති ඕනෑකම මෙයින් පෙණේ.
දිනක් බුදුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු ගැටවටු ගන්වා පාත්‍රය අතින්ගෙන
උදය නමැති බමුණාගේ ගෙදරට පිඬුසිඟා වැඩිසේක. බුදුරදුන් දුටු බමුණා
පාත්‍රය පුරවා බත් පිළිගැන්වීය. බමුණාට පින්දී බුදුහු විහාරයට වැඩියහ.
දෙවැනි දින ද බුදුහු ඔහුගේ ම ගෙදරට පිඬුසිඟා වැඩියහ. එදින ද බමුණා
පාත්‍රය පුරවා බත් පිළිගැන්වීය. බමුණාට පින්දී බුදුහු විහාරයට වැඩියහ.
තුන්වැනි දින ද බුදුහු ඔහුගේම ගෙදරට පිඬුසිඟා වැඩියහ. එදිනද බමුණා
පාත්‍රය පුරවා බත් බෙදා “ ඔබ පුන පුනා (නැවත නැවත) මෙහි එන්නෙහිය. කෑම
ගැන කෑදර කෙනෙකැයි සිතමි “ යි ඇනුම්පදයක් කීය.
එවිට බුදුහු “ගොවියෝ පුන පුනා වී වපුරති. වැස්ස පුන පුනා වසී.ගොවියෝ
පුන පුනා කෙත සී සාති. ධාන්‍ය ජාති පුන පුනා රටට ලැබේ. යාචකයෝ පුන පුනා
ඉල්ලති. දානපතීහු පුන පුනා දන්දෙති. දන්දී පුන පුනා ස්වර්ගයට යති. කිරි
දොවන්නෝ පුන පුනා කිරි දොවති. වස්සා මව කරා පුන පුනා එළඹේ. සත්ව තෙමේ
පුන පුනා ක්ලාන්තද වෙයි. කම්පිතද වෙයි. බාල තෙමේ පුන පුනා ගැබට
පැමිණෙයි. පුන පුනා උපදියි. මිය යයි. පුන පුනා සොහොනට ගෙන යත්. නුවණ
ඇත්තා නිවණ ලැබ පුන පුනා නූපදී” කීහ.
මෙහිද බුදුන් වහන්සේ උදය බමුණාගේ ගෙදරට තනිවම තුන්වරක් ම පිඬුසිඟා
වැඩියේ මුලින් බමුණා සිතූ® පරිදි ආහාරයට ඇති ගිජුකමක් නිසා නොව
ධර්මාවබෝධයට හේතු සම්පත් ඇති බැවින් ඔහු කෙරෙහි කරුණාවෙන්මය. ඔහු කියූ
“ පුනප්පුනං “ නැවත නැවත” යන්නම මාතෘකා කොට බණ කියා ඔහු පැහැද වූහ.
මෙයද මහාකාරුණික මිනිස් ලක්ෂණයකි.
“මහණෙනි ලාභ සත්කාර, කීර්ති , ප්‍රශංසා, දරුණුය. මේ ලාභ සත්කාර, කීර්ති
, ප්‍රශංසා මිනිසාගේ හමේ සිවිය සිඳී. සිවිය සිඳ හම සිඳී. හම සිඳ මස්
සිඳී. මස් සිඳ නහර සිඳී. නහර සිඳ ඇට සිඳී. ඇට සිඳ ඇට මිදුලු කාගෙන ගොස්
සිටී.
“දාරුණො භික්ඛවේ ලාභ සක්කාර සීලොකො ලාභ සක්කාර සීලොකො භික්ඛවේ ඡවිං
ජින්දති. ජවිං ෙජත්වා වම්මං ජින්දති. වම්මං ෙජත්වා මංසං ජින්දති.
මංසං ජෙත්වා
නහාරුං ජින්දති. නහාරුං ජෙත්වා අට්ඨීං ජින්දති. අට්ඨීං ජෙත්වා අට්ඨී
මිඤ්ජං ආභච්ච තිට්ඨති.
ලාභ ,සත්කාර, කීර්ති, ප්‍රශංසා, බලකාමය , ධන කාමය ,තනතුරු ගිජුකම,
නම්බුව, ප්‍රසිද්ධිය යන මේවා ඉතාම දරුණු, භයානක, විනාශකාරි ,
විපත්තිදායක ඒවා බව ප්‍රකාශ කළේ දෙවියකු විසින් නොව, අත්හදා බැලීමෙන් ම
ආදීනව දැක පිළිකුල් කොට අත්හැර දැමූ උත්තරීතර මනුෂ්‍යයෙකු විසිනි.
කාශ්‍යපය , දැන් ඔබ ඉතා මහලුය. මා විසින් පොරවා අත්හළ හණ පිළියෙන් කළ,
හැම තැනම මසා ඇති පාංශුකූල විවරය ඔබට දැන් බර වැඩිය. ඒ නිසා
සැදැහැවතුන් පූජා කළ සාමාන්‍ය සිවුරක් පොරවගෙන සිටින්න. පිඬු සිඟා
යෑමෙන්ම ජීවත් වීමේ පිළිවෙත අත්හැර ගෙදරවල දානය වැළඳීම සඳහා කරන ආරාධනා
ද බාර ගන්න. දැන් ඉතින් මා ළඟම නැවතී සිටින්නැය”යි බුදුහු කස්සප
තෙරුන්ට කීහ. “ ස්වාමීනි, මම දීර්ඝ කාලයක සිට ආරණ්‍යයකවම වාසය කරමි.
ආරණ්‍ය වාසයේ ගුණත් නිතර කියමි. දීර්ඝ කාලයක සිට පිඬු සිඟා යෑමෙන්ම
යැපෙමි. පාංශුකූලික සිවුරු ම දරමි. එහි ගුණ ද කියමි. සැහැල්ලු දිවි
පෙවෙතෙන් වසමි. විවේකීව වසමි. සමූහයාගෙන් ඈත්ව තනිව ම වසමි. එහි ගුණ ද
කියමි. නිතරම පටන්ගත් වීය¸යෙන් යුක්තව ම වසමි. ඒ නිසා ස්වාමීනි.මේ
ප්‍රතිපත්ති ක්‍රමය මේ විදිහට ම දිගට ම ගෙනයන්නට කැමැත්තෙමි” යි
කාශ්‍යප මහරහතන් වහන්සේ කීහ. බුදුන් වහන්සේ “බොහෝම හොඳයි කාශ්‍යප,
බොහොම හොඳයි කාශ්‍යප, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස
ලෝකයාට අනුකම්පා පිණිස හණ සිවුරම දරමින් පාංශූලිකව ම වෙසෙමින් පිඬු
සිඟාගෙන ම ජීවත් වෙමින් වනයෙහි ම වසන්න “ජිණ්ණො සිදානිත්වං කස්සප
ගරුකානිවො තෙ ඉමානි සාණානි පාංකූලානි නිබ්බසනාහි. කස්මාතිහත්වං කස්සප
ගහපතිකානි වෙවට්වරානි ධාරෙහි. නිමන්තනෙසුව භුඤ්ජාහි. මමඤ්ච සන්තිකෙ
විහරාහි. අහඤ්ච ඛො හන්තෙ දීඝරත්තං ආරඤ්ඤ ආරඤ්ඤකත්තස්සව වණ්ණවාදී ආරද්ධ
වීරියොවෙච වීරයාරම්භස්ස වණ්ණවාදි, දේණ ඛො අහංභන්තෙ අත්තවසෙ සම්පස්සමානො
දීගරත්තං ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකතස්ස වණ්ණවාදි පෙ සාධු! සාධු! කස්සප බහුජන
හිතාය කිරත්වං කසප්ප පටිපන්නො බහුජන සුඛාය - පෙ - අරඤ්ඤඤෙච විහරාභිති “
(සංයුක්ත නිකාය - කස්සප සංයුක්ත)
මෙයින් ද කැපී පෙනෙන්නේ කාරුණික මිනිස් ගතියකි
“මහලු නිසා බර ඇති දිරුණු රළු සිවුරු පොරොවන්ට එපා. දිගටම පිඬුසිඟා
යන්ට එපා. දිගටම වනාන්තරේම ඉන්න එපා දැන් ඉතින් මා ළඟ නැවතී සිටින්න “
යන මේ වචන ටිකේ ඇත්තේ කෙතරම් දයාබර , කාරුණික , මානුෂික මිත්‍ර ලීලාවක්
ද මෙබඳු දහසක් කරුණුවලින් බුදුන් වහන්සේ ශ්‍රෙෂ්ඨතම මනුෂ්‍යයා බව
ඔප්පුවේ. උන් වහන්සේට දේවත්වයක් ආරෝපණය කොට ඇත්තේ උන් වහන්සේ විසින්
නොව බැතිමතුන් විසින් මිනිසාට වඩා දෙවියන් ලොකු කොට සළකන්නන් විසිනි.
බුදුහාමුදුරුවෝ මැවුම් කාරයෙක් ද නොවෙති! උන් වහන්සේ උපන්නේ ලෝකයක්
මවාගෙන නො ව, මැවී ඇති ලෝකයකයි. නොකළ හැකි, නොපිළිගත හැකි වැඩ
උන්වහන්සේ කිසි විටකත් බාර නොගත්හ. තමන් පිට පටවා නොගත්හ. බුදුන්
වහන්සේට ලෝකය පෙනුනේ දුක උඩ ඇති දෙයක් ලෙසය. දිනක් කෙනෙකු ලෝකය කොහි
පිහිටියේ දැයි “ කස්මිං ලෝකෝපතිට්ඨීතො “ ඇසූවිට බුදුරදුන් එයට පිළිතුරු
දුන්නේ “ ලෝකය දුක උඩ පිහිටියේය “ කියායි. “ දුක්ඛෙ ලොකො පතිට්ඨීතො “
බුදුරදුන්ට පෙනුනේ මැවී ඇති සියලුම දෙයෙහි විද්‍යාමාන වන අනිත්‍ය ,
දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුනයි. උන්වහන්සේ නොයෙක් විට ඒ ගැන සාකච්ඡා කළා
මිස මවන්නෙකු ගැන කතා කෙළ් නැත. සැළකිල්ල දැක්වූයේ නැත. එය එතරම්ම
නිෂ්ඵල වූවක් බැවිනි. එවැනි දේ ගැන බුදුහු ස්වකීය අගනා කාලය මිඩංගු
කිරීමට කැමති නුවූහ. නිෂ්ඵල ප්‍රශ්න වලදී උන්වහන්සේ බොහෝ විට නිශ්ශබ්ද
වූහ. පිළිතුරු නො දී සිටිය හ. බුදුහාමුදුරුවෝ ගැලවුම් කාරයෙක් ද
නොවෙති. “අනත්ත “ ආත්මයක් නැතැයි වදාළ බුදුහු නැති ආත්මයක් ගැලවූයේද
නැත.
එතුමෝ විමුක්තියේ “ දුකින් මිදීමේ “ මාර්ගය පෙන්වා දුන්හ. “ තමන්ට
පිහිට තමන්මය -අනිකෙක් කෙසේ පිහිට වෙත් දැ”යි “අත්තාහි අන්තනො නාථො -
කොහි නාථො පරොසියො” අනුන්ගේ පිහිට පතන්නන් ගෙන් බුදුහු එක එල්ලේම ඇසූහ.
ආත්ම ගෞරවයක් නැති, අනුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වන ස්වකීය මිනිස්
බුද්ධියෙහි හා ශ්‍රමයෙහි වටිනාකම නො දත්, අභ්‍යන්තරික ගුණධර්ම බලයක්
නැති, නොපෙනෙන බලවේගවලට වැඳ වැටෙන යාච්ඤාකරණ, හීන, දීන හැඟීම් ඇති අයට
මේ බුද්ධ වචනය හොඳ පාඩමකි. බුදුන් වහන්සේ කිසිම කෙනෙකු ගැලවූයේ නැත.
එහෙත් සසර දුකින් මිදීමේ මාර්ගය ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්හ.
එබැවින් උන්වහන්සේ ගැලවුම් කාරයෙක් ද නොවෙති.
ඉහත සඳහන් කරුණු වලින් බුදුන් වහන්සේ දෙවියකු හෝ මැවුම්කරුවෙකු හෝ
ගැලවුම්කරුවෙකු හෝ නොව මානව සංහතියෙහි මෙතෙක් උපන් උත්තරීතර මනුෂ්‍යයා
බව ඔප්පුවෙයි. උන් වහන්සේ මිනිසෙකු වූ නිසාම බුදුවරයෙක් වූහ. බුදුවීම
මිනිසෙකුට ම මිස වෙන මොනම දෙවියෙකුටවත් කළ හැක්කක් නොවේ. බුදුවීමෙන්
උන් වහන්සේ මිනිස් බුද්ධියට මිනිස් කමට මිනිසෙකු විසින් ලබාදිය හැකි
උසස්ම තැන, උසස්ම ගෞරවය ලබා දුන්හ. බුද්ධිමත් , ගුණවත් මිනිසා
දෙවියන්ටත් වඩා උතුම් බව, බලවත් බව, ශ්‍රේෂ්ඨ බව, පෙන්නූ එකම
මනුෂ්‍යයා, එකම ශාස්තෘවරයා බුදුහාමුදුරුවෝයි “ දෙවියෝ බුදුන් හමුවන්නට
අවුත් වැඳ එකක් පසෙක හුන්හ. .”අඤ්ඤතරා දෙවතා භගවන්තං අභිවාදෙත්වා
එකමන්තං අට්ඨාසි “ බ්‍රහ්මයෝ බුදුන් හමුවන්නට අවුත් දකුණු දණ බිම ගසා
ඇදිලි බැඳ ප්‍රශ්න ඇසූහ .” “අථඛො බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරා සංඝං
කරිත්වා දක්ඛිණ ජානුමණ්ඩලං පුථුවියං නිහන්ත්වායෙන භගවා තෙන අඤ්ජලිං
පණාමෙත්වා භගවන්තං එතදවොච “
මහබඹුට, දෙවිවරුන්ට, මැවුම්කරුවන්ට වැඳුම් පිදුම් කළ රටක, එබඳු යුගයක ,
මිනිසෙකු වූ බුදුන් වහන්සේ ඉපිද අනික් මිනිසුන් බල බලා සිටිද්දී
දෙවියන්ගෙන්, බඹුන්ගෙන් වැඳුම් පිදුම් ලැබූහ. ගරු බුහුමන් ලැබූහ. ඇප
උපස්ථාන ලැබූහ. මීට වඩා ආශ්චය¸යක් ඒ යුගයේදී ලෝකයේ කවර නම්
මනුෂ්‍යයෙකුගෙන් සිදු වී තිබේද? සිල්වත් ගුණවත් මිනිසාට දෙවියන් පවා
ගරු බුහුමන් කරන බව බුදුහු පැවසූහ. තමන්ට නොපෙනෙන , නොවැටහෙන හැම
බලයක්ම දෙවියන් පිට පැටවූ මිනිසාට ඒ දෙවියන්ගේ පිහිට නැතුව , තමන්ගේම
පිහිට ලබා ගන්නා ලෙස “අත්ත දීපා විහරථ අත්ත සරණා න අඤ්ඤ සරණා” බුදුහු
වදාළහ. ආත්ම ශක්තිය , ආත්ම විශ්වාසය, ආත්ම ගෞරවය, ආත්මාභිමානය හා
ජීවත්වීමේ නියම ක්‍රමය පිළිබඳව මෙයට වඩා විචාරාත්මක, බුද්ධිමත්
ප්‍රකාශයක් තවත් ඇද්ද? මිනිස් බුද්ධියෙන්, මිනිස් ශ්‍රමයෙන්, මිනිස්
බලයෙන් ලොව කළ නොහැකි දෙයක් නැති බවත් ඒවා අනුන් පිට පවරා මිනිසුන්
ස්වකීය බුද්ධිය හා ශ්‍රමය ක්‍රියාවේ නොයොදා, එයින් වැඩ නොගෙන නිකම්
සිටීම මිනිස්කමට මදිකමක් බවත් පැවසූ බුදුන් වහන්සේ හොඳ වැඩ ආරම්භ කරව්!
ඒ වැඩ සඳහා නික්මෙව්!! ඒ වැඩ වල යෙදෙව්! “ආරභථ! නික්ඛමථ!! යුඤ්ජථ!!!
බුද්ධසාසෙන “ යයි හමුදා පතියෙකු මෙන් ස්වකීය සුචරිත හමුදාව දිරි
ගැන්වූහ. ඉදිරියට යැවූහ.
බෞද්ධයන් වශයෙන් අපට ඇති ලොකුම සතුට, පී‍්‍රතිය, සැනසීම හා ආඩම්බරය නම්
අප අදහන අපේ ශාස්තෘවරයා ඉතිහාසයක් නැති දෙවියෙකු නොවී, ඉතිහාසයක් ඇති
උත්තරීතර මනුෂ්‍යයකු වීමයි. |