ලෝක පාලක ධර්ම
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක, ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ද්වේ මේ භික්ඛවේ සුක්කා ධම්මා ලෝකං පාලෙන්ති
කතමේ ද්වේ? හිරිච ඔත්තප්පඤ්ච’ති.
පින්වතුනි ,
භාග්‍යවතුන් වහන්සේ විසින් ශුක්ල ධර්ම නම් වූ මෙම සූත්‍රය වදාරණ
ලද්දේය. “මහණෙනි, සුක්ක හෙවත් යහපත් වූ ධර්මයෝ දෙදෙනක් ලොව පාලනය කරත්.
කවර දෙදෙනෙක්ද? ඒ ලැජ්ජාව ද බිය ද නම් කරුණු දෙකය.” තථාගත බුදුරජාණන්
වහන්සේ විසින් දේශනා කරන ලද මෙම උතුම් ධර්ම කරුණු දෙක ඛුද්දක නිකායේ,
ඉතිවුත්තක පාළියෙහි සුක්ක ධම්ම සූත්‍රයෙහි සඳහන් වෙයි. මෙම ලජ්ජාව හා
බිය දෙක විසින් ලෝකය පාලනය කරනු ලැබේ. කුමකින් ලොව පාලනය කරන්නේද?.
ලෝවැසි ජනයා තිරිසන් සත්වයන් මෙන් හැසිරීමෙන් වළක්වා පාලනය කරන්නේය.
මෙම යහපත් වූ ධර්ම දෙක ලොව පාලනය නොකරන්නේ නම් ලොවෙහි මනුෂ්‍යයන් පත්වන
ස්වභාවය බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කරති “මේ ශුක්ල ධර්මයෝ දෙදෙන
ලොව පාලනය නොකරන්නේ නම් මෙහි මව කියා හෝ සුළු මව කියා හෝ නැන්දනියෝ
කියා හෝ ගුරුවරයාගේ භාර්යාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්යාවෝය කියා හෝ
තැකීමකට නොපැමිණෙන්නේය. ලෝවැසියා එළුවන් හා බැටළුවන් මෙන් ද කුකුළන්
ඌරන් මෙන්ද, බලු සිවලුන් මෙන්ද වෙනස්වීමෙන් ඇතිවන්නා වූ සංකරයට
පැමිණෙන්නේය. මහණෙනි! යම් හෙයකින් මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව පාලනය
කෙරෙත්ද, එහෙයින් මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දනියෝ කියා හෝ
ගුරුවරයාගේ භාර්යාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්යාවෝය කියා හෝ තැකීමක්
පැමිණෙන්නේය.
මෙම උතුම් තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි වන්නේ ලජ්ජා බිය
නොමැතිවීමෙන් මනුෂ්‍යයන් කොපමණ නම් වූ පහත් තත්වයට පත්වන්නේද යන බවය.
පින්වත් ඔබ සැමට ඉතා සරල වූ නිදසුනක් දක්වන්නට කැමැත්තෙමි. එනම් සුනඛ
ආදී තිරිසන් සත්තු කුඩා කාලයේ දී එම සතාගේ මවගෙන් කිරි උරා බොති.
එනමුත් එම සතා වැඩෙනා විට මේ මගේ මව් වන්නේය කියා හැඟීමක් එම තිරිසන්
සිතේ නොවන්නේය. තිරිසන් සත්වයෝ තමන් රිසිසේ එකිනෙකා සමග හැසිරෙති.
එනමුත් මිනිස් සිතක ‘මාතා’ අම්මා, මෑණියන් වහන්සේ නම් වූ වචනය කොපමණ
නම් පාරිශුද්ධියට පත්වී ඇත්ද? තථාගත බුදුරජාණන් වහන්සේ විසින් “ බුද්ධ
මාතා” යනුවෙන් මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියන්ට ආමන්ත්‍රණය කළසේම බෞද්ධ
වූ අප කෙලෙස් නොනැසූ අපගේ ගුණවන්ත මෑණියන් වහන්සේම බුද්ධ මාතා යනුවෙන්
ආමන්ත්‍රණය කරන්නට පුරුදු වී සිටිමු. “ මගේ බුදු අම්මා” යනුවෙන්
පැවසුවේ එබැවිනි. ලෝකයේ කවර රටක කවර ජාතියක , කුමන සංස්කෘතියකට අයත්
වුවද ශීලාචාර එනම් මෙම ලජ්ජා බිය දෙකින් යුතු මනුෂ්‍යයෝ මවුපදවිය ද
අම්මා නම් වූ වචනයද ශ්‍රේෂ්ඨ කොට සළකති. උතුම් බුදුදහමෙහි බුද්ධත්වය
දක්වා වූ ශ්‍රේෂ්ඨත්වයටම පත්කොට ඇත. එයට හේතුව නම් බුදුරජාණන් වහන්සේ
නමක් ලොවට පහළ වන්නේ ද මවුකුසකින් බැවිනි. උතුම් බුදු දහමින් පෝෂණය වූ
ජනයා තම මවට මෙන්ම තම මවගේ වයසේ පසුවන සියලු මවුවරුන් කෙරේ කරුණා
මෛත්‍රියෙන් හා මව් සෙනෙහසින්ම බලති. කතා කරති. උපස්ථාන කරති. මේ මගේ
මව වන්නේය යන හැඟීම පමණක් නොව මේ මාගේ අම්මාගේ වයසෙහි පසුවන හා මේ
මාගේ මව් වැනිය යන හැඟීම ඉවත් වුවොත් අභාවිත හා චංචල සිතක රාගය හෝ ආශාව
පහළ විය හැක්කේය. එය කොපමණ නම් භයානක හා පාපකාරි විය හැක්කේදැයි ඔබට
සිතාගත හැකිය. භාවිත සිතක් යයි මෙහි පැහැදිලි කරන්නේ රාග, දෝස හා මෝහ
නම් වූ ප්‍රධාන ක්ලේශයන් යහපත් කිරීමට තුනී කිරීමට හා ප්‍රහාණය කිරීමට
වීර්ය කරන්නා වූ හා එම වීර්යයෙන් කෙලෙස් ප්‍රහාණය කළ සිතකටය. මෙම භාවිත
සිතක් ඇති කර ගැනීම සඳහා පාපයට, අකුසලයට ඇති හිරි ඔත්තප්ප හෙවත් ලජ්ජාව
හා බියද මහත්සේ හේතුවෙයි. එම කෙලෙස් ධර්ම වැඩීමම දුක් පිණිස හේතුවන
බවත් සසර දීර්ඝ වන බවත්, දුගතිවල උපත ලබා අනන්ත දුක් විඳීමට හේතුවන
බවත් දකිනා විට හා දැනෙනා විට තමා කෙරේ බියක් ඇතිවන්නට පටන් ගනී. තමා
කෙරේ බිය ඇතිවුනේ මෙම රාගාදී අකුසල් නිසා බව නුවණ ඇත්තා අවබෝධයෙන්
දකින්නට වෙයි. අකුසලය කෙරේ ලජ්ජා බිය හටගන්නේ මේ අවස්ථාවේ බවට මෙම
රාගාදී අකුසල ධර්ම හටගැනීමට හේතුවන අරමුණු කෙරේ සතිය පවත්වා ගන්නට නුවණ
ඇත්තා උත්සාහ ගනී. මේ මගේ මව්ය , මේ මාගේ සුළු මව්ය, මේ මාගේ
නැන්දනියෝ, මේ මාගේ ගුරුවරයාගේ භාර්යාවය, මේ ගරුකළ යුත්තන්ගේ භාර්යාවෝය
ආදී ලෙසින් සතිය පිහිටුවාගෙන සිත වරදවා පවත්වන්නට අවස්ථාවක් නොපවතී. මේ
අවස්ථා පැහැදිලි කිරීම පිණිස මජ්ඣිම නිකායේ සඳහන් විතක්ක සන්ඨාන
සූත්‍රයෙන් උතුම් ධර්ම කොටසක් ගෙනහැර දක්වමි.
“කුසලාරම්මණයක් මෙනෙහි කරන විටත්, ඒ භික්‍ෂුවට ලෝභ දෝස මෝහ සහගත වූ
අකුසල් සිතුවිලි ඇතිවේ නම්, ඔහු ඒ අකුසල් සිතුවිලිවල ආදීනව මෙසේ සළකා
බැලිය යුතුයි. මේ සිතුවිලි අකුසල්ය. වැරදිය. දුක් විපාක ගෙන දෙන්නේය.
මෙසේ ඒ සිතිවිලිවල ආදීනව සළකා බලන විට ඒ ලෝභ සහගත දෝස සහගත මෝහ සහගත
අකුසල් සිතිවිලි පහවෙයි.සංසිඳෙයි. අකුසල් සිතුවිලි පහවූ විට ඔහුගේ සිත
සන්සුන් වෙයි. නිසල වෙයි. එක් අරමුණක පිහිටයි. සමාධි ගත වෙයි. සිරුර
සැරසීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ, තම බෙල්ලේ එල්ලන ලද ,
නයි කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ දැක ලජ්ජාවට පත් වී එය
අතිශයින් පිළිකුල් කරමින් ඉවත් කරන්නේ යම් සේද, එමෙන්ම භික්‍ෂුව ඒ
අකුසල සිතිවිලිවල ආදීනව මෙනෙහි කිරීමෙන් ඒවා ඉවත් කරයි. එවිට ඔහුගේ සිත
සන්සුන් වෙයි. නිසල වෙයි. එක් අරමුණක පිහිටයි. සමාධිගත වෙයි “ පාපයට
ලජ්ජාව හා බිය නොමැතිවීමෙන් අකුශල මූලයන් බහුලව වැඩෙන අතර පාපයට ලජ්ජාව
හා බිය ඇතිකරන සිහිනුවණ පවත්වා ගැනීම නිසා කුසල මූලයන් දියුණු කරගත
හැකිය.
තථාගත බුදුරජාණන් වහන්සේගේ මඟ අනුගමනය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින්
ලැබිය යුතු ධන හතක් සප්ත ආර්ය ධනය නමින් අංගුත්තර නිකායේ සංඛිත්ත ධන
සූත්‍රයේ පෙන්වාදී ඇත. ඒවා නම් සද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප
ධනය, සුත ධනය චාග ධනය හා පඤ්ඤා ධනය යනුවෙනි. මෙම සප්ත ආර්ය ධනයට හිරි
ඔතප් හෙවත් පවට ඇති ලජ්ජා බිය ඇතුළත් වීමෙන් පැහැදිලි වන්නේ මෙහි ඇති
වටිනා බවයි. පාපයට හෝ වරදට ලජ්ජාවක් බියක් නැතිව හැසිරෙමින් කොපමණ නම්
විශාල ධනයකට උරුමකම් කියන්නේද එය යහපත් වූ නියම ධනවතෙකුගේ ලක්‍ෂණයක්
නොවේ .
පළමුව පාපයට, අකුසලයට ලජ්ජා බිය ඇති කර ගැනීමෙන් අප කෙරේ ස්වයං සංවරයක්
හෙවත් විනයක් ඇති කරගත හැකිය. මෙම ඇතිවුණා වූ කායික හා මානසික සංවර බව
චිත්ත සමාධියක් බවට පත්කර ගත යුත්තේ ය . ඒ, සතර සතිපට්ඨානය වැඩෙන
ආකාරයෙනි. කය මුල් කරගෙන බලමින් හා දකිමින් සිහිය පිහිටුවා ගැනීම
කායානුපස්සනාවය තමා විඳීන්නා වූ විඳීම් හෙවත් වේදනාවෝ දකිමින් සතියෙන්
යුතුව සිත පිහිටුවා ගැනීම වේදනානුපස්සනාවයි. තමා කෙරේ ඇතිවන්නා වූ රාග,
දෝස, මෝහ ආදි සිත් මෙනෙහි කරමින් සිහිය පවත්වා ගැනීම චිත්තානු
පස්සනාවය. සිතෙහි ඇතිවන යහපත් හා අයහපත් සිතිවිලි වර්ග පහකට වෙන්කොටගෙන
බලමින් හා දකිමින් සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනාවය . එම වර්ග පහ
නම් පඤ්ච නීවරණ, පඤ්ච උපාදානස්කන්ධ, සළායතන, සප්ත බොජ්ඣංග ධර්ම හා
චතුරාර්ය සත්‍ය ධර්මයෝය. මෙම චිත්ත සමාධිය මනා වූ ලෞකික හා ලෝකෝත්තර
ගමන් මඟෙහි සුව ඇතිකරයි.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මෙම සුක්ක ධම්ම සූත්‍රයෙහි අවසානයේ
වදාළ උතුම් ගාථා රත්නයෙහි කරුණූ දෙක කෙරේ ඔබේ සිත යොමු කරවන්නට
කැමත්තෙමි
“යේසං හිරි ඔත්තප්පං සබ්බදා ච න විජ්ජති
වොක්කන්තා සුක්කමූලා තේ ජාතිමරණගාමිනො
යේ සඤ්ච හිරිඔත්තප්පං සදා සම්මා උපට්ඨිතා
විරූළ්හ බ්‍රහ්මචරියා තේ සන්තෝ ඛීණ පුනබ්භවාති “
“ඉදින් යමෙකුට ලජ්ජා බය දෙක හැමකල්හි එළඹ සිටියාහු නොවෙත්ද, ඒ කුශල
මූලයන් බැහැර වූ ඔහු ජාති ජරා මරණයට පැමිණෙන්නෝ වෙත් “
“යම් කෙනෙකුට වනාහි ලජ්ජා බය දෙක හැමකල්හි මැනවින් එළඹ සිටියාහුද
වැඩුණු බඹසර ඇති ශාන්ත ගුණ ඇති ඔහු පුනර්භය ක්‍ෂය කළෝ නම් වෙත් .”
පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණාබෝධයම
සැළසේවා.
|