UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් දකින්නට වැඩම කළහ. මෙසේ බුදුරජාණන් වහන්සේ වඩින බව දුර සිටම දුටු රාහුල සාමණේරයන් වහන්සේ බුදුහිමියන්ගේ පා දෝවනය සඳහා පැන් පිළියෙළ කළහ. බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරිවන සේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ ‘රාහුල බදුනෙහි ඉතිරි වූ ජලය ඔබට පේනවා නේද? වදාළහ. රාහුල හිමියෝද එහෙමයි ස්වාමිනී! යි පිළිතුරු දුන්හ. එම දේශනාපාඨයට අනුව ජීවිතයේ සත්‍යගරුක බව ‘ප්‍රත්‍යවේක්‍ෂණයෙන් (පච්චවෙක්ඛණා) හඳුනාගත යුතු බව මින් පැහැදිලි වේ. මෙම සූත්‍ර දේශනාව කුමක්ද? එහි අන්තර්ගත කරුණ කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුරු- රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වී වැඩිකලක් යාමට මත්තෙන් දේශනා කළ සූත්‍රයකි. ‘අම්බලට්ඨික රාහුලෝවාද’ සූත්‍ර ය. එහි කියැවෙන්නේ සත්‍යගරුක බවයි. පා දෝවනය කොට ඉතිරි වූ ජලය පෙනෙන බව සත්‍ය වශයෙන්ම දුටු රාහුල සාමණේරයන්ට බුදුහිමියන් වදාළේ. රාහුල හිතාමතා බොරු කියන ලැජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් මෙවැනි යැයි වදාළහ. අනතුරුව ඒ ඉතිරි ජල ස්වල්පය ඉවත ලූ බුදුරජාණන් වහන්සේ රාහුල හිතාමතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තාගේ ජීවිතයත් ඔය අයුරින්ම ඉවතලන ලද්දකැයි වදාළහ.

හිස් බඳුන උඩු අතට තැබූ බුදුරජාණන් වහන්සේ සිතා මතා බොරුකීමට ලජ්ජාවක් නැති අයගේ ජීවිතය ද හිස්ය. නිසරුය. සිතා මතා බොරු කියන්නට ලැජ්ජා නොවන කෙනකුට කරන්නට නොහැකි පාප කර්මයක් නැතැයි මම කියමි. රාහුල එහෙයින් ‘තමන් කිසිවිටකත් බොරුවක් නොකියමියි සිතා හික්මීම අවශ්‍ය යැයි වදාළහ.

ප්‍රශ්නය - පෙල දහමට අනුව ‘කරුණාව‘ බ්‍රහ්ම විහාරයකි. (උතුම් හැසිරීමකි) දේශනාවට අනුව අනුකම්පා, දයා, යන වචන ඊට සමාන්තරව (පර දුඞඛෙ සති හදයකම්පනං) යෙදෙන බව පෙන්වා ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර - මෛත්‍රියට සවුසතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) අරමුණු වන අතර දුකට පත් සත්ත්වයා (දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා) එයින් මුදවාලීම කරුණාවේ ඒකාන්ත අරමුණ වේ. සම්මා සංකප්පය ගොඩනගන අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව, දයාව, අනුකම්පාව ගැබ්වෙයි. මෛත්‍රීය තමා සමාන කොට අන් අය කෙරෙහිද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත්‍රීය කළයුත්තේ් මවක් එකම පුතු රකින ලෙසයි. මෙයින් බුදු සමය තුළින් අවධාරණය කොට ඇත්තේ කිසි ප්‍රතිලාභයක් සඳහා හිත මිතුරු ආකල්පය නොපැවැත්විය යුතු බවයි. එය පේ‍්‍රමය නොවේ. පේ‍්‍රමය ශෝකයත් බියත් ඇති කරයි. (පෙමතො ජායතී සොකො - පෙම තො ජායතී භයං) එමනිසා එය බැහැර ලිය යුතු බව බුද්ධ දේශනාවයි.

ප්‍රශ්නය - පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුන් වහන්සේ වදාළහ. මෙම මිථ්‍යා දුෂ්ඨිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ඊට ප්‍රතිපක්ෂ ධර්මයන් පුුරුදු පුහුණු කළ යුතුය. පැහැදිලි කරන්න.

පිළිතුර - ම.නි. කෝසම්බිය සූත්‍ර පාඨයක් ඇසුරු කිරීමෙන් පිළිතුර සකස්කර ගැනීමට බෙහෙවින් උපකාරී වන නිසා එය පළමුවෙන් කියවන්න. ‘යේ තෙ ලාභා ධම්මිකා ධම්ම ලද්දා අන්තම සො පත්ත පරියාපන්න මතකම්පි, තඛා රූපහෙි ලාභෙහි. අප්පටි විභත්ත භෝගී හෝති සිල වන්තෙහි සම්බ්‍රහ්මචාරීහි සාධාරණ භෝගී අයම්පි ධම්මො සාරාණියො පිය කරණො ගරු කරණො සංගහාය අවිවාද්‍ය සාමග්ගියාා එකී භාවාය සංවත්තත්ති. ලබාගත් දෙය කෙතරම් ධාර්මික වුවද සමාජ සමගිය එකමුතුකම අරමුණු කොට ගෙන යටත් පිරිසෙයින් (අවම වශයෙන්) පාත්‍රයට ලැබුණ සුළු දෙය වුවද බෙදා නොගෙන නොවැළදිය යුතු බව දැඩි ලෙස කියවෙයි. ගෘහස්ථ බෞද්ධයාට පරිත්‍යාගය (චාග) සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සංගහ වත්ථූ) දානය පළමුවැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. බෞද්ධ වුවත් නැතත් මිනිස් සමාජය ශිෂ්ඨසම්පන්න සංවිධානයක් ලෙස පැවැත්මට (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය වෙයි. පෙල දහමෙහි ප්‍රධාන හේතූන් දෙකක් නිසා දානය අවධාරණය කර තිබෙන බව පෙනේ. ඉන් පළමුවැන්න පුද්ගලයා පිළිබඳ සලකා බැලීමයි. අනෙක පරිත්‍යාගශීලීබව සමාජ ප්‍රගතියට බෙහෙවින්ම හේතු සාධකයක් වන බවයි.

ඉහත සඳහන් කළ පරිදි පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුහිමියෝ වදාළහ. තෘෂ්ණාව නිසා අයත්කර ගැනීම, රැස්කිරීම, මමායනයෙන් මගේ් බවට පමුණුවා ගැනීම එමගින් ආත්මයක් පිළිබඳ විශ්වාසයක් තහවුරු කර ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්ෂ ධර්මයක් වූ ‘දානය’ පුද්ගල සන්තානය තුළ පුරුදු පුහුණු කළ යුතුය. මෙසේ ලෝභය, රාගය, තෘෂ්ණාව,ප්‍රහීණ කිරීමට දානය අනුගමය කළ හැකි ඵලදායි මාර්ගය වෙයි. අත්හැර දැමීමේ උපරිම අවස්ථාව ‘නෙක්ඛම්ම’ නමින් හැඳින්වේ. අධ්‍යාත්මික දියුණුව සැලසීමේ අඩිතාලම එයින් සිදු කැරේ.

සිව් සඟරාවතින් වඩාත් අවධාරණය කර ඇත්තේ දානයෙහි සමාජමය අරුතයි. සමාජයෙහි යහපැවැත්ම සඳහා පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන්

ධනය තැන්පත්වීමට එක්රැස්වීමට (ඒකරාශීවීමට) පටන් ගැනේ. එවිට වෙනත් තැනක අඩුවක් ඇතිවේ. “සන්නිධි කාර පරිභෝජනය” (ධනාශාවෙන් අධිකාරී) බලය ධනය සඳහා යෙදීමෙන් පොදු සමාජය තුළ ධනයෙහි සමතුලිත තාවය (සමසේ බෙදීයාම) නැතිවී ධන තෘෂ්ණාවෙන් සම්පත් සූරා කෑමට ලක්වේ. එවිට සම්පත් හිඟය හා සමාජ දරිද්‍රතාවය (දුප්පත්කම) බහුල වෙයි. එහි ප්‍රතිඵලය අධාර්මික සමාජයක් බිහිවීම බව දී.නි. අග්ගඤ්ඤ සූත්‍රයෙහි මෙසේ සඳහන්ව ඇත.

පුද්ගල පෞරුෂය හෝ බොහෝ හේතු නිසා හැමදෙනාටම එක හා සමානව සම්පත් බෙදී යාමක් නැත. ඇතැමුනට වැඩියෙන් හා තවකෙනකුට අඩුවෙන්ද ලැබීම ස්වභාවයකි. වැඩියෙන් ලබන්නන් නොදී සිටීම (අදනානං ධනෙ අනුප්පාදිය මානෙ දාළිද්දියං වෙපුල්ලං අගමාසි) ඇති නැති පරතරයක් නැතහොත් අසමාන තාවයක් ඇතිකිරීමට හේතු වේ. මෙහි ප්‍රතිඵලය සමාජය තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පමණක් නොව කලි කළහ ඇතිවීමෙන් සමාජ සාමය එකමුතුකම බිඳ වැටීමයි. බිහිසුණු සමාජයක් හා සමාජක්‍රමයක් එමගින් බිහිවනු ඇත.

ප්‍රශ්නය- බුදුන්වහන්සේ භික්‍ෂු සංඝරත්නය විෂයෙහි බලපා හැකි නායකශ්‍රාවකයකු පත්නොකොට පිරිනිවන් පා වදාළසේක. තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශාසනය අශාස්තෘක (මඟපෙන්වන්නෙකු නැති) වන බවත් උන්වහන්සේ දත්හ. එහෙයින් පිරිනිවනට ආසන්න සමයෙහිදී උන්වහන්සේ මෙසේ වදාළහ. ආනන්දය! මවිසින් යම් ධර්ම විනයක් ඔබට දේශනා කරන ලදද? පණවන ලදද? එය මගේ ඇවෑමෙන් ඔබේ ශාස්තෘවරයා වන්නේ ය. මෙම බුද්ධ නියමය ශාසනික පැවැත්ම සඳහා කෙතෙක් දුරට ඉවහල් වූයේද යන්න විමසීමක් කරන්න.

පිළිතුර- බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි දීම ඇතැම් ශ්‍රාවකයෝ අධර්මවාදී අවිනය වාදී කටයුතු වල නියලුණහ. ඇතැම් විට මතභේද නිසා භික්‍ෂු සංඝයා භේදභින්න විය. ඒ සෑම අවස්ථාවක දීම බුදුන් වහන්සේ ඉදිරිපත්ව සංඝයාගේ සමගිය අවධාරණය කළහ. ධර්මයත් විනයත් ශාස්තෘත්වයේ තබා බුදුන් වහන්සේ පිරිනිවි හෙයින් ඒවා බුදුන් වහන්සේ දේශනා කොට තැබූ ස්වරූපයෙන්ම භික්‍ෂූන් වහන්සේ විෂයෙහි කෙතරම් දුරට බලපා හැකි ශක්තියකින් යුක්තදැයි යන කාරණය ප්‍රථම සංඝායනාවෙහි දී සැළකිල්ලට භාජන වන්නට ඇත. ඉන්පසු එහිදී තීරණය වූයේ සංඝයා විෂයෙහි බලපාන ප්‍රඥප්ති සංග්‍රහයක් සම්පාදනය කළ යුතු ය යන්නයි. “උභතො ෂනය සංගායනා කිරීම නමින් සිදුවූයේ එයයි.” එතැන් පටන් භික්‍ෂූන් වහන්සේ විනය ශික්‍ෂාවෙන් බැඳී සිටියහ. උන්වහන්සේ වගකිවයුතු වූයේ ප්‍රාතිමෝක්ෂ ශික්‍ෂාවන්ටය. බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ භික්‍ෂූන් වහන්සේ විෂයෙහි එක්තරා ආධිපත්‍යයකින් වැඩ සිටියහ. මේ වන විට උන්වහන්සේ පිරිනිවනට වැද සිටිහෙයින් භික්‍ෂූන් වහන්සේ විෂයෙහි බල පා හැකි ආධිපත්‍යය ප්‍රථම සංගීතයෙහිදී විනය ශික්‍ෂාවන්ට ආරෝපණය කැරිණ.

මේ අනුව ධර්මය තුළ සංග්‍රහ වී තිබුණු විනය ඉන් ඉවත් වී ධර්ම විනය නමින් දෙකොටසක් හැටියට බෙදී ගියේය.

බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සංඝයා විසින් පිහිටකොටගත යුතු පිළිසරණක් වශයෙන් සංඝ සම්මුතියෙන් කිසියම් භික්‍ෂුවක් පත් කරගන්නා ලදදැයි වස්සකාර ඇමතියා වරෙක ආනන්ද හිමියන්ගෙන් විමසීය. නැතැයි ආනන්ද හිමියෝ පිළිතුර දුන්හ. ආනන්ද හිමියනි! පිළිසරණක් නැති තැන සමගියට මුල කුමක්දැයි වස්සකාර ඇමැතියා නැවතත් ආනන්ද හිමියන්ගෙන් විමසීය. බ්‍රාහ්මණය! අපට පිළිසරණක් නැත්තේ නොවේ. අපට පිළිසරණක් ඇත්තේ ය. ධර්මය අපේ පිළිසරණ යැයි ආනන්ද හිමියෝ පිළිතුරු දුන්හ.

සංඝ සමාජය සම්බන්ධයෙන් තමාට මෙය තේරුම්ගත නොහැකි තත්ත්වයකැයි වස්සකාර නැවතත් කීය. ආනන්ද හිමියෝ ඔහුට මෙසේ පැහැදිලි කරදුන්හ. භික්‍ෂූන් සඳහා පණවන ලද ශික්‍ෂාපද ඇත. මෙම ශික්‍ෂා පද පිළිපැදිය යුතු අන්දම උන්වහන්සේ සාමූහිකව අවබෝධ කොටගනිති. මෙසේ කරන්නැයි උන්වහන්සේට බල කරන්නට කිසිවෙක් නැත. ඔවුන් ලවා එසේ කරවන්නා ධර්මයයි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය
නොවැම්බර් 26 වනදා බදාදා  අපරභාග 8.11 ට ලබයි. 27 වන දා බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]