ධම්මාචල් ප්‍රඥප්තිය
භික්‍ෂූන් වහන්සේ ගේ සමාජයීය කාර්ය භාරය කෙ බඳු විය යුතු ද? මේ
පිළිබඳ ව පොදු එකඟතාවක් අප සමාජයේ නොමැති වූව ද අපවත් වී වදාළ
ගංගොඩවිල සෝම හිමියන් විසින් අනුගමනය කළ වැඩ පිළිවෙළට යම්
පිළිගැනීමක් ලැබී තිබේ. පාර්ලිමේන්තුව වෙත වැඩම කිරීමට
භික්‍ෂූන් වහන්සේ හට ලැබුණු ජනතා සහයෝගය ඒ බව සනාථ කැරෙන
සාධකයක් ලෙස සැලැකිය හැකි ය. නිකාය ආදී බෙදීම් තිබිය දී පවා
වත්මන් භික්‍ෂූන් වහන්සේ ගේ පොදු සමාජයීය කාර්ය භාරය තීරණය
කැරෙන ප්‍රධාන සාධකය වී ඇත්තේ දෙමළ සන්නද්ධ බෙදුම්වාදී
ව්‍යාපාරයේ හැසිරීම යැයි කීම වරදක් නො වේ.
අන්තර්ජාතික සබඳතා පිළිබඳ ස්ථාවරය ද දෙමළ සන්නද්ධ බෙදුම්වාදී
ව්‍යාපාරයේ ගමන් මඟ අනුව ම තීරණය වන වාතාවරණයක් නිර්මාණය වී
තිබේ. මේ තත්ත්වය ඉන්දියාවේ අඛිල භාරතීය බෞද්ධ ධර්ම පර්ෂදය
විසින් අජන්තා නගරයේ ධම්මාචල් බෞද්ධ භූමියේ දී එළිදක්වන ලද
පංචවිධ ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. මුදලක්කුලියේ රතනජෝති
හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ප්‍රකාශිත එම,
‘ධම්මාචල් නොවැම්බර් 10’ ප්‍රඥප්තිය මෙ සේ ය.
1.සියලු වාද භේද දුරැලා, සියලු දාලිත්වරුන් අම්බෙඩ්කාර්තුමා
පෙන් වූ බෞද්ධ ධර්ම මාර්ගයේ යන්නට අධිෂ්ඨාන කැර ගනිමින් සියලු
දාලිත් බෞද්ධයන් ස්ත්‍රී පුරුෂ ලෙස බුද්ධ පුත්‍ර හා බුද්ධ
පුත්‍රී යන නාමය තමන් ගේ නමේ අගට එකතු කැර ගත යුත්තේ ය.
2. ඉන්දියාවේ අද ඇතිවෙමින් තිබෙන බෞද්ධ පුනරුදය පෙරට ගෙන යෑම
සඳහා සියලු ලෝක බෞද්ධයන් ගේ සංවිධානයක් ඇති කැර ගත යුත්තේ ය.
3.අද ඇති වී තිබෙන පරිසර අර්බුදයට පිළියමක් ලෙස බෞද්ධ ජීවන
දර්ශනය ලෝකය වෙත ගෙනයෑමට සංවිධානය විය යුත්තේ ය.
4. යම් බෞද්ධ රටකට හෝ බෞද්ධයකුට අසාධාරණයක් වූ විට සියල්ලෝ ම
එක් ව නැඟී සිටීමට අධිෂ්ඨාන කැර ගත යුත්තේ ය.
5. භාරතයේ ශ්‍රේෂ්ඨ පුත්‍රයා ගේ උතුම් ධර්මය රැකගත් ශ්‍රී
ලංකාවේ ජනතාවත්, බෞද්ධ උරුමයත් ත්‍රස්තවාදී උවදුරකට මුහුණ දී
සිටින මේ මොහොතේ ත්‍රස්තවාදීන් පරාජය කොට ශ්‍රී ලංකාවේ සාමය
ස්ථාපිත කැරලීමට ශ්‍රී ලංකා රජයට සහාය පළ කැර සිටිමු.
තමිල්නාඩුවේ ත්‍රස්තවාදයට ලැදි දේශපාලනඥයන්ට යට නො වූ ඉන්දීය
මධ්‍යම රජයට සහාය පළ කැරේ.
මේ පංචවිධ ප්‍රතිපත්තිය දෙස බැලූ විට, ශ්‍රී ලංකාවේ දෙමළ
සන්නද්ධ බෙදුම්වාදය පිළිබඳ ගැටලුව දෙස අවධානය යොමු කැරෙන අතර ම
එයින් ඔබ්බට ගමන් කිරීමට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දැරූ ප්‍රශස්ත
උත්සාහයක් දක්නට ලැබේ. දෙමළ සන්නද්ධ බෙදුම්වාදී තර්ජනය නිසා
වාර්ගික වුවමනාවන්ට සීමා වූ සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ගේ
සමාජයීය කාර්ය භාරය පුළුල් වූයේ කෙ සේ ද යන්න අප පාඨකයන් ගේ
අවධානයට යොමු කිරීම වැදගත් යැයි සිතමු.
මේ ප්‍රඥප්තියේ අංක 01 ඉන්දියාවේ දලිත්වරුන්ට පමණක් සීමා වන
අතර, අංක 02 ඉන්දියාවට ද, අංක 04 ආසියාවේ බෞද්ධ රටවල් කිහිපයට
පමණක් ද අංක 05 ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට පමණක් වැදගත් වේ.
එහෙත් මෙහි අංක 03 සමස්ත මානව වර්ගයාට ම වැදගත් ය. එය මානව
වර්ගයාට පොදු ගැටලුවක් වෙත අවධානය යොමු කිරීමක් පමණක් නො ව
බුදු දහමේ හරය ලොවට දායාද කිරීම සඳහා දැරූ උත්සාහයකි.
පරිසර අර්බුදය යනුවෙන් හඳුන්වනුයේ මිනිසා ගේ වත්මන් ජීවන රටාව
නිසා මිනිසාට ම අත්විඳීමට සිදු වී ඇති පීඩාව යි. මේ ගැටලුව
නිරාකරණය කිරීම පිණිස මිනිසා ගේ වත්මන් ජීවන රටාව වෙනස් විය
යුතු ය.
ආර්ථික වශයෙන් බලවත් රටවල පමණක් නො ව ආර්ථික ආධාර මත යැපෙන
ඊනියා තුන්වන ලෝකයේ රටවල ජනතාව ද අනුගමනය කැරෙනුයේ අධි පරිභෝජන
රටාවකි. පොහොසත් හා දිළිඳු රටවල් අතර දැකිය හැකි එක ම වෙනස එහි
ප්‍රමාණය පිළිබඳ ව ය. ඇමරිකානු පුරවැසියකු වාහන දෙකක් හෝ තුනක්
පෞද්ගලික ව පරිහරණය කැරෙන විට දිළිඳු රටවල එම තත්ත්වය
සුඛෝපභෝගී එක් වාහනයකට සීමා වීම මෙහි දී උදාහරණ වශයෙන් ගැනීමට
පුළුවන. මේ සුඛෝපභෝගී වාහන මඟින් පරිසරයට මුදා හරින කාබන්
ප්‍රමාණයත්, එම වාහන වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පරිසරයට
කැරෙන හානියත් සලකා බැලූ විට වත්මන් මිනිසා ගේ ජීවන රටාව හා
පරිසර අර්බුදය අතර ඇති සබඳතාව වටහාගත හැකි ය.
වත්මන් ජීවන රටාවෙන් මිනිසා මුදවා ගැනීමේ දී ආහාර පිළිබඳ
ආකල්පය වෙනස් කිරීම ද අවශ්‍ය කැරේ. බුදු දහමෙහි දැක්වෙන යැපීමේ
ප්‍රමාණයට ආහාර ගත යුතු ය යන උපදේශය මෙහි දී ඉතා වැදගත් ය.
එ බැවින් මේ ධම්මාචල් ප්‍රඥප්තිය පුළුල් බෞද්ධ වැඩසටහනක් බවට
පත් කැර ගැනීම අතිශයින් වැදගත් යැයි සිතමු.
|