සම්මත බොදු පිළිවෙතකින්
ගෝලීය තණ්හා ජාලයේ වෙනසක්?
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
අථඛො භගවා භික්‍ඛු ආමන්තේසී, මුත්තෝහං භික්‍ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා
සේචමානුසා තුම්හේපි භික්‍ඛවේ මුත්තා සබ්බපාසේහියේ දිබ්බා යේචමානුසා චරථ
භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය ලෝකානුකම්පාය, අත්ථාය, හිතාය,
සුඛාය දේවමනුස්සානං මා ඒකේන දෙව් අගමිත්ථ දේසේථ භික්‍ඛවේ ධම්ම ආදි
කල්‍යාණං, මජ්ෙක්‍ධ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්බ්‍යංජනං
කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ සන්ති සත්තා
අප්පරජක්ඛජාතිකා අස්සවණ්තා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්ති ධම්මස්ස
අඤ්ඤාතාරෝ.
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොව එක්සැටක් රහතන්වහන්සේ
ඇති වූ පසු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධරත්නයෙන් සත්වලෝකයට එක්වන්
සැනසීමක් උදාකර දීමට මෙසේ වදාළ සේක.
“මහණෙනි” මම යම් වූ දෙව් මිනිස් ලොව කාමයක් වේ නම් ඒ පිළිබඳ රාගාදී
පාශයන්ගෙන් මිදුණෙමි. ඔබලා ද ඒ පාශයන්ගෙන් මිදුණාහු ය. “මහණෙනි” දෙව්
මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස හිත සුවපිණිස
හැසිරෙන්න. මුල මැද අග යහපත් වූ අර්ථ සහිත ව්‍යංජන සහිත සියල්ලෙන්
සම්පූර්ණ වූ පිරිසුදු ධර්මය දේශනා කරන්න. බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන්න.
අල්පරජස් ඇති සත්වයෝ වෙති. ඔවුහු ධර්මය නොඇසීමෙන් පිරිහෙති. ධර්මය
ඇසීමෙන් අවබෝධ කරගන්නාහ.
අප මහා බෝසත් උතුමන් බුද්ධගයාවේ බෝ මැඩ දී ලොව්තුරා බුද්ධත්වයට
පත්වීමෙන් බුද්ධරත්නයත්, බරණැස ඉසිපතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාවෙන්
ධර්මරත්නයත්, අඤ්ඤා කෝණ්ඩඤ්ඤ හිමියන් ධර්මය අවබෝධ කරගෙන ප්‍රථම ශ්‍රාවක
බවට පත්වීමෙන් සංඝරත්නයත් යන තෙරුවන් මිහි මත පහළවීම, අති දීර්ඝකාලයකට
පසුව කෙළ කෝටි සංඛ්‍යාත සත්ව සන්තාන සැනසීමට, මොහඳුරු දුරු කිරීමට,
සදහම් කිරණින් තුන්ලොව ඒකාලෝක කිරීමට, සදහම් අමාවැස්සෙන් රාගාදී කෙලෙස්
ගිනි නිවා සදාසැනසීමට හේතු විය.
“යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” යම් දෙයක් හේතුවක් නිසා
හටගනීද ඒ සියල්ල විනාශ වන සුළු ය. යන පරම සත්‍යය අවබෝධ කරගත් අඤ්ඤා
කොණ්ඩඤ්ඤ ප්‍රථමආර්ය ශ්‍රාවකයන් වහන්සේගෙන් ආරම්භ වූ ආර්ය සංඝ ශාසනයේ
ක්‍රමයෙන් සැට නමක් වූ ශ්‍රාවකයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින්
දෙවා වදාළ උපදේශය, සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කිරීමෙහිලා උන්වහන්සේගේ
ආර්ය ගුණය වීර්ය, ඉවසීම, කාලය, අර්ථවත් ධර්ම දේශනා කුසලතා ආදී සියලු
කරුණු හේතු විය.
බුද්ධ ධර්මය සෙසු ධර්මයන්ට වඩා සර්ව ජනහිතවාදී වීමට ප්‍රධාන හේතු
කීපයක් විය.
01. ධර්මය අවබෝධ කරගත් බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය.
02. ධර්මය ස්වාක්ඛාත වීම.
03. ශ්‍රාවකයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණාංග.
මෙම ගුණාංග තුනම බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම ප්‍රචාරක දේශනාවෙන්ම ප්‍රකට
වූ අතර, එතෙක් මෙවන් උතුම් ධර්මයක් නොතිබූ බැවින් පොදුජනතාව අතර ඉතා
පි‍්‍රය ජනක දහමක් බවට මේ දහම පත් විය.
බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් සත්වලෝකය සමඟ ගැටීමෙන් ලබාගත් අවබෝධයෙන්ම
සසර පවත්නා භයානකත්වයට හේතුව වූ තණ්හාදී බැඳීම් සම්පූර්ණයෙන් චිත්ත
සන්තානයෙන් මූලෝච්ඡින්න කළ සේක. මේ නිසාම ලොවට අවවාද අනුශාසනා, උපදේශ
දීමට තමන් වහන්සේ සර්ව සම්පූර්ණ වූ සේක.
ජාති ජාතීන්හිදී පුරුදු කළ පාරමී ධර්ම බලයෙන් ලබාගත් සත්තිස් බෝධි
පාක්‍ෂික ධර්ම සම්පත්තීන්ද, ඇතුළු නව දහස් අසූ කෙළ පනස් ලක්‍ෂ සතිසක්
මහා සංවර සීලය, දස බල ඤාණ ආදී අසම සම ගුණංගයන්ගෙන් සර්ව සම්පූර්ණ වූ
බුදුරජාණන් වහන්සේගේ අදහසක්, දේශනාවක් අවවාදයක්, නියමයක් අතික්‍රමණය
කිරීමට, යළි නිර්වචන ප්‍රතිවිරුද්ධ වචන දීමට සමතෙක් සත්වලෝකයේ ඇත්තේම
නැත. මේ නිසා තමන් වහන්සේ අප්‍රමාණ දරුණු මාර සේනාව මධ්‍යයේ
විහංගමානං ගුරුළෝව මජ්ඣෙ
මජ්ඣෙ මිගානං පරමෝව සීහෝ
මහායසෝ මාරබලස්ස මජ්ඣෙ
විසාරදෝ වීතභයෝ නිසීදිය
ආදී නයින් විස්තර කළ පරිදි නිර්භයව, නිසංසලව, මහ මෙර සේ වැඩ හුන් සේක.
එවන් ගුණැති බුදුරදුන්ගේ ධර්මය ද එසේමැයි.
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලොවුතුරා ශ්‍රී සද්ධර්මයද මුල, මැද,
අග යහපත් වූ අර්ථ සහිත, ව්‍යංජන සහිත සියල්ලෙන් සම්පූර්ණ පවිත්‍ර
බ්‍රහ්ම චරියාවකි. දෙලොව යහපත ඇති කරන, නුවණින් ප්‍රත්‍යක්‍ෂවන්නා වූ
සදා සැනසීම ලබාදෙන අසහාය ධර්මයකි. වචනයක් පාසා දෙලොව ශාන්තිය ඇති කරන
නිර්වාණාවබෝධය ලබාදෙන අර්ථ සහිත සිථිල ධනිතාදී ව්‍යංජන සහිත, ඇසීමෙන්
ධාරණයෙන්, පිළැපැදීමෙන් සසර දුකට හේතු නැති කරන එය අමාවතුරක් හා සම
වන්නේ ය.
ධාරේතීති ධම්මෝ යන අර්ථ විවරණයට අනුව සතර අපායේ වැටෙන සත්වයන් එයට
නොවැටීමට දරාගෙන ආරක්‍ෂා කරන අදහස ඇති ධම්ම යන වචනය මේ විශ්වයේ අති
ශ්‍රේෂ්ඨ නාමයකි. එහෙත් සත්වයන්ට ආරෝපණය වීමෙන් ක්‍රියාත්මක වන, එමෙන්ම
ප්‍රතිවිරුද්ධ ක්‍රියා නිසා සමාජය තුළින් මතු වන වචන යයි. ලෝකයේ
ස්වාභාවික ප්‍රවණතාව ධර්ම, අධර්ම දෙකම විද්‍යමාන වීම යි. එහෙත්
සත්වයාගේ ජන්ම ගතිය අනුව අධර්මයට සිත යොමු කිරීම අධික ය. බුදු පසේබුදු,
රහත් යන ආර්ය උත්තමයන් අධාර්මික සමාජය තුළින් ම බිහිවී ධර්මයේ උපරිම
තත්ත්වයට පත් වූ අය බැවින් උන්වහන්සේ ද ධර්මය හා අධර්මය හොඳින් අවබෝධ
කරගෙන එකී අධර්මයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමේ මාර්ගය සද්භාවයෙන්ම
ජනතාවට පහදාදෙති.
සදේව මනුස්සාසයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති, සෝධම්මං දේසේති, ආදි
කල්‍යණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං ආදී නයින් විස්තර වන්නේ,
බුද්ධ ධර්මයේ ඇති ක්‍රමිකභාවය යි. ආදී සීලය, මැද සමාධිය අග ප්‍රඥාව ආදී
වශයෙන් අර්ථ, ව්‍යංජන සහිත උපක්ලේශ රහිත ශාසන බ්‍රහ්ම චරියාව අප
බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක.
නමස්කාරයේ පටන් පංචශීල, අෂ්ටාංග ශීල සාමණේර, උපසම්පදා, ලෞකික ලෝකෝත්තර
වශයෙන් සීලය සම්පූර්ණ නම් සමාධියට අයත් ධ්‍යාන සමථ ආදී ආධ්‍යාත්මික
ශක්තීන් ජනිත වෙයි. සීලයෙන් ශික්‍ෂණයත්, සමාධියෙන් චිත්තේකාග්‍රතාවයක්
ඇති නම්, ප්‍රඥාවෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකි ය.
සීලයෙන් කාම සම්පත් පිළිබඳ තද ආශාව සමනය වන අතර, සමාධියෙන්
අත්තකිලමථානුයෝගා දී සාවද්‍ය ප්‍රතිපත්ති පිළිබඳ චින්තාව බැහැරව
නිර්වාණගාමී ප්‍රතිපදාවට සිත යොමු වෙයි.
විශ්වයේ පෙර නොවී විරූ නො ඇසූ මෙම ධර්මය ස්වයං චින්තනයෙන්ම
ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමට තරම් ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තේ ලොවුතුරා
බුදුකෙනකුට පමණක් බව, මානව පරපුරේ ඉතිහාසය අනුව පැහැදිලි වෙයි. මේ නිසා
ප්‍රථම ධර්ම දේශනාවේ ශබ්ද තරංග ශක්තිය අකනිටා බඹලොව දක්වා පැතිරුණු
අයුරු දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රකට වෙයි. ද්‍රව්‍ය දෙකක් ගැටෙන
විට එහි ශබ්දය ගමන් කරන්නේ ගැටෙන ප්‍රමාණය අනුවත් වාතාශ්‍රයේ ගමන
අනුවත් ය. එහෙත් රාගාදී කෙල් ශාවරණයන්ගෙන් බැහැරව විවෘත වූ මනසින්
විහිදුවන මානසික තරංග සමස්ත විශ්වයේ සත්වයන්ගේ සිත් තුළට ආරෝපණය කිරීමේ
හැකියාව ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යන ප්‍රාර්ථනාවෙන් මොනවට
පැහැදිලි වෙයි.
දේශක, ශ්‍රාවක දෙපක්‍ෂයේම විවෘත මානසිකත්වය ධර්මාවබෝධයට මූලාධාර වෙයි.
බුදුරදුන් මෙන්ම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ද මෙම උතුම් නිර්වාණගාමී
පවිත්‍ර ධර්මය ජනතා සන්තානයේ තැන්පත් කිරීමට ප්‍රධාන වශයෙන් ධර්මයෙන්
තම තමන් ලබාගත් ආත්ම ශක්තිය උපයෝගී කරගත්හ.
බරණැස ඉසිපතනාරාමය මධ්‍යස්ථාන කරගෙන ආරම්භ වූ ධර්ම ප්‍රචාරය, ගම්
නියම්ගම්, රාජධානි වශයෙන් සිඝ්‍රයෙන් වර්ධනය වූයේ බුද්ධ ශ්‍රාවකයන්
වහන්සේ අනුගමනය කළ උත්තරීතර ධර්ම මාර්ගය නිසා ය. එහෙත් ගූඪ ධර්මයක්
වශයෙන් පැවැති ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංග ප්‍රතිපදාමය ප්‍රතිමූර්තියක්
වශයෙන් ඉදිරිපත් කළේ බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේ විසිනි. එමෙන්ම නිදහස්
චින්තනයේ උදාරත්වය සෑම දේශනයකින්ම පිළිබිඹු කිරීමට බුදුරදුන් විසින්
ශ්‍රාවකයන් වහන්සේට උපදෙස් දී ඇත.
අත්‍යවශ්‍ය විශ්ව දර්ශනයක් මෙන්ම අවිහිංසා දහමක් වශයෙන් දෙවියන්
මිනිසුන්, බඹුන් අතර සෙසු ආගම් අභිබවා ව්‍යාප්ත වන්නට විය. දර්ශනයෙන්
අවිහිංසාවෙන්, සාමයෙන්, සොම්නසින්, මානසික විවෘතභාවයෙන් දේශනා කරන්නට
ශ්‍රවනය කරන්නට, හිතේ දරාගෙන පිළිපදින්නටඅවසන සන්දිට්ඨික වශයෙන්
ප්‍රතිඵල ලබාගෙන සැනසෙන්න හැකි එකම මාර්ගය දක්වන්නේ, බුදු දහමයි.
සම්බුද්ධ ශාසනය සම්පූර්ණ වන්නේ පරියාප්ති, ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන
කොටස් නමය ක්‍රියාත්මකවශයෙන් පවතින්නේ නම් පමණි. එබැවින් සුණාථ, ධාරේථ,
චරාථ යනුවෙන් දැක් වූ පරිදි නිර්මල ධර්මය අසා දැන පිළිපැදිය යුතුවන්නේ
ය. එමෙන් පිළිපැදීමෙන් ලබන කුසලතා ප්‍රත්‍යක්‍ෂයෙන් සමාජයට ප්‍රකට කළ
යුතු වන්නේ ය. පරියාප්තිය ආරක්‍ෂා වීමට නම් ප්‍රතිපත්ති ගරුක ශ්‍රාවක
පිරිසක් අවශ්‍යම ය.
භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්පිරිසෙන් නිර්මාණය වන දහම්
කුසලතා ප්‍රකට වන්නේ නම්, ජනතාව ඉතා ප්‍රසන්න මනසින් බුදු දහම
පිළිගන්නවා ඇත. ශ්‍රද්ධාදී කුසල චේතනා ඇතිවන්නට නම් බුද්ධාදී තෙරුවන්
ඉතා සමීපව ආශ්‍රය නිශ්‍රය කළ යුතු වග, ජනතාවට මනෝ විද්‍යානුකූලව පහදා
දෙන විට අබෞද්ධ ජනතාවගේ ආකර්ෂණය ද ඇති වන්නේ ය.
ආත්මාවාදී නිර්මාණවාදී නිගමන අතරට මැදි වන මිනිසා, මානසික සැනසීම ලබා
ගන්නේ තාක්‍ෂණික අධිවේගී තණ්හා ජාලයෙහි එසේ නම් මානව සමාජය
ත්‍රස්තවාදයෙන්, භීතියෙන් පීඩාවට පත්වීම, ස්වාභාවික ය.
මෙවන් මානසික භූමිකාවක් වෙනස් කළ හැකි වන්නේ බෞද්ධ දර්ශනයෙන් පමණක්
බැවින්, බෞද්ධ නායකයන්, ලෝක දේශපාලනඥයන් සහ විද්‍යාඥයන් එක්සත්ව
එක්සිත්ව ජාත්‍යන්තර ක්‍රියාකාරී බොදු පිළිවෙතක් සකසා ගත යුතු වෙයි.
ඔබ සැමට තෙරුවන් සරණයි
|