UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිසරය පිය කළ විමුක්ති කාමියෝ

දෙහිවල - බෞද්ධ
සංස්කෘතික මධ්‍යස්ථානයේ
අට්ඨකථා අංශයේ,
ලක්ෂපතියේ සමාධි සිල්මාතාව
බී.ඒ. ගෞ. පේරාදෙණිය

මිනිස් ලොව ඇතිවීම පිළිබඳ දීර්ඝ විස්තරයක් දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ. සති මාස ගණනාවක් වැසි වැස ඉන්පසු මනා ලෙස ඉර පායා දිය සිඳී එක් කල්පයක් ඇරඹෙන බවත් ඉන් පැහැදිළි වෙයි. මේ නව කල්පයේ මහ පොළාව මත මිනිසා උපදින්නේ මිනිසාට ඉපදීමට හා ජීවත්වීමට සුදුසු සොබා දහමක් ඇතිවීමෙන් පසුව බව එකී විස්තර මැනවින් පැහැදිලි කරයි. ඒ නැවුම් පොළවේ උපදින මිනිසා වෙහෙස මහන්සියෙන් රැකියාවක් නොකරන ස්වාභාවිකව හට ගන්නා වූ බදාලතා ස්වයංජාත වී වැනි දේ ආහාරයට ගෙන මිනිසා රැකෙන අතර මිනිසා නිසා ස්වාභාවික සම්පත් රැකෙන බව පෙනේ. මිනිසා තුළ ප්‍රශ්න මතුවන්නේ මෙම ස්වාභාවික සම්පත්, පරිසරය විනාශ කිරීම ආරම්භ වූ දා සිටයි. මේ අනුව සොබා දහම, මිනිසා එකට පැවතිය යුතු කරුණු දෙකක් බව විස්තර වේ.

මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ උතුම්ම මනුෂ්‍යයා වන බුදුරජාණන් වහන්සේත්, උන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝත් මේ සොබා දහම පරිසරය උකහා ගනිමින් එහි ආශ්වාදය හා ප්‍රයෝජනය ලබමින් සසර කෙටි කර ගත් බව ත්‍රිපිටකය පුරාම විසිරී තිබෙන සූත්‍ර ගාථා ආදියෙන් විස්තර කෙරෙයි.

සිදුහත් කුමරු උපන්නේ සුවිශාල දර්ශනීය සල් වනයක පරිසරයේ ආස්වාදය ලබමිනි. උන්වහන්සේ මහාබිනික්මන් කළේ ඇසළ මසේ පුන් සඳ පායා තිබුණු සඳ පහනේ් ගතට සුව එළවන පරිසරයකය. මහබිනික්මන් නිමා වූයේ නේරංජනා නදිය අසලය. ඉන් එහා තිබුණේ් සේනානි ගමය. එය දර්ශනීය පරිසරයකි. සොබා දහමින් ඔප් නැංවුණු වන ලැහැබ්, සුදු වැලිතලා ලතාවකට ගලන නේරංජනා නදී දහර, සඳරැස් වැටී කිරි මුහුද මෙන් බබලන දිය දහරාවන්, මනා තොටුපළවල්, නිල්වන් වනරොද, නිදහස් පරිසරය තුළ දිය වැලේ දිය බුං ගහන දණ්ඩි පැටව් ආදි සොබා දහම මගින් මැවුණු අතිශය චමත්කාරජනක පරිසරයක හිසකෙස් කපා සිවුරු පෙරවිය. උන්වහන්සේ පධන් වීර්යය වැඩුවේ මද සුලගින් සිලි සිලි ගා සැලෙන දළුපත් වලින් යුත් ඇසතු ගසේ සෙවන ලබමිනි. බෝ සෙවන යට සෝතීය බමුණා විසින් දෙන ලද මුදු මොලොක් හරිත වර්ණ කුස තණ අතුරා ඒ මත වැඩ සිට පධන් වීර්යය වඩා සිවුසස් අවබෝධ කර ගත් එතුමා ඒ අසලම සති කිහිපයක් විවේක සුවයෙන් කල් ගෙවූහ. එසේ ගෙවූයේ කිරිපලු - නුග, මිදෙල්ල ආදී රුක් සෙවන් වල පහස ලබමිනි.

බුදුවීමෙන් පසුව පළමුව මංගල ධර්ම දේශනය පවත්වන්නට වැඩියේ මුවන්ට අභය දුන් සුරතල් මුව පැටවුන් කෙළි දෙලෙන් සිටින මිගදා වනයටය. මෙසේ සොබා දහමට ඇලුම් කළ සොබා දහමින් පරිසරයෙන් කල් යැවූ උන්වහන්සේ පළමුව පිළිගත්තේ වැඩවාසය කළ වේළුවනයේ ය. විවිධ වර්ගයේ උණගස් වලින් සැදුම්ලත් මඳ සිසිලසින් යුතු වේළුවන අරණෙහි සිට උන්වහන්සේ සොබාදහම වර්ණනා ක‍ෙළ්ය.

රමණීයානි අරඤ්ඤානි - යත්ථ න රමතී ජනො
විතරාගා රමෙස්සන්ති - නතේකාම ගවෙසිනො

රාගී සිත විරාගී කිරීමට, කාමයන් යටපත් කර ගැනීමට අලුතෙන් නො ඉපදීමට රමණීය වූ සිත් කළු වූ තුරුලිය මල් වලින් ගැවසීගත් වන උපයෝගි වන බව වදාළහ.

මෙසේ සොබා සෞන්දර්යයෙන් පහස ලබමින් සිටි තථාගතයන් වහන්සේ සුදොවුන් රජු දැකීම සඳහා කිඹුල්වතට වඩමවාගෙන යනු පිණිස පැමිණි රාජදූත කාලුදායි තෙරුන් උන්වහන්සේට කිඹුල්වතට වැඩම වීමට ආරාධනා කළේ කිඹුල්වතට යන මඟ දෙපස හා කිඹුල්වතෙහි ස්වභාවික සම්පත් හා පරිසරය වර්ණනා කිරීම මඟිනි.

හිමියනි මෙකල රැක්හිස් සහල ගුරු වගේ
පරඬැල් සලා පලදැරුමට ළඟයි වගේ
ඒ රුක් පහන් සිළුමෙන් බබළමින් නැගේ
සැකි කුලවුන්ට අත දෙන මේ කලයිි හැඟේ
වැඩි සීතලක් නැත වැඩි උණුසුමක් නැත
මහ මඟ යන්ට සුන්දර රිතු ගුණය ඇත
රෝහිණී නදිය තරණය කර ඔබ වඩිත

ැකි කෝලියේ පැලදිග දෙස බලනු ඇත

සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කළේ කිඹුල්වත් වනය හේසකලා වනය, චාලිය පව්වේ සඳුන් වනය, වියල්පුර වන ජීවක අඹ වනය, අඳුන් වනය, වේළුවනය, මිගදා වනය ආදී ස්වභාවික හිතකාමී පරිසරය ආශි‍්‍රතවය. හිත නිවීමට තැන්පත් වීමට සොබා දහම රුකුලක්වන බව එතුමෝ දැන සිටියහ. උන්වහන්සේ ධර්ම දේශනා කරන පිරිත් දේශනා කරන අවස්ථාවන්හි දී ද, සූත්‍ර ධර්ම වලද සොබා දහම වර්ණනා කළහ. රතන සූත්‍රයේ දී වනප්පගුමේබ යන ගාථාවෙන් යම් සේ වන ලැහැබ ගි‍්‍රෂ්ම සෘතුවෙහි පළමුවන මාසය තුළ දී පිපුණ මලින් බරවේද, එවැනි පරම හිතසුව පිණිස වූ නියන් මඟ ආදී වශයෙන් පරිසරය උපමාවට ගත්හ. කැලෑබද පරිසරය තුළ සත්තු ජීවත් වෙති. ඒ සතුන් ද ස්වභාව ධර්මයේ දායාදයකි. කරණීය මෙත්ත සුත්‍රයේ දී දිග වූ ද කොට වූද, මහත් වූද, කෙට්ටු වූද, විවිධ ප්‍රමාණ වූද සතුන්ට මෛත්‍රී කරන මෙන් උගන්වූහ. මහාසමය සූත්‍රය දේශනා කළේ කිඹුල්වත්පුර මහවනයේදී ය. මෙලෙස සූත්‍රය දේශනා කළේ ආරාම විහාර නොමැති නිසා නොව පරිසරය සොබාදහම වීතරාගී වීමට උපකාර වන බැවිනි. ආටානාටිය සූත්‍රයේ එන සොබා වැනුම මෙසේය. එහි නිරන්තරයෙන් පලබරින් පිරුණු ගස් ඇත. නොයෙක් කුරුළු සමූහයා එහි වෙති. මොණරුවන්ගේ් හා කොස්වාළිහිණින්ගේ නදින් ඒ පෙදෙස නින්නාද වේ. මිහිරි කොවුල් හඬින් යුතුය. ජීවන් ජීවක කුරුල්ලෝද, ඔට්ඨව චිත්තක කුරුල්ලෝද, වලි කුකුලෝද පුෂ්පකර ශාතක පක්ෂීහුද සිටිති. ගිරා සැලළිහිණියන්ගේ නාදය, දණ්ඩ මානවක පක්ෂීන්ගේ නාදය එහි සුන්දර පරිසරය සෝබාවත් කරති. කුවේර පොකුණ සීතල සලීලයෙන් යුක්තව හැම සෘතුවෙහිම ශෝභමානව පවතී. බුදුරදුන් මේ අන්දමට සොබා දහමට සිත ඇල වූ නිසාම උන්වහන්සේ ශ්‍රාවකයෝ වන සෙනසුන්වල සිත් ඇලවූහ. බුදුරදුන් වෙතින් කමටහන් ලබාගත් ශ්‍රාවක (තෙරවරු ධ්‍යාන වැඩීම සඳහා) වැඩම වූයේ සිත්කළු වනසෙනසුන් වෙතය. ඒ බව ශ්‍රාවක චරිත මගින් පැහැදිලි කර ගත හැකිය.

මේඝීය තෙරුණූවෝ ඡන්තු ග්‍රාමයේ කිමිකාලා නදියත් ඒ නදිය අසල පිහිටි අඹ වනයත් එහි මතුවන ස්වාභාවික පරිසරයත් දැක බවුන් වැඩීමට යෝග්‍ය ස්ථානය මෙතනැයිය බුදුරදුන් වෙතින් කමහටන් ගෙන එහි වැඩම වූහ. එසේ විවේකීව හිඳ කමටහන් වැඩූ තෙරුන් වහන්සේ ඒ පරිසරයෙන් මත් ව එම පරිසරයේ සිත් අලවා මෙසේ උදන් ඇනූහ. කස්සප තෙරුන් තම සිතෙහි හටගත් පාරිසරික වර්ණනය මෙලෙස ප්‍රකාශ කර ඇත.

ලුණු වර්ණ රුක් වෙතින් පැතිර ගිය සිත්කළු වූ භුමි භාගයෙන් යුක්ත සතුන්ගේ් ගර්ජනාවෙන් රම්‍ය වූ පර්වතය මා සිත් අලවයි.

නිල් වලාවකට බඳු පැහැපත් වූ සිහිල් දිය දහරින් යුත් පිරිසුදු ඉදි ගොව්වන්ගෙන් සැරසීගත් ඒ පර්වත පාදය මා සිත් අලවයි.

නිල් වලාකුළු වලින් රමණීය වූ කුළු ගෙවලට උතුම් වූ ඇතුන්ගේ් තර්ජනාවෙන් රම්‍ය වූ ඒ පර්වතය මා සිත් ගනී.

බෙහෙවින් වට වැසි ඇති, රම්‍ය වූ වැලි තලාවෙන් යුතු මොණරුන්ගේ නදින් යුතු සෘපීන් සෙවුනා ලද ‘නග‘ නම් වූ පර්වතය මා සිත් අලවයි. උමා කුසුම් (නිල් කටරොඩු) බඳු පැහැයෙන් යුත් නිල්වලාවෙන් වැසුණු ගුවන් තලයෙන් යුත් නා නා විද පක්ෂීන්ගෙන් ගැවසීගත් පර්වතයන් මා සිත් අලවයි.

පහන් දිය ඇති, පුළුල් ගල් තලාවෙන් හෙඹි මුවන් වඳුරන් ආදී සතුන් ගැවසුණු දිය සෙවලින් වැසුණු ඒ පර්වත පාද මා සිත් අලවයි.

සොබා දහමෙන් පරිසරයෙන් උද්දාමයට පත් කාලපුට තෙරුන් මෙසේ පවසති. මොණරුන් විල් ලිහිණින්ගේ් නාද ඇති වනයේ දිවි වග වලසුන් විසින් පෙරටු කරන ලදුව වසන්නෙමි. සිරුරෙහි අපේක්ෂාව අත් හළෙමු.

පැහැදිලි පුර පසලොස්වක සඳ මෙන් කුලයන්හි හා පස්කම් හිද නොඇලුණු සිතෙත්ව වට වැසි ඇති කල්හි සිව් අඟල් තණ පිහිටි කල්හි වැසි වලා බඳු වනය මනාව පිපී ගිය කල්හි පර්වත අතරේ රුක් වදුලේ හුන්නෙමි. ඒ තණ පසතුරුණු අලුත් යහනක් සෙයින් මට දැනේ.

සුනිල් ගෙල පිහිටි මනා සළු පිහිටි මනා පිල් බරින් යුත් විසිතුරු පියාපත් සෙවෙණි යුත් පක්ෂීහු මේඝ ගර්ජනා හේතුවෙන් මිහිරි හඬින් නාද කරන මයුරයෝ ධ්‍යාන කරන අයගේ් සිත් අලවයි. වල් ඌරන් ඒණි මුවන් පිවිස සෙවුනා ලද පර්වත ප්‍රාන්තයන් හා ගිරිකුළු පිහිටි ප්‍රකෘතියෙන්ම සුන්දර වූ භූ®මි භාගයෙන් යුත් අළුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයේ ගුහා කොට පැමිණෙමි.

මේ සොබා සෙඳිරියාව ඇසුරින් මේ මහෝත්තමයෝ අනිත්‍යය මෙනෙහි කළේ මෙසේය.

පර්වත සමුද්‍ර පෘථුවිය නදී හා සිව් දෙස අනුදිසා ද දේව ලෝකද අනිත්‍යයහ එම්බා චිත්තය කොහි ගියේ ද කෙසේ සුවසේ රමණය කරන්නේද,

ඒක විහාරික තෙරහු හුදෙකලා වාසයෙහිත්, වන වාසයෙහිත් ඇඳුණු අන්දම මෙසේ සිතුවම් කරති.

සපිපි සිහිල් වෙනෙහි සිහිල් වූ ගිරි කඳුරෙහි සිරුර සෝදා හුදෙකලාව වෙසෙමි.

සිහිල් වූ මිහිරි වූ සුවඳැති සිහිල් පවන් හමන කල්හි, කඳු මුදුන්හි හිඳ අවිද්‍යාව පළවා හැරිමි. මලින් ගැවසුණු එකුනින් සිහිල් වූ බෑවුම් සහිත කඳු වළලු වෙනෙහි විමුක්ති සුවයෙන් සුඛිත වූයෙමි. සිත් අලවා වෙසෙමි.

ධ්‍යාන වඩන තෙරුන් පමණක් නොව මහා ප්‍රාඥ වූ අර්හත් වූ අගසවු සැරියුත් තෙරුණුවෝ ජේතවන, වේළුවන, මිගාර මාතු ප්‍රාසාද ආදී සුවපහසු විහාරාරාම තිබියදීත් බොහෝ කලක් වාසය කළේ ‘ගෝසිංග සාලවන’ නම් වන පෙදෙසකය. මහා මුලගන්, ආනන්ද, කාශ්‍යප ආදි මහා රහතන් වහන්සේ එහි වැඩමකර ධර්ම සාකච්ඡා කළ බව ගෝසිංග සූත්‍රයේ සඳහන් වේ. ධාන්‍ය වඩන, අභිධර්මය හදාරන සුපේශල තෙරවරුන්ගෙන් ගෝසිංගසාල වනය බබළන බව මෙම සූත්‍රයෙන් හෙළි කර ඇත.

බුදුරදුන් මෙන් ශ්‍රාවක තෙරවරුන්ද ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පවත්වා ඇත්තේ චාලිය පවුවේ සඳුන් වනය ආදී ස්ථානවල බව ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර වල පැහැදිලි වේ. මහා+සමය සූත්‍රය දේශනා කළ ලක්ෂ ගණනින් වූ මහා දේව සමාගම පැවතියේ කිඹුත්වත් මහ වනයේය. රෝහිණී නදියේ දිය බෙදා ගැනීම පිණිස ඇති වූ අරගලය සංසිඳ වූ දා බුදු සසුනෙ පැවිදි වූ ශාක්‍ය කෝලිය පන්සියයක් දෙනා රහත් බව ලැබුවේ කුණාලවිල සමීපයේ රන්සිරියෙල් ගල්තලාවේ දෙසූ කුණාල ජාතිකය ඇසීමෙනි. එමෙන්ම ඉසිගිළ - වේහාර පර්වත භික්ෂූන්ගේ නිත්‍ය වාසස්ථාන විය. බුදු හිමියන් ලක්දිව වැඩම කොට නවාතැන් ගත්තේ මිහිඳු ගුහාවෙහිය. ජලස්නානය කළේ කළුදිය පොකුණ වැනි ස්වභාවික ජලශවලය. අපේ පැරණි රජවරු භික්ෂූන් වහන්සේට පූජා කළේ ස්වාභාව සෞන්දර්යයෙන් යුතු ස්ථානයන්ය. හත්ථි කුච්ඡි විහාරය පිහිටියේ රමණීය වන පෙදෙසකය. මහ රහතුන් වැඩ සිටි වාරණ - දඹුල්ල වැනි තැන්පිහිටා ඇත්තේ වනවාසභූමී කඳු ප්‍රාන්තවලය. පිරිත් දේශනාවලදී ද මෙම ස්වාභාවික පරිසරය උපයෝගී කරගන්නා අයුරු පෙනේ. පිරිත් මණ්ඩපය තුළ යුගාසන දෙක ඒකාබද්ධ කොට ඉන්ද්‍රඛිලය පිහිටවනු ඇත. ඒ සඳහා ගන්නේ් සූරිය ආදි අමු ලීයකි. සුරිය වනාහි ශස්ත්‍රයෙහිදී ගෙමිදුලෙහි වවාගත යුතු රුක් වෙසෙසකි. සාරදාරු යුක්ත රෝගබීජ නාශක ලී වර්ගයකි. පිරිත් මණ්ඩපයේ උඩ එල්ලීමට නාග ලතා, නාග වල්ලී, නාග පල්ලව, යන නම් ඇති බුලත් කැනති, නා දළු, ආදී යද පුවක් මල්ද යොදා ගනී. පුවක් මල් නා දලු ආදිය යොදා ගන්නේ සතියක් පමණ කල් වුවද නොමැලවී තබාගත හැකි නිසාය. බුලත් වෛද්‍ය ශ්‍රාස්ත්‍රයේ විෂ හා රෝග බීජ නාශක කාරකයකි. පුවක් මල් හා නා දළු හන්දි පුරුද්දන, හන්දි සවිකරන ආනුභාව සම්පන්න බෙහෙත් වර්ග දෙකකි. මෙම පුෂ්පලතා පලු පල්ලව ආදියෙන් මණ්ඩපය සරසන්නේ ස්වභාවික පරිසරය පිරිත් මණ්ඩපය තුළද වර්ධනය කර ගැනීම සඳහාය.

මේ අන්දමට නික්ලේෂි වීතරාගි රහතුන් බිහිකළ බුදුදහම හැදුනේ වැඩුනේ, පැවතුනේ් සොබාදහමත් සමඟ එකට බද්ධ වීමෙනි. මේ නිසාම බුද්ධ ශාසනය ඵල බරිත ගසකට උපමා කර ඇත. ඒ උපමාව අනුව ලාබ සත්කාර ගසේ කොළ අතු සමානය. සීලය ගසේ පොත්ත හා සමානය. ධ්‍යාන ගසේ සිවිය හා සමානය. ලෞකික අභිඥා ගෙඩි හා සමානය. සෝවාන් අර්හත් ආදිය ගසේ හරය අරටුව හා සමාන වේ.

බෞද්ධ දර්ශනයේ හේතුඵල වාදයට අනුකූලවම පරිසරය ද විග්‍රහ වන්නේ රමණීය කාව්‍යෙත්ති අලංකාරයෙනි.

පරිසරයට අනුව මිනිසා ඇතිවේ.
මිනිසා ඉපදීමෙන් පරිසරය ඇතිවේ
මිනිසා නැතිවිට පරිසරය ද නැත.
පරිසරය නැතිවීමෙන් මිනිසා ද නැතිවේ.
 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය
නොවැම්බර් 26 වනදා බදාදා  අපරභාග 8.11 ට ලබයි. 27 වන දා බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]