සිහියෙන් කේන්තිය පිටුදැක
මානසික සුවය රැක ගනිමු
ලියන්ගහවෙල ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව යහපත, දියුණුව උදෙසා දේශනා කළ කරුණු අතර
ඉවසීමට ප්‍රධාන තැනක් හිමි වෙයි. ඉවසීම කියන්නේ අපේ හිත කෝපසහගත වීමට
හේතු වන අරමුණක් හමු වූ විට ඒ ගැන කිපෙන්නේ නැතිව, ඉක්මන් නොවී,
සන්සුන්ව ඒක අමතක කරලා ඉන්න පුළුවන්කමටයි. අපේ ඇසට නාසයට, කනට, දිවට,
ශරීරයට, මනසට ගන්නා අරමුණු යෝනිසෝමනසිකාරයෙන් තොරව පිළිගත්තොත්, ඒවා
අහිමි වනවිට අප තුළ කෝපවීම, නොසන්සුන්වීම ඇතිවීම, ස්වභාවිකයි.
කෝප වීමේ ආදීනව දැක තමන්ටත් අනුන්ටත් ඉන් සිදුවිය හැකි අනර්ථය
තේරුම්ගෙන නොකිපී ඉන්නවා නම් පහළ වීමට ආ කෝපය පහළ නොකර ඉන්නවා නම්,
ඉන්නට උත්සහ ගන්නවා නම් එය බොහොම අගය කළ යුතු දෙයක්.
ගෞතම බුදුරදුන් පෙර භවයක තාපසයෙකුව සිටින කාලයේ ඉවසීම සොයාබැලීමට
උත්සහගත් රජෙක්, නින්දා අපහස කොට අතින් පයින් ආයුධ වලින් පහරදී, ආයුධ
වලින් අත් පා කපා වධ හිංසා කොට ඉවසීම සොයා බැලී ය. එහෙත් තාපසතුමා කෝප
වූයේ නැත. අවසානයේ තාපසතුමා කියා සිටියේ තමන්ගේ ඉවසීම ඇත්තේ අත්පාවල,
සම්මස් ඇට නහරවල නොව තමන්ගේ හිත තුළ බවයි.
එමෙන්ම පුද්ගලයකු උදැල්ලක් ගෙන මේ පොළොව විනාශ කරනවා යැයි කියා කොපමණ
උත්සහ කළත් විනාශ කළ නොහැකි වන සේ ගිනි හුලක් ගෙන ගංගා නම් ගඟ උණු
කරන්න උත්සාහ කළත් බැරි වනවා වගේ, අහසේ රූප අඳින්න කොච්චර උත්සහ කළත්
රූප අඳින්න බෑ වගේ, පුද්ගලයෝ එකතු වෙලා කියතක් ගෙන දෙපසට අදිමින් අපේ
අත් පා කපා දමන විටත් අපට ඒක ඉවසගෙන එය කරන පුද්ගලයාට මෛත්‍රී කරන්න
පුළුවන් නම් ඒක තමයි නියම මනුෂ්‍යයකු තුළ තිබෙන ලක්‍ෂණය යැයි
බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
දිනක් සැරියුත් හාමුදුරුවෝ තමන්ගේ ඉවසීම කෙබඳු ද යන්න මෙසේ පැහැදිලි
කරති. පොළොවට දමන හොඳ දේවල් හා නරක දේවල් පොළොව ඉවසනවා වගේ, ජලයට දමන
පිරිසුදු අපිරිසුදු දෙකම ජලය ඉවසනවා වගේ, සුළඟ හඳයි සුවඳයි දෙකම දරාගෙන
හමනවා වගේ, ඉන්ද්‍රඛීලයක් වගේ නොසෙල් වෙන පිරිසුදු හිතක් තමන්ට ඇති බව
එහිදී උන්වහන්සේ වදාරනවා. පිරිසුදු හිතක් ඇති කරගැනීමට ඉවසීම කොයිතරම්
උපකාර වෙනවාද කියා එයින් තේරුම් ගත යුතුයි.
අපේ හිත තුළ සැඟ වී තිබෙන කෝපය, ඊර්ෂ්‍යාව, තණ්හාව වැනි කෙලෙස්, පැළවන
බීජයක් අවශ්‍ය සාධක ලැබුණහම පැළවනවා වගේ හේතු පැමිණියහම ඉස්මතු වනවා.
අපි එහි ආදීනව සලකා ඉස්මතු වීම පාලනය කරගන්න ඕනෑ.
එසේ නොවී ඉස්මතු වන කෝපයෙන් පළමු හානිය සිදුවන්නේ තමාටමයි. හිත කෝපයෙන්
පිරුණහම සිත පමණක් නොවේ, කියන වචනත්, කරන වැඩත් සැරපුරුෂ, චණ්ඩ වෙලා
තමන්ටත් අනුන්ටත් හානියක් ගෙන දේ කරයි. සමහර විට ඉන් ඇතිවන ප්‍රතිඵලය
ජීවිත කාලය පුරාම වේදනා ගෙන දෙන දෙයක් වීමටත් ඉඩ තිබෙනවා.
ඉහත සැරියුත් හාමුදුරුවන්ගේ කතාවෙන් පේනවා මනාව සකස් කරගත් හිතකට බාහිර
වශයෙන් හානිකරන්න හැදුවත් එයින් එම සිතට කිසිම හානියක් නොවන බව, එසේ
හානි නොවන, නොසෙල් වෙන හිත තමයි, කරදර, බාධක හිරිහැර පැමිණියහම
උපක්‍රමශීලීව මඟහැර නුවණින් ක්‍රියා කරන්නේ, හිත දූෂණය වූ පුද්ගලයා
අන්ධ වෙලයි ක්‍රියා කරන්නේ.
උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නින්දට යනතුරු කොපමණ නම් ප්‍රශ්නවලට අපට මුහුණ
දෙන්න වෙනවාද සමහර දේවල් අපේ හිත සතුටු කරනවා. සමහර දේවල් දුක, කේන්තිය
ගෙන දෙනවා.
මේ අවස්ථා දෙකේදීම ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන කියමන සිතේ තබා ගන්න
පුළුවන් නම්, අපට ගොඩාක් කරදරවලින් මිදී සැනසිල්ලේ දවස හොඳින් ගෙවුණා
යැයි සිතා, සුව සේ නින්දට යා හැකි ය. |