UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය සරු කරන බුද්ධියේ පිළිවෙත

බුදු දහම මිනිසා විමුක්ති ගවේෂණයට පමණක් යොමු කරන දහමක් නොවේ. මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතය අමතක නොකර එය ද විධිමත් කරමින් පරලොවට වැඩ සැලසීම බුදුසමයේ ස්වභාවය යි. බොහෝ ගෘහස්ථ උදවිය ඇතැම් විට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ තමාගේ ගෘහස්ථ කාමභෝගී ස්වරූපය පැහැදිලි කර එය ද විධිමත් කරලමින් පරලොවට වැඩ ඇති දහමක් දෙසන ලෙසය.

මෙහි දී ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන දීඝජානු කෝලිය පුත්‍රයාගේ වචනය සලකා බැලීම වැදගත් ය.

ස්වාමිනී, ගිහි කාමභෝගීන් වන අපි අඹු දරුවන් නිසා සම්බාධක වූ සයනයෙහි වසන්නෙමු. කසී සලු සඳුන් පරිහරණය කරමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී මිල මුදල් ඉවසමු. එබඳු වූ අපට මේ ලොව හිත සුව සැලසෙන පරලොව හිත සුව සැලසෙන දහමක් දේශනා කරන්න. (මයං භන්තේ ගිහී කාමභෝගී පුත්ත සම්භාධ සයනං අජ්ඣාවසාම , කාසික චන්දනං පච්චනුභෝම, මාලා ගන්ධ විලේපනං ධාරායාම, ජාත රූප රජතං සාදියාම, තේසං නො භන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු යේ අම්භාකං අස්සු ධම්මා දිට්ඨධම්මහිතාය දිට්ඨධම්ම සුඛාය සම්පරාය හිතාය, සම්පරාය සුඛාය)

මේ අනුව පවත්නා ගෘහස්ථ කාමභෝගි ජීවිතයේ දියුණුව දිට්ඨධම්මික වශයෙන් බලාපොරොත්තු වීම අගාරික ජීවිතයේ දී යුක්ති සහගත අපේක්ෂාවකි. එහෙත් එපමණකින් සෑහීම බෞද්ධ ආකල්පය නොවේ. ස්ථිර ලෙසම පුද්ගලයා දුගති භයින් මිදෙන නිවනට යොමු වන අධ්‍යාත්මික ලක්ෂණ වලින්ද සමන්විත විය යුතුය. සම්පරායික වශයෙන් අපේක්ෂිත අර්ථය එයයි. එය නිවන් පිළිවෙතට අයත් අංග වර්ධනය වීමකි.

මෙලොවත් පරලොවත් දෙකින්ම පිරිහී සිටීම දෑස් අන්ධභාවයකට උපමා කොට අං. නි. අන්ධුපම සූත්‍රයේ වදාරා තිබේ. එකැස් ඇති පුද්ගලයා ලෙස දක්වන්නේ අධ්‍යාත්මික අංශය අමතක කර මෙලොව පමණක් අභිවෘද්ධිය සලසන පුද්ගලයා ය. බුදුසමය අනුමත කරන්නේ දෑස් ඇති බවයි. එනම් මේ ලොවත් පරලොවත් දියුණු වීමයි.

නොලද භෝග සම්පත් ලබන, ලැබූ භෝග සම්පත් වැඩිදියුණු කරන ඇසක් මෙලොව ඇතැම් පුද්ගලයකුට ඇත. යම් බඳු ඇසකින් කුසලා කුසලය දන්නේද, සාවද්‍යය හා නිරවද්‍යය දන්නේ්ද හීන හා ප්‍රණීත ධර්ම දන්නේ ද එබඳු ඇසක් ඔහුට ඇත. මහණෙනි මේ දෑස් ඇත්තා යැයි කියනු ලැබේ. (ඉධ භික්ඛවේ එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛුං හෝති. යථරූපපෙන චක්ඛුනා අනධිගතං වා භෝගං අධිගච්ඡෙය්‍ය අධිගතං වා භෝගං ඵාතිකරෙය්‍ය තථාරූපම්පිස්ස චක්ඛු හෝති, යථාරූපනෙ චක්ඛුනා කුසලාකුසල ධම්මේ ජානෙය්‍ය සාවජ්ජානවජ්ජෙධම්මේ ජානෙය්‍ය, හිනප්පණීතෙ ධම්මේ ජානෙය්‍ය කණහසුක්ක සප්පටිභාගෙධම්මෙ ජානෙය්‍ය සාචජ්ජානවජ්ජෙධම්මේ ජානෙය්‍ය, හිනප්පණීතෙ ධම්මේ ජානෙය්‍ය කණහසුක්ක සප්පටිභාගෙධම්මේ ජානෙය්‍ය, අයං චුච්චති භික්ඛවෙ පුග්ගලො ද්විචක්ඛු) අන්ධ හා ඒකචක්ඛු පුද්ගලයින් බැහැර කර මේ දෑස් ඇත්තා ම ඇසුර කළ යුතුය. භෞතික අංශයේ දියුණුවත් අධ්‍යාත්මිත සදාචාරයක් එක්බඳු වූම වැදගත්කමකින් යුතු බව බුදු සමය දකියි. මේ කරුණ සලසන විට ගෘහස්ථ කාමභෝගී ජීවන ආකෘතියට ද බුදු සමයෙන් අගැයීමක් ඇති බව වටහා ගත හැකිය. බුදුදහම මනුෂ්‍යයාගේ ලෞකික අභිවෘද්ධිය අමතක කර දමා ඇතැයි යම් අය දකින්නේ මේ කරුණු ගැන අවධානය යොමු කර නැති නිසයි. භික්ෂුවකගේ ජීවිතයට අදාළ ජීවන වැඩපිළිවෙළ පමණක් සිතා දුර්මත ඇති කරගත යුතු නොවේ.

සිඟාලක සූත්‍රයෙහි දැක්වෙන පරිදි මෙලොව හා පරලොව ජයග්‍රහණය පිණිස වැළකිය යුතු පව්කම් දාහතරකි. ඒ පාපයන් නම් සිව් වැදෑරුම් කර්ම ක්ලේශ (ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද) පාපයට යොමු කරවන අගති ධර්ම සතර (ජන්ද, දෝස, භය, මෝහ) හා සම්පත් විනාශ මුඛ සයත් ය. සම්පත් විනාශය සිදුවන්නේ රහමෙර පානය, නො කල්හිටී වීථි සංචාරණය, නැටුම් ගැයුම් බැලීමට නිතරම යාම, දූ කෙළිය, පාපමිත්‍ර ඇසුර හා අලස බව නිසයි. මේ දුර්වලතා වලින් මිදී ක්‍රියා කරන්නේ නම් එය දොලොවම ජයග්‍රහණය පිළිබඳ පිළිවෙතට පිවිස ක්‍රියා කිරීමකි. මරණින් මත සුගතියට පැමිණේ.

බුදුරජාණන් වහන්සේ සිඟාලක සූත්‍රය දේශනා කර ඇත්තේ පුහුදුන් සමාජය සලකාගෙන නොවන බවත් ආර්ය ශ්‍රාවක භාවය ද සලකාගෙන බවත් මෙහි දී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. ඒ අතරම සම්පරායිකාර්ථය ලෙස දක්වන්නේ මරණින් මතු සුගතිගාමී වීම නොවන බව ද සැලකිය යුතුය. සම්පරායිකාර්ථය සැලසෙන විට දුගතියෙන් මිදී සුගතිගාමී වීම එහි ප්‍රතිඵලයක් වෙයි.

ඒ අනුව නිවන් පිළිවෙත තහවුරු වීම සම්පරායිකාර්ථය යි. ඒ සඳහා අවශ්‍ය සම්පත් සතරක් ව්‍යාග්ඝපජ්ජ සූත්‍රයෙහි දක්වා තිබේ. එනම්. සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, පඤ්ඤා සම්පදා යන සතරය. සද්ධා සම්පදා නම් තථාගතයන් වහන්සේගේ් සම්‍යක් සම්බුද්ධත්වය අදහන සුලු බවයි. (සද්ධො භෝති සද්දහති තථාගතස්ස බෝධිං ඉතිපි සො භගවා...)

සීල සම්පදා නම් පංචශීල සදාචාරයෙන් සමන්විත වීමයි. චාග සම්පදා නම් මසුරු මල බැහැර කර ත්‍යාගය සඳහා යොමු වූ මනසින්, ත්‍යාගය සඳහා පිරිසුදු කරගත් දෑත් ඇතිව, තම සන්තකයන් අනෙකාගේ ද ජීවන අවශ්‍යතා සඳහා පවරමින්, යමකුගේ අවශ්‍යතාවක් ඉල්ලා සිටීමට සුදුසු බෙදා හදා දන් දෙන සුලුව ගෘහවාසය පැවැත්වීමයි. (ඉධ ව්‍යග්ඝපජ්ජ කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ග රතො යාචයෝගො දානසංවිභාගරතො....) පඤ්ඤා සම්පදාව නම් මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස වූ ආර්ය වූ, නිර්වේදය පිණිස වූ සමුදය නිරෝධ දක්නා නුවණින් විසීමය. (ඉධ ව්‍යග්ඝපජ්ජ කුලපුත්තො පඤ්ඤාවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුකඛකය ගාමිනියා...) මේ ගුණ සතර පුද්ගලයා තුළ සසුනට අයත් වීමේදී ඇතිවන සම්පදා සතරයි. එය නිවන් මුහුණුවර හා සම්බන්ධ කුසලතා වැඩීම නියත වශයෙන් ආරම්භ වූ අවස්ථාවයි. එබඳු සැකැස්මක් ඇති පුද්ගලයෝ දුගතිගාමී නොවෙති.

ව්‍යාග්ඝ්‍යජ්ජ සූත්‍රය පුද්ගලයාගේ ලෞකික අභිවෘද්ධිය සඳහා මූලික වන සම්පත් සතරක් හඳුන්වා දෙයි. එනම් උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, හා සමජීවිකතා යනු යි. බුදු දහම ලෞකික දියුණුව දකින්නේ සචාදාරාත්මක අංශයේ දියුණුවත් සමග ය. නූතන භෞතිකවාදී ශිෂ්ඨාචාරය දියුණු වේ. සාධක ද්‍රව්‍යමය වශයෙන් සලකන අතර සදාචාරය දියුණුවට බාධක වූ නො වැදගත් ධර්මයක් ලෙස සලකන බව පෙනේ. බුදුදහම ලෞකික දියුණුවත් සදාචාරායත් සමගාමීව පැවැතිය යුතු බව අවධාරණය කරයි. මෙ ලොව දියුණුවට අවශ්‍ය මූලික කරුණක් නම් උත්සහය යි. ලෝකයේ යම් පිළිගත් ශිල්ප කර්මාන්තය ආදියක් වේ නම් ඒවා කෙරෙහි දක්ෂවීම, නොමැලි වීම, උපාය වීමංසනශීලීව ක්‍රි‍්‍රයා කළ හැකි වීම, කිරීමට සුදුස්සා තෝරා ගැනීමට හැකි වීම. තෝරාගත් කාර්ය පිළිබඳ කෘත්‍ය සංවිධානයෙහි හැකියාව උත්සහ සම්පත්තිය බව දත යුතුය. (ඉධ ව්‍යාග්ඝපජ්ජ කුල පුත්තො යෙන කම්මඨානෙන ජීවිකං කප්පෙති යදි කසියා යදිවණිජ්ජාය.... තත්‍ථ දක්ඛො හොති අනලසො තත්‍රෑපාය වීමංසාය සමන්නාගතො අලංකාතුං අලංසංවිධාතුං අයං වුච්චති ව්‍යාග්ඝපජ්ජ උට්ඨාන සම්පදා)

එසේ උත්සාහයෙන් උපයාගන්නා සම්පත් මැනැවින් සංරක්ෂණය කරමින් පරිභෝග කළ යුතු වේ. එබැවින් උත්සාහයෙන් ඉපයූ ධනය රජුන්ගෙන්, සොරුන්ගෙන් ගින්න, ජලය වැනි ස්වාභාවික ;හ්තූන්ගෙන් අපි‍්‍රය අය දායාද වශයෙන් ගැනීමෙන් තමන්ට අහිමි නොවන පරිදි ආරක්ෂාව සම්පාදනය කළ යුතුය.

ආර්ථික සමෘද්ධිය තිබුණාටම ලෞකික දියුණුව රඳා පවතින්නේ නැත. ඒ සඳහා යහපත් මානව සම්බන්ධතාවයක් තිබිය යුතුය. කල්‍යාණ මිත්තා යනුවෙන් හැඳින්වෙන්නේ ඒ යහපත් සම්බන්ධතාවයි. මිත්‍රයා කල්‍යාණ මිත්‍රයකු වන්නේ සද්ධා, සීල, චාග හා පඤ්ඤා යන ගුණ සම්පන්න වීමෙනි. තමන්ට ද අනුව හික්මෙන්නට තරම් යෝග්‍ය වූ සද්ධාදී ගුණ සහිත මිතුරන් ඇති බව කල්‍යාණමිත්තතාවයි. (යථාරූපානං සද්ධා සම්පන්නානං සද්ධා සම්පදං අනුසිකඛති.... යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසිකඛති අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ කල්‍යාණමිත්තතා) එබඳු මිතුරන් හා එක්ව සිටීමට, සල්ලාපයේ යෙදීමට, සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබේ නම් එය පුද්ගලයාග් දියුණුවටත්, පවත්නා දියුණුව ආරක්ෂා වීමටත් සාධක වෙයි. ලෞකික දියුණුවෙහි සිවුවැනි කරුණ ලෙස දැක්වෙන්නේ සමජීවිකතාවයි. අය හා වැය මැනැවින් දැන අය ඉක්මවන පරිදි වැය පස වැඩිකර නොගෙන දිවි පැවැත්ම සමජීවිකතාවයි.

අදායම අඩුව තිබිය දී උදාරවත් ලෙස දිවි පැවැත්වීමත්, ආදායම උසස් තත්ත්වයක තිබියදීත් දුක්ඛිත ලෙස දිවි පැවැත්මක් බුදු සමයෙන් අනුමත නො කෙරේ. මේ කරුණු අනුව ගෘහස්ථ ජීවිතයේ මනා පැවැත්ම උදෙසා නොයෙක් අනුශාසනා බුදුසමයෙන් ප්‍රකාශ වී ඇති ආකාරය වටහා ගත හැකිය.

මේ විග්‍රහයන්ගෙන් පෙනෙන ඉතා වැදගත් කරුණක් නම් ලෞකික දියුණුව උදෙසා පුද්ගලයාගේ ම කුසලතාව බුදුසමය අගය කරන ආකාරය යි. වාසනාව, පෙර පින් වැනි සාධකවලට වඩා පුද්ගලයාගේ ශක්ති අධිෂ්ඨානය, සංවිධානය වැනි කරුණු දියුණුව උදෙසා විශේෂයෙන් බලපාන බව මෙහිදී සැලකිය යුතුය. උභය ලෝකාර්ථ සංසිද්ධිය උදෙසා පුද්ගලයගේ් වගකීම් හා යුතුකම් කවරේද යන්න අවසාන වශයෙන් විමසා බැලිය යුතුය. ඒ සඳහා පරාභව හා මංගල සූත්‍ර මූලාශ්‍ර කරගත හැකිය. මනා සැප පරිහරණයකින් යුතු සමෘද්ධිමත් ලෞකික දිවියක් සකසා ගැනීමේදී පුද්ගලයාගේ් වගකීම හා යුතුකම අවබෝධ කර ගැනීමට මං සලසන, පිරිහීමට හේතුවන කරුණු දොළහක් පරාභව සූත්‍රයේ දක්වා තිබේ. ධර්මයට ද්වේෂ කර අධර්මයට කැමැතිවීම, සත්පුරුෂ ධර්මය අපි‍්‍රය කිරීම, උත්සාහයෙන් තොරව අලසව හා ක්‍රෝධයෙන් ක්‍රියා කිරීම වෘද්ධ මවුපියන් හැකි කම තිබියදීත් පෝෂණය නො කිරීම, මහණ බමුණන් යාචකයන් වචනයෙන් රැවටීම, තනිව පරිභෝජනය කිරීම, අනුන් ඉක්මවා සිතීම, වෛශ්‍යාවන් ඇසුරු කිරීම, වයසට නොගැලපෙන පරිදි විවාහය සිදුකර ගැනීම, මත්ස්‍ය මාංශ සුරා ආදියෙහි ලොල් අයකු ගෘහ ප්‍රධානයා වීම, ක්‍ෂත්‍රියයකු වුවත් දිළිඳුව සිට රාජ්‍යය පැතීම යන පිරිහීමේ කරුණු වලින් වෙන්ව ක්‍රියා කිරීම කෙරෙහි පුද්ගලයා අවධානය යොමු කළ යුතුය. ඒ දුර්වලතා පුද්ගලයා පිරිහීමට පත් කරවන බව සමාජය හා සසදා බැලීමෙන් වටහා ගත හැකිය. මේ පරිදිම ලෞකික දියුණුවටත් පරලොව යහපතටත් වැදගත් වන කරුණු තිස් අටක් මංගල සූත්‍රයේ දක්වා තිබේ. මේ හැම කරුණක්ම බෞද්ධ ගෘහ ජීවිතය දෙලොව වැඩ සැලසෙන අයුරින් පැවැත්වීමට අත්‍යවශ්‍ය බව දත යුතුය. ජීවිතය යනු නිකරුණේ් ගතවිය යුත්තක් නොව පැහැදිලි ජීවන පරමාර්ථයක් යටතේ පැවැත්විය යුත්තකි. දෙලොවින් නො පිරිහී ක්‍රියා කිරීම සමාජ ගත පුද්ගලයාගේ් ජීවන පරමාර්ථය විය යුතු බව බුදු සමයේ අපේක්ෂාවයි.

ආශි‍්‍රත ග්‍රන්ථ

1. අං. නි. V ව්‍යග්ඝපජ්ජ සූත්‍රය 234 පිට බු.ජ.මු

2. අං. නි  I අන්ධුපම සුත්ත , 482 පිට, බෞ.සම්.සංස්

3. දි.නි.   III සිගාලක සුත්ත, 290 පිට බු.ජ.මු

4. අං. නි. V ව්‍යග්ඝපජ්ජ සූත්‍රය , 240 පිට බු.ජ.මු

5. අං. නි. V ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, 242 පිට බු.ජ.මු

6, 7, 8 අං. නි. V ව්‍යග්ඝපජ්ජ සූත්‍රය 236 පිට බු.ජ.මු,

අං. නි. V ව්‍යග්ඝපජ්ජ සූත්‍රය 238 පිට බු.ජ.මු

9. අං. නි. V ව්‍යග්ඝපජ්ජ සූත්‍රය 238 පිට බු.ජ.මු.

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]