ධර්ම දේශනාව:
අවිදු අඳුර දුරලමු
කැලණිය වනවාසල
පුරාණ විහාරවාසී
කොටවායේ සුසීල හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“කොනුහාසො කිමානෙන්ද්‍ර – නිච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඕනද්ධා - පදීපං
න ගවෙස්සථ”
සැදැහැවතුනි,
ධර්මානුශාසනාව සඳහා ඉහතින් දැක් වූ ගාථාව ධම්ම පදයේ ජරා වග්ගයේ පළමු
ගාථාවයි. එහි අදහස නම්, “කුමන හිනාවක්ද?, කුමන ආනන්දයක් ද? අන්ධකාරයෙන්
වැසීගෙන නිරතුරුව දැවෙනව, කිම ආලෝකයක් නොසොයන්නෙ? යන්නයි.
පින්වත අප සසර දුකට පත්ව ඇති බැවින් බුදු සසුන පරිහරණය කළ යුත්තේ
සසරින් මිදීම සඳහා ය.
තථාගතයන් වහන්සේ නමක් ලොව පහළවන්නේ සියලු සතුනට යහපත පිණිසය. එය ජන
කොටසකට සංස්කෘතියකට පමණක් අයත් වූවක් නොවේ. වත්මනේ බෞද්ධ ප්‍රබෝධය යැයි
අප කථා කරන්නේ සාටෝපයෙන් යුත් විච්චූරණ ගොඩකටය. ඒවා මගින් බෞද්ධකම රැක
ගැනීමට අදහස වුව සසර දුකට පිළියමක් නොදැන අප අපගේ බුද්ධිය හෙවත් අවබෝධය
හරහා බෞද්ධ වී සිටිමුද? සසර දුකට පිළියමක් නොසොයන ගිහි පැවිදි කවුරුන්
වුව බෞද්ධ විය නොහැකි ය. සසර බිය නොදැක සසරින් එතෙරවීමක් නොවේ. සසර බිය
දැක සසරින් එතෙර වීමට උත්සාහ දරන ගිහි පැවිදි පිරිස බෞද්ධ යන නාමයට
සුදුස්සෝ වෙති.
“අනමතගෙගායං භික්‍ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤායති....”මහණෙනි,
අනවරාග්‍ර වූ සසරෙහි ආරම්භයක් අවසානයක් පැනවිය නොහැක. අප මේ සසරේදී තම
මව පියා ආදී නෑයන් මළ ශෝකයෙන් හැඬු කඳුළු සතර මහා සාගරයටත් වැඩිය.
මවුපියන් දරුවන් මළ ශෝකයෙන් හැඬූ කඳුළු ද එලෙසමය. එක් සංවෘත විවෘත
කල්පයක් තුළ ගවයන් එළුවන් බැටලුවන් ඌරන් ආදී සතෙකුව ඉපිද මස් ලෑල්ල
උඩදී ගෙල සිඳිද්දී අපගේ සිරුරෙන් ගලා ගිය ලේ සතර මහා සාගරයේ ජලය පරයයි.
එසේම මෙම කල්පයක් තුළ ශරීර දරන සත්වයෙකුව මේ පොළොවට හෙළන ලද ඇටකටුවල
ප්‍රමාණය වේපුල්ල පර්වතයටත් වැඩි ය.
අප මගතොටදී විරූපී අයෙකු දුටුවිට දී වුවද කල්පනා කළ යුත්තේ මාද මෙවැනිව
කොපමණ කාලයක් සසරෙහි දුක්විඳින්නට ඇත්දැයි යන්නය. අප කොතරම් කාලයක්
සසරෙහි අන්ත අසරණ තත්ත්වයෙන් ඇවිදින්නට ඇත්ද? යොදුනක් උස, පළල ඇති
කොටුවක අබ පුරවා වසර සියයක් ගිය තැන එක් අබ ඇටයක් ඉන් ඉවත් කරනු
ලැබෙයි. එලෙස කාලයක් ගතවන විට කොටුවෙහි අබ අවසන් වූවද අප සසරෙහි ඉපදුන
වාර අවසන් වී නොමැත. අප කොතරම් යුද ගිනි වලට මැදිවන්නට ඇත්ද? පරපන නැසූ
වරදට, සොරකම් කළ වරදට, පරදාර පරපුරුෂ සේවනය කළ වරදට, බොරුකී වරදට,
රහමෙර පානය කළ වරදට කීවතාවක් කසපහර කන්නට ඇත්ද? මෙ පමණ දුක්විඳිමින්
සසරෙහි ඇවිද ආ අප පුණ්‍ය මහිමයකට මනුෂ්‍ය ජීවිතයක් ලැබුවෙමු.
මහණෙනි, මනාව රත්කරන ලද යකඩ කූරකින් ඇස පිරිමැදීම යහපති. ඇසින් දක්නා
රූපයට ඇලීමෙන් හෝ ගැටීමෙන් ඒ පිළිබඳ නිමිත්තාස්වාදයෙහි යෙදී කර්ම
විඤ්ඤාණය බිහි වී ඇති මොහොතක කළුරිය කරන්නේ නම් නිරයට හෝ තිරිසන්
යෝනියට යේ.
ඉන්ද්‍රිය මගින් ගන්නා අරමුණු වලට ඇලී සිට මියගොස් අපාගත වනවාට වඩා
රත්කරන ලද යකඩ කූරකින් ඉන්ද්‍රිය ස්පර්ශ කිරීම වඩාත් යහපත් බවයි ඉන්
පැහැදිලි වනුයේ. කරුණු මෙසේ තිබියදී,
කොනුහාසො - කුමන සිනාවක්ද
කිමානෙන්ද්‍ර – කිනම් ආනන්දයක්ද
නිචචං පජජලිතෙසතී – නිරතුරු ගිනිගෙන දැවේ.
අප සිටින්නේ ගිනියම් වූ ලෝකයකය. එහි සිට කොතරම් පී‍්‍රතිවූවද එය
තාවකාලිකය. සෑම විටම සතුටු සිතින් සිටිය හැක්කේ සසර බිය ඉක්මවූ විට ය.
තථාගත සම්බුද්ධ දේශනාවට අනුව සසර බිය ඇත්තා විසින් ශීල, සමාධි, ප්‍රඥා
වැඩීම කළ යුතු ය. ත්‍රිවිධ ශික්‍ෂාවන්ගෙන් හික්මීම ලබන අය සසර බිය
ඉක්මවූ පිරිසයි. මෙම ත්‍රිවිධ ශික්‍ෂාව ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි
යමෙකුට පැනයක් තිබිය හැකි ය. ලෝකයා කටයුතු කරන්නේ ඉන්ද්‍රිය අරමුණු
වලින් සියල්ල සිදුවේය යන අදහසිනි. කයම මූලික පරමාර්ථය කොට විසීම නිසා
දහම් මගක් වඩා ගැනීම අපහසු දෙයක් ලෙස සමාජයට ඒත්තු ගැන්වී ඇත.
මවුකුස තුළ හටගත් කළලයේ ඇති ඇස, ආදී ඉඳුරන් ක්‍රියාත්මක වීමට ඊට
බැසගන්නා විඤ්ඤාණය මගින් මනසේ උපදනා චිත්තවේග අපව පාලනය කරන බව තේරුම්
ගත යුතු ය. කය අප පිළිබඳව අතිරේක සාධකයයි. සියලු ධර්මයන්ට මනස පෙරටුවේ,
මනසම ශ්‍රේෂ්ඨ වේ. සත්වයා පිළිබඳ විශේෂ සාධකය මනසයි. සතර මහා ධාතූන්ගේ
අතිශය සියුම් අවස්ථාව මනසයි. කායිකව ක්‍රියාත්මකව වන ඉන්ද්‍රිය මගින්
ගන්නා අරමුණු භුක්ති විඳින්නේ මනසයි.එහෙයින් සසර ගැටලුවට විසඳුම සෙවිය
යුත්තේ කායිකව නොව මානසිකවයි.
ශීල, සමාධි, ප්‍රඥා ක්‍රියාත්මක වන්නේ මනසේ ප්‍රබලත්වය මතය. පභස්සරමිදං
භික්‍ඛවෙ චිත්තං.. “මහණෙනි සිත ප්‍රභාස්වරය. එය බාහිරින් පැමිණෙන
කෙලෙස් නිසා කිලිටි වේ. සත්වයාගේ මනින්ද්‍රිය පිරිසුදු ය. එහෙත්
ඉන්ද්‍රිය අරමුණු ලබද්දී එය අපිරිසුදු වෙයි. ඉන්ද්‍රිය අරමුණු නම් මනාප
අමනාපයි. මේ මනාප අමනාප මගින් අපගේ චිත්තය විකෘති වේ. මනාප අමනාපයන්ට
ඇලී සිටින විට අකුසල් සිදුවේ. එම අකුසල් වලින් සසර දීර්ඝවීම වැලැක්වීමට
නම් සිත සමාධිමත් කළ යුතු ය. සමාධි යනු පංච කාම අරමුණු වලින් මිදී සිතේ
ඇතිවන එකඟ බවයි. බුද්ධ දේශනාවට අනුව සිත සංසුන් කරගන්නේ කෙසේද? දුෂ්කර
ක්‍රියා සමය තුළ විවිධ ක්‍රම අනුගමනය කළ බෝසතාණන් වහන්සේට වෙනත් මගක්
අවබෝධය පිණිස නැද්දැයි සිහි කරන විට පියාගේ වප් මඟුල් උළෙල දා සිහිල්
දඹ රුක් සෙවනේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව විතක්ක විචාර සහිතව
විවේකයෙන් උපන් පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව පළමු දැහැනට එළඹ විසුවේ
වෙමියි. සිහි කළෙමි. මෙයම අවබෝධයට මඟ යැයි සිත් විය. වරක් දෙවරක්
වඩද්දී අවබෝධයට මඟ යැයි ක්‍රමානුකූල දැනගැනීමක් විය.
මෙහි කියැවෙන තත්ත්වය ආනාපාන සතියෙන් ආරම්භ වී ඉදිරියට විකාශය වන්නකි.
භාවනා අරමුණින් වාඩිවී නහය අග, උඩුතොල ප්‍රදේශයේ සිහිය පිහිටුවා හුස්ම
රැල්ල ඉහළට ඇදී යන අයුරුත් පහළට ඇදී එන අයුරුත් සිහියෙන් විනාඩි 5 – 10
අතර කාලයක් බලා සිටින විට කෙමෙන් කෙමෙන් හුස්ම රැල්ල සියුම්වී නොදැනී
යන තත්ත්වයට පත්වේ. සිතෙහි විසිරෙන බවද අඩු වී ඇත. මෙම අවස්ථාවේදී
ඇතිවන පැහැපත් බව සමග අප ආනාපාන සති සමාධියට පත්ව ඇත. එහිම සිට සමාධි
සිත ප්‍රථම ධ්‍යානයට සමවදීවායැයි තෙවරක් අධිෂ්ඨාන කොට හුස්ම පිළිබඳව
සිහියෙන් සිටින විට කම්මුල් දෙපස උඩුතොල ප්‍රදේශය තෙරපමින් මනින්ද්‍රිය
උඩු අතට නැගීවිත් උඩුතොල මත හරහට සිටියි. මෙතැන ප්‍රථම ධ්‍යානය යැයි
හඳුනාගැනීම වේ. මෙලෙස මනින්ද්‍රිය නැගෙන්නේ අප පංච කාම අරමුණු වලින්
ඉවත්ව හුස්මට සිහිය යෙදූ නිසා ය. මෙහිදී පී‍්‍රතිය, සුවය සියුම් ව
දැනීම සිදුවේ. මෙහිම සිට දෙවන ධ්‍යානයට අධිෂ්ඨාන කිරීමෙන් සමාධි සිත
උඩු අතට නැගෙමින් ඇහි බැම දක්වා පැමිණ එතැන දෙවන ධ්‍යානය යැයි
හඳුන්වාදෙයි.
මෙහිදී සමාධි ස්වභාවය තීව්‍ර වෙමින් පී‍්‍රතිය හා සුවය දැනෙයි. නැවත
තෙවන ධ්‍යානයට අධිෂ්ඨාන කිරීමෙන් මනින්ද්‍රිය නළල් තළය දක්වා ඇදී විත්
තෙවන ධ්‍යානය පැහැදිළි කරදෙනු ඇත. මෙහිදී පී‍්‍රතිය ඉවත් වී සුවයට සිත
යොමුවීම සිදුවේ. නැවතත් සිවුවෙනි ධ්‍යානයට අධිෂ්ඨාන කළවිට මනින්ද්‍රිය
හිසෙන් උඩට නැගී යයි. සුව දුක් නැති උපේක්‍ෂා මනසක් අත්විඳිය හැක්කේ
මෙහිදීය. මෙම සෑම ධ්‍යාන තළයකම විනාඩි 10 – 15 ත් අතර කාලයක් රැඳීම
ප්‍රමාණවත්ය. අවසානයේ සමාධිය ‘බසීවා’යි මෙනෙහි කරමින් පිළිවෙළින්
සමාධියෙන් බැසිය යුතු ය. ධ්‍යාන යනු අපට කළ නොහැක්කක් නොවේ.මෙම සුවයට
බිය නොවිය යුතුය,යන්න බුදුවදනයි.
මෙම සමාධි තත්ත්වය දියුණු කරගත් තැනැත්තා තුළ ශ්‍රද්ධා, විරිය, සති,
සමාධි, ප්‍රඥා යන පංච බලයෝ වැඩෙති. මොහු ශ්‍රද්ධානුසාරී තැනැත්තා ය.
ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ නිවනට මුහුණලා සිටින්නෝ ය. මේ
මගින් විදර්ශනා සමාධියක් උදාකර ගත හැකි ය. ප්‍රථම වරට විදර්ශනා
සමාධියක් උදාකරගත් තැනැත්තා දුගති බිය ඉක්මවූවෙක් වන්නේ ය.
ගොවියෙකුගේ වෙසක් මවාගත් මාරයා බුදුරදුන් ඉදිරිපිට පෙනී සිට තමාගේ
ගවයින් දැක්කා දැයි ප්‍රශ්න කරයි. මාරයා හඳුනාගත් බුදුරජාණන් වහන්සේ
පාපී මාරය නුඹට ගවයින්ගෙන් කුමන පලක්දැයි විමසූහ. ශ්‍රමණය ඇස මගේ ය.
රූපයද මගේ ය. චක්ඛුසම්පස්සය හා චක්ඛුවිඤ්ඤාණයද මගේ ය. මේ ආකාරයට මාරයා
කියනුයේ ඉන්ද්‍රිය හයත් අරමුණු හයත් ඔහුගේ බවයි. ශ්‍රමණය කොහි ගොසින්
මාගෙන් මිදීමක් වන්නේ ද? මහණෙනි, ඇසින් දැක මනවඩන පි‍්‍රය ස්වභාව ඇති
ඇලුම් කරන රූපයෝ ඇත. භික්‍ෂුව එය පිළිගනියි. ගුණ කියයි. ගැලී සිටියි.
මහණෙනි, මේ මහණ තෙමේ මරු වසන තැනට ගියේ, මරු වසඟයට ගියේ, මාරයාගේ
මළපුඩුවට ගියේයැයි කියනු ලැබේ. ඔහු මාර බන්ධනයෙන් බැදුනේ මාරයාට කැමති
යමක් කරන්නට හැකිවන්නේ ය.
මෙම මාර වසගයට ලෝවැසි සියල්ලෝම හසුවී සිටිති. ඉන් මිදීම සඳහා ඇරයුමකි
මාතෘකාවෙන් පැහැදිළි වනුයේ. අවිද්‍යාදී නීවරණයන්ගෙන් අප වැසී සිටින විට
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නිරතුරු ගිනිගෙන දැවෙන බව අපට නොපෙනෙයි.
මහණෙනි, සියල්ල ඇවිල ගන්නා ලදී, මහණෙනි, ඇස ඇවිල ගන්නා ලදී, රූපයද ඇවිල
ගන්නා ලදී, චක්ඛු විඤ්ඤාණයද ඇවිල ගන්නා ලදී. (මනාප අමනාපයෙන්) කන,
නාසය, දිව, ශරීරය, මනස සියල්ල ඇවිල ගන්නා ලදී. මෙලෙස මරු වසඟයට පත්ව
සිටිද්දී, කුමන හිනාවක්ද?
කුමන ආනන්දයක්ද
නිරතුරු ගිනිගෙන දැවෙයි
අන්ධකාරයෙන් වැසීගෙන
කිම පහනක් නොගන්නේ
(අවිද්‍යාවෙන් වෙන් නොවන්නේ)
තෙරුවන් සරණයි. |