UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බද්දේගම දුටුගැමුණු විහාරය

ජනප්‍රවාද හරහා ඉතිහාසයේ බොහෝ අඳුරු තැන් ආලෝකවත් කර ගත හැකි අතර ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට එය මහත් පිටු බලයක් ් විය හැක. “මාඝ” නමැති ද්‍රවිඩ රජුගේ සමයේ සන්දර නම් ද්‍රවිඩ සෙන්පතියකු විශාල කඳු මුදුනක විසූ බවත් ජාතියේ මහා වීරයාණන් වූ දුටුගැමුණු කුමරා ප්‍රමුඛ සිංහල හමුදාව එම කන්ද ආක්‍රමණය කළ විට ද්‍රවිඩ සේනාධිපතියා තමන් සතු සියලු වස්තුව රැගෙන කඳු පාමුල පිහිටි ගැඹුරු පොකුණට පැන සිය දිවි නසාගත් බවත්, සන්දරනම් සෙන්පතියා දිවි නසාගත් වල ‘සන්දරවල’ නමින් ප්‍රකට වූ බවත්, ජනප්‍රවාදයේ පවතී. ඔහු විසූ කන්ද ‘හැඩි දෙමළ කන්ද’ නමින් හැඳින් වූ අතර එය වර්තමානයේ සුප්‍රසිද්ධ රමණීය විහාරස්ථානයක් බවට පත්ව ඇත.

ද්‍රවිඩ සේනාධිනායකයන් සිය ආරක්‍ෂාව පිණිස වාසය කළ මෙම කන්ද ඔවුන්ගෙන් මුදාගෙන සිය සිංහල හමුදාව එක්රැස් කිරීම පිණිස දුටුගැමුණු කුමාරයා මෙම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇත. එනිසාම මෙම කඳු මුදුනේ ඉදි වූ විහාරය ‘දුටුගැමුණු’ විහාරය ලෙසින් හඳුන්වනු ලබයි. අඩි 300 ක් පමණ උසින් වූ මෙම කන්ද සුන්දර ය. වටිනා වෘක්‍ෂලතාවන්ගෙන් ගහණය. ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ බද්දේගම නගරයට කිලෝමීටර දෙකක් පමණ ගාල්ල දිසාවට වෙන්නට පිහටා ඇත. දුටුගැමුණු විහාරයේ කළුගලින්ම පමණක් නිම වූ සාංචි තොරණ හෙළ කලාකරුවන්ගේඅගනා නිර්මාණයකි. මෙම සාංචි තොරණ ඉන්දියාවේ සාංචි තොරණ හැරුණ විට කළු ගලින්ම පමණක් නිර්මාණය වී ඇති එකම සාංචි තොරණ බව කියයි. විහාර මළුවට ගමන් කිරීම සඳහා ඇත්තේද කළු ගලින් සකසන ලද පියගැට පෙළකි.

දිගු පියගැට පෙළ තරණය කරමින් විහාරය වෙත පා නගන්නකුට අතර මඟදී හමුවන දසමහා යෝධයන්ගේ වීරත්වය ගෙනහැර දක්වන විශාල පිළිරූ නිසා මග දෙපස ඇති හුදකලා බව නොදැනෙනු ඇත. ‘දසමහා යෝධයන්’ ගේ පිළිරූ ඇති එකම ස්ථානයද මෙම විහාරය වීම විශේෂත්වයකි. විහාර මළුවට ආසන්නයේ මිහිඳු මහා හිමි සහ පිරිවරෙහි ප්‍රතිමා ඉහළ කඳු මුදුනේ අඹා තිබේ. මෙය ලක්දිවට බුදු දහම ගෙන ආ අසිරිමත් සිදුවීම සිගිගැන්වීම පිණිස ඉදිකර ඇත. විහාර මළුවට ඇතුල් වත්ම රමණීය බෝධි රාජයා වැඩ හිඳිති. බෝ පත් අතරින් ගලා එන මද සුළඟ විහාර මළුවට ඇතුල් වන්නන් ගේ ගත සිත සිසිලසින් නිවාලනු ලබන්නේ සිය ගණනක් වූ පියගැට පෙළ නැගීමෙන් ඇති වූ විඩාව මග හරවමිනි.


ගනේගම සරණංකර නා හිමි පිළිරුව


විහාරාධිපති හිමියෝ

ඉන් මදක් ඉහළට ගමන් කළ පසු හමු වන විහාර මහා දේවියගේ සහ දුටුගැමුණු රජතුමාගේ පිළිරූ දෙස බලා සිටින්නෙකුගේ හදවතට දැනෙන ජාත්‍යාලය කොතරම්දැයි කිව නොහැකි නිසාවෙන් දෙනෙක් ඉන් ඔබ්බට ගැනීමට සිත් නෙදෙන තරම් වේ. වසර 600 ක් තරම් පැරණි චෛත්‍යරාජයා කීප වතාවත්ම ප්‍රතිසංස්කරණය කර ඇති අතර අලංකාර වූ බුදු මැදුරු දෙකකින් සමන්විත වූ මෙම ඓතිහාසික විහාරයේ බුද්ධ ප්‍රතිමා දෙනමක් ඇත. පැරණි බුද්ධ මන්දිරයේ ඇති ප්‍රතිමා වහන්සේ “ධම්මචක්ඛ” මුද්‍රාවෙන් වැඩ හිඳින අතර සතර වරම් දෙවිවරු වැඳනමස්කාරය කරන ආකාරයද මූර්තිමත් කර ඇත. හතර වටේ ඇති බිත්ති පුරා මනරම් සිතුවමින් දුටුගැමුණු චරිතය පිළිබිඹු වේ. ප්‍රධාන බුද්ධ මන්දරයට ඇතුල්වත්ම ලක්දිවට දන්ත ධාතූන් වහන්සේ රැගෙන ඒමේ පුවත හා එය ආරක්‍ෂා කර ගැනීම පිණිස ගත් උත්සාහයන් අලංකාර සිතුවම් පෙළකින් දක්වා තිබේ. මන්දිරයට පිවිසෙන දොරටු දෙපස ඇති දොරටුපාල මූර්තිය අගනා නිර්මාණයකි. දුටුගැමුණු රජතුමාගේ හා විහාර මහා දේවියගේ චරිතාපදානය කළ බිතු සිතුවම් රාශියක් මෙම විහාරයේ ද දක්නට ඇති අතර විහාර මන්දිරය තුළ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ හිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස බලා සිටින්නෙකුගේ සිතට පහන් සිතිවිලි නිරන්තරයෙන් ගලා එනු ඇත. විහාර මන්දිරයේ පිටත ඇති බිත්ති වල දුටුගැමුණු රජතුමා කළ ශාසනික සේවාවන් ගෙනහැර දක්වන තනි වර්ණයෙන් කළ මූර්තිමත් නිර්මාණයන්ද අලංකාර ය. දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් පසු වල්බිහි ව තිබූ මෙම ස්ථානයට අම්බන ඉන්ද්‍රජෝති මහ තෙරහු මීට වසර 600 ට පෙර පැමිණ යළි පිළිසකර කර නැවත පූජනීය ස්ථානයක් බවට පත් කර ඇත. උන්වහන්සේගේ ඇවෑමෙන් ගනේගම උපනන්ද, වේරගොඩ සෝනුත්තර, කහවේ ශ්‍රී රතනසාර, වැලිවිටියේ සුගතපාල, වේරගොඩ අමර මෝලි යන නා හිමිවරු මෙහි විහාරාධිපතිත්වය දරා ඇති අතර සිංහල සාහිත්‍යයට අනූපමේය සේවාවක් කරමින් වටිනා ග්‍රන්ථ රාශියක් හෙළ සාහිත කෙතට දායාද කළ ජංගම පුස්තකාලය ලෙස විරුදාවලිය ලද ගනේගම සරණංකර නා හිමියන්ද මෙහි විහාරාධිපති වශයෙන් වැඩ හිඳ ඇත. උන්වහන්සේ ද මෙම විහාරස්ථානය දියුණු කිරීමේලා අනූපමේය සේවාවක් කර ඇති බැවින් එය සිහිවීම පිණිස උන්වහන්සේගේ පිළිරුවක් විහාර භූමියේ ඉදිකර තිබීම විශේෂයකි. ගනේගම ශ්‍රී සරණංකර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වූ දම්මල සීිලවිමල නාහිමියන් වර්තමානයේ විහාරාධිපති වහන්සේ ලෙසින් කටයුතු කරන අතර මෙම විහාරය දැක බලා වන්දනා මාන කිරීමට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණෙති.


විහාරමහා දේවී පිළිරුව

සාංචි තොරණ

දුටුගැමුණු
පිළිරුව

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]