UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යටපත් නොවන ප්‍රතිඵල ගෙන දෙන කඨින චීවර පූජාව

නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ
පියතිස්ස නා හිමි

දඹදිවට වර්ෂා කාලය එළඹුණු විට බොහෝ දෙනා පී‍්‍රති වීම ස්වභාවයකි. වසන්ත කාලය පැමිණීමත් සමඟ එය වසන්තෝත්සවය යැයි උත්සව පවත්වා එය පිළිගැනීම, පෙර දඹදිව් වැස්සන්ගේ සිරිතක් විය. ජෛන ආගමිකයෝ පරම අවිහිංසා වාදීන් පිරිසක් වූ බැවින් වැස්ස නිසා දලු ලා වැඩෙන තණපත් පෑගීම පාප කර්මයක් සේ, සලකා ක්‍රියා කිරීමද එකල සිරිතක් විය.

වස්සාන කාලය දඹදිවට ලබන විට සමහර බටහිර රටවලට ගී‍්‍රෂ්ම කාලය වීම ස්වභාව යයි. ලෝක ගෝලයෙහි පිහිටීම අනුව එය සිදුවීම පුදුමයට කරුණක් නොවේ. එහි උතුරු කෙළවරත්, දකුණු කෙළවරත්, සිසිල් ය. සමකය යැයි කියන නිරක්ෂය අවට පෙදෙස් උණුසුම් ය. කාල ගුණය සැමදා ඒකාකාර නොවේ.

මේ කවුරුත් දන්නා පරිදි දඹදිවට වස්සාන කාලයයි. වස්සාන කාලය බොහෝ සැදැහැවතුන් වැඩිපුර පින් කරගත් සහ පින් කරගන්නා කාලය බව අපේ ආගමික පොත් පත් වලින් මෙන්ම පළ පුරුද්දෙන් ද බුදු සසුන ගැන දන්නා පින්වතුන් ගෙන්ද අපි දැන ගෙන සිටිමු. බුද්ධ කාලයේ විසූ රහතන් වහන්සේ වැඩි කොටසක් රහත් බවට පැමිණ වදාළේ ගිහි ජනතාවට වැඩි දෙනා සසර යහපත පතා කාමාවචර කුසල් රැස්කරගන්නේ ද මේ කාලයේ බවත් ප්‍රකටය.

බුදුරජාණන් වහන්සේ ඇසළ මස පුන් පොහොය දා ඉසිපතනයේදී පස්වග තාපසවරයන් වහන්සේට ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් ධර්මය දේශනා කොට පසු දින තමන් වහන්සේ තනිව වස්සානය එහි වැඩ සිටීමට සනිටුහන් කරගෙන වස් සමාදන්ව ඒ තෙමස එහිම වැඩ විසූ බව සඳහන් වේ. එහෙයින් වස් විසීම අලුත් දෙයක් නොව, ඉපැරැණි බුද්ධ චාරිත්‍රයකියි දත යුතු ය. එහි අගය එපමණටම ඈතට දුවයි. එය බුද්ධ ප්‍රඥප්තියකි.

බුදු රජාණන් වහන්සේගේ වස් විසීම බුදු බවට පත්ව වදාළ පළමුවන වසරේ පටන්ම සිදුව ඇති බවත් එය පෙර බුදුවරයන් වහන්සේලාගේ ද සිරිතක් වූ බවත් පෙනේ. එහෙත් අර්ථෝත්පත්තියක් නැතිව සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද නොපනවන බැවින් උන්වහන්සේ භික්ෂූණ් වහන්සේට වස් සමාදන් වීම කල් ඇතිව පවා වදාරා නැත. භික්ෂූන් වහන්සේලාට වස් විසීම අනුදැන වදාළේ බුද්ධත්වයෙන් අවුරුදු විස්සකට පසුව ය.

ඒ කාලයේ වස් සමාදන් වීමට වැඩමවූ බොහෝ දෙනා වහන්සේ බුදු රජාණන් වහන්සේ වෙත එළඹ, කමටහන් ලබා ගෙන, බැහැර ආරාම කරා ගොස් වස් කාලය තුළ විවේකී ව ආරාමයට වී භාවනා වඩා රහත් බවට පත් වූහ. බුදුරජාණන් වහන්සේට ආසයානුසය ඤාණය තිබුනු බැවින් ඒ ඒ භික්ෂූන් වහන්සේලාගේ චරිත බලා උන්වහන්සේට ගැලපෙන කමටහන් දිය හැකි කම තිබිණි.

එහෙයින් එකල රහත් බවට පත් වැඩිදෙනා වහන්සේ සංසාර විමුක්තිය ලබා ගත්තේ වස්සාන කාලයේ බව ද පෙනෙයි. එකලත් මෙකලත් කෙනකුගේ ආරාධනාවක් ඇතත් නැතත් වස්සාන කාලයට භික්ෂූන් වහන්සේ වස් විසීම සිරිතක් කරගෙන ඇත්තේ, එය බුද්ධ ප්‍රඥප්තියක් වන බැවින් ය. එසේම එය බුද්ධ පූජාවක්ද වන බැවින් ය. එහෙයින් ඒ කාලයට වැසි ඇතත් නැතත්, වස් විසීම පින් සිදු වන චාරිත්‍රයක ලෙස එකල පටන් අද වන තුරු සිදු කරති.

එසේ වස් වසන ඇතැම් දැඩි ශ්‍රද්ධාවත් උතුමන් වහන්සේ වස්සාන ශික්ෂාව සමඟ තෙළෙස් ධුතාඞගයන්ගෙන් එකක් හෝ කීපයක්ද ඇතැම් විට සමාදන් වෙති. මෙකල දකින්න දුර්ලභ වුවත් මෑතක් වන තුරුම ගම් වැසි විවේකි ගිහි පින්වතුන් ද පට්ජාගරණ උපෝසථය ආදී පෙහෙවස් මේ වස්සාන තුන් මස තුළ සමාදන් ව පින් රැස් කර ගැනීම, සිරිත විය. ඒ සිරිත දැන් ඇත්තේ ඉතා පිටිසර ගම්වල පමණයැයි සිතමි.

නියමිත විනය පිළිවෙත් නොකඩ කොට අනුගමනය කිරීමෙන් වස් විසීම නිමාවට පත් කරන පින්වතුන් වහන්සේ උදෙසා පවත්වන කඨින පුජෝත්සව අතීතයෙහි පටන් අද දක්වා පැවැත්වේ. ලංකා ඉතිහාසයෙහි මේ පිළිබඳ දැක්වෙන නිදසුන් වශයෙන්, කෝට්ටේ රජ කළ පරාක්‍රමබාහු මහ රජතුමන් විසින් තුන් දහස් හාරසිය තිස් දෙකක් කඨින පූජා සඳහා සිවුරු පූජා කරන ලද බව ද, පුරාණ කඨින වංශය නමින් ග්‍රන්ථයක් ලියවීම ද සැලකිය හැකි බව අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ නායක මාහිමියෝ පවසති. තවත් බොහෝ සිංහල රජවරු එසේ කඨින පූජා පවත්වන ලද බව මහාවංශය වැනි පොත් පත්වල දැක්වෙයි.

අතීත සිංහල රජ දරුවෝ කඨින චීවර පුජා කිරීමෙහි බෙහෙවින් උනන්දු වූ බව අපේ පැරැණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලද දැක්වෙයි. එයින් මහජනතාවද එසේ කිරීමට උනන්දු වූවා සේම කඨින පූජාවද අටමහ පින්කම්වලට ඇතුළත් වීමෙන් මෙන්ම ධර්ම නීති රාශියකට අනුකූ®ලව කළ යුතු වන බැවින් ද ඒ සඳහා බෙහෙවින් වෙහෙසන විය යුතු බැවින් ද තෙමසක් පුරා කුසල සිත් වලින් සිත් පිරී යන බැවින්ද එහි ආනිශංස සහ විපාක බහුල වේ යැයි දත යුතු.

මෙකල බොහෝ දෙනා පවත්වන කඨින පූජා කාලයේ පහසුකම් නිසා පහසුවෙන් කරගත හැකි ය. එය එසේ වුවත් අතීතයේ අතින්ම සිවුරු මැසීම් ආදී කටයුතු කරන ලද බැවින්, වැඩිදෙනකුට පින් සිත් පහළ කර ගැනීමත් දීර්ඝ කාලයක් එම කුසල් සිත් වලට ගැඹුරින් අවධානය යොමුකරගත හැකි වීමත් නිසා කුසල ඵලය ද වැඩිවී යැයි සිතිය හැකිය.

චීනය නීති රාශියකට අනුකූ®ලව කළ යුතු බැවින් ද, එක් වසරකට එක් විහාරස්ථානයක කළ හැකි වන්නේ එක් කඨින පූජාවක් පමණක් වන නිසා කඨින පූජාව දුර්ලභ පින්කමක් වේ යැයි දත යුතු. ඉතා දීර්ඝ මේ සංසාරයේ නිසි පරිදි කුසල් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ මනුෂ්‍යත්වය ලබාගත් ඉතා ටික දෙනෙකුට පමණි. බාහිය දාරුචිරිය රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා මොහොතකින් රහත් වීමේ වාසනාව තිබුණත් උන්වහන්සේට සසරදී අටපිරිකරක් පූජා කර ගන්නට අවස්ථාවක් නොලැබුණු නිසා දෝ ඒහි භික්ෂු භාවයෙන් මහණ වීමට අවස්ථාව නොලැබී රහත් බවට පත් වු ගිහි පින්වතකු ලෙස එදිනම පිරිනිවන් පාන්නට සිදු විය.

ඒ අනුව අප වටහා ගත යුතු වන්නේ මිනිසත් බව ලබාගත් මේ ජාතියේදීම හැකි පමණ පින් දහම් කරගත යුතු බව ය. අපට සසර පුරා ජීවිතය පවත්වාගෙන යාම සඳහා සටන් කළ යුතුව ඇති බැවින් පින් කරගැනීමට ඇති කාලය ඉතා අඩු ය. දුර්ලභ වූ මිනිස් බව ලබන ලද මේ ඇසිල්ලේ කර ගත හැකි උතුම් පින්කම් කොහි සිටියදී හෝ කරගැනීම, ප්‍රඥාගෝචර බව ද සැලකිය යුතුය.

වෙනත් කිසි අකුසල කර්මයකින් වෙනස් කළ නොහැකි බලවත් කුසල කර්මයක් වන මේ කඨින පූජාමය පින්කම, එසේ දුර්ලභ වූවක් වන නිසාම මිනිසත් බව ලබන අප හැමදෙනා විසින්ම කරගත යුතු, බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාළ කුසල කර්මයක් බවද වටහා ගත යුතු ය. එහෙයින් ළඟ එන කඨින පූජා මාසය තුළ ඔබේ අසල් වැසි කවර විහාරස්ථානයක හෝ පවත්වනු ලබන කඨින පූජාමය පින්කමකට සහභාගි වී මේ දුර්ලභ පින්කමේ කුසල් අයත්කර ගැනීම, ඔබේ වාසනාවක් සේ සලකා ක්‍රියා කළ යුතු ය.

සව්සත නිදුක් වෙත්වා!

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]