UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ කැටයම් කලාවේ අපූර්ව නිර්මාණ

සඳකඩ පහණ ප්‍රභවය හා විකාශය

බෞද්ධ කැටයම් කලාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සුවිශේෂ ඓතිහාසික වැදගත් ස්ථානයක ලා සැළකිය හැකි අපූර්ව නිර්මාණයක් ලෙසින් සැලකිය හැක්කේ සඳකඩ පහණ, කොරවක් ගල්, මුරගල්, උලුවහු, පියගැටපෙළ භෛරව රූප ආදියයි. ඒවා අතරින් ද කලාත්මක අගයකින් යුත් සඳකඩ පහණ ප්‍රධාන වේ. විශේෂයෙන්ම ලංකාවේ ස්තූ®ප වලට, ආරාමවලට පිළිම ගෙවල්වලට ප්‍රවිෂ්ඨවන ස්ථානයේ පියගැට පේළියේ පළමුවෙන්ම අපට හමුවන්නේ මෙම සඳකඩ පහණයි.

ශ්‍රී ලාංකීය ගල් කැටයම්කරුවන්ගේ ස්වීය නිර්මාණ කුසලතාවය විශිෂ්ඨ අයුරින් ප්‍රදර්ශනය කෙරෙන මෙම සඳකඩ පහණ ආගමික ගොඩනැගිලි දොරටුවකට ඉතා අලංකාර පෙනුමක් ගෙන දෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මුරගල්, කොරවක්ගල්, හා පියගැට පෙළ සමග සංකලනය වූ විට සඳකඩ පහණ තුළින් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කැටයම් කලාවේ විශ්මිත නිර්මාණයක් බවයි.

සඳකඩ පහණ යන්නෙහි සරල අර්ථය ‘සඳෙන් - අඩක’ - අඩ සඳක - හැඩයගත් පාෂාණයක් බවයි. මහාවග්ගපාලිය එය හඳුන්වන්නේ ‘පාටිකා’ නමිනි. වංසත්ථප්පකාසිනියේ ‘පාටිකා’ යන්න වෙනුවට හඳුන්වන්නේ ‘අඩ්ඪචන්දක පදගණ්ඨිකා’ නමිනි. එයින් අදහස් වන්නේ් ‘අඩසඳ’ යන්නකි. එම සිංහල වචනය පද පෙරළීමෙන් සඳකඩ යන වශයෙන් ව්‍යවහාරයට එක් වී ඇති බව පෙනේ. ‘පද ගණ්ඨිකා’ ලෙසින් වංසත්ථප්පකාසිනි කතුවරයා අදහස් කරන්නට ඇත්තේ ‘ පියගැටය’ යන අදහසින් විය යුතුය. එම අර්ථයෙන් එය ගලින් කරන ලද්දක් බව සැළකිය හැකිය.

සමන්තපාසාදිකාවේ සඳකඩ පහණ හඳුන්වා ඇත්තේ ‘අඩ්ඪචන්දන පාෂාණ’ යනුවෙනි. එනම් අඩ සඳ පහන ලෙසයි. අමාවතුරෙහි එය දක්වා ඇත්තේ සරල ලෙසින් ‘අඩ සඳ පහණ’ වශයෙනි. අභිධානප්පදීපිකා සන්නය, සද්ධර්ම රත්නාවලිය දක්වා ඇත්තේ සඳකඩ පහණ යන නමින්මය.

මහාචාර්ය විනී විතාරණ මහතා සඳකඩ පහණ යන්න වෙනුවට ‘ඉර හඳ ගල’ යන්න යෙදී ඇති බව සඳහන් කරන නමුත් එම මතය ප්‍රතික්ෂේප කරමින් මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ් මහතා පෙන්වා දෙන්නේ සඳකඩ පහණ යන්නෙන් ඉර හඳ යන දෙකම ඉන් අදහස් කළ නොහැකි බවයි. සඳ කලාවෙන් කලාවට වැඩෙන්නක් බව මිනිසුන් විශ්වාස කරන නමුත් ඉර සම්බන්ධයෙන් එවැනි පිළිගැනීමක් නැති බවද හෙතෙම තවදුරටත් පවසයි.

සඳකඩ පහණ නම් වූ අපූර්ව කලා නිර්මාණය එකවරම අංග සම්පූර්ණව බිහි වූවක් නොවන අතර අදියරෙන් අදියර ක්‍රමික විකාශනයකට ලක් වී සංවර්ධනය වූවක් බව එහි ප්‍රභවය පිළිබඳව සැළකීමේදී අවබෝධ කර ගත හැකිය. සඳකඩ පහණේ් ඉතිහාසය ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈතට විහිදී යයි. ක්‍රි. පූ. 3 යන සියවසට පෙර උතුරු ඉන්දියාවේ බෞද්ධ ගොඩනැගිලි දොරටුවල පියගැට පෙළ පාමුළ ‘පාටිකාවන්’ තිබූ බව මහාවග්ගපාලිය අනාවරණය කරයි. මෙම පාටිකා යන්නට ක්‍රි.ව 5 වන සියවසේදී සමන්තපාසාදිකා ග්‍රන්ථය ලියූ බුද්ධඝෝෂ හිමියන් අඩ්ඪචන්දපාෂාණ යන්න හෙවත් අඩසඳ පහණ යන්න ආදේශ කිරීමක් කර ඇති බව පෙනේ. පුරා විද්‍යාත්මක සාධක අනුව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පාටිකාවක් ගැන සඳහන් වන අතර එය පියගැටයක හැඩයෙන් යුක්ත විය. එහෙත් මෙහි ලා සඳහන් කළ යුත්තේ සඳකඩ පහණ ඉන්දියාවේ ප්‍රභවය ලබා අනතුරුව ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දක් නොවන බවයි. යට සඳහන් කරන ලද ඉන්දියාවෙන් ගෙන එන ලද පාටිකාව ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පා සෝදා ගැනීමට භාවිත කළ ගල් පුවරුවක් වේ.

සඳකඩ පහණේ මුල්ම අදියර වන ‘පාටිකා’ ව දිග හතරැස් ගල් පුවරුවක් විය. එය ඉතා චාම් වූවකි. එහි කිසිදු කැටයමක් නොමැත. දොරටුවල විශාලත්වය අනුව එය විවිධ ප්‍රමාණවලින් යුක්ත විය. අනුරාධපුර අභයගිරියේ ස්තූ®පයට දකුණු පසින් ඇති සන්නිපාත ශාලාවේ උතුරු දිගින් වූ දොරටුවේ පිය ගැටපෙළ පාමුළ පිහිටා ඇති පාටිකා මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැක. එහිම ඇත්පොකුණට බටහිර දිගින් වූ ගල් පර්වතය සහිත ආරාමයට බටහිරින් පිහිටි පංචාවාසයට උතුරින් පිහිටි ප්‍රවිෂ්ට දොරටුව අසළ මෙබඳු තවත් ‘පාටිකාවක්’ දැක ගත හැකිය. අනුරාධපුර ජේතවන විහාරයට අයත් ප්‍රධාන ස්තූ®පයේ වැලි මලුවට බටහිරින් ගෝ පුරයට සම්බන්ධ පියගැටපෙළ අවසානයේ මෙම ගණයට අයත් විශාලම පාටිකාව දක්නට ලැබේ. මෙබඳු ලොකු කුඩා පාටිකා රැසක් අනුරාධපුරයෙන් පමණක් සොයා ගත හැකි අතර ඉතා පැරැණි ආරාම පිහිටි ලංකාවේ වෙනත් ප්‍රදේශවලින් ද එබඳු පාටිකා සුළු ප්‍රමාණයක් සොයා ගත හැකිය.

සඳකඩ පහණේ මීළඟ අදියර වශයෙන් දැක්විය හැක්කේ (පාටිකාවෙන් පසු) හතරැස් පාටිකාවේ ඉදිරි කොන් දෙක අර්ධ කවාකාර ලෙස හැඩ ගැන්වීමයි. ක්‍රි.ව. 5 වැනි සියවසට පෙර හෙළ කැටයම් ශිල්පීන් පාටිකාවෙන් සෑහීමට පත්නොවී පඩි පෙළ අග ගල් පඩිය ඇදහිලි විශ්වාස වලිනුත්, මහජන සිත් ඇදබැඳ ගන්නා විවිධාකාර සිතුවම් මෝස්තරවලිනුත් යුක්ත විය යුතු බවට පැවැති ආකල්පය තහවුරු කරමින් පාටිකාව අර්ධ කවාකාර හැඩයක් ලෙසට පත් කළ බව පෙනේ. විවිධ සිතුවම් හා මෝස්තර වලින්ද, කැටයම් වලින්ද යුක්තව අද අපට දැකගත හැකි සඳකඩ පහණෙහි නිර්මාණ තත්ත්වයට පත්වූයේ එබඳු ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයක් ලෙසයි.

පාටිකාවෙන් මාරු වී ඊළඟ අවස්ථාව වශයෙන් හතරැස් පාටිකාවේ ඉදිරි කොන් දෙක අර්ධ කවාකාර ලෙස හැඩ ගැන්වූ නිර්මාණයට හොඳම උදාහරණයන් ලෙස අනුරාධපුර ගෙඩිගේ අසළ ඊට නිරිත දිගින් පිහිටි නිර්මාණය දැක්විය හැකිය. එහි ගලේ කොන් දෙක අර්ධ වශයෙන් හැඩ ගන්වා ඇත. ඊට අමතරව ගලේ කොන් දෙක සම්පූර්ණයෙන්ම හැඩ ගැන්වූ දිග හතරැස් පාටිකාවක් මිරිසවැටි දාගැබට බටහිරින් පිහිටි ගොඩනැගිල්ලක පියගැට පෙළ අග දැක ගත හැක. මින්පසු කැටයම් ශිල්පියා විසින් පළලින් වැඩි ගල් පුවරුවක් ගෙන එහි ඉදිරිපස තවදුරටත් හැඩ ගන්වන ලදී. මෙහිදී අප විසින් පැහැදිලි කරන ලද්දේ පාටිකාවෙන් සඳකඩ පහණේ විකාශය සිදු වූ ආකාරයයි. මේවා ‘පාටිකා - සඳකඩ පහණ’ ලෙස සඳහන් කළ හැකි බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා පවසයි.

මින්පසු සඳකඩ පහණට විවිධ කැටයම් හා මෝස්තර එක්වීම සිදුවිය. ඒ අනුව සරළ රේඛාව, ලියවැල්, ගිනිදලු, සත්ව රූප පද්මය ආදිය සඳකඩ පහණ තුළ නිර්මාණය වීම දක්නට ලැබේ. අභයගිරියේ කුට්ටම් පොකුණට බටහිරින් ඇතුලුවීමට ඇති දොරටුවේ පඩිපෙළ අග සම සතරැස් ගල් පුවරුවේ අර්ධකවාකාර රේඛා තුනකි. පොළොන්නරුව ආලාහන පිරිවෙන පරිශ්‍රයේ සිදුකළ කැණීම් වලදී පළලින් වැඩි දිග හතරැස් ගලක මධ්‍යයේ අඩසඳ රේඛාවක් තුළ විවෘත පද්මයක් දක්වා ඊට පිටින් දිග හතරැස් රාමුවක හංස පේළියක් සහිත පාටිකාවක් හමු වී තිබේ. ඊට අමතරව මාළිගාවිල පටිමාඝරයට පිවිසෙන දොරටුවේ ඇති පාටිකා දෙකද කැටයම් සහිතය.

පාටිකාව සඳකඩ පහණ දක්වා විකාශනය වෙද්දී සඳකඩ පහණට සෑහෙන තරම් දුරට ආසන්න අවස්ථාවේදී ඊට එකතු වූයේ දාර මෝස්තරයි. මෙම දාර අල්ප උන්නත ය. අනුරාධපුර මිරිසවැටි විහාරයේ ස්තූපයට වයඹ දිගින් පිහිටි දාර මෝස්තර සහිත සඳකඩ පහණ මීට නිදසුනකි. අනුරාධපුර ශ්‍රී‍්‍රමහා බෝධි ඝරයේ බටහිර දොරටුවේ ඇති සඳකඩ පහණ ද මෙබඳු සඳකඩ පහණකි.

සඳකඩ පහණ මධ්‍යයේ ද්විත්ව රේඛාවක්ද, ඊට පිටින් පලා පෙති හෝ ගිනිදැල් සහිත අඩ රවුමක්ද ඊටත් පිටින් තනි රේඛා අඩ රවුම් දෙකක් ද, ඊට පිටින් ගව රූප පන්තියක් ද, ඊට පිටින් ඇත්රූප පන්තියක් සහිත සඳකඩ පහණක් රාජාංගන හත්ථිකුච්ඡි විහාරයේ ප්‍රතිමාඝරයේ ප්‍රවිෂ්ට ද්වාරයේ දැක ගත හැකිය. මෙහිදී දැක ගත හැකි විශේෂත්වයක් නම් ගවයන් හා ඇතුන් දෙපැත්තෙන්ම එන අයුරින් දක්වා තිබීමයි. රවුම් දෙකේම සත්ව රූප මුණ ගැසෙන තැන කිසියම් සංකේතයක් ද සහිතයි.

අභයගිරියේ ඇත්පොකුණට යාබද නැගෙනහිර පැත්තේ ඇති පංචාවාසය මැද පිහිටි ගොඩනැගිල්ලට පිවිසුම් දොරටුවේ විවෘත පද්මය මධ්‍යයෙහිද, ඊට පිටින් ලියවැල ද, ඊටත් පිටින් ඇතා, අශ්වයා, ගවයාද, වම් පස සිට දකුණු පසට දිව යන ආකාරයට දක්වා ඇති සඳකඩ පහණකි. මෙහි සිංහ රූපය දක්වා නැත. මෙහිදී සඳහන් කළ යුත්තේ සඳකඩ පහණේ දැක්වෙන සංකේත හා අනුපිළිවෙළ පිළිබඳව සම්මත පොදු සැලැස්මක් නොමැති බවයි. නමුත් සඳකඩ පහණ හයක පමණ සමාන සංකේත හා සමාන සැලැස්මක් දැකිය හැකි බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා පවසයි. ඒ අනුව එබඳු එක් සඳකඩ පහණක් අභයගිරි විහාරයේ මහසෙන් මාළිගය නමින් වරදවා හඳුන්වනු ලබන පංචාවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පිහිටා ඇති බව දක්වයි. මෙහි වට රවුමේ පලා පෙති හෝ ගිණිදැල් මෝස්තරය ද ඊට පසුව ඇතා අශ්වයා ගවයා, සිංහයා යන සත්ව පංතියද දක්වා ඇත. මෙම සිවුපා පංතිය දක්වා ඇත්තේ වමේ සිට දකුණට දිව යන ආකාරයටය.

ඉන්පසු කොටසේ ඇත්තේ ලොකු ලියවැලකි. ඉන්පසු අනුපිළිවෙළින් අඩක් පිපුණු මලක් සහිත නෙලුම් පැළෑටිය බැගින් තුඩින් ගත් හංස පංතියක්ද, කුඩා ලියවැලක්ද, දක්වා මධ්‍යයේ විවෘත අර්ධ පද්මයක් දක්වා ඇත.

මෙම සඳකඩ පහණට සෑම අයුරකින්ම සමාන වූ එහෙත් ප්‍රමාණයෙන් කුඩා වූ සඳකඩ පහණක් බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ දොරටුවේ දක්නට ලැබේ. මෙම සඳකඩ පහණ දෙකටම සමාන වූ තවත් සඳකඩ පහණක් අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ ගෝපුරයෙන් හමු වේ. ථූපාරාමය ආසන්නයේ දළදා මාළිගාව නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ දොරටුවෙහිද මේ ආකාරයේ තවත් සඳකඩ පහණක් දක්නට ලැබේ. මෙම සඳකඩ පහණ අතුරින් කලාත්මක අගයෙන් පරිපූර්ණ සඳකඩ පහණ, ලෙස බිසෝ මාළිගය හා මහසෙන් මාළිගය යන ස්ථානවලින් හමු වී ඇති සඳකඩ පහණ දැක්විය හැකිය. අනුරාධපුර සඳකඩ පහණ දෙස විමසිල්ලෙන් බැලීමේදී එහි රූප සටහන් අතර, තීරු නිසි ලෙස බෙදා දක්වා නැති බව පෙනේ. සඳකඩ පහනේ් කැටයම් කර ඇති හංස රූප, මධ්‍යයේ පද්මය ආදී කැටයම් අතර නිසි පරිමාණයක් සහ නියමිත යකඩ ප්‍රමාණයක් පිළිබඳව සැළකිල්ලක් දක්වා නැත. හංසරූප පමණට වඩා විශාලවීම නිසා වලයාකාර සීමාවන් ඉක්මවා ගොස් ඇත. තුඩින් නෙලුම් පොහොට්ටුවක් ගත් හංසයාට අයත් ඉඩ ප්‍රමාණය ගැන කැටයම් ශිල්පියා දක්වා ඇත්තේ අඩු සැළකිල්ලකි. තුඩින් නෙලුම් කැකුලක් රැගෙන හංසයන් සහිත මෝස්තර අනුරාධපුර සඳකඩ පහනේ බෙහෙවින් දැකිය හැක.

ඊට පසුව නිර්මාණය වූ පොළොන්නරු සඳකඩ පහණේ් ඇතුන්ගේ රූප සටහන් සහ ඉනික්බිතිව අශ්වයන්ගේ් රූප සටහන් ද නිර්මාණය කිරීම සිදුවිය. පොළොන්නරු යුගය වන විට සඳකඩ පහණෙහි අන්තර්ගත කැටයම්වල යම් යම් වෙනස්කම් ද දක්නට ලැබේ. හින්දු ආගමේ බලපෑම හේතු කොටගෙන ගව රූපය සඳකඩ පහණෙන් ඉවත් විය. අනුරාධපුර යුගයේ සඳකඩ පහණෙහි ඇතා අශ්වයා යන සතුන් එකම තිරුවක කැටයම් කර තිබුණත්, පොළොන්නරු යුගයේ සත්ව රූප වෙන් වෙන් තීරු වල කැටයම් කර ඇත. එහිදී ගල් බින්දු, හංස පංතිය, ඇත්රූප, අශ්ව රූප, ගල් බිංදු හා විවෘත පද්මය පිටත සිට ඇතුළට පිළිවෙළින් කැටයම් කෙරිණ.

මේ අයුරින් නිර්මාණය වූ සඳකඩ පහණක් පොළොන්නරුව වටදා ගෙය අසලින් හමුවේ. එහෙත් අනුරාධපුර යුගයේ සඳකඩ පහණෙහි මෙන් එහි සුමට භාවයක් දක්නට නොලැබේ. පොළොන්නරුව සඳකඩ පහණ හා අනුරාධපුර සඳකඩ පහණ අතර ඇති පැහැදිලි වෙනස්කම් සනාථ කෙරෙන සඳකඩ පහණක් ලෙස රත්න ප්‍රසාදයේ (අභයගිරියේ) දක්නට ඇති දර්ශණීය සඳකඩ පහණ දැක්විය හැකිය. එහි දක්නට ඇති විශේෂ ලක්ෂණයක් නම් ලියවැල් දක්නට නොවීමයි. දළදා මාලිගයේ දක්නට ඇති සඳකඩ පහනේ් ඇත්තේ නෙලුම් මල් පමණි. නුවර යුගයේ හා ගම්පොළ යුගයේ සඳකඩ පහණ අනුරාධපුර හා පොළොන්නරු සඳකඩ පහණ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් ගනී. රුවන්වැලි සෑයටත් බසවක්කුළමටත් අතර සඳකඩ පහණ ශිල්පිය දක්ෂතා විදහා දක්වන කෘතින් ය. මහා විහාරයේ දක්නට ඇති සඳකඩ පහණ අනෙක් සඳකඩ පහන්වලට වඩා කුඩා කුඩා වෙනස්කම් වලින් යුක්තය. එහි ඇති කැටයම් ගැඹුරින් දක්වා ඇති බවක් පෙනේ.

ඒ ඒ වකවානුවල ශිල්පීන් වෙනස් වෙනස් ආකාරවලින් සඳකඩ පහන් නිර්මාණය කර ඇති නිසා එක සඳකඩ පහණක් තවත් සඳකඩ පහණකට එතරම් දුරට සමාන නොවේ.

අනුරාධපුර පොළොන්නරු සඳකඩ පහන්වලට වඩා රුහුණෙන් හමුවන සඳකඩ පහන් වෙනස් ආකාරයක් ගන්නා බව පෙනේ.

මාළිගාවිල බුදුපිළිමය ඉදිරිපිට සංරක්ෂණය කර ඇති සඳකඩ පහණ හතරැස් ගල් කැබලි එක්කර තනා ගත් අර්ධ කවාකාර එකකි. සෘජු රේඛාවන් තුළ සත්ත්ව රූප කැටයම් කර ඇත. අනුරාධපුර මෙබඳු ඒවා හමු නොවන අතර රජරටින් වෙන්ව රුහුණේ් වෙනම කලාවක් තිබුණු බවට මෙය හොඳම උදාහරණයකි. රුහුණෙන් ලැබෙන දොරටුපාල රූප රජරට හා සසඳනවිට සම්පූර්ණයෙන්ම වෙනස් බවක් ගනී.

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]