ජෙරොනිස් ලා පරාජය කිරීමට නම්....
නුසුදුසු පුද්ගලයන්ට නම්බුනාම හා ගරු සම්මාන පිරිනැමීම පිළිබඳ
ව අද වන විට බොහෝ විවේචන එල්ල වී තිබේ. ව්‍යාජ මූල්‍ය සමාගමක්
පවත්වා ගෙන ගොස් රුපියල් කෝටි ගණනක් වංචා කොට රටින් පලාගිය
සක්විති රණසිංහ නමැති පුද්ගලයාට ද මෙ බඳු ගරු සම්මාන පිරිනමා
තිබීමෙන් මේ විවේචන සාධාරණ බව පෙනී යයි. මෙය කෙ තරම් බරපතළ
සමාජ ප්‍රශ්නයක් වී තිබේ ද යන්න තෛ‍්‍රනිකායික මහා නා
හිමිවරුන් ගේ අවධානය ඊට යොමු වීමෙන් පැහැදිලි වේ. මල්වතු
පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,
අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධ රක්ඛිත,
රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර සහ අමරපුර
මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර යන නා
හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මේ පිළිබඳ
ලිපියක් පසුගිය සතියේ යොමු කැර ඇත. එම ලිපිය සම්පූර්ණයෙන් මෙහි
මතු උපුටා දක්වමු. අප ගේ අදහස නම් එය අතිශයින් වැදගත්
ලියවිල්ලක් බව ය.
එම ලිපිය මෙ සේ ය.
“ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ ශාසනයෙහි
ගුණ නුවණින් පිරිපුන් මහ තෙරුන් වහන්සේ වෙත ශාසනික තනතුරු පවරා
ගෞරව සම්මාන පිරිනැමූ අයුරු බෞද්ධ ඉතිහාසයේ මැනවින් දක්නා
ලැබේ. එ සේ ම අතීතයේ අපේ රජ දරුවන් ද ආගමික හා අධ්‍යාපනික
මූලස්ථානයන් ද ගුණයෙන්, දැනුමෙන් හා සාරධර්මයන් ගෙන් පරිපූර්ණ
වූවනට ගෞරව සම්මාන පිරිනැමූ බව ප්‍රකට ය. අප ගේ වර්තමාන ශාසනික
මූලස්ථානයන් ද ස්වකීය මූලස්ථානයන් ගේ කීර්ති නාමය ආරක්‍ෂා වන
පරිදි ගෞරව සම්මාන පිරිනැමීමේ සිරිත චිරාගත සම්ප්‍රදායයන්ට
අනුකූල ව අද දක්වා ම අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබයි.”
“අතීතයේ පටන් ගෞරව සම්මාන ප්‍රදානය කරනු ලැබූ එම
මූලස්ථානයන්ගේත්, ඒවායින් පිදූ ගෞරව සම්මානයන්ගේත්, එම සම්මාන
ලාභීන්ගේත් ගෞරවය හෑල්ලුවට ලක් කැරෙමින් අලුතින් බිහි කැර ගත්
යම් යම් සංවිධාන සහ පුද්ගලයන් විසින් ආර්ථික වාසි සලකා හෝ
වෙනයම් ලාභ අපේක්‍ෂාවන් අරමුණු කොට හෝ කිසිදු ප්‍රමිතියකින්
තොර ව ගෞරව සම්මාන උපාධි පිරිනමන බව පෙනේ.”
“දේශයේ හා සමාජයේ යහපැවැත්මට කිසිදු දායකත්වයක් නො දක්වන්නා වූ
ද ආගමික හා සදාචාර විරෝධී චරිත ලක්‍ෂණ තුළින් සමාජයේ ගර්හාවට
ලක් වූවා වූ ද පුද්ගලයන්ට ද දේශමාන්‍ය, දේශබන්දු, දේශ ශක්ති
වැනි ගෞරව සම්මාන පිරිනැමීමත්, පිළිගත් විශ්වවිද්‍යාලයකින්
පමණක් පිරිනමනු ලබන ආචාර්ය, මහාචාර්ය උපාධි තනතුරු නාම කිසිදු
අධ්‍යාපන මට්ටමක් නොමැති අයට පවා නීති විරෝධී ව පිරිනැමීමත්
ඉතා බහුල වශයෙන් සිදුවනු දක්නා ලැබේ. මෙය එක්තරා ආකාරයක සමාජ
ව්‍යසනයක් බවට පත් වී ඇත.”
“සමාජයේ පිළිගැනීමට හා සම්භාවනාවට පාත්‍ර වූ පිළිගත්
මූලස්ථානයන් ගේ ගෞරවය කෙලෙසන ආකාරයෙන් වසංගතයක් පරිදි පැතිරී
යන මෙකී ප්‍රමිතියකින් තොර ගෞරව සම්මාන හා තනතුරු නාම සහ එම
තනතුරු පිරිනැමීමේ ව්‍යාපාර දැනට පවත්නා නීතිමය ප්‍රතිපාදනයන්
යොදාගෙන රජයේ මැදිහත් වීමෙන් අහෝසි කොට රටේ පිළිගත්
මූලස්ථානයන් ගේ හා ගිහි පැවිදි සම්භාවනීය සමාජයේ යහපත හා ගෞරවය
සුරක්‍ෂිත කොට දෙන ලෙස කරුණාධ්‍යාශයෙන් ඉල්ලා සිටුම්හ.”
මහනාහිමිවරුන් ගේ මේ මඟ පෙන්වීම අනුව රජය යම් පියවරක් ගනු ඇත.
එහෙත් මේ සමාජ ව්‍යසනය එයින් අවසන් කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.
මන්ද යත්, ගරු සම්මාන පිළිබඳ මේ උන්මාදය විශේෂ සමාජ
ක්‍රියාවලියක අතුරු ප්‍රතිඵලයක් වන බැවිනි. මෙය, යටත්විජිත
යුගයෙහි පැවැති තත්ත්වයට යම් සමානකමක් තිබේ. රේන්දකරුවන්
ප්‍රමුඛ නව දේශීය ධනපති පන්තිය නම්බුනාම ඔස්සේ සමාජ වටිනාකමක්
ආරෝපණය කැර ගැනීමට දැරූ ප්‍රයත්නය මෙයට සමාන ය. ප්‍රකට
රේන්දකරුවකු වූ ජෙරෝනිස් සොයිසා 1853 දී හිමි කැර ගත් වාසල
මුදලි තනතුරත් සමඟ උත්සන්න වූ මේ උන්මාදය බ්‍රිතාන්‍ය පාලකයන්
මෙ රටින් නික්ම යන තෙක් පැවැතිණ. ජාතික පුනර්ජීවන ව්‍යාපාරය
විසින් පරාජය කළ එම නම්බුනාම උන්මාදය විවෘත ආර්ථිකය යටතේ උපන්
නව ධනපති පන්තියට ද වැලැඳීම පුදුමයට කරුණක් නො වේ.
අප අද නරඹමින් සිටින්නේ විවෘත ආර්ථිකය යටතේ බිහි වූ සංස්කෘතික
සරණාගතයන් විසින් නව සමාජ වටිනාකමක් දිනා ගැනීම සඳහා කැරෙන
අරගලයකි. එ බැවින් සවිමත් ජාතික පුනර්ජීවන ව්‍යාපාරයකින් තොර ව
මේ උන්මාදය පරාජය කළ නො හැකි ය.
එ බඳු සවිමත් ජාතික පුනර්ජීවන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා මහ
නා හිමිවරුන් ගේ නායකත්වය රටට වඩාත් අවශ්‍ය බව අප ගේ හැඟීම යි. |