කාර්මික විප්ලවයෙන් පසු
දහනව වන සියවසේ දී එංගලන්තය ආරම්භ කළ කාර්මික විප්ලවයෙහි
ප්‍රතිඵලයක් වශයෙන් අමුද්‍රව්‍ය හා නව වෙළෙඳපොළ සොයා පැමිණි
යුරෝපා ජාතීන් ආසියාවත් , අපි‍්‍රකාවත් යටත්කැර ගත් ආකාරය
ඉතිහාසය දන්නා අයට අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාව
බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් බවට පත් ව තිබූ එම යුගය පිළිබඳ
අමිහිරි මතකය යළි ආවර්ජනය කිරීම අප ගේ අරමුණ නො වේ. එම යටත්
විජිත යුගයේ ඇරැඹි යහපත් සබඳතාවක් වෙත අවධානය යොමු කිරීම අප ගේ
අරමුණ යි.
එංගලන්තයේ බුදු දහම ප්‍රචාරය කිරීම පිළිබඳ ඉතිහාස කතාව එ බඳු
යහපත් සබඳතාවක් ලෙස හැඳින්වීමට පුළුවන. එම යහපත් සබඳතාව ආරම්භ
වූයේ මෙයට වසර සියයකට පෙර ය.
චාල්ස් ඇලන් බෙනට් නමැති ඉංගී‍්‍රසි ජාතිකයා ශ්‍රී ලංකාවට
පැමිණ පාලි භාෂාව හා බුදු දහම හදාරා ආනන්ද මෙත්තෙය්‍ය නමින්
පැවිදි ව බුරුමයේ දී උපසම්පදාව ලබා 1908 අපේ‍්‍රල් මස 23 වන
දා බ්‍රිතාන්‍යයට වැඩම කිරීමෙන් එහි ධර්ම ප්‍රචාරක කටයුතු
ආරම්භ විය. එංගලන්තයට බුදු දහම දායාද කැර වසර සියයක් පිරීම
නිමිත්තෙන් සමරු උත්සවයක් ලබන සැප්තැම්බර් මස 28 වන දා ලන්ඩන්
නුවර බෙනට් නගර ශාලාවේ දී බ්‍රිතාන්‍ය මහ රැජින ගේ
ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
ලන්ඩනයේ ලෝක බෞද්ධ පදනමේ සභාපති ගලයායේ පියදස්සී නා හිමියන්
විසින් එය සංවිධානය කැර තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයේ
මහාචාර්ය හෙම්රිච් හා ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ යන
මහත්වරුන් ගේ දේශන දෙකක්, වැඩමුළු දෙකක් හා ප්‍රදර්ශනයක් එම
උත්සවයට ඇතුළත් ය.
ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් විසින් රචනා කරන ලද ‘ආසියාවේ අලෝකය’
නමැති ඉංගී‍්‍රසි කෘතිය කියැවීමෙන් බුදු දහමට නැඹුරු වූ ඇලන්
බෙනට් මහතා ලංකාවට පැමිණ කඹුරුගමුවෙහි වැඩ විසූ රේවත හිමියන්
ගෙන් පාලි භාෂාව හදාරා තිබේ. ඉන්පසු කොළඹ දී පැවිදි වූ
උන්වහන්සේ උපසම්පදාව ලබා ඇත්තේ බුරුමයේ දී ය. අනතුරු ව ලංකාවට
වැඩම කොට කොළඹ වජිරාරාමයේ වැඩ විසූ බව සඳහන් වේ.
එංගලන්තයේ බුදු දහම ව්‍යාප්ත කිරීමෙහි ලා ආනන්ද මෙත්තෙය්‍ය
හිමියන් ගෙන් ලැබුණු දායකත්වයට කෘතගුණ සැලැකීම අප ගේ
යුතුකමකි. එ පමණක් නො ව බුදු දහම යුරෝපයේ ව්‍යාප්ත කිරීම සඳහා
වත්මන් ගෝලීයකරණ අවධියට සුදුසු වැඩපිළිවෙළක් හඳුන්වා දීම ද
අවශ්‍ය කැරේ.
කෙ සේ වුව ද 1879 දී ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් පළ කළ ආසියාවේ
ආලෝකය නමැති කෘතිය බිහිවීමට පෙර ද බ්‍රිතාන්‍යයන් සමඟ ආගමික
ගනුදෙනුවක් අපට තිබිණ. එංගලන්තයේ පදිංචි ව සිටි ජර්මානු
සම්භවයක් සහිත වෙස්ලියානු පූජකවරයකු වූ ඩැනියෙල් ජෝන් ගොගර්ලි
(1792 - 1866) මෙහි දී සිහිපත් කළ යුතු චරිතයකි. ඔහු 1818 දී
ලංකාවට පැමිණ සිංහල, පාලි හා බුදු දහම ද හදාරා ‘ක්‍රිස්තියානි
ප්‍රඥප්තිය’ (1848 දී) පළ කළේ ය. එම කෘතිය ක්‍රිස්තියානි
පූජකවරයන් විසින් මහනුවර ප්‍රදේශයේ බෙදා හැර තිබේ.
කරතොට ධම්මාරාම හිමියන් ගේ අවසන් ශිෂ්‍යයා ලෙස සැලැකෙන බෙන්තොට
අත්ථදස්සී හිමියෝ 1849 දී ‘ක්‍රිස්තියානි ප්‍රඥප්තියට
පිළිතුරක්’ නමැති ග්‍රන්ථය පළකැර ගොගර්ලිට අභියෝග කළ හ.
උදත්විට වාදය (1866) ගම්පල වාදය (1871) පානදුරා වාදය (1873) යන
බෞද්ධ - ක්‍රිස්තියානි විවාද ආරම්භ වනුයේ අත්ථදස්සි හිමියන්
ගේ් බුද්ධිමය ව්‍යායාමයෙන් පසු ව බව මෙහි දී අවධාරණය කළ යුතු
ය.
බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සමඟ පැවැත් වූ එම බුද්ධිමය
සංවාදයන් රට තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීමට පමණක් නො ව
අන්තර්ජාතික වශයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමට ද ඉවහල් විය.
ඇමරිකානු ජාතික ඕල්කට් තුමා ලංකාවට පැමිණියේ ද එහි ප්‍රතිඵලයක්
වශයෙනි.
එ බැවින් ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් ගේ කාර්ය භාරය මෙ රට ජාතික
පුනර්ජීවන ව්‍යාපාරයේ එක්තරා දිගුවක් ලෙස සැලැකීම වරදක් නැතැයි
සිතමු. බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්
කළ මෙහෙවර සියවසකට පසු එංගලන්තයේ දී සැමරීම යනු එංගලන්තය 19 වන
සියවසේ දී ඇරැඹි කාර්මික විප්ලවයේ අසම්පූර්ණ බව ලෝකයට හඬ ගා
කීමක් නො වන්නේ ද? |