යුද ආතතිය
මේ මොහොත වන විට අප සමාජය දැඩි ආතතියකට ගොදුරු වී තිබේ. දෙමළ
ඊළාම් සන්නද්ධ බෙදුම්වාදීන් විසින් සිවිල් සමාජය වෙත මුදා
හරිනු ලැබූ ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය මෙයට හේතුව බව කිව යුතු නැත.
බුත්තල දී මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, නුගේගොඩ
නෝලිමිට් සාප්පුව අබියස බෝම්බයක් පුපුරුවා හැරීම, පිළියන්දල දී
මගී බස් රථයක් තුළ බෝම්බයක් පුපුරුවා හැරීම, දෙහිවල දී මගී
දුම්රියක් තුළ බෝම්බයක් පුපුරුවා හැරීම, වැල්ලවත්තේ දී දුම්රිය
මාර්ගයේ බෝම්බයක් අටවා මගී දුම්රියකට අනතුරු සිදු කිරීම ,
කටුබැද්දේ දි මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම,
පොල්ගොල්ලේ දී මගී බස් රථයක් තුළ බෝම්බයක් පුපුරුවා හැරීම වැනි
භීෂණ ක්‍රියා කුමන ජන සමාජයකට වුව ද දරා ගත නො හැකිය.
අප සමාජය ගොදුරු වී ඇති මේ ආතතිය මැනවින් තේරුම් ගැනිම පිණිස
වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා ගේ අදහසක් මෙහි උපුටා දක්වමු.
ඔහු විසින් ලියන ලද ‘ යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම ‘ නමැති
කෘතියෙහි මෙ සේ දැක් වේ.
“සමාජ මනෝවිද්‍යාඥ රොබට් බාරොන් (1983) ගේ අදහස් දැක්වීම අනුව
මිනිස් ප්‍රචණ්ඩත්වය බොහෝ විට ස්ව වර්ගය (මිනිස් වර්ගයා)
කෙරෙහි ඇති කැරෙන පීඩාවක් ලෙස පැන නඟියි. ෆේරායිඩ් අර්ථ
දක්වන ආකාරයට මිනිසා තුළ විනාශකාරී ආවේගයන් ඒකරාශි වෙයි. මේ
ආවේගයන් ප්‍රචණ්ඩ හැසරීම් ලෙස බැහැර වෙයි.”
“මිනිසා සතුව ඇති ආවේගයන් කොන්රාඩ් ලොරන්ස් දකින්නේ පරිණාමීය
සාධකයක් සහ ස්වකීය පැවැත්ම සඳහා යොදාගන්නා බලවේගයක් ලෙසට ය.
අන් සතුන් මෙන් ස්වාභාවික ව වර්ධනය වු නිය, උල් දත්, ප්‍රබල
බාහු මිනිසා සතු ව නොමැති නිසා මිනිසා ආයුධ නිෂ්පාදනය කළ බව
කොන්රාඩ් ලොරන්ස් පෙන්වා දෙයි.”
“ලොරන්ස් පවසන පරිදි ස්වභාව ධර්මයා ගේ අති බිහිසුණු සත්ත්වයා
මිනිසා ය. එරික් ප්‍රොම් පවසන පරිදි මිනිසා තම ක්‍රෑරත්වය
විනෝදය සඳහා ද යොදාගන්නා නිසා මිනිසා අන් සතුන් ගෙන් වෙනස්
වෙයි. අනෙකුත් සත්ත්වයන් ගේ ක්‍රෑර බව ජීවිතය පවත්වා ගැනීමට
පමණක් යෙදවෙන අතර මිනිසා ගේ ප්‍රචණ්ඩත්වය විනෝදය උදෙසා ද යොදා
ගැනේ. මනෝවිද්‍යාඥ ජෝන් ඩොලාර්ඩ් දක්නා ආකාරයට මිනිසා ගේ
ප්‍රචණ්ඩත්වය සෑම විට ම අසහනය යන සාධකය සමග බැඳී පවතියි. “
යුද ආතතියට ගොදුරු වූ විට නින්ද නො යෑම , අවිනිශ්චිතතාව හෝ
අනාගතය පිළිබඳ බිය, නොසන්සුන්කම කෝපය විතැන් කිරීම, සතුට දීර්ඝ
වේලාවක් සිතේ නො රැඳී තිබීම ආදි ගති ලක්ෂණ දක්නට ලැබෙන බව ද එම
වෛද්‍යවරයා පවසයි. එ බඳු තත්ත්වයකට ගොදුරු වූවන්, සමාජ
ප්‍රචණ්ඩත්වය, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
, ළමයින්ට ක්‍රෑර ලෙසින් සැලැකීම මධුලෝලීතාව, දිවිනසා ගැනීම
ආදිය කෙරෙහි නැඹුරු වීමේ ප්‍රවණතාවක් තිබේ.
මේ අනුව බලන කල ත්‍රස්තවාදීන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගෙන්
සිදු වු ජීවිත හා දේපළ විනාශයට ද වැඩි හානියක් යුද ආතතිය නිසා
සිදුවෙමින් පවතී. මෙය සමාජයට දීර්ඝ කාලීනව අයහපත් ප්‍රතිඵල ගෙන
දෙන්නකි. එහෙත් අප සමාජය මේ තත්ත්වයෙන් මිඳීම සඳහා නිසි
වැඩපිළිවෙළක් අනුගමනය කැරෙන බවක් නො පෙනේ. අප මෙයින් අදහස්
කැරෙනුයේ, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහි යුද්ධය හෝ
සාකච්ඡාමය විසැඳුම් පිළිබඳ ව නො වන බව ද කිව යුතු ය. එ මෙන් ම
වෛද්‍ය සායනික ප්‍රතිකාර මත පූර්ණ විශ්වාසය තැබීමක් ගැන ද නො
වේ.
එ සේ නම් මේ යුද ආතතියෙන් මිඳීම සඳහා අප පුර්ණ විශ්වාසය තැබිය
යුත්තේ කුමක් කෙරෙහි ද ? ඒ අන් කිසිවක් නො ව බුදු දහම ය. එදා
කාලිංග යුද්ධය නිසා ආතතියට ගොදුරු වී සිටි අශෝක අධිරාජයා එයින්
මුඳවා ගැනීමට නිග්‍රෝධ හිමියන් සමත් වූ ආකාරය අපට මෙහි දී
සිහිපත් කළ හැකි ය. එ බැවින් මේ කුරිරු යුද්ධයට මුහුණ දීමේ දී
පන්සල වෙත පැවරෙන වගකීම අති විශාල බැව් කිව යුතු නැත. |