UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පහත සඳහන් පාඨය කියවන්න. “මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනො මයා” හැම ක්‍රියාවකටම සිත පෙර ගමන් කරුවෙයි. සිත ප්‍රධාන කොට ඇති ඒ සියලු ක්‍රියාවන් සිතින් නිර්මාණය කරන ලද්දේ ය. මෙම උත්කෘෂ්ට දේශනය අනුව, කෙනෙකුගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරන්නේ සිත විසිනි. පැහැදිලි කරන්න.

පිළිතුර - අපගේ සියලු කර්තව්‍යයන් මෙහෙයවන කරවන කර්තෘ කෙනෙකු නැතිහෙයින් සිත විෂය වස්තුවක් පිළිබඳව අවදිකම ලෙස හඳුනාගත හැකි ය. සිත පහළවන්නේ කය පහළවීමත් සමඟය. පහළවීම යන වචනය අදාළ කරුණ අවබෝධය සඳහා පමණි. එහෙයින් කළල රූපයේ ද සිත පවතී. මේ පටිසන්ධි විඤ්ඤාණ නම් වූ ප්‍රාරම්භ සිත පුද්ගලයාගේ පූර්ව ජන්මයෙහි කර්මානුරූප හට ගත්තකි. මිනිසුන් අතර පවත්නා බුද්ධිමය හා චර්යාමය බහුත්වය සහ නානා චර්යාමය සියුම් වෙනස්කම් (නානත්ථ චරියා නානත්ථ සඤ්ඤා) මේ කර්මජ පටිසන්ධි චිත්තය නිසා ඇතිවෙයි.

කය හා සිත යන ද්විවිධ සිද්ධාන්තයන් අතරට නාම, රූප යන ජීවිතින්ද්‍රය හඳුන්වා ඇත. මෙම නාම ජීවිතින්ද්‍රිය හා රූප ජීවිතින්ද්‍රිය, කය හා සිත යන ද්වයේහිම නිරූපණය වෙයි. මිනිසා කය, සිත, ජීවිතින්ද්‍රිය යන සාධක එක්වීමෙන් සකස් වී ඇත. මේ සාධක තුනේ සමුච්චයෙන් (එකතුවෙන්) නිරූපිත මිනිසා අසීමිත, අප්‍රමාණ විභවයන්ගෙන් (පරිවර්තනයන් ගෙන්) යුක්තය. තමා ඇතිකරගන්නා මෙන්ම නැති කරගන්නාද වන හෙතෙම ගුණදම් ගබඩාවක් මෙන්ම කුණු ගොඩක් ද හිමිකර ගත්තෙකි. ඔහු තුළ පණුවෙක්, රකුසෙක්, මිනිසෙක්, සුපිරි මිනිසෙක්, දෙවියෙක් හා බ්‍රහ්මයෙක් ද වෙසෙයි. සත්ගුණ මෙන්ම දුර්ගුණ ද ඔහු තුළ නිලීනව පවතී. තමාට හා අනුනට ශාන්තියක් වීමට හෝ ශාපයක් වීමට ඔහුට පිළිවන. එසේනම් මිනිස් සිත විසින් තමන්ගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරගනියි.

(අපවත් වී වදාළ නාරද හිමියන්ගේ බුදුදහම සහ බුදුරජාණන් වහන්සේ ග්‍රන්ථය ඇසුරෙනි)

ප්‍රශ්නය - සංයුත්ත නිකාය ජම්බුඛාදක සංයුත්ත යේ නිබ්බාන සූත්‍රයෙන් උපුටාගත් පාඨ කීපයකි මේ. “නිබ්බානං නිබ්බාණන්ති ආවුසො සාරිපුත්ත වුච්චති, කතමන්ත්‍ර ඛො ආවුසො නිබ්බාණංති” ජම්බුඛාදක පිරිවැජියා සැරියුත් තෙරුන් වහන්සේට මෙසේකීය. ඇවැත් සාරිපුත්‍රයෙනි! නිවන නිවනයි කියනු ලැබේ. ඇවැත් සාරිපුත්‍රයෙනි! නිවන කවරේද? මෙම සූත්‍රයෙහිම

අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ජි කිරියායති ඇවැත්නි! මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතක් ඇත. ජම්බුඛද පරිබ්‍රාජක සැරියුත් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ගැටලුව වැනි ධර්ම බෞද්ධ ශ්‍රාවක පිරිස නිරතුරුව පසක් කරගත යුතු ය. මෙම ‘සදහම් දැනුම’ තීරුවෙන් ධර්මාවබෝධය සඳහා එය ඉදිරිපත් කරන්නේ නම් බෙහෙවින් ම ප්‍රයෝජනවත් වනු ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර - පිළිතුර අවබෝධ කර ගැනීම පහසුව සඳහා දේශනාපාලියෙහි එන පාඨ කිහිපයක් උපයෝගී කර ගනිමු.

නිබ්බාණං පරමං සුඛං, නිවන උතුම් සුවයයි. කතමන්නු ඛො ආවුසො නිබ්බාණං ති ඇවැත්නි! නිවන කවරේද? යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඇවැත්නි! රාගය, ද්වේශය, මෝහය, වැනසීම, නිවන නමින් හැඳින්වෙයි.

බුදුදහමෙහි පරම ආගමික නිෂ්ටාව නිවනය, බෝසතාණන් වහන්සේ සුමේධ තාපසව උපන් අවස්ථාවෙහි මෙසේ කල්පනා කළ බව ජාතකට්ඨ කථාවෙහි සඳහන් වෙයි. දුකක් තිබෙන විට සැපක් ද තිබෙන්නාක් මෙන් සසරක් ඇත්නම් සසරින් මිදීමක්ද තිබිය යුතු ය.

උණුසුම තිබෙන විට සිසිලසක් තිබෙන්නා සේ තුන්වැදෑරුම් ගින්නක් තිබෙන විට නිවනක් ද තිබිය යුතු ය. ලොව නරක තිබෙන විට හොඳ ද තිබෙන්නාක් සේ ඉපදීමට එය නවත්වන නිවනක්ද තිබිය යුතු ය. ප්‍රස්තුතය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපවත් වී වදාළ නාරද හිමිපාණන්ගේ බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ නමැති ග්‍රන්ථය ඇසුරු කරමු. පසිඳුරන් මගින් දත හැකි කිසිවක් නොමැති හෙයින් නිර්වාණය, හිස් බවක් (උච්ඡේදයක්) නාස්තිකත්වයක් යැයි සිතීම අන්ධයාට නොපෙනෙන බැවින් ආලෝකය නැතැයි පැවැසීම වැනි අතාර්කික ප්‍රකාශයකි. ජලය ගැන පමණක් දැන සිටි මත්ස්‍යයෙක් ඉබ්බෙකු සමඟ වාද කර ගොඩබිම යැයි යමක් නැති බව ජයග්‍රාහී විලාසයෙන් ප්‍රකාශ කළ ආකාරය කියවෙන ජන කතාවක් වෙයි. ඔහු එසේ ජයග්‍රහණය කළේ ඔහුගේ ප්‍රශ්න සියල්ලටම නැත යන පිළිතුර ලබා ගන්නට සමත් වූ හෙයිනි.

තමා මාළුවෙකු හෙයින් මුළු ජීවිතයම ජලයෙහිම ගතකළ ජලය ගැන මිස වෙන කිසිවක් ගැන නොදත් මත්ස්‍යයෙක් සිටියේ ය. දිනක් මත්ස්‍යයා පොකුණෙහි ඒ මේ අත පීනමින් සිටිනා අතර ඔහුට ගොඩබිම් සංචාරයක් කර පැමිණි ඉබ්බා මුණගැසිනි. සුබ උදෑසනක් වේවා මිත්‍රයා, හු¼ග දවසකින් දැක්කේ නෑ කොහේද ඔබ ගිහින් හිටියෙ. ඔහු ඇමතූ ඉබ්බා මම ගොඩබිම රවුමක් ගිහින් මේ ආව විතරයි. පුදුමයට පත් මාළුවා ‘ගොඩබිම’ විමසීය. මොකද්ද ඔය ගොඩබිම එහෙම දෙයක් මම දන්නෙ නෑ. මම එහෙම දෙයක් දැකලා නැහැ. තියෙනවද එහෙම දෙයක් ය. තවදුරටත් විමසී ය. කමක් නෑයි. කරුණාවෙන් පැවසූ ඉබ්බා ඔබ එහෙම නෑ කියල හිතනව නම් එහෙම හිතන්න. හැබැයි තැනක් තියෙනවා. මම එහේ ගිහින් ආවෙයි කීවේ ය.

හැබෑද අපි තේරුමක් ඇති විදියට කතා කරමු. මට කියන්න ඔය ගොඩබිම හැටි කොහොමද? කියල එහේ වතුර තියෙනවද? නෑ! එහේ වතුර නෑ!. එහේ සීතලය, ප්‍රණීතය, නැවුම් කියන්න පුළුවන්ද. බෑ එහෙම කියන්න බෑ. එළිය වදින්න, විනිවිද යන්න තරම් පැහැදිලිව පිරිසුදුව තියෙනවද? නෑ එළිය විනිවිද යන්නේ නෑ. මෘදුද? මට වරල්ගහල ඕන ඕන විදියට එහාට මෙහාට පීනන්න පුළුවන්ද? නෑ, මෘදු නෑ. එහි පීනන්න බෑ, එහාට මෙහාට දියපාරවල් වගේ ගලනවද? හෙල්ලෙනවාද? නෑ එහාට මෙහාට දිය පාරවල් මෙන් ගලන්නේ නෑ. හෙල්ලෙන්නේ නෑ. පෙණ නැගි නැගී රළගහනවද? නෑ එහෙම වෙන්නෙත් නෑ. මාළුවා සතුටින් ජයග්‍රාහීව කියා සිටියේ හා ඒක තමයි මම කිව්වේ. ඔයා ඔය කියන ගොඩබිම නෑ. මගේ ප්‍රශ්න සේරටම උත්තරය නෑ කියලම නේ ලැබුණේ. සීතලත් නැත්නම්, ප්‍රණීතත් නැත්නම්, පැහැදිලිත් නැත්නම්, පීනන්ටත් බැරිනම්, කිමිදෙන්නටත් බැරිනම් ගලන්නෙත් නැත්නම්, හෙල්ලෙන්නෙත් නැත්නම් ඉතින් ඒක නැති දෙයක් එන්න එපා මට ඒ ගැන කියන්න.

හරි, හරි ගොඩබිම කියල දෙයක් නෑ. ඔබ කැමැති නම් එහෙම කියාගන්න. මං හිතනව ඔබ දිගටම එහෙම කියයි කියලා. ඒ වුණාට වතුර ගැනයි ගොඩබිම ගැනයි දෙකම දන්න අය කියයි. ඔයා තමන්ට දකින්නට නො ලැබුණු හැමදේම නැතිදේවල් විදියට හිතන මෝඩ මාළුවෙක් කියලා. එසේ පැවසූ ඉබ්බා මාළුවා වතුරේම එහා මෙහා පීනද්දී ගොඩබිමෙහි තව රවුමක් යන්නට පිටත්විය. “ජලය” සහ “ගොඩබිම” යන දෙකම දැන සිටි ඉබ්බා ගැනත්, මාළුවාට ගොඩබිම ගැන තේරුම් ගන්නට අසමත් වූ අයුරුත් මේ කතාවෙන් පැහැදිලි වේ. මේ අයුරින් ලෞකික ලෝකොත්තර යන උභය තත්ත්වයන්ම දත් රහතන් වහන්සේ පුහුදුන් පුද්ගලයාට ලෝකෝත්තර යථාර්ථය ගැන ලෞකික පද ව්‍යවහාර වලින් විවරණය කරන්නට අසමත් වෙති. එමෙන්ම හුදු ලෞකික නුවණින් ලෝකොත්තර යථාර්ථය දැන ගැනීමට නොහැකිය. ජම්බුඛාද පරිබ්‍රාජික ඇසූ දෙවන ප්‍රශ්නයට ඉතාමත් සරලව පිළිතුරු දී ඇත. “අයමෙව අරියො, අට්ඨංගිකො මග්ගො” මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නිවන සඳහා ඇති මගයි.එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, යන අටයි.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක සමූහයා වෙත නිර්වාණය පසක්කරලීම සඳහා යොදාගත් විවිධ ප්‍රමාණයන් දේශනාපාලියෙහිදී දක්නට ලැබේ. මෙහිදී ගැඹුරු ධර්ම කරුණුවලින් පරිබාහිරව නිවන් අවබෝධය සඳහා උපකාරීවන දේශනා උද්ධෘතයන් ශ්‍රාවක (සමීප) නිරතුරුව පරිභාෂිත සූත්‍ර වන පිරිත් පොතෙහි සටහන්ව ඇත. මේ දම්සක් පැවැතුම් සූත්‍රයෙහි සඳහන් වන එක් අවස්ථාවකි. “යො කස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො” මේ සටහන පැහැදිලි කරන්න.

පිළිතුර - මෙම දේශනා පාඨයට අනුව, නිවන යනු තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඉතිරි නොකොට නැතිකිරීම නො ඇලීම නිවනයි. මේ අනුව දුක නැතිකිරීමට නම් “ආශාව“ මුළු මනින්ම නැති කළ යුතු බව ප්‍රකාශ වෙයි. යම් අරමුණක් පිය වඩන ස්වභාවයෙන් යුක්තනම් ඒ අරමුණෙහි උපන් ආශාව එහිදීම නැතිකළ යුතු ය. දුක් නැතිකිරීම ආශාව නැති කිරීමෙන්ම සිදුවන බැවින් ඒ ආශාව නැතිකිරීමට උත්සාහ වැඩිය යුතු ය. තෘෂ්ණාව ප්‍රහාණය කිරීම ක්‍රම තුනකින් සිදු කෙරේ. එයින් පළමුවැන්න තදංග ප්‍රහාණයයි. දානාදී පින්කම් කරන විට තෘෂ්ණාව තදංග (තාවකාලික) වශයෙන් ප්‍රහාණය (යටපත්වීම) සිදුවෙයි. දෙවැන්න විෂ්කම්භන ප්‍රහාණයයි.

සමථ භාවනාවෙන් පළමු වන ධ්‍යානය ආදී ධ්‍යානයන් වඩාගැනීමෙන් එය සිදුවූවත් එයද තාවකාලික ය. ජල තටාකයක භාජනයක් අතින් ඔබාගෙන සිටින විට උඩට මතු නොවුනත් අත ඉවත්කළ මොහොතෙහිම භාජනය ජලයෙන් උඩට මතුවේ. ධ්‍යානයෙන් සිත ඉවත් වූ විගසම, නැවතත් මුල් අවස්ථාව පැවැති තත්ත්වයට පැමිණේ.

තෙවැන්න සමුච්ඡේද ප්‍රහාණයයි. විදර්ශනා මාර්ගයෙන් මාර්ග ඤාණය ලැබීමෙන් කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය (නැතිවීම) සිදුවෙයි. නැවත කෙලෙස් ඉපදීම සිදු නොවෙයි. ඒ නිසාම කර්ම රැස්නොවීමෙන් පුනර්භවයක් සිදුනොවේ. තෘෂ්ණාව අසේස විරාග නිරෝධය දුක්ඛ නිරෝධය නම් වෙයි. මේ දුක්ඛ නිරෝධය ආර්ය මාර්ග ඤාණයෙන්ම කළ යුතු බැවින් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නම්වෙයි. දුක සම්පූර්ණයෙන්ම නැති කළ හැකි වන්නේ අනුසය සහිත තෘෂ්ණාව සහ මුලින් සිඳලීමෙනි.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]