UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

දෙලොව සුවයට මඟ

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉධ මෝදති - පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති - සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ....

සුපින්වත්නි,

සූත්‍ර පිටකයේ බුද්දක නිකායේ ධම්මපදයේ දහසය වෙනි ගාථාවයි ඉහත දැක් වූයේ. මේ තුළින් මිනිසා මෙලොව හා පරලොව සතුට ලබන්නේ කෙබඳු ආකාරයෙන්ද යන්න ඉතා පැහැදිලිව දක්වා ඇත. ඉහත ගාථාවේ සාමාන්‍ය අදහස වන්නේ පින්කළ තැනැත්තා මෙලොව පරලොව යන දෙලොව දීම තමා විසින් කරන ලද පිරිසුදු නිවැරැදි ක්‍රියාවන් දැක වඩාත් සතුටට පත්වන බවයි.

මෙලොව උපන් සෑම සත්වයෙක් ම සතුට පි‍්‍රය කරයි. සතුට ලබා ගැනීම සඳහා විවිධ වූ ක්‍රියාවන් කරනු ලබයි. විශේෂයෙන් මිනිසා සතුට ලබා ගැනීමේදී කරනු ලබන ක්‍රියාවන් වඩා සුපරීක්‍ෂාකාරීව කළයුතු බව මෙයින් අවධාරණය කෙරෙයි. එය එසේ විය යුතු වන්නේ මිනිසා බුද්ධිමත් නිසයි. එය එසේ කළ හැකි වන්නේ ද මිනිසාට පමණි. බුදු දහම නැණවත් මිනිසාටමය.

බුදුදහම තුළ මිනිසාගේ මෙලොව ජීවිත පරලොව ජීවිතය සැපවත් කරගන්නා ආකාරයත් පැහැදිලිව දක්වා ඇත. ඒ තුළ නිවැරැදි වූ ක්‍රියාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. කිසිඳු විටෙකත් වැරැදි ක්‍රියාවන්ගෙන් සතුට ලබාගැනීමට බුදු දහම අනුබල දෙන්නේ නැත. මෙහිදී පින යනු කවරේද යන්න අප වටහාගත යුතු ය.

“ චිත්තං පුනාතිති පුඤ්ඤං” යන පාඨයට අනුව සිත පිනායාම පිනයි. සරලව මෙසේ දැක්වූවක් බුදු දහමේ පින යන වචනය සඳහා විවිධ පද භාවිතා වී ඇති බව ත්‍රිපිටකයෙන් පැහැදිලි වේ. ඒ අතර යහපත් ක්‍රියා හොඳ ක්‍රියා, නිවැරැදි ක්‍රියා, සත් ක්‍රියා, කුසල් යන පද විශේෂයෙන් හමුවේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පින් කිරිය වත් යනුවෙන් පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු යහපත් ක්‍රියා පද්ධතියක් බුදු දහමේ දක්වා ඇත. මෙහිදී මෙම ක්‍රියාවන් යහපත් ද නැද්ද යන්න තීරණය කිරීමට අදාල විශ්ව සාධාරණ පද්ධතියක් බුදු දහමේ දක්වා ඇත.මෙහිදී මෙම ක්‍රියාවන් යහපත් ද නැද්ද යන්න තීරණය කිරීමට අදාල විශ්ව සාධාරණ නිර්ණායකයන්ද බුදු දහම තුළ ඉගැන්වෙයි. ඒ තුළත් යහපත් ක්‍රියාවන් කවරේද යන්න වටහා ගෙන ක්‍රියා කිරීම මිනිසාගේ සැබෑ සතුටට හේතුවන බව කිව යුතු ය. බුදුන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන්නේ චේතනාව හා ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය මත හොඳ නරක තීරණය කළ යුතු බවයි.

ලෝභ, ද්වේශ, මෝහ යන අකුශල මූලයන් චේතනාවන් වශයෙන් මුල්වීමෙන් මිනිසා කයින්, වචනයෙන් සිතින් කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වශයෙන් දැක්වෙන ක්‍රියාවන් සියල්ල පින් ක්‍රියා හෙවත් යහපත් ක්‍රියා බවට පත් නොවේ. අකුශල මූලයන් පදනම් වී කරන ක්‍රියාවන්ගෙන් සතුටක් ලැබූවත් එය නිවැරැදි සතුටක් ලෙස බුදු දහම සලකන්නේ නැත.

බාලයා පව විපාක දෙනතුරු මී පැණි සේ සිතයි. පව විපාක දෙන විට මෝඩයා දුකට පත් වේ. එබැවින් අයහපත් ක්‍රියාවන්ගෙන් සතුටක් ලැබුවත් එය නිවැරැදි වන්නේවත් යථාර්ථවාදී සතුටක් වන්නේවත් නොවේ. නිවැරැදි සතුටක් ලබාගැනීම පිළිබඳ ප්‍රකාශ කරන්නේ අලෝභ, අදෝස, අමෝහ යන කුශල මූලයන් මූලික වීමෙන් සිදුකරන ක්‍රියාවන්ගෙන් බවයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙන් මේ පිළිබඳ වැදගත් අදහසක් ඉදිරිපත් වී ඇත.

“තං කිං මඤ්ඤසි රාහුල කිමත්ථියො ආදසොති. පච්ච වෙක්ඛාය හත්තේත....”

රාහුල කැඩපත කුමක් සඳහාද? ස්වාමීනී ප්‍රත්‍යවේක්‍ෂණය සඳහා ය.... මෙයින් අදහස් වන්නේ කයින්, වචනයෙන් සහ සිතින් කරන සියලු ක්‍රියාවන් වලදී පහත සඳහන් කරුණු ප්‍රත්‍යවේශණය කළ යුතු බවයි.

1. කරන ක්‍රියාව තමන්ට සැප ලැබෙන අන්‍යයන්ට සැප නොලැබෙන ක්‍රියාවක් යන බව.

2. කරන ක්‍රියාව අන්‍යන්ට සැප ලැබී තමන්ට දුක ලැබෙන ක්‍රියාවක් ද යන බව.

3. කරන ක්‍රියාව තමන්ට ත් අන්‍යයන්ටත් සැප නොලැබෙන ක්‍රියාවක්ද යන බව

4. කරන ක්‍රියාව තමන්ටත් අන්‍යයන්ටත් සැප සතුට ලැබෙන ක්‍රියාවක්ද යන බව.

මෙයින් සිව්වෙනි කාරණයට අදාළ නිවැරැදි සතුටක් ලබාගත හැකි ක්‍රියාව වෙයි. මෙසේ තමන් කරන ක්‍රියාව පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂණය කොට නිවැරැදි ක්‍රියාවන් කවරේදැයි තේරුම් ගෙන ක්‍රියා කිරීම මෙලොව හා පරලොව සතුටට හේතුවන බව බුදු දහම පෙන්වා දෙයි.

බුදු දහම පුද්ගල සුබ සිද්ධිය මෙන්ම සමාජ සුබ සිද්ධියද එකසේ අගය කරන දහමකි. ඒ අනුව මිනිසා පෞද්ගලික ජීවිතයේ සිදුකරන ක්‍රියාවන් සෘජුවම සමාජ ජීවිතයට බලපායි. එබැවින් ඔහු මෙලොව ජීවිතයේ පැහැදිලි සතුටක් විඳීමට අපේක්‍ෂා කරන්නේ නම්, දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම ආදී පුණ්‍ය ක්‍රියා අර්ථවත්වම සිදු කළ යුතු වෙයි. බුදු දහම සත්වයාගේ සසර පැවැත්ම පැහැදිලි වශයෙන් ම දක්වා ඇති දහමකි. ඒ අනුව භවගාමි සත්වයා තම ජීවිතයේ පැහැදිලි සතුටක් විඳීමට නම් අනිවාර්යෙන්ම මෙලොව ජීවිතය තුළ පුණ්‍යක්‍රියා කළ යුතු වෙයි. පරලොවටද හේතුවන්නේ එයයි.

ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති

සිඟාලෝවාද සූත්‍රයේ ද මෙලොව දී කරන යහපත් ක්‍රියා පරලොව දියුණුවට අදාලවන බව දක්වයි.

පුණ්‍ය කර්මයන්හි විපාක දුක් සහගත නොවේ. ඒවා දිව්‍ය මානුෂිකාදී සැප විපාක ගෙන දෙන ඒවා වේ. පිරිසුදු සිතින් කරනු ලබන ක්‍රියාවන්ගේ සැප විපාක තමා අත් නොහැර යන සෙවනැල්ල සේ තමා පසුපස එන බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි වෙයි.

මනෝ පුබ්බංගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පසන්නේන

භාසතිවා කරෝතිවා

තතෝ නං සුඛමන්වේති

ඡායාව අනපායිනී

අරූපි ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ. සිතින්ම උපදනාහ. ඉදින් පැහැදුනු සිතින් යමක් කියයි හෝ නම් හෝ කරයි නම් එයින් සැපය ඔහු අනුව ඒ තමා අත් නොහැර යන සෙවනැල්ල මෙනි.

සතුට රඳා පවතින්නේ සැප ඇති තැන ය. සැප ලැබෙනුයේ පුණ්‍ය කි‍්‍රයා වලිනි. පුණ්‍ය ක්‍රියාවන්හි සැප විපාක ලැබෙනුයේ මෙලොව දී පමණක් නොවේ. සත්ත්වයාගේ පරලොව ජීවිතයේ සතුට සැපත හා යහපත් පැවැත්මට මෙලොවදී කරන පුණ්‍ය කටයුතු උපකාරී වන බව, පුඤ්ඤානි පරලෝකස්මිං පතිට්ඨාහොන්ති පාණිනං යන පාඨයෙන් පැහැදිලි වෙයි. පින් කළ තැනැත්තා මෙලොවත් පරලොවත් යන දෙලොවදීම සතුටට පත්වන බව ඉධ නන්දති පෙච්ච නන්දති කත පුඤඤෝ උභයත්ථ නන්දති යන ධම්මපද ගාථා පාඨයෙන් පැහැදිලි වේ. ඉහත දැක්වුණ ගාථා පාඨයන්ගෙන් පැහැදිලි වන්නේ පුණ්‍ය කර්ම සඳහා සැපත සඳහා හේතු වන බවයි. මිනිසාට ඉහළම සතුටට පත්විය හැක්කේ තමා විසින් කරන ලද පිරිසුදු ක්‍රියාවන් දැකීමෙනි. මෙම අදහස මාතෘකා කළ ගාථාව දේශනා කිරීමට පාදක වූ ධම්මික උපාසක තුමන්ගේ කථා පුවතින් තහවුරු කරගත හැකි ය.

සැවත් නුවර ඉතා ධාර්මිකව සාමයෙන් දිවි ගෙවූ, දානාදී පින්කම් කළ සැදැහැති උපාසක තුමෙක් හිටියා. එතුමා නමින් ධම්මක එතුමා ලොකු පොහොසත් සිටුවරයෙකුත් නොවෙයි. එසේ වුවත් මනා ගති පැවතුම් එතුමා තුළ තිබුණා. එතුමා හොඳ සිල්වතෙක්. එතුමාට ගුණවත් සිල්වත් බිරිඳක් හිටියා. මේ දෙදෙනාගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් දෙදෙනාටම ගැලපුනි. එනිසාම පින්වත් පුතුන් හත් දෙනෙකුත් පින්වත් දූවරුන් හත් දෙනෙකුත් මේ දෙපළට හිටියා. දෙමාපියන්ගේ උදාර ගති පැවතුම් දරුවන්ට ද අනුගමනය කළා. මේ පවුල තුළ සතුට සාමය පිරී පැවතුණා.

නිකැළැල් මේ පවුල ප්‍රසිද්ධියට පත් වූයේ ධනවත්කම නිසා නොව ගුණවත්කම නිසයි. නොයෙක් ආකාරයේ පින්කම් කළ සතුටින් දිවි ගෙවූ ධම්මික උපාසකතුමා මරණාසන්න වූ විට සඟුන් නිවසට වඩම්මවා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරවා ගත්තා. දිවිය පුරා කළ පින්කම් හා සතුටින් ජීවත් වූ ධම්මික උපාසකතුමා මරණාසන්න මොහොතේ සිත පහන් කරගැනීම් වශයෙන් වටකරගත් දෙවියන් සහිතව තුසිත දෙව්ලොව දෙවියෙක්ව පහළ වුනා. ධම්මික උපාසකතුමන් ඉහළම සතුටට පත් වූයේත් දෙව්ලොව දෙවියෙක්ව සතුටට පත්වූයේත් කාරුණික පින්වතෙක්. ඔබ මෙලොව හා පරලොව ජීවිතයේ ඉහළම සතුට ලබා ගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔබ කරන සියලු ක්‍රියාවන් පුණ්‍ය හෙවත් නිවැරැදි ක්‍රියාවන්ම විය යුතු බව කරුණාවෙන් සළකන්න.

“සියල්ලෝම නිවැරැදි ක්‍රියාවන් සිදුකොට මෙලොව පරලොව දෙලොව දීම ඉහළම සතුට ලබත්වා.”

අවසන්හි නිවන් සුවයම ලබා ගනිත්වා.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]