UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වර්ගයේ දෙවන ගාථාව ය. සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.

සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථනිබ්බින්දති දුක්ඛේ එසමග්ගො විසුද්ධියා

පිළිතුර - ගාථා ධර්මයෙහි අන්තර්ගත අදහස් මෙසේ ය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහයි යම් කලෙක් නුවණින් දකී ද, එකල දුකෙහි කළකිරේ. සසර පැවැත්ම අවබෝධ කර ගනී. මෙය නිවනට මග වේ.

අනිච්චාවත සංඛාරා - සංස්කාර ධර්ම අනිත්‍යය ලක්‍ෂණයෙන් යුක්ත වන බැවින් දුක්ඛය දුක්ඛ ලක්‍ෂණ යුක්ත බැවින් අනාත්මය, අනිත්‍ය ලක්‍ෂණය නම් බිඳී යාමය පිළිසිඳගත් මොහොතේ සිට දිරීම වෙනස් වීම ආදී වශයෙන් පරිහානිය කරා යොමු වීම.

දුක්ඛ ලක්‍ෂණය නම් – පිළිසිඳ ගත් මොහොතේ සිට දිරීම ආදී කොට තැලීම - පෙළීම නිසා ඇතිවන දුක් වේදනාව ය.

අනාත්ම ලක්‍ෂණය – තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බව ය. තම පංචස්කන්ධය පිළිබඳ කිසිවක් තමා යටතෙහි නොපැවැත්වීමයි. තමාට තම ශරීරයෙහි ආධිපත්‍ය නැති බව ය.

ප්‍රශ්නය - ධර්ම ග්‍රන්ථයන්හි ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක් ද පැහැදිලි කරන්න.

පිළිතුර - කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන මේ සතරයි. කායගතා සතිය නිතර වඩන මහණදම් පුරන පැවිද්දන්ගේ හා සිහි නුවණින් යෙදුණු දැහැමි ගිහියන්ගේ කාමාදී ආශ්‍රවයෝ නැසී යන්නාහ.

ප්‍රශ්නය - නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකය. මේ කියමන ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර - දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨ නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨකය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නා සේම මනා දැකීමට සුදුසු වූයේ, සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය - ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සසුනට ඇතුළත් ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවා ය.

මේ තැනැත්තිය කවුද? රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳව කෙටි සටහනකින් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේ ගේ කුමන ගුණයක් මෙයින් මතු වී පෙනේ ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුරු - බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට යොමු වූ ඇය පටාචාරා අසරණියයි.

තම ස්වාමියාත් දරු දෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයාත් එකම දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමි වූ පටාචාරාව බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාවට ලක්වීමෙන් සුවපත් වූවා ය. මෙයින් බුදුරජාණන් වහන්සේ ගේ මානව හිතවාදී ගුණය කැපී පෙනිණි.

ප්‍රශ්නය - කොසොල් මහ රජතුමා තම බිසව දියණියක ප්‍රසූත කර ඇති බව අසා ශෝකාකූල මුහුණින් යුතු ව තම අකැමැත්ත බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියේ ය. එහිදී ඔහු ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහ රජ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිල්වත් කාන්තාව ද වාසනාවන්ත ය.

ඇය අනාගතයේ දී වාසනාවන්ත පුතුන් ප්‍රසූත කරනු ඇත.

එබැවින් ඇය ඉතා හොඳින් පෝෂණය කළ යුතු යැයි පෙන්වා දුන්හ.

කාන්තාව පිළිබඳ ව බෞද්ධ ආකල්පයෙහි බිඳකි මේ. පැරැණි භාරතීය සමාජයේ කාන්තාවන්ට හිමි වූ තැනත් බෞද්ධ යුගයෙහි දී එය වෙනස් වූ ආකාරයත් පැහැදිලි කරන්න.

පිළිතුර - කාන්තාව මිය යනතුරුම හිමියා ගේ වහලියක සේ යටත් විය යුතු ය යන අදහස ප්‍රචලිත යුගයක, තම හිමියා මළ විට වැන්දඹු කාන්තාව හිමියාගේ සොහොනට පැන දිවි පුද කළ යුතු ය යන්න පිළිගෙන තිබුණි.

මෙවන් තත්ත්වයක ගැහැණු දරු උපත පවා පවුලක අභාග්‍යයක් කොට සැලකූහ. බෞද්ධ යුගයෙහි දී කාන්තාව මවක් වශයෙන් මිනිස් සමාජයේ පූජනීයත්වයට පත් වූවා ය. මෙහෙණි සස්න නිසා ඇය මානව අයිතිවාසිකම්වලින් පෝෂණය ලැබුවාය.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ පැරැණි භාරත සමාජයේ ආගම දර්ශන ඉදිරිපත් කළ සමකාලීන ශාස්තෘන් අතර ම ජීවත් වෙමින් තම ධර්මය ද මහජනයා ඉදිරියෙහි තැබූහ.

අනෙක් ශාස්තෘවරුන්ගේ ක්‍රියා පිළිවෙලට ඉඳුරා ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් මහජනයා වෙත දහම ඉදිරිපත් කළ ආකාරය හා අවබෝධ කර වූ ආකාරය පිළිබඳ ආකල්පය පැහැදිලි කරන්න.

පිළිතුර - බුදු සසුනෙන් බැහැර අන්‍ය ආගමික නායකයන් ප්‍රකාශ කර සිටියේ සිය ආගම් හා දර්ශනයන් පමණක් සත්‍ය දර්ශන හා ආගම් වන අතර එයින් බැහැර සියල්ල මිත්‍යා මතවාද ලෙස අවඥාවෙන් බැහැර කළ යුතු බවයි.

ඔවුහු තම ආගමික මතවාද පිළිගැනීමට බල කළහ. බ්‍රාහ්මණ පූජක පිරිස සමාජ කොට්ඨාසයකට ආගම ඇදහීම තහනම් කළහ.

ඇතැම් ආගමික ඇදහීම් කුලවාද පටු සීමාවන් තුළ ප්‍රචලිත කිරීමේ දී සමාජ සාධාරණත්වය ද ආගම් තුළින් බැහැර කළහ.

බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගැනීමට බල නොකළහ.

විමසා බලා වැටහේ නම් පමණක් පිළිගැනීමට අවසර ලැබිණ. ආගමක් පිළිගැනීම හෝ පිළිනොගැනීම ඒ පුද්ගලයන් සතු වගකීමක් බව ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ බුද්ධියට සිතට එකඟ නම් පමණක් පිළිගැනීමට ඉදිරිපත් වන්න යැයි ආගමික නම්‍යශීලී ආකල්පයක් ඉදිරිපත් කළහ.

ප්‍රශ්නය - යම් පුද්ගලයකු සන්තකය විනාශය සඳහා යොමුවන මුඛ නැත්නම් දොරටු හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ මොනවාද?

පිළිතුර - රහමෙර පානය, නොකල්හි වීදි සංචාරය, නිතර නෘත්‍ය දර්ශන විනෝදය, දූ කෙළිය, පාප මිත්‍ර සේවනය, අලස බව.

ප්‍රශ්නය - නව ලෝකෝත්තර ධර්මය කියන්න

පිළිතුර - සෝවාන් මග හා ඵල, සකෘදාගාමි මග හා ඵල, අනාගාමී මග හා ඵල, අරහන්ත මග හා ඵල, නිබ්බාන.

ප්‍රශ්නය - සුභාෂිත පද්‍ය ග්‍රන්ථයේ කතුවරයා කවුද? එම ග්‍රන්ථයේ ඇති තතු පිළිබඳ ව යමක් කියන්න

පිළිතුර - අලගියවන්න මුකවෙටිතුමා, සාධුගුණ දහම් ඇතුළත් පද්‍ය සංග්‍රහයකි.

ප්‍රශ්නය - සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහීණවීමට කුමන මාර්ග ඵලයකට පැමිණිය යුතු ද?

පිළිතුර - සෝවාන් මාර්ගඵලයට

ප්‍රශ්නය - අනාගාමි පුද්ගලයෙකු ක්ලේශ නිරෝධය සඳහා නැති කරන සංයෝජන කීයක් තියෙනවා ද? ඒ මොනවාද?

පිළිතුර - 02 යි. කාමරාග, පටිඝ

ප්‍රශ්නය - තණ්හා පච්චයා උපාදානං - ම් ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය පිළිබඳව අප ඉගෙනගත් එක පාඨයක්. මෙහි උපාදාන යන කරුණු පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - තෘෂ්ණාව නිසා උපාදානය හෙවත් දැඩි වශයෙන් ගැනීම සිදුවේ. කාමුපදාන දිට්ඨුපදාන - සීලබ්බතුපාදාන , අත්තඋපාදාන

 

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]