UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කරගනී. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන්කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් පැහැදිලි වෙයි. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්ත අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින්ම ය. එය දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම, හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.

පිළිතුරු - අංගුත්තර නිකාය පෙළ දහමට අනුව මෙම පාඨය ශබ්ද නගා කියවන්න. “එතදග්ගං භික්‍ඛවෙ මම සාවකානං භික්‍ඛුනං රත්තඤ්ඤනං යදිදං අඤ්ඤ කොණ්ඩඤ්ඤ” මහණෙනි, යම් අඤ්ඤ කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේද? චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍රවෙයි. බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කෙතරම් විනිවිද දක්නා සුළුද මේ තනතුර සඳහා ප්‍රශ්නාර්ථයක් හෝ අභියෝගයක් ඡන්න වෙතින් වත් ප්‍රකාශ වූයේ නැත. ඊළඟ අවස්ථා දෙක මහාපඤ්ඤනං යදිදං සාරිපුත්තො ඉද්ධි මන්තානං යදිදං මහා මොග්ගලානො මහා ප්‍රාඥ වූ (නුවණින් යුතු) ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් සාරිපුත්ත හිමියන් ද සෘද්ධිමතුන් අතරෙන් මහා මොග්ගලාන හිමියන්ද නම් කෙරෙන් මුහුණ බලා තනතුරු ප්‍රදානය කළ බවට පසුකාලීන ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් මතවාද ගොඩ නැඟුණ ද ඒවාට පැවැත්මක් නොලැබුණේ සුදුස්සාට සුදුසු තැන උන්වහන්සේ විසින් ලබා තිබීමයි. ප්‍රදානයක් නොව ශක්‍යතාවය මත ලබාගත්තකි. එහෙත් අගතනතුරු හා උපස්ථායක තනතුරුවලට පිළිවෙලින් සැරියුත් මුගලන් මහතෙරුන් වහන්සේ හා ආනන්ද හිමියන්ගේ පත්වීම බුදුන් වහන්සේ විසින් ප්‍රදානය කෙරුණකි. ඡන්න මුල් තනතුරු කෙරෙහි බලවත් විරෝධතාවය ප්‍රකාශ කළේ ය. අභිනිෂ්ක්‍රමණ ගමනෙහි මූලික අනුග්‍රාහකයා මෙන්ම බැරෑරුම් වගකීම් ද ඔහු සතුවිය. පිය මහ රජාණන් ආදරණීය බිරිඳ හා මාලිගාවෙහි රැකවලුන් සියල්ලන්ගෙන් මේ ගමන පිළිබඳ රහස්‍යභාවය ඔහු විසින් අකුරට ම රැකිණි. ඔහු මේ සියල්ල බුදුරජාණන් වහන්සේ වෙත ඉතා යටහත් ව සැල කළේ ය. එපමණක් නොව සමීපතම හිතවත් සගයා වන ඡන්නට බුදුහිමියන් හමුවීම පවා දුෂ්කර වන බව පැහැදිලි කළේ ය.

සියල්ලටම ඉතා කරුණාවෙන් සවන් දුන් බුදුරජාණන් වහන්සේ ඡන්න ඉක්මන් නොවන්න. ඔබ මට කළ උපකාර අනන්ත ය. එහෙත් මම පෙන්වා දුන් මාර්ගයේ මාර්ගඵලයක් වත් ඔබ තවම ලබා නොගත්තෙහි ය. එසේ උත්සාහ නොකොට මෙසේ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පැවරීම සුදුසු නැති බව දෙතුන් වර පැහැදිලි කළත් බුද්ධ පරිනිර්වාණය තෙක් ම ඔහු මෙල්ල නොවී අවසානය හි දී සංඝ සම්මුතියෙන් මූලික අයිතිවාසිකම් තහනම් විය. ( “බ්‍රහ්ම දණ්ඩනය)

මේ කරුණුවලින් පැහැදිලි වන එක් කරුණක් නම් සුදුසුකම හැර වෙනත් පෞද්ගලික කරුණු බෞද්ධ මාර්ගයෙහි වැදගත් නොවන බවයි. ඒ නිසාම කෙතෙක් ගැටලු ඇති වූවත් බුද්ධකාලය තුළ සංඝ සාමගි‍්‍රය පැවතීමට එය හේතුවක්විය.

ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍ර පාඨයට අනුව පුරක්‍ෂිම දිසා මාතාපිතරො නැගෙනහිර දිසාව (පූර්ව දිසාව පෙරදිග) දෙමව්පියෝ ය. මුළු ලොව (අචේතනික , සචේතනික) පුබුදුවාලන්නේ සූර්යා ය. ඔහු අවස්ථා හතරක දී එනම් අර්තෝදය විම්බෝදය, අරුණෝදය, සූර්යෝදය යනුවෙන් තම මෙහෙවර ආරම්භකොට පච්ඣිම දිසාවෙන් බැසයයි. පවුල මිනිසා සතු උතුම් ඒකකයයි. එහි දෙමව්පියන් අඹුදරු දැසිදස් ආදී සාමාජිකයෝ බොහෝ ය. බෞද්ධ පෙළ දහමට අනුව දේශනා පාඨ ඇසුරෙන් නිවැරැදි දෙමව්පිය දූ දරු සබඳතාවය පැහැදිලි කරන්න.

පිළිතුර - අංගුත්තර නිකාය, සමචිත්ත වග්ගයේ එන දේශනා පාඨයකි මේ. ද්වින්නාහං භික්‍ඛවේ න සුප්පතිකාරං වදාමි, මාතුච්චපිතුච්ච, මහණෙනි, දෙමව්පිය පෝෂණය ප්‍රමාණයකින් කෙළවර කොට දැක්විය නොහැකියි.

යම් කිසිවකු දෙමව්පිය පෝෂණයෙන් ණයෙන් නිදහස්වීමට කැමැතිව,, එකෙන අංසෙන මාතරං වපරිහරෙය්‍ය පිතරං පරිහරෙය්‍ය සියවසක් එක් උරහිසක මව ද අනෙක් උරහිසෙහි පියා ද තබා ගනිමින් කිසිවිටකත් බිම නොතබා මළ මුත්‍ර දෙවුරයෙහිම තබා පිරිසුදු කොට සුවඳ ගල්වා නහවා පිරිසුදු කොට බෙහෙත් ගල්වා උණු පැන් සිහිල් පැන් තබා උපස්ථාන කෙරේද? දෙමව්පිය උපකාරයෙහි ප්‍රත්‍යුපකාරයක් නොවන්නේම ය. බොහෝ සත් රුවන් ඇති මේ මහා පෘථිවියෙහි දෙමව්පියන් සක්විති රජ බවට පත් කළත්, ඉස්සරායි පච්චේ රජ්ජේ පතිට්ඨාපෙය්‍ය, ඇතිණයෙන් දරුවන්ට නිදහස් විය නොහැකි ය.

තං කිස්ස හේතු බහුකාරා, භික්ඛවෙ මාතා, පිතරො පුත්තානං, අපාදිකා, පොසකා, ඉමස්ස ලොකස්ස දස්සේතාරො එයට හේතු කවරේද? දෙමව්පියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ. එසේ නම් දෙමව්පියන් උදෙසා කළ යුත්තේ කුමක්ද? බුදුරදුන් වදාළේ ඵත්තාවතා බෝ භික්‍ඛවෙ මාතා පිතුන්නං කතංච හොති - පතිකතංච අති කතඤ්චාති යනුවෙන් මවුපියනට උපකාර කරන ලද්දේත් ප්‍රත්‍යුපකාර කරන ලද්දේත් අධික උපකාර කරන ලද්දේත් ,

1. ශ්‍රද්ධා නැති දෙමව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවලීම

2. දුසිල්වත්හූ සීලයෙහි පිහිටුවාලීම

3. මසුරු වූ දෙමව්පියන් ත්‍යාග සම්පතෙහි පිහිටුවීම

4. අනුවණ ඔවුන් ප්‍රඥාවෙහි පිහිටුවීම යන මෙතෙකින් බවයි

දූ දරු දෙමව්පිය සම්බන්ධතාව පිළිබඳ ව සිඟාලෝවාද - මහා මංගල, පරාභව, වසළ ආදී සූත්‍රාගත කරුණු නිවස තුළ භාවිතයෙන් ඈත්වීම හේතුවෙන් ඒ හිදැස සඳහා පැමිණෙන්නේ විනාශකාරී දූ පුතුන් පරපුරකි. ගෙදර වැනසී යද්දී දෙමව්පිය දූ දරුවෝ ද වැනසී යති.

ප්‍රශ්නය - පුද්ගල ජීවිත අවනතියට හෝ උන්නතියට අදාල වන්නා වූ කරුණු බුදුරජාණන් වහන්සේ බොහෝ ස්ථානවල දී විවිධ චර්යා (හැසිරීම්) ඇති පුද්ගලයනට දේශනා කොට ඇත. අං. නි. තික නිපාතයෙහි බාල වග්ගයේ එන කරුණු ඇසුරෙන් සමාලෝචනයක් කරන්න.

පිළිතුර - කරුණු තුනකින් පුද්ගලයා පිරිහීමට පා තබන්නේ ය.

1. අච්චයං අච්චයතො න පස්සති. තම වරද වරදක් සේ දකින්නට හැකියාවක් නැත.

2. යථා ධම්මං පටිකරොති. වැරැදි දැකීමෙන් පිළියම් කිරීමකින් නිදෙස් වීමට ද උත්සාහයක් නැත.

3. පරස්ස බොපන අච්චයං දොසෙන්තස්ස යථා ධම්මං න පතිගණ්හාති - වරද පෙන්වාදෙන අනෙකකු ගේ උපදෙස් පිළිනොගෙන ඔහු විසින් ම පිරිහීමට පත්වෙයි. උන්නතිකාමී පුද්ගලයා ධර්ම තුනකින් යුක්ත වූයේ නුවණැතිව,

1. වරද වරදක් වශයෙන් දැනගනී අච්චයං අච්චයතො පස්සති

2. වරද වරදක් බව දැන දහම් නය අනුව නිවැරැදි කර ගනී.

3. වරද පෙන්වා දෙන අන්‍යයාගේ අදහසට ගරුකරයි.

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]