ඔබ තුළ ඇති හඳුනා නො ගත් සතුරා
එස්. නිමල් ප්‍රනාන්දු
චතුරාර්ය සත්‍යයට අයත් දුක්ඛ සත්‍ය විග්‍රහයෙහි සත්ත්වයාට මුහුණ
පෑමට සිදුවන අනන්ත දුක් විස්තර වෙයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි
දොළොස් ආකාර දුක් වලට අමතරව, තිරිසන්, පේ‍්‍රත අසුර ආදී දුක්ඛිත භව
ලැබීමෙන් ද මිනිස් භවයක් ලැබුණත් අඳ , බිහිරි, මන්දබුද්ධික ආදි
දුර්වලතා ඇතිව ඉපදීමෙන්ද මුහුණ පෑමට සිදුවන දුක් ද, ශරීරය නිසා අපට
ලැබෙන දුක් ගැන ද බුදු දහමෙහි විස්තර වෙයි. එබැවින් එම දුක් පිළිබඳ
අවබෝධ කර ගැනීමට අපහසු නැත. නමුත් අනවරාග්‍ර සංසාරය පුරා අප සමඟ ගමන්
කරමින් අප තුළම සැඟ වී සිටිමින් ක්‍ෂණයක් පාසා අප දවන තවන - අසහනයට පත්
කරන තවත් දුකක් තිබේ. එනම් කෙලෙස් දුකයි එය අපට පහසුවෙන් පෙනෙන දුකක්
නොවෙයි. තර්කානුකූල ලෙස සිතා බැලූ විට එය දුකක් බව වටහා ගැනීමට හැකි
වෙයි.
කෙලෙස් අපට ලබා දෙන දුක අපට පැහැදිලිව නොපෙනීමට හේතුව වන්නේ එය අපට ඒ
තරමටම හුරු පුරුදු වී තිබීමය. සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම ය.
මුහුදෙහි සිටින මාළුවාට ලුණු වතුරෙහි කටුක බව නොදැනෙයි. ඌ ඉපදෙන්නේද
ජීවත් වන්නේද , මැරෙන්නේද ලුණූ වතුරෙහි බැවිනි.
එමෙන් අප ද ඉපදෙන්නේ ද ජීවත් වන්නේද, මැරෙන්නේද කෙලෙස් සමග නිසා කෙලෙස්
අප තුළ තිබෙන බව අපට නොපෙනෙයි. අපට නොපෙනුණද කෙලෙස් මගින් අප තුළ ඇති
කරන දාහයෙන්, අසහනයෙන් ,පීඩාවෙන් මිදීම සඳහා නොදැනුවත්වම හෝ අප විසින්
නිරතුරුව කරනු ලබන්නේ බලවත් සටනකි. එනම් ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රිය
මගින් සැප ලබා ගැනීම සඳහා දඟලන දැඟලීමයි.
හොඳින් විමසා බැලුවහොත් අප උදෑසන අවදි වූ අවස්ථාවේ සිට නැවත රාත්‍රියේ
නින්දට යන තුරු උත්සාහ කරන්නේ පංචේන්ද්‍රිය තුළින් කිසියම් රසයක්,
මිහිරක් සැප වින්දනයක් ලැබීමට බව පැහැදිලිය. ඒ ඉහත කී කෙලෙස් වලින් අපට
ලබා දෙන පීඩනය, අසහනය, දුක සමනය කර ගැනීම පිණිසය.
එවැනි පීඩනයක් දුකක් අපට නොමැති නම්, පංචේන්ද්‍රිය මගින් සැප සෙවීමක්
අවශ්‍ය නොවෙයි. කෙලෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේ පමණක් පංචේන්ද්‍රිය
මගින් සැප විඳීම නොසොයන නිසා සැප අවශ්‍ය වන්නේ කෙලෙස් දුකට සහනයක් ලබා
ගැනීම සඳහා බව පැහැදිලි වෙයි. කෙලෙස් දුකක් බව තර්කයෙන් දැන ගත හැකි
යැයි සඳහන් කළේ, එබැවිනි.
නිදසුනක් දක්වතොත් උණුසුමින් පීඩා විඳින විට අපි ඊට ප්‍රතිවිරුද්ධ වූ
සිසිල සොයමු. සීතල පීඩාවක් වූ විට ඊට ප්‍රතිවිරුද්ධ වූ උණුසුම සොයමු.
එසේ නම් අප සැප සොයනුයේ නොපෙනෙන නමුත් කිසියම් දුකකින් පීඩා විඳින නිසා
බව පිළිගත යුතු වෙයි.
එසේම අප තුළ සැඟ වී ඇති කෙලෙස් මගින් අපට ලබා දෙන දුක ද එවැනි ය. එය අප
තුළම සැග වී සිට නොදැනුවත්වම අප විනාශ කර දමන බලවේගයක් වැනිය .
එබැවින්, පංචේන්ද්‍රිය පිනවීමෙන් සැප ලැබීම, කෙලෙස් දුකට සාර්ථක
පිළියමක් නොවෙයි. එසේ කිරීම ශරීරයේ දුගඳ නැති කිරීමට විලවුන් පාවිච්චි
කිරීම වැනි ක්‍රියාවකි. විලවුන් ගැල් වූ විට සුළු වෙලාවකට දුගඳ නොදැනෙන
නමුත් ටික වේලාවකින් නැවත දුගඳ මතු වෙයි.
දුගඳින් ස්ථිරව මිදීමට නම් ශරීරයේ ඇති දහදිය කුණු විෂබීජ ඉවත් වන ලෙස
ශරීරය පිරිසුදු කර ගත යුතුය. එමෙන් චිත්ත සන්තානය තුළ ඇති කෙලෙස්
ප්‍රහීණ කළ විට ස්ථිර සැපයක් ඇති වෙයි.
බුදු දහම යනු එම කෙලෙස් ගිනි නිවා ගැනීම සඳහා පෙන්වා දී ඇති මාර්ගයයි. |