උරුමයක අරුමය
මානව ශිෂ්ටාචාරයේ උන්නතිය උදෙසා බුදු දහමෙන් ඉටු වූ සේවය
පිළිබඳ ව විවාදයක් ඇතැයි අපි නො සිතමු. එ සේ වූව ද 18 වන
සියවසෙහි යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවයත් සමඟ ම මානව
ශිෂ්ටාචාරයේ අයිතිය යුරෝපීයයන්ට නතු වී ඇති බව වසන් කළ නො හැකි
සත්‍යයකි. මෙය, වර්ගවාදී දෝෂාරෝපණයක් ලෙස වරදවා තේරුම් නො ගත
යුතු ය.
මේ සාකච්ඡාව තව දුරටත් ඉදිරියට ගෙන යෑම පිණිස ලන්ඩන්
විශ්වවිද්‍යාලයයේ ඉන්දීය ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්යවරයකු වූ ඒ.එල්. බෂාම් ගේ ‘අසිරිමත් ඉන්දියාව‘ නමැති
කෘතිය අපට මඟ පෙන්වීමක් වනු ඇත. ඉන්දීය කලාවේ ජීවය යැයි නම් කළ
පරිච්ඡේදයෙහි බෂාම් මෙ සේ සඳහන් කැර තිබේ. ‘අජන්තාවේ ඇති
ශ්‍රේෂ්ඨ නිර්මාණ අතර විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් කඩවසම්
පෙනුමෙන් යුත් තරුණයකු ගේ රූපය යි. ඉන්දියානු මූර්ති හා චිත්‍ර
ශිල්පීන් විසින් මහත් අභිරුචියක් දැක් වූ තිවංක ඉරියව්වෙන් මෙම
තරුණයා නිරූපණය කැර ඇත. ඔහු හිස මැණික් ගල් ඔබ්බන ලද ඔටුන්නක්
ද දකුණු අත සුදු නෙළුම් මලක් ද වෙයි. ඔහු ගේ සිවුමැලි
ඉරියව්වෙන් ප්‍රකාශ වන්නේ මද ශෝකී භාවයකි. කරුණාවෙන් පිරී
ඉතිරී ගිය ඔහු දෙනෙත පහතට යොමු කොට තමාට වඩා බොහෝ පහළින් ඈත
ඇති කිසියම් දෙයක් දෙස බලා සිටින්නාක් මෙන් පෙනේ.’
‘ඔහු අවට දිව්‍යාංගනාවෝ හෙවත් අප්සරාවෝ ද ගාන්ධර්වයෝ ද සිටිත්.
මේ පිරිස මෙහි ප්‍රධාන රූපය වන මහා කාරුණික අවලෝකිතේශ්වර
පද්මපානී බෝධිසත්වයන්ට වඩා ඉතා කුඩා ලෙස දක්වා ඇත. එදිනෙදා
ජීවිතයේ එන පී‍්‍රතිමත් වූත් කාමුක වූත් ජවනිකා අතර මෙ සේ නැවත
වරක් අපට හමුවන්නේ දැඩි ආගමික හැඟීමක් දනවන නිර්මාණයකි. මේ
බෝධිසත්වයන් මෘදු මොළොක් තාරුණ්‍යයෙන් යුක්ත ව මුතු මැණික් ආදී
ආභරණයෙන්, සැරැසී සිටින නමුත් ලෝකවාසීන් ගේ දුක් ගැන බෙහෙවින්
ශෝක වෙයි. මොහු ගේ සානුකම්පිත දෙනෙතින් යුග අසංඛ්‍ය ගණනක දුක්
දොම්නස් දැක ඇත. මනාව සැදුණු ඔහු ගේ දෙතොලින් වේදනාවෙන් පීඩිත
වූවන් අසංඛ්‍ය ගණනකට සැනසුම් වදන් දී ඇත. මෙම බෝධි සත්ව රූපය
කළ ශිල්පියා මෙයින් ප්‍රකාශ කැර ඇත්තේ විශ්වය තම සත්වයින් ගේ
දුක් සහ ආශාවන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්ත හැඟීමෙන් පිරී ඇති
බව ය.’
සෞන්දර්ය වාදී ලෙස බුදු දහමේ හරය ප්‍රකාශ කිරීමට දැරූ අතීත
උත්සාහයයන් හා කලාවේ නූතන දියුණුව සඳහා බුදු දහමෙන් ලැබුණු
අත්වැල බෂාම් ගේ මේ දීර්ඝ විස්තරයෙන් හෙළි කැරේ. එය නූතන කලා
රසිකයන් ගේ අවධානයට ලක් විය යුතු විශේෂ කරුණකි.
මේ සියලු කරුණු අප පාඨකයන් ගේ අවධානයට යොමු කිරීමට හේතු වූයේ
ජනවාරි මස 30 වන දා ඩේලි නිව්ස් පුවත්පතෙහි (17 වන පිටුව) පළ
වූ අපූරු ප්‍රවෘත්තියක් නිසා ය. ඒ ඇෆ්.පී. පුවත් සේවයෙන් ලබා
ගත් එම ප්‍රවෘත්තියෙහි මෙ සේ සඳහන් ව තිබිණ. ‘තෙල් සායම්
චිත්‍ර කලාව ආරම්භ වූයේ 14 වන සියවසෙහි යුරෝපයේ පැවැති
පුනර්ජීවන කලා යුගයේ දී යැයි පවතින පිළිගැනීම වැරැදි බව ජපන්
ජාතික පර්යේෂකයකු පෙන්වා දී තිබේ. ඇෆ්ගනිස්ථානයේ බාමියන් ගුහා
වලින් හමු වී ඇති බෞද්ධ චිත්‍ර අනුව තෙල්සායම් චිත්‍ර කලාවේ
ආරම්භය ක්‍රි.පූ. 650 දක්වා අතීතයට දිව යයි. යෝකෝ තනිගුචි
(කධඬධ ඊචදඪඨභඥඩඪ) නමැති මේ විශේෂඥයා, ජපානයේ සංස්කෘතික දේපොළ
පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනයේ සේවයේ යෙදී සිටී. බාමියන් නිම්නයේ
ගුහාවන් හි ඇති බෞද්ධ චිත්‍ර පනස් තුනක් නවීන විද්‍යාත්මක
විශ්ලේෂණයකට භාජනය කිරීමෙන් මේ ප්‍රතිඵලය ලැබී තිබේ. එම චිත්‍ර
සඳහා භාවිත කළ තෙල් වර්ග, 14 වන හා 15 වන සියවස් වල දී ඉතාලියේ
භාවිත කළ ඒවාට සමාන ය’.
බෞද්ධ ශිෂ්ටාචාරයේ අගය මෙන් ම ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමය ද
ලොවට හෙළි කළ මේ ප්‍රවෘත්තිය අපට ඉතා වැදගත් ය. ඒ වෙන කිසිවක්
සඳහා නො ව බෞද්ධ ශිෂ්ටාචාරය අනාගත ලෝකයට දායාද කිරීම පිණිස ය. |