මහවැලි
මහ සෑය පුදමු
චසිත බුලත්සිංහල
1979 පෙබරවාරි 04 දා කොත්මලේ ජලාශයේ වැඩ ආරම්භ කැරිණි. එදා තුන්
සිංහලයට අයත් මායා රටේ ප්‍රධාන පිවිසුම්පොළ වූයේද කොත්මලේය. එසේම තුන්
සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු කුමාරයා තම පියා සමඟ අමනාප වී නවාතැන්
ගත්තේද, එම කොත්මලේ කොටගේපිටිය ඌරුපැලැස්ස ගොවි ගෙදර බැව් ජනප්‍රවාදයේ
කියැවේ. එසේම එතුමාගේ මඟුල් කඩුවද වරෙක සඟවා තැබුවේ එම කොත්මලේ
ප්‍රදේශයේ මය. තවද ඓතිහාසික වශයෙන් වැදගත් සෙල්ලිපි රාශියක්ද එම
ප්‍රදේශයේ තවමත් ඉතිරිව ඇත. මේ අනුව වසර දෙදහසකට ඈත ප්‍රෞඩ ඉතිහාසයකට
උරුමකම් කියන කොත්මලේ ප්‍රදේශය නැවත කා අතරත් කතා බහට ලක්වූයේ කොත්මලේ
ජලාශයේ වැඩ කටයුතු ආරම්භ වීමක් සමඟමය.
එම කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟම ගම් දහසයක ජනතාවට
සිය නිජබිම අහිමි විය. පුරාණ විහාරස්ථාන දහසයකුත් එහිදී කොත්මලේ ජලාශයට
යට විය.මේ කාර්යයේ පතාක යෝධයාව සිටියේ එවක, ඉඩම් සංවර්ධන හා මහවැලි
සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිවංගත ගාමිණි දිසානායක මහතාය.
ඔහුගේ පාරම්පරික නිවෙසද එම කොත්මලේ ජලාශයට එදා බිලිවිය. නමුත් ඒ
සියල්ලෝම නුදුරු දිනයකම අඳුරුව පැවැති ලංකාවේ විශාල ප්‍රදේශයක් ඒ
තුළින් ආලෝකවත් වන බව එදා දුටුවහ. ඒ සියලු පැතුමන් ඉටු කරමින් 1985
අගෝස්තු 24 වනදා සුබ නැකතින් කොත්මලේ ජලාශය විවෘත වූයේය.
කොත්මලේ ජලාශය වෙනුවෙන් බිලි වූ වෙහෙර විහාරස්ථාන දහසයක් හා ගම් දහසයක
නිවාස අහිමි කරගත් ජනතාව සිහි කිරීම සඳහා යම් ස්මාරකයක් ඉදි කළ යුතු
යැයි ඉන් පසුව ගාමිණි දිසානායක මහතාගේ සිතට කාවැදී පැවතියේය. අවසානයේ
මහා දාගැබක් කොත්මලේ ජලාශය අසළ ඉදිකිරීමේ අදහසක් ඔහුගේ සිතට ඇතුළත්ව
තිබුණි. සිරිලක අවසන් වරට වාරි හා දාගැබ් කලාව සිදු වී වසර 1700 ගෙවී
පැවතියේය. එදා සිංහල රජ දවස පැවැති සෞභාග්‍ය යළිදු ඇතිවීමට කාලය
උදාවූයේය. එනම් 1983 මාර්තු 20 වැනි දින ගාමිණී දිසානායක මහතාගේ
සංකල්පයක් මත, මීට පෙර කන්ද උඩරට රාජධානියට මහත් අඩුවක්ව පැවැති මහා
සෑයක් සාදා නිම කිරීම සඳහා ‘කොත්මලේ මහවැලි මහ සෑ ව්‍යාපෘතිය “ නමින්
සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කැප වූ දැවැන්ත ව්‍යාපෘතියක
ආරම්භය එදින සනිටුහන් කැරිණි. එම සෑය නිර්මාණය කිරීම සඳහා කොත්මලේ
ජලාශයට ඉහත්තාවේ ඇති කඩදොර නමැති ස්ථානය තෝරා ගැනුණි.
එම මහවැලි මහා සෑය උසින් අඩි 289 කි. එසේම එම සෑය රුවන්වැලි මහා සෑයේ
ප්‍රමාණයට නිර්මාණය විය යුතු බව මුලදී යෝජනා විය. එහෙත් ඉංජිනේරු
ක්ක්‍ෂ්ත්‍රයට සුවිශාල කාර්යභාරයක් ඉටු කළ මහවැලි සංස්කෘතික පදනමේ
හිටපු සභාපති, දිවංගත විද්‍යාජෝති ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා
විසින් රුවන්වැලි මහා සෑයට උසින් අඩි 2 ක් අඩුවෙන් එම මහවැලි මහා සෑය
නිර්මාණය කරන ලදී. එසේම එම කාර්යයන් සඳහා ඇල්ලේ ගුනවංශ හිමිපාණන්
විසින් ගාමිණී දිසානායක මහතා වෙත ලබා දුන් දිරිය සහ සහය කිසිසේත් අමතක
කළ නොහැකිය.
මහවැලි මහා සෑය ඉදිකර ඇත්තේ කොන්ක්‍රීට් කණු තිස් දෙකක් මතය. එම කණු
පොළව යට පිහිටි කළු ගල දක්වා අඩි අනූවක් යටට කිඳා බැස ඇත. මහවැලි මහා
සෑයේ කොන්ක්‍රීට් ආවරණයේ පළල අඟල් එකොළහකි. සම්පූර්ණයෙන්ම එහි
විශ්කම්භය අඩි 200 ක් විය. මෙහි වියදම් අවම කර ගැනීම සඳහා ආචාර්ය
කුලසිංහ මහතාගේ මඟ පෙන්වීම මත අඟලක ඝණකම ඇති තුනී කොන්ක්‍රීට් පලක යොදා
ගැනුණි. එහිදී බාහිර ආරක්‍ෂාව සඳහා ඔප දැමූ පිඟන් ගඩොල් ඇතිරීමටද යෝජනා
විය. සෑය ඇතුළත සම්පූර්ණයෙන්ම හිස් ප්‍රදේශයක් වන අතර එහි බුද්ධ චරිතයේ
විවිධ අවස්ථා හා ජාතක කථා සිතුවම් කිරීමටද යෝජනා කැරිණි.
මහවැලි මහා සෑයේ හතරැස් කොටුව දක්වා වැඩ කරමින් සිටියදී, 1992 වර්ෂයේ
ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවිය. 2000 වර්ෂයේ දී
එවකට මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ
මූලිකත්වයෙන් එහි ඉතිරි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසුව 2003 වසරේ
මැද භාගයේදී හිටපු වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම
පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මහවැලි මහා සෑයේ හතරැස් කොටුවේ ඉදිකිරීම්
කටයුතු ආරම්භ කරන ලදී.
කොත්මලේ මහවැලි මහා සෑය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා එවකට
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය යටතේ 2003 ඔක්තෝම්බර් 14 වෙනි
දින පිහිටුවන ලද “ මහවැලි සංස්කෘතික පදනම් භාරයට “ පවරන ලදී. ආදායම්
බද්දෙන් නිදහස් රජයේ පුන්‍ය ආයතනයක් ලෙස 2004 ජූලි 30 දින නිකුත් වූ
රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ විය. ඉදිරියේදී පාර්ලිමේන්තු පනතක් මගින්
මහවැලි සංස්කෘතික පදනම් භාරය නීතිගත ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට සියලු
කටයුතු සකසා ඇත.
ඉංජිනේරු එම්. බී. ජයසේකර මහතාගේ සභාපතිත්වය යටතේ සාමාජික මහත්ම
මහත්මීන් 20 කින් යුත් මහවැලි සංස්කෘතික පදනම් භාරය, කොත්මලේ මහවැලි
මහා සෑය සංකීර්ණ ව්‍යාපෘතියේ සියලුම පරිපාලන කටයුතු සිදු කරයි.
.ඉතිරි වැඩ කටයුතු 2000 වර්ෂයේදී නැවත ආරම්භ කිරීමෙන් පසුව, කුඩා
පරිමාණයෙන් ආධාර මුදල් ලැබුණ අතර, 2004 අග භාගයේ දී එවකට අගමැතිව සිටි
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ආධාර මුදල් රැස්
කිරීමට දායක විය.
2006 අවසාන වන විට රුපියල් මිලියන 5 ක මුදලක් ජනාධිපති අරමුදලෙන්
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පරිත්‍යාග කළාය. මිලිනා
සුමතිපාල මහත්මිය රුපියල් මිලියන 1 ක් , සහ රොහාන් දිසානායක මහතාගේ
මිතුරන් විසින් රුපියල් මිලියන 5 ක් ලබා දී තිබේ. මේ හේතුවෙන් මහවැලි
මහා සෑයේ හතරැස් කොටුවේ සිට කොත් වහන්සේ තැන්පත් කරන මට්ටම ඉදිකිරීමේ
කටයුතු 65% ක පමණ වැඩ අවසන් කිරීමට හැකි වී ඇත.
ආරම්භක අදියරෙහි මහවැලි සංස්කෘතික පදනම විසින් රුපියල් 8,300,000.00
මුදලක් තැන්පත් කර තිබූ අතර විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් මෙම කාර්යයට
ආධාර කළහ. කම්කරුවෝ ද තම වැටුප පවා මහවැලි මහා සෑ ව්‍යාපෘතියට
පරිත්‍යාග කළහ. එසේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත
සියලුම නිලතල දරන පින්වතුන්ගේ මාසික වැටුපෙන් මුදලක් වෙන් කර එය සෑම
මසකම මහවැලි සංස්කෘතික පදනම් භාරයට ලැබෙන අතර දැනට රුපියල්
1,810,000.00 මුදලක් ලැබී ඇත.
වැඩ නිම වී ඇති අඩි 13 ක් උසැති , විෂ්කම්භය අඩි 6 ක් ඇති කොත්වහන්සේ
සැදීම සඳහා රුපියල් 310,000.00 වටිනා පිත්තල අනුරාධපුර රන්වැට
අරමුදලෙන් පරිත්‍යාග කරන ලදී. එසේම මේතාක් ලංකා ඉතිහාසයේ කොත්වහන්සේ
නමකට පලඳවන අඟල් 21 උසැති විශාලතම චූඩා මානික්‍ය, පැල්මඩුල්ලේ ආනන්ද
ජේම්ස් අධිපති තිස්ස ආනන්ද මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
මෙම ස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ මූලික අදියර ලෙස 2003 මාර්තු
22 දා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හා රුවන්වැලි මහා සෑ
විහාරාධිකාරි නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන
නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්
එහි රෝපණය කෙරුණි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් පළවෙනි අදියර ලෙස සැලකෙන
චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට චූඩාමාණික්‍ය දක්වා උඩ කොටස නිමකර
කොත්වහන්සේ නිරාවරණය කිරීම සඳහා රුපියල් මිලියන දහයක් ලබාදීමට ද එකඟ වී
ඇත. එතුමා විසින් එම ආධාර මුදලින් රුපියල් මිලියන පහක් ඩී.ඒ. රාජපක්ෂ
පදනමෙන් 2006.05.08 දින මහවැලි සංස්කෘතික පදනම් භාරයට පරිත්‍යාග කරන
ලදී. තවද ඉතිරි රුපියල් මිලියන පහ ජනාධිපති අරමුදලෙන් ලබා දීමට කටයුතු
සලසා ඇත.
කුමන ආර්ථික දුෂ්කරතා පැවතියද, කුමන සතුරු තර්ජන පැවතිය ද එදා අපේ රජ
දරුවන් සම්බුද්ධ ශාසනය රැකගත්හ. අහස පරයමින් වෙහෙර බැන්ද වූයේය. එදා
අපේ මුතුන් මිත්තෝද එවැනි සුවිශාල නිර්මාණයන්ට දාඩිය වැගුරුවේය. ඔවුන්
ඒ සඳහා විඳී දුක් වේදනා අපමණ වන්නට ඇත. නමුදු ඒ සියල්ල කළේ සිතේ වූ
අපමණ සතුටිනි, ශ්‍රද්ධාවෙනි. එසේම ඔවුන් එදා එසේ සිදු කළේ මතු ආත්මයේ
යහපැවැත්ම සඳහා පමණක්මද? නැත.
ඔවුන් එදා අප ගැනද සිතුවේය. තම අනාගත මතු පරපුරට සම්බුද්ධ ශාසනයේ
නාමයෙන් වඳීන්නට පුදන්නට කියා දෙයක් ඉතිරි කොට ඔවුන් එදා සතුටින් මිය
ගියේය. අප අද වඳීන්නේ පුදන්නේ ඒවා නොවේද? සම්බුදු දහම යනු ගොඩනැගිලි
වෙහෙර විහාර නොවූනද එය පවත්වා ගෙන යාමටත් පරපුරකින් පරපුරකට දායාද
කිරීමටත් එවැනි දෑ අත්‍යාවශ්‍ය වූ අංග වේ.
රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය , මිරිසවැටිය වැනි දාගැබ් අහස
පරයා නැගී සිටින විට අපි අපේ කම යනුවෙන් අද ලොවටම හඬ ගා කියනුයේ ඒවා
ගැන නොවන්නේමු ද? මඳක් බුද්ධිමත්ව සිතන්න. අප හෙට ඉපදෙන අපේ මතු පරපුරට
සම්බුද්ධ ශාසනයේ නාමයෙන් වඳීන්නට පුදන්නට ඉතිරිකර ඇත්තේ කුමක්ද? වසර
1700 කට පෙර සිට අද දක්වා තවම අහස පරයා නැගී සිටීමට සමත් සුවිශාල වූ
දාගැබක් අප අංග සම්පූර්ණව තවම නිර්මාණය කර නැත්තෙමු.
ගෙවුණු කාලවකවානුවේදිත් අදත් අපේ රට විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන බව
සත්‍යයකි. නමුත් වැහි වලාකුළු යටින් දිවෙන රිදී රේඛාවක් විලසින්
කොත්මලේ මහවැලි සෑ වහන්සේ අප අභිමුඛව වැඩ සිටී. එම සෑ රදුන් වහන්සේට
අහස පරයා නැගී සිටුවීමට , කුමන බාධක පැවතියද ඔබේ අනාගත පරපුර වෙනුවෙන්
සිතා ඔබේ දෑත් ද එක්කොට මේ කාර්යය තවත් ශක්තිමත් කිරීමට උර දිය යුතුව
ඇත.
මෙම දැවැන්ත කාර්යයේ පළමු අදියරේ වැඩ කටයුතු නිම කිරීම සඳහා රුපියල්
මිලියන 15 ක් පමණ වැය වන බැව් ගණන් බලා ඇත. පළමුවෙනි අදියර ලෙස සැලකෙන
චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට කොත්කැරැල්ල දක්වා උඩ කොටස නිමකර
කොත්වහන්සේ නිරාවරණය කර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමේ
දිනය නම් වැඩි ඈතක නොවන්නේය. එහෙත් දෙවෙනි සහ තෙවෙනි අදියර නිම කිරීම
සඳහා රුපියල් මිලියක 203 ක් පමණ වැය වේ. දෙවන අදියර ලෙස සැලකෙන
චෛත්‍යයේ පහළ වාහල්කඩ දෙක, සලපතල මළුව, වැලි මළුව සහ ගොඩනැගිලි
සංකීර්ණය ඇතුළු අංගෝපාංගයන්ගෙන් සැදුම් ලත් වැඩ කොටස සඳහා අවශ්‍ය මුදල්
ප්‍රතිපාදන සපුරා ගැනීමට හැකි වුවහොත් වසර 02 ක් ඇතුළත එනම් වර්ෂ 2010
ට පෙරාතුව මෙහි වැඩ කටයුතු නිමකර ගැනීම මහවැලි සංස්කෘතික පදනමේ ඒකායන
බලාපොරොත්තුව වී ඇත.
ඔබේ අනාගත පරපුර වෙනුවෙන් සම්බුද්ධ ශාසනයට කළ හැකි මහත් පුණ්‍ය කර්මයක්
ඇත. එනම් ඔබට හැකි පමණින් එනම් රු 100 කින් හෝ මේ උතුම් පුණ්‍යකර්මය
සඳහා ආධාරයක් කිරීමට ඉදිරිපත් වීමය.
ඔබ මේ සඳහා අවම වශයෙන් රුපියල් 100 කින් හෝ දායක වන්නේ නම් එය අනාගත
පරපුර වෙනුවෙනුත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙනුත් ඔබ කළ මහා
අනර්ග ආයෝජනයක් වනු නොඅනුමානය .
මහවැලි මහා සෑයේ වැඩ කටයුතු නොපමාව අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා මහවැලි
අධිකාරිය සියලු ලක්වාසීන්ගේ ආධාර පතයි “ බඳිමු, වඳිමු, පුදමු, මහවැලි
මහ සෑ” යන තේමාව යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක වේ. මහවැලි සංස්කෘතික
පදනම් භාරයේ කොළඹ ව්‍යාපෘති කාර්යාලයෙන් සහ කොත්මලේ මහවැලි සෑ වැඩබිම්
කාර්යාලයෙන් අරමුදල් එක්රැස් කිරීමට කටයුතු කරයි. මේ සඳහා කරන ආධාර
මුදල් මහවැලි සංස්කෘතික පදනම් භාරය හා කොළඹ 10, හයිඩිපාක්හි ලංකා
බැංකුවේ අංක 0002327570 දරන ගිණුමට බැර කළ හැකිය. එසේම මහවැලි මහා සෑය
ව්‍යාපෘති සංකීර්ණ පිළිබඳ සියලු විමසීම් කොළඹ 07, අංක 96, ආනන්ද
කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේ පිහිටා ඇති මහවැලි
මහා සෑ ව්‍යාපෘති කාර්යාලයෙන් ලබා ගත හැකිය. දේශීය විදේශීය දායකත්වය
පහසු කරනු පිණිස W W W. mahaweli .gov. lk යන වෙබ් අඩවියෙන්ද මෙහි
තොරතුරු ලබාගත හැකිය.
මෙම විසිඑක් වැනි සියවසේදී සිරිලක ඉදිවන විශ්ව කර්ම නිර්මාණය වන්නේ
කොත්මලේ මහවැලි මහා සෑයයි. රුවන්වැලි මහාසෑයට පමණක් උසින් අඩි දෙකකින්
අඩු කොත්මලේ මහවැලි මහා සෑය ඉදිකිරීමේ පුණ්‍යකර්මයට සැදැහැති ඔබද දායක
වී ලාංකේය අනන්‍යතාවය හා සම්බුදු දහමේ නිර්මල වූ පණිවිඩය ලොවටම හඬගා
කියන්නට ශක්තියක් වන්න .
මෙම ලිපිය සම්පාදනය කිරීමේදී තොරතුරු ලබාදුන් ජනමාධ්‍ය හා තොරතුරු
අමාත්‍යාංශයේ ලේකම් ඒ දිසානායක මහතාට විශේෂ ස්තුතිය |