තමිල්නාඩුවේ කාංචිපුරම් බුද්ධවේඩු පුණ්‍ය භූමිය
රොහාන් එල් ජයතිලක
බුද්ධවේඩු සමාධි විහාරයට කරඬුවක් පූජා කළ අවස්ථාව,
මුදලක්කුලියේ රතනජෝති නා හිමියන් ඇතුළු පිරිසක් ද සේයාරුවේ
වෙති.
|
බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් සියවසකට පසු විශාලා මහනුවර
වජ්ජිපුත්තක යන නිදහස් මතධාරී භික්‍ෂු පිරිසක් දෙවැනි සංගායනාවක්
පවත්වා විනය නීතීන්ට පටහැනි විනය සංශෝධන දහයක් පැනවූහයි කියැවේ. එනම්
1. භික්‍ෂුවක් ආහාර වලට ලුණු යෙදීම අඟක ලුණු ගෙනයෑම, 2. මධ්‍යහ්නයෙන්
ඇඟිලි දෙකක් තරම් කාලයක් වේලා මාපකයේ සඳහන් වූ විට ද දානය වැලඳීම, 3.
දවල් දානයෙන් අනතුරුව ග්‍රාමයකට වඩින භික්‍ෂුවට එහිදී දෙවැනි වරටත්
දානය වැලඳීම, 4. එක් ප්‍රදේශයක වැඩ සිටින භික්‍ෂූන් උපෝසථ දිනයේ වෙන්
වෙන්ව විනය කර්මයට රැස්වීම, 5. ගණ පූර්ණයක් රහිත සංඝ සභාවකදී නොපැමිණි
අය එකඟ වනු ඇතැයි විශ්වාසය මත තීරණය ගැනීම, 6. ගුරු හිමියන් අනුගමනය
කිරීම ශිෂ්‍ය හිමියන් ගේ ක්‍රියාවනට බලයක්ම ඇති බව, 7. උකු නොවූ කිරි
සවස් කාලයේ පානය කිරීම, 8. සුරා බවට පත් නොවූ මීරා පානය කිරීම, 9.
වාටියක් නොමැති නම් භාවිතා කරන පැදුරට දිග පළලක් නොමැති බව සහ, 10.
භික්‍ෂූවක් රන් හා රිදී බාර ගැනීම මෙම සංශෝධන සියල්ල පාචින්තයට
පිළිවෙළින් 38, 37, 35, 51, 89 සහ මහා වග්ග ධ්ධ් 8, 3 හාධ්ඔ3, 5 සහ
නිස්සග්ගිය 18 ට පටහැනි බැව්, සංගයනාවේ සභාපති රේවත හිමියන් වදාළ අතර
ඉන්පසු භික්‍ෂු සංඝයා නිකාය 18 කට කැඩවූහ. පසුව එම කොටස් මහාසංඝික හා
ස්ථවිරවාද යන කොටස් දෙකට කැඩී මහා සංඝික පිරිස් ඉන්දියාවේ උතුරු පෙදෙසට
සංක්‍රමණය වී පසු මහායාන නමින් ප්‍රසිද්ධ වූ අතර දකුණු ඉන්දියාවට
සංක්‍රමණය වූ ස්ථවිරවාදීහු ථෙරවාදී නම් වූහ.
එම ථෙරවාදී භික්‍ෂූන්ගේ එක් මූලස්ථානයක් වූයේ තමිල්නාඩුවේ කාන්චිපුරම්
දිස්ත්‍රික්කය යයි. දැනට මුදලක් කුලියේ රත්නජෝති නා හිමියන් පිහිටුවා
ඇති බුද්ධවේඩු බෝධි ධර්ම භාරකාරත්වය යටතේ 2003 සැප්තැම්බර් මස 07 වෙනි
දින බුද්ධවේඩු සමාධි බුද්ධ විහාරය උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ලදී. එම
විහාර භූමිය පිහිටා ඇත්තේ චෙන්නායි (මදුරාසිය) මහා බෝධි සංගම
මූලස්ථානයේ සිට (එග් මෝර් සිටි) පෝරූර් මංසන්ධියේ සිට කුන්රතූර් නගරය
දෙසට කිලෝමීටර් 7 ක් දුරින් පිහිටි කට්ටලෙයි බස් නැවතුම් පොළ සිට
කිලෝමීටර් භාගයක් පමණ දුරින් පිහිටි බුද්ධවේඩු නම් වූ නව විහාරයට ළඟා
විය හැකි ය.
උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාව මෙන් අතීතයේ දකුණු
ඉන්දියාවේ බුද්ධ ගයාව බුද්ධවේඩු විය. බුද්ධවේඩු යනු බුදුගමය. ඈත අතීතයේ
මේ ගම සුප්‍රසිද්ධ බොදු දනව්වකි. අවට ඓතිහාසික බෞද්ධ ගම් වශයෙන් පැවැති
මාංගාඩු, පට්ටු මාංගාඩු, කොචූර්, කුනර්තූර්, පල්ල වරම් මුන්රාම්
කට්ටලෙයි වෙති.
මාං ගන්ඩු සහ පල්ලඑරම් බොදු ගම්මාන ලෙස හඳුනා ගැනීමට පුරාවස්තු
රාශියකි. පල්ලා එරම් හි රහතන් වහන්සේලා වැඩ සිටි ගුහා ඇත. ආශෝක රජතුමා
ක්‍රි.පූ. තෙවැනි සියවස යවන ලද ධර්මදූත පිරිස් නවයෙන් එක් පිරිසක්
මහිම්සක මණ්ඩල යන පෙදෙසට මහා දේව හිමියන් ප්‍රමුඛ සඟරුවනින් පිරිසක්
යවා ඇත. එම ප්‍රදේශය දැනට දකුණු ඉන්දියාවට අයත් අන්ද්‍රා කර්නාටක සහ
ඩෙකාන් ප්‍රදේශයන් මෙන් මෙම බුද්ධවේඩු පෙදෙසද එම ධර්මදූත සේවයට අයත් වූ
පෙදෙසකි. මාගංඩුවේ තිබී කැනීම් වලින් සොයා ගත් බුද්ධ ප්‍රතිමාවක් දැනට
චෙන්නායි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. රෙන්ඩාන් කට්ටලෙයි, මුන්රාම්
කට්ටලෙයි යන නාමවල කට්ටලෙයි යනු රාජ නියෝග මත විහාරයනට පූජා කළ
විහාරගම් ය. මෙම ග්‍රාම දෙක මධ්‍යයේ බුද්ධ වේඩු පිහිටීමෙන් පසක් වනුයේ
එහි තිබූ විශාල විහාරයකට මෙම විහාර ගම් පූජා කළ බවයි.
මෙම ග්‍රාමයේ තිබී සොයාගත් දැනට චෙන්නායි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති
ශිලා ලේඛනයේ සඳහන් වනුයේ තන්ජාමූර් රාජධානියේ පළමුවැනි රාජ රාජ චෝල
රජතුමා විසින් ක්‍රි.ව 10 වැනි සියවස එම ගම්මානය විහාර ගමක් ලෙස එහි
විහාරයට පූජා කළ බවයි. ක්‍රි.ව. සත්වැනි සියවස ඉන්දියාවේ වන්දනාවට
පැමිණි චීන ජාතික හියුසෑං හිමියන් සිය දේශාටක වාර්තාවේ සඳහන් කරනුයේ
බුදුරජාණන් වහන්සේ කාංචි පුරයට වැඩම කළ බැවින් ශ්‍රී බුද්ධ ධාතූන්
වහන්සේලා තැන්පත් කර එහි අශෝක රජතුමා ඉදිකළ අඩි 100 ක් උසැති ස්ථුපය
තමා වන්දනා මාන කළ බවයි. තවද උන්වහන්සේ සඳහන් කරනුයේ නාලන්ද
විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛාචාර්ය ධර්මපාල කාංචිපුර වැසියකු බවය.
බුද්ධවේඩු ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා තුනක් හා බෝධි වෘක්‍ෂ තුනක් තිබූ
බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන්වෙයි. වර්ෂ හතළිහකට පමණ පෙර බුද්ධවේඩු
ගම්මානයේ මඩ වගුරකින් සොයාගත් සමාධි බුදු පිළිමය දීර්ඝ කාලයක් තුළ
කිසිවකුගේ අවධානයට යොමු නොවී ය. 2002 දී මුදලක් කුලියේ රතනජෝති නා
හිමියනට එම බුද්ධ ප්‍රතිමාව පිළිබඳ දැන ගැනීමට ලැබී චෙන්නායිහි
විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයා ගම් මහතා සමඟ බුද්ධවේඩු ගම්මානයට
ගොස් ප්‍රතිමාව දැක බලාගෙන චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති
ශ්‍රී ලංකා හා ඉන්දියානු බෞද්ධයන් සමඟ සාකච්ඡා කර 2002 සැප්තැම්බර් 17
වැනි දින අනගාරික ධර්මපාලතුමාගේ උපන් දින සමරුවේ දී බුද්ධවේඩු
ගම්මානයේම එම සමාධි බුද්ධ ප්‍රතිමාව වඩා සිටුවා විහාරයක් තැනීමට ස්ථිර
නිගමනයකට එළැඹිණි. අවශ්‍ය පිරිවැය දායක ඟභකාවන්ගෙන් බුද්ධාලම්භන
පී‍්‍රතියෙන් ලැබුණ අතර එම සමාධි බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයක් සහිත
2003 වර්ෂයේ දින දර්ශනයක් ද නිකුත් කරන ලදී. ඉන් ඉක්බිතිව සමාධි බුද්ධ
ප්‍රතිමාව බුද්ධවේඩුහි වඩා සිටුවා, 2003 මැයි මස 11 වැනි දින විහාර
තැනීම් කටයුතු සඳහා බුද්ධවේඩු බෝධි ධර්ම පදනම පිහිටුවාලූ අතර මෙම
ලේඛකයාම ඩේලිනිවුස් පත්‍රයේ පළ කළ එම පදනම ගැන දීර්ඝ විස්තරය විදේශීය
වෙබ් අඩවිද පිටපත් කර විදේශ ආධාරද ලැබී ඇත. දැනට ශීඝ්‍රයෙන් විහාර
තැනීම් කටයුතු සිදුවෙමින් පවතින අතර බුද්ධවේඩු ගම්වැසියන් නැවත
බෞද්ධයන් වී ඇත. |