බෝලියද්දේ මේධානන්ද ලොකු හාමුදුරුවෝ
අධිකරණ සංඝ නායක, විශ්‍රාමික පරිවේණාධිපති,
බෝපිටියේ සුමනවංශ හිමි
බදුල්ලේ මයිලගස්තැන්නේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අධිපතිව වැඩ සිට අපවත්
වී වදාළ සද්ධර්ම කීර්ති ශ්‍රී බෝලියද්දේ මේධානන්ද ලොකුහාමුදුරුවන්
වහන්සේ පරමාදර්ශී භික්‍ෂු ජීවිතයක් ගත කළ උතුම් සංඝ පීතෘන්වහන්සේ නමක්
වූහ. උන්වහන්සේ අපවත්වීමෙන් දස වර්ෂ අනුස්මරණීය පුණ්‍ය මහෝත්සවය ජනවාරි
27, 28, 29 දිනවල සිදු කිරීමට විහාරස්ථ දායක සභාවත් මහා ප්‍රජාපතී
කාන්තා සමිතියත් කටයුතු සංවිධානය කර තිබිණි.
මහින්දාගමනයෙන් පසු සිරිලක බෞද්ධ රටක් වූ තැන් සිට මෙරට බෞද්ධ
ශිෂ්ටාචාරයත් සභ්‍යත්වයත් සදාචාරයත් ආරක්‍ෂා වූයේ සිල්වත්, ගුණවත්,
නැණවත්, බහුශ්‍රැත, ධර්ම, විනයධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න සංඝ සෝභන ගුණ
විභූෂිත මහ තෙරුන්වහන්සේ නිසා ය.
උන්වහන්සේගේ පරමාදර්ශී වූ, සරල වූ නිවැරැදි වූ, විශිෂ්ටවූ, වත්පිළිවෙත
මෙන්ම මග පෙන්වීමත් තුළින් මෙරට බෞද්ධ ජන ජීවිතය අර්ථවත් වූයේ ය.
දැහැමි වූ දිවි පෙවෙත සෙසු ජන කොටස් අතරටත් ආදර්ශ සම්පන්න විය. ස්වකීය
සහෝදරත්වය, සමානාත්මතාව, සහජීවනය, සදාචාරය, සභ්‍යත්වය, අවංකභාවය සහ
අව්‍යාජත්වය මෙන්ම නිර්ලෝභිභාවය ආගන්තුක සත්කාරය මානව දයාව, කරුණාව,
මෛත්‍රිය වැනි ශ්‍රේෂ්ඨ මානුෂික හැඟීම් සුරක්‍ෂිත විය. මෙබඳු මාහැඟි
සංකල්පනාවන්ගෙන් පෝෂිත වූ මහ තෙරුන් වහන්සේගේ වියෝවීම සමස්ත සිරිලකට
බලවත්ම පාඩුවකි.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ත්‍රිලක්‍ෂණ ධර්මතාවන් තුළ සුජීවත් වන
නැණවත් බෞද්ධයා ධර්ම සංවේගය උපදවාගෙන අතීතයට යමින් වැසී යන
සදානුස්මරණීය ශ්‍රේෂ්ඨ පරම පූජනීයත්වය මතු කර අනාගතයට ප්‍රදානය කිරීමට
යම් ප්‍රයත්නයක් දරන්නේ නම් එය මුළු මහත් සමාජයට සිදු කරන අනූපම
මෙහෙයක් බව නැනතියන් අතිශයින්ම ප්‍රසංසාත්මකව සතුටින් පිළිගනු ඇත.
වියළුව ඔය පළාත කෝරලේ නාගොල්ල වසමේ තල්දෙන බෝලියද්ද ගම් පියසෙහි දී
1921 මාර්තු 17 දින දිසානායක මුදියන්සේලාගේ තිසාහාමි සහ රත්නායක
මුදියන්සේලාගේ මුතුමැණිකා යන දම්පතීන් හට දාව ජනිතව හැදී වැඩී 1932
සැප්තැම්බර් 30 වැනි දින කැටවත්ත ශ්‍රී සුදර්ශනාරාමයේ දී එවකට වැඩ සිටි
මීගස්පිටියේ සීලානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් ද, මැටිගහතැන්නේ
සුමනතිස්ස මහ තෙරුන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ද, ප්‍රවෘජ්‍යා භූමියට
ඇතුළත්ව මූලික අධ්‍යාපනය බදුල්ලේ කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද මහ
පිරිවෙනින් ලැබ උසස් අධ්‍යාපනය කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින්
එහි අවසානය දක්වාත් ශාස්ත්‍රොග්‍රහණය කර 1941 මැයි මස වෙසක්පුර
පසළොස්වක් පොහෝ දින බදුල්ලේ හිඳගොඩ මහාතපෝධනාරාමස්ථ සුවිශුද්ධ බද්ධ
සීමා මාලකයේදී, උපසම්පදා සීලයෙහි පිහිටා දිඹුගහගෙදර ඤාණවිමල
ස්වාමීන්ද්‍රයන් වහන්සේ අන්තේවාසිකව ශාසනික ජාතික කුදු මහත් සේවය සිදු
කිරීම සමාරම්භ කළහ.
පරමාදර්ශී පැවිදි ජීවිතයකට පිවිසුණු බෝලියද්දේ මේධානන්ද හිමි නව යොවුන්
වියෙහිදීම බැතිබරව, ශික්‍ෂාගරුකව, ධර්මගරුකව, විනයගරුකව, සුපේශල
ශික්‍ෂාකාමීව ධර්මධරව බහුශ්‍රැතව ස්වකීය සහෝදර දිඹුල්ගහගෙදර ඤාණවිමල මහ
තෙරුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනික සේවයට උර දෙමින් සිරිලක විවිධ
පළාත්වල සමාරම්භ කළ භාවනා අසපුවල වැඩ වසමින් බොදු ජන හදවත්වල බැතිබර
ශාන්ත වූ ප්‍රණීත වූ සදහම් සිතිවිලි ජනිත කරමින් සිදු කළ අනූපම සේවය
ප්‍රසාදජනක ලෙස මල්පල ගැන්විණි . ආමිසයට ගිජු නොවී උතුම් ධර්මයට දායාදව
සිදු කළ සේවයට උපහාර කොට පිදූ අක්කර 12 න් යුත් ගොඩනැගිලි සහිත පොල්
ඉඩමක් වූ පිටදෙනියේ යෝගාශ්‍රමය පූජා ඔප්පුවකින් පවරා දී තිබියදීත්
ස්වකීය නමින් රක්‍ෂණය කර පවරා දී තිබූ වාහනයද ඇලීමෙන් තොරව වෙනත්
හිමිනමකට පරවන්නට කාරුණික වීමෙන් ප්‍රකට කළේ උන්වහන්සේගේ පාරිශුද්ධ වූ
සරල වූ අපිස් ප්‍රවෘජ්‍යාවේ පරිත්‍යාගශීලී වූ ශාන්ත වූ නිවුණු මනසෙහි
අසිරිමත් භාවයයි.
එපමණක් නොව සඟ පරපුරෙන් තමන් වෙත පවරා තිබූ කුඹුරු ඉඩකඩම් සහිත වූ
කැටවත්ත ශ්‍රී සුදර්ශනාරාමයත් කරඳගහමඩ පුරාණ විහාරයත් ස්වකීය සඟ පරපුරේ
සහෝදර භික්‍ෂු පරපුරට නිර්ලෝභීව පවරා බැඳීම් වලින් නිදහස් කර ගත්
ස්වකීය මානසික චින්තනය ඔපවත් කර ගනිමින් ඉතරිතරෙනචීවර සන්තුටඨතා
ගුණයෙනුත් පිණ්ඩපාත සේනාසන ගුණයෙනුත් භාවනා රාමතාය ගුණයෙනුත් පෝෂිත
වූයේ උතුම් පරමාදර්ශීය තම ජීවිතය තුළින් භික්‍ෂු සංස්ථාව තුළ රෝපණය
කිරීම උතුම්කොට සැලකූ නිසා විය යුතු ය.
ආමිසයට ගිජුව නීතියේ පිහිට සොයමින් භෞතිකය උරුම කරගත් භික්‍ෂු ජීවිතයක
නිසරු බව ප්‍රත්‍යක්‍ෂ කර ගත් මේ යතින්ද්‍රයන් වහන්සේගේ මේ අපිස්
නිර්ලෝභී ජීවිත පියසටහන් පිරිහෙමින් පවතින ගිහි පැවිදි සමාජයට නොපෙනීම
අතිශයින්ම කනගාටුවට කරුණකි.
තමන්වෙත පැමිණි ගිහි පැවිදි උපාසක උපාසිකාවන් පමණක් නොව පැල්පතේ
දිළින්දාත් මන්දිරයේ ප්‍රභූවරයාත් සමසිතින් පිළිගැනීමට තරම් ප්‍රභාශ්වර
වූ උපේක්‍ෂා සිතක් උන්වහන්සේ තුළ පැවතුනේ පූර්ව කෘත කුසල බලයත්, සේක
බලයත්, භාවනා බලයත් නිරිතුරුව වැඩුණු නිසා විය යුතු ය.
ස්වකීය පැවිද්ද අනුන් සඳහාය “පරපටිබද්ධා මේ ජීවිකාති” යන බුදු වදනට
අනුවම තම ජීවිතය ගෙවමින් ආරාමික පරිසරයේ පැවතුනු ඌනතා සපුරාලමින් ඒ
සඳහා කැපවීමෙන්ම “පරිත්ථං පටිජ්ජථ” පරාර්ථය සඳහා යෙදෙව් යන බුදු
පිළිවෙත අගය කරමින් ඒ සඳහා ගත සිත වෙහෙස කර රෝහල් සේවය (බණ පිරිත්
දේශනා) දහම් පාසල් සේවය, සමාජ සේවය, ආගමික සේවය සිදු කළේ
නිස්සරණධ්‍යාසයෙනි.
තමන් වහන්සේගේ ඇවෑමෙන් ආරාමික පරිසරයේ අනාගත පැතුම් ඉටු කිරීම උතුම්
කොට අගය කළ මේ ශ්‍රේෂ්ඨ සිල්වතුන්වහන්සේ රටට දැයට සමයට පිරිමැහෙනසේ
වියත් ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමටද අමතක නොකළහ. ශාස්ත්‍රපති වතු පිටියේ
ඤාණානන්ද හිමි වර්තමාන විහාරාධිපතින් වහන්සේ ය. විවිධ කුසලතා පූර්වකම
සුවිශාල ශාසනික සේවයකට පිවිසී වැඩ වසති. ඌව අමරපුර නිකායේ ශ්‍රී
සුධම්වාදිනී කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරීන් වහන්සේත් උන්වහන්සේ ය.
කිරින්දේ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති විද්‍යාසාර, නියෝජ්‍ය
පරිවේණාධිපති මොරතිහ තිලකසිරි ස්ථවීර, බදුල්ලේ කයිලගොඩ ශ්‍රී
සද්ධර්මානන්ද පරිවේණාධිපති තලගහගෙදර රතනසිරි ස්ථවිර, පාලාවත්තේ
සේනානන්ද ස්ථවීර, බදුල්ලේ කයිලගොඩ ශ්‍රී සද්ධානන්ද පිරිවෙනේ ආචාර්ය
ශාස්ත්‍රපති සුගතානන්ද ස්ථවිර, කහටරුප්පේ විදුහලේ ආචාර්ය කහටරුප්පේ
විමලකිත්ති ස්ථවිර, මාතර කඹුරුපිටියේ විද්‍යානිකේත පිරිවෙන් ආචාර්ය
කැන්දගොල්ල ගුණරතන ස්ථවිර බ/සද්ධර්මානන්ද පරිවේණාචාර්ය මහකුඹුරේ
පදුමසිරි ස්ථවිර ඇතුළු ගිහි ශිෂ්‍යයන් පිරිසක් ද උන්වහන්සේගේ
අන්තේවාසිකව විවිධ පළාත්වල ජාතික හා ශාසනික හා ආගමික සේවයේ යෙදී
සිටිති.
අලුයම 3.30 ට අවදිව වත් පිළිවෙතෙහි යෙදී බවුන් වැඩූ දිනකට තෙවරක්
බැතිබරව බුදු සිරිපා වන්දනා කළ ස්වකීය දායක පිරිසේ කුදුමහත් කටයුතු
කෙරෙහි මෙත් සිත පෙරටුව සොයා බැලූ උන්වහන්සේ සමස්ත මානව සමාජයේ උන්නතිය
පිණිස සිය ජීවිතය කැප කළ සංඝ පීතෘන්වහන්සේ නමක් වූහ. සංඝ සමාජයේ
සදාදරයට පාත්‍ර වූ උන්වහන්සේ සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරවෝපාධියෙන් ද
සම්මානිත වූහ.
ශ්‍රී සුධර්මවාදිනි කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සභික සාමාජිකත්වය ලැබ
උතුම් ශාසනික මෙහෙයකට උරදී බැතිබර සිතින් ස්වකීය වගකීම් අවංකව අව්‍යාජව
සිදු කළත් වෙනත් ශාසනික නිල තල ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී සුධර්මවාදිනි
කාරක මහා සංඝ සභාව අදත් උන්වහන්සේගේ උදාර පිළිවෙතට නමස්කාර පූර්වක
ගෞරවය පුද කරයි. |