අභියෝග ජය ගැනීමට නම්...
සටන් විරාම ගිවිසුමෙන් රජය ඉවත්වීම, බුත්තල ප්‍රදේශයේ ජනතාවට
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර, උතුරේ ක්‍රියාත්මක වන දැවැන්ත හමුදා
මෙහෙයුම, ජනවාර්ගික ප්‍රශ්නය විසැඳීමට ඉදිරිපත් කළ දේශපාලන
යෝජනාවලිය, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වේගයෙන්
ඉහළ යෑම, ගුවන් හමුදා ප්‍රහාරයකින් කොටි නායකයා මිය ගියේ ද
යන්න, පාසල්වල පළමු වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමයෙහි
අවිධිමත් භාවය ආදිය මේ දිනවල බහුල ව සාකච්ඡා කැරෙන මාතෘකාවන්
ය. ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැටක් සපිරෙන විට රට හමුවේ ඇති
අභියෝග පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට මේ මාතෘකා බෙහෙවින් ඉවහල්
වනු ඇත. රට හමුවේ ඇති අභියෝග පිළිබඳ ව කතා කිරීමේ දී, නිදහස
ලබා ගත වූ වසර හැට පුරා රට පාලනය කළ දේශපාලනඥයන්ට පමණක් නො ව
අතීත යටත්විජිත ස්වාමීන්ට ද දොස් පැවැරීම සාමාන්‍ය සිරිත ය.
එ බැවින් මේ සමාජ පරිහානිය නිසි ලෙස වටහා ගැනීමට අප වෙහෙසිය
යුතු ය. ඒ සඳහා අතිශයින් ප්‍රයෝජනවත් වන කරුණු රාශියක්, කොළඹ
විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසූරිය ගේ
“විනයක් නැති රටක” නමැති කෘතියෙහි සාකච්ඡා කැර තිබේ. එම
කෘතියෙහි ඇතුළත් ‘විනයක් නැති රටක ජීවිත රෝගාතුර ය’ යන
ලිපියෙන් කොටස් කිහිපයක් උපුටා දක්වමු.
“රටේ සමාජ සංස්කෘතික ජීවිතයේ වැදගත් චරිත කවරේ ද? භික්‍ෂූන්
වහන්සේ පූජකයා, ගුරුවරයා, වෛද්‍යවරයා, සිවිල් නිලධරයා, යුක්තිය
පසිඳලන්නා, කලා කරුවා, ජනමාධ්‍යකරුවා ඒ අතර කැපී පෙනෙන චරිත
වෙති. මේ සෑම චරිතයක් ම අද බාල පරපුරට හෝ තරුණ පරපුරට හෝ
කවරාකාර යෙන් වත් පූර්වාදර්ශ නො සපයන චරිත බව පැහැදිලි ය.
පන්සලක උගත්, පණ්ඩිත භික්‍ෂූන් වහන්සේ නමක් දක්නට නැත.
පන්සල්වල සිටින බොහෝ තරුණ විහාරාධිපතීන් වහන්සේ ලා පන්සල්
භෞතික වශයෙන් දියුණු කිරීමට උත්සුක වෙති. අධ්‍යාත්මික සංවර්ධනය
ගැන දැනුමක් අවබෝධයක් නැති තරම් ය. යාන්ත්‍රික ලෙස පාංශුකූලය,
දානය ඇතුළු ආගමික වතාවත් ටික සිදු කිරීමට උත්සුක වී ඇති සේ ය”.
“අද දවසේ වෛද්‍යවරයාට සිදු ව ඇත්තේ කුමක් ද? වෙද මහත්තයාට තිබූ
ගෞරවයේ ම අභිමානවත් ප්‍රභාව රට වැසියන් ගෙන් වෛද්‍යවරයා වෙත
උරුම වූවකි. එහෙත් වෛද්‍යවරයා රෝගීන්ට සලකන්නේ තමා ගේ වහලුන්ට
සලකන ආකාරයට ය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්,
සිවිල් නිලධරුවන් අප ගේ අධ්‍යපන ක්‍රමය බිහි කැර ඇති නමුත්
හදවත් ඇති මිනිසුන් බිහි කිරීමට අප අසමත් වූ යේ කුමන හේතුවක්
නිසා ද? යුක්තිය පසිඳලන්නාට අත් වී තිබෙන ඉරණ ම කුමක් ද?
යුක්තිය හා සාධාරණත්වය ආරක්‍ෂා කිරීමට සිටින පුද්ගලයෝ මානව
සාරධර්ම උල්ලංඝනය කැරේ නම් සිවිල් පුරවැසියන් ගේ මූලික
අයිතිවාසිකම් සුරැකෙන්නේ කෙලෙස ද?”
“කලාකරුවා අද බඩු විකුණන්නකු බවට පත් වී සිටී. සිය ජනපි‍්‍රය
නම ඔස්සේ ‘සෙල්ස් රෙෆ්’ කෙනකු හා සමාන වී සිටින කලාකරුවෝ
මාධ්‍ය වලින් උඩ දමන කලා කරුවෝ නොවෙත් ද? ලේඛකයෝ, සාහිත්‍ය
කරුවෝ තම පැවැත්ම ගැන වඩාත් පරිස්සම් වෙති. සමාජ දේශපාලන
ක්‍රියාවලියට අභියෝග කිරීමට පසුබට වෙති.”
“ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තරම් විපරිත වූ ක්‍ෂේත්‍රයක් අද නැති
තරම් ය. විද්‍යුත් මාධ්‍ය සම්පූර්ණයෙන් ම දරුවා ගේ සිට මහල්ලා
දක්වා පාලනය කිරීමේ වගකීම පවරාගෙන ඇත.”
නිදහස ලබා වසර හැටකට පසු අප සමාජයේ තත්ත්වය මෙයයි. මේ තත්ත්වය
වෙනස් කළ හැක්කේ කෙසේ ද?
අප සමාජය හමුවේ ඇති මූලික ප්‍රශ්නය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් බව
පැහැදිලි ය. නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරය මුහුණ පා සිටින මේ
ගැටලුව විසඳා ගැනීම සඳහා අපට ඇත්තේ එක ම මාර්ගයකි. පන්සිල්
රකින සමාජයක් බිහි කිරීම හැර ඊට වෙනත් විකල්පයක් නැත. |