UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් ස්වර්ණ මාලි මහා සෑ ඉතිහාසයෙන්...

මෙම මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සතර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩසිට බුද්ධකෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඬලෙන් උපන් ක්ෂීණාශ්‍රව මහ රහතන් වහන්සේලා විසින් , ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මඟින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩ ව, අවිච්ඡින්න ව, පාරිශුද්ධ ව පවත්වාගෙන එන ලද්දේ ය.

එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහරහතන් වහන්සේලා විසින් ධර්ම සංගායනා මඟින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනූභාව සම්පන්න ව බැබලෙමින් පවතින කල්හි යළිත් එයට අනතුරු පහළ වූ වි ධර්මාශෝක අධිරාජයා ගේ සහායයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවෙන් යළිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුළ පතුරුවා හැරීමේ පරම පිවිතුරු හැඟීමෙන් යුතු ව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.

එහිදී අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ නිකෙලෙස් ළය මඬලෙහි උපන් බුදු පුතුනුවන් වහන්සේ නමක් වූ හැම කල්හි පිවිතුරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහ රහතන් වහන්සේ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමඟ මෙම ශ්‍රී ලංකාවට එවා වදාරණ ලද්දාහු ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරන ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අප ගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකවත් වූයේ ය.

උතුම් බුදු සසුන රක්ෂිත ව ගෝපිත ව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත් ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථිය පිණිස ම වන්නේ ය.” කියා ලක්දිව ඒකඡත්‍ර කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඬුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇති එක්තරා අනාගත වාක්‍යයක් කියන්නට ලැබුනේ ය.

එය වනාහි දෙවනපෑතිස් රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද අනාගත වාක්‍යයකි.එනම් “පින්වත් මහරජාණෙනි, තොප ගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. “එමෙන් ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නොයෙක් මාණික්‍යන්ගෙන් විභූෂිත වූ නවමහලින් සුසැදි ලෝවාමහප්‍රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය.” මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණී අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතු ව පී‍්‍රතියෙන් උද්දාම ව අත්පොලසන් දුන්නේ ය. ඉක්බිති මහමෙව්නා උයනට රහතුන් වහන්සේලා ප්‍රධාන භික්‍ෂු සංඝයා රැස් කරවා “පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලා ගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා”.

එකල්හි භික්‍ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහුය. එහිදී භරණී නම් දෙව් දුව ගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැකගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේ ද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනි ව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳ ව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතොමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශනීය වූ දිව්‍ය විමානයක උපන්නා ය.

එකී දිව්‍ය විමානයෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හි දහසක් දෙවඟනන් විසින් පිරිවරන ලද්දීය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යමය දිව්‍යප්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කුටාගාර දහසකින් සැරසුනේ ය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වුයේ ය.

සීහපංජරකාවාට නමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූශිත වූ අම්බට්ඨික නම් වූ ප්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුව ගේ ප්‍රාසාදය දැක ගන්නට ලැබුණි. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය වස්ත්‍රයක සටහන් කොට භික්‍ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක.

එකල්හි එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින් ම පැහැදී නවමහල් ලෝවාමහාප්‍රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පත්වා අපමණ පී‍්‍රතියට පත් වූයේ ය. ඉක්බිති දුටුගැමුණු නිරිඳුන් ලක්‍ෂයක් රන් කහවනු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියන්නට ලැබුණේ ය. එහි සඳහන් වූයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍ය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.

එකල්හි පී‍්‍රතිප්‍රාමෝද්‍යයෙන් යුතු රජතුමා එදින රාත්‍රියේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. “මම් වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ! එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදුවලින් නො පෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි” සිතමින් සිටියේ ය.

එකල්හි මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව එකරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථූපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ “එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන් ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි” පවසා සිටියේ ය.

පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගැඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්තප්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන් ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තන්හි ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහු ය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහු ය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියලු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.

අනුරපුරෙන් නැගෙනහිර දිශායෙහි සත්යොදුනක් ගිය තන්හි මහවැලි ගඟෙන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහාසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතට යොදුනක් ගිය තන්හි සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තන්හි අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස්යොදුනක් ගිය තන්හි උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලු ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය.

අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියබෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියලු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වූයේ ය.

මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියලු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල් වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නො කරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන් ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත් ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමා ගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇය ගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිත ව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.

අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප්‍රාඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙනා කල්හි නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ

සියුම් මැටි සෘද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසුදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මග සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිඟු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියලු සිදුරු වැසෙන්නට ඒ මත නවතීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වූ ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුවක මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරියල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය.

මේ ආකාරයෙන් ගෞතම බුදුරජුන් කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතු ව අප ගේ දුටුගැමුණු මහරජාණන් ඒ රිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලි මහා චෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වා” යි ආදර බැතියෙන් යුතුව භික්‍ෂු සංඝයාට ඇරැයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද “පින්වත් ජනයනි, සෙට දිනයේ අප ගේ බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා” යැයි කියා සිටියේ ය.

ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මඟ දෙපස අලංකාර කරවා මහා විහාර භූමියට ඇතුලු වන නුවර සතර දොරටුවෙහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත්‍ර තබන ලද්දේ ය. ප්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වී සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප්‍රාප්ත වන කල්හි සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කන්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහරේ ඉදිරිපස ගමන් කලාහු ය.

ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබූ ක්‍ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක්දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්‍ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසබෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්‍ඛිත රහතන් වහන්සේ තිස් දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්‍ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත්‍ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තණ්ණ රහතන් වහන්සේ එක්ලක්‍ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්‍ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්‍ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ධ්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනූසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නො හැක්කේ ම ය.

මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිරිඳානෝ ශ්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව සුවඳ මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටවන බිමට පැමිණියාහු ය. ඒ බිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳීන ලද රිදියෙන් නිම වූ සීමා දණ්ඩ ගෙන චෛත්‍යය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේ ය. එහිදී එහි ප්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේ ය. නො පසුබට වීර්යය ඇති ශ්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දා වූ රනින් රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය.

එකල්හි දුටුගැමුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේ ය. අනතුරුව රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවා ය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයන් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණ මාලී මහා ස්ථූපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන් ගේ සිත් නිවන් මඟට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේත. ඒ දේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වූවාහු ය. දහසක් ගිහි ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහ අට දහසක් භික්‍ෂූන් වහන්සේලාද, දහ හතර දහසක් භික්‍ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වූවාහු ය.

මහාසෑයේ ධාතු ගර්භය කරවීම

ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමා ගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස දහඅට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය.

අනතුරුව දුටුගැමුණු මහ නිරිඳානන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් බැල්ම හෙළන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. “පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දර සෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමි යි” එම වඩුතුමා පැවසූ කල්හි නරේන්ද්‍ර තෙමේ අතිශයින් ම සතුටට පත් වූයේ ය.

සැදෑහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නො පෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේ දැයි සිත සිතා සිටින කල්හි ඒ ඒ දිනයට වුවමනා සියලු ගඩොල් දේවානුභාවයෙන් මහා සෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේ ය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින්ම සන්තෝෂයෙන් යුක්ත වූයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නො කළ යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒ ඒ දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත්‍රාභරණයන් ද ප්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විළවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ බෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය නිර්මාණය කරවන්නා වූ සියල්ලන්ට ම අනුකුල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.

දුරුතු
අව අටවක 

දුරුතු අව අටවක
පෝය ජනවාරි 29 වන දා
අඟහරුවාදා අපරභාග
09.20 ට ලබයි. 30 වන දා බදාදා අපර භාග 11. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 30 වනදා බදාදාය.

මීළඟ පෝය
පබරවාරි 06 වනදා බදාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]