UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම තේරුම් ගැනීමට බුද්ධිය තිබිය යුතුයි

ඇතැම් සූත්‍ර දේශනාවල මතුපිටින් පෙනෙන අර්ථයට වඩා පෘථුල අර්ථයක් එහි ඇතුළාන්තයෙන් පෙනෙන අවස්ථා පවතිනවා නේද?

බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක් ගත්තත්, ජාතක කථාවක් ගත්තත් මේ සෑම දෙයකම පිටත කථාවක් හා ඇතුළත කථාවක් තිබෙන බව බුද්ධිමත් පුද්ගලයකුට දකින්න පුළුවන්. එය පැහැදිලි කිරීමට මම බුද්ධ වචනයක් ඉදිරිපත් කරන්නම් ‘තථාගතප්ප වේදිතෝ භික්‍ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝධති නෝ පටිජ්ජන්තො’ මෙහි අර්ථය වන්නේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය හා විනය දෙක විවෘත වන්නේ නම් බබළයි. විවෘත නොවන්නේ නම් බබලන්නේ නැත යන්නයි. එහෙම නම් අප තථාගතයන් වහන්සේ වදාළ සූත්‍රවල ඇතුළත කථාවෙන් පෙන්නලා දෙන්නේ කුමක්ද කියලා දකින්න ඕනෑ.

මම නිදර්ශනයක් වශයෙන් ගන්නම් ධම්මපදයේ ප්‍රකීර්ණක වර්ගයේ පස් වැනි ගාථාව.

මාතරං පිතරං හන්ත්වා
රාජානෝ ද්වේ ච ඛන්තියේ
රටිඨං සා’ නුවරං හන්ත්වා
අනීඝෝ යාති බ්‍රහ්මණෝ

මෙහි පිට පැත්තේ කථාව ගත්තහම විමුක්තියට යන තැනැත්තා මවත් මරල පියත් මරලා, එවගේම ඛන්තිය රජවරු දෙදෙනාත් මරලා නගරයත් විනාශ කරලා විමුක්තියට යනවා කිව්වහම එය කොතරම් අසාධාරණ කථාවක්ද? එයට හේතුව මව මරන්න කියනවා. පියා මරන්න කියනවා. පාලකයෝ මරන්න කියනවා. ඒ විතරක් නොවෙයි නගරයත් විනාශ කරන්න කියලා කියනවා. එතකොට මේ විනාශයෙන් කොහොමද නිවනක් දකින්නේ.

මෙහි පිටත කාරණාව නොගෙන අපිට ගන්න වෙන්නේ ඇතුළත කාරනාව. එතකොට කවුද මේ මරන්න කියන මව හා පියා සෑම කෙනෙක්ම දකින්න ඕනෑ. මේක රූපකය හා සම්බන්ධ කථාවක් නොවෙයි.අපේ චිත්ත සන්තානයෙහි තියෙනවා අවිජ්ජාව. ඒ වගේම කාමාශ්‍රව, භවාශ්‍රව තුළින් ඇතිවන තාෂ්ණාවත් තියෙනවා. එතකොට අවිජ්ජාවයි තෘෂ්ණාවයි අම්මයි තාත්තයි වගේ චිත්ත සන්තානයේ සිතුවිලි නිෂ්පාදනය කරනවා. යම් අරමුණක් ගැටෙන විට අපි ඒ අරමුණ පිළිබඳ හිතන්න පටන් ගන්නවා. මෙනෙහි වෙන්න පටන් ගන්නවා. එය තමයි මනසිකාරය කියලා කියන්නේ. එය මෙනෙහි වෙනකොට ඇතිවෙන සිතුවිලි ධාරාව තමයි පුත්ත දාරාවෝ කියලා කියන්නේ. දාරාවෝ ඛ්යන්නේ දියණිවරුන්ට. බිරිඳත් නොවෙයි එතන කියවෙන්නේ. එතකොට සිත බිහි කරන මේ දූදරුවන් තමයි සිත තුළ උපදින සිතුවිලි. එතකොට මේ සිතුවිලි නිෂ්පාදනය කිරීමට මහෝපකාරී වන්නේ අවිජ්ජාව හා තෘෂ්ණාව අවිජ්ජාව ප්‍රධාන වෙනවා. ඊට පස්සේ මුල් වෙනවා තෘෂ්ණාව. එතකොට අවිජ්ජාවයි, තෘෂ්ණාවයි දෙක නිසා චිත්ත සන්තානයේ උපදින්නා වූ සිතුවිලි දූදරුවෝ වාගේයි. මේ අවිජ්ජාව අපි දුරු කරන්න ඕනෑ ප්‍රහීණ කරන්න ඕනෑ. තෘෂ්ණාවත් ප්‍රහීණ කරන්න ඕනෑ. එය ධම්මපදයේ උපමා තුළින් මඟින් දක්වා තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්නා මරන්න කියලා.

ඊළඟට ඛත්තිය රජවරුන් දෙන්නා කවුද? මේ චිත්ත සන්තානයේ තියෙනවා විවිධාකාර අකුසල ධර්මතා චිත්ත සන්තානයෙහි තව තවත් අවිජ්ජා තෘෂ්ණා සිතුවිලි දියුණු කිරීමට ශාස්වත, උච්ඡේද යන දෘෂ්ටි මුල්වෙනවා. මේ දෘෂ්ටි වල එල්බ ගත්තහම අපි තව තවත් ප්‍රපාතය කරා ගමන් කරනවා. එතකොට ඒ තත්ත්වය නැති කරන්න නම් දෘෂ්ටි මතිමතාන්තර දෙකත් නැති කරන්න ඕනැ. ඛත්තිය රජවරු දෙදෙනා මැරිය යුතු යැයි ධම්මපදයේ එය මනාව උපමාවකින් දක්වනවා.

එතකොට නුවර විනාශ කරනවා කියන්නේ කුමක්ද? ඇත්ත වශයෙන් බුදු දහමේ විශාලා මහනුවර කියලා රතන සූත්‍රයේ පෙන්වන්නේ අපගේ චිත්ත සන්තානය. එහෙම නැතුව වෙන දෙයක් නොවෙයි. එය විශාල මහනුවරක්. එහි රජෙක් ඉන්නවා කියලා බුදුන් වහන්සේ පෙන්වනවා. උන්වහන්සේ කින්සෝකෝපම සූත්‍රය දේශනා කරනවා. මෙහි රජෙක් ඉන්නවා. ඒ රජා කුරුසියේ තැන්පත් වෙලා ඉන්නවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ වල පවතිනවා කියන එක එයින් පෙන්වනවා. ඒ කුරුසියේ ම කියලා ඇණ ගහනවා කියන කතාන්දරය ගන්නත් පුළුවන්. විඥානය නිරෝධ කරන්න ඕනෑ කියන ධර්මතාව ඉන් කියවෙනවා.

මම මෙයින් කියන්නේ පිට පැත්තේ තියෙන කථාව ගත්තොත් අපිට එයින් සත්‍ය වූ ධර්මයක් දකින්න අපහසුයි. මේ ධම්මපදයේ ඇතුළත ධර්මය ගත්තහම අවිජ්ජාව තෘෂ්ණාව ගත්තහම එය දුරු කරන පුද්ගලයා හා ඔහුගේ විවිධාකාර දෘෂ්ටි මතිමතාන්තර නිරෝධ කරන්නා ඊළඟට මේ චිත්ත සන්තානයෙහි නාම කය, මේ අපේ ඔළුවේ තුළ තිබෙන්නේ වූ විවිධකාර වූ කෙලෙස් ධර්ම ප්‍රහීණ කිරීම තමයි විශාල මහනුවර නම් නගරය විනාශ කරනවා කියලා කියන්නේ. එහෙම තැනැත්තා නිවනට යන ආකාරය මෙහි පැහැදිලි කරනවා.

තව සරල සූත්‍රගත කරුණක් ආශ්‍රයෙන් ඔබට මෙය පැහැදිලි කර දෙන්න පුළුවන්ද?

ඔව් අපි බලමු තවත් සූත්‍රයක්, අප කවුරුත් එදිනෙදා ජීවිතයේ දී නිතර නිතර භාවිතා කරනවා මහාමංගල සූත්‍රය. එහි මෙසේ සඳහන් වෙනවා,

මාතා පිතු උපට්ඨානං
පුත්ත දාරස්ස සංගහෝ
අනාකුලාච කම්මන්තා
එතං මංගල මුත්තමං

ඔය කරුණ අද සමාජයට ඉතාමත් කාලෝචිත යි. මාතා පිතු උපට්ඨානං, දෙමව්පියන්ට උපස්ථාන කිරීම එය සමාජ ධර්මතාවයක් පුත්ත දාරස්ස සංගහෝ තමන්ගේ අඹු දරුවන් පෝෂණය කිරීම, ඊළඟට අනාකුල වූ කර්මාන්ත වල යෙදීම හොර වංචාවෙන් යුත් ජීවනෝපාය ක්‍රම වලින් මිඳීම ආදිය ඉතා වැදගත් වෙනවා. නමුත් මෙම සූත්‍රයේ ඇතුළාන්තය විමසන විට අපට පෙනෙනවා එය ගිහි පැවිදි දෙපාර්ශවයටම මංගල කාරණා දී ඇති බව. ඒ කියන්නේ පෘථග්ජන මිනිසුන් වශයෙන් සමාජයේ අනාර්ය ගෘහස්ථ ජීවිතයක් ගත කරන කොට ඔහුට අවශ්‍ය සමාජ ධර්ම ටිකදීලා පැවිද්දාට අවශ්‍ය දෑ මෙහි ඇතුළත කථාවෙන් දෙනවා.

භික්‍ෂුවට මෙහි මාතා පිතා කියන එකෙන් කියවෙන්නේ අපි අර කලින් ධම්ම පදයේ පෙන්නුවා වගේ, තෘෂ්ණාව හා අවිද්‍යාව, දැන් කල්පනා කරලා බලන්න අද උදේ නැගිට්ට තැන ඉඳලා මේ චිත්ත සන්තානයේ නාම කය තුළ පියෙක් ඉන්නවා. මවක් ඉන්නවා. කවුද පියා අවිද්‍යාව, ඒ මොකද අවිජ්ජාව පච්චයා සංචාරා මේ අවිජ්ජාශ්‍රවය මුල් වෙලා තමයි බාහිර ලෝකයේ රූපයක් හැප්පෙන කොට ආශ්‍රවයෝ නැත්නම් සිතුවිලි පහළවන්නේ. එතකොට සිත තුළ සිතුවිලි නිෂ්පාදනය කිරීමට අවිජ්ජාශ්‍රවය උපකාරක ධර්මතාවක් වෙනවා. උපනිෂ් ධර්මය වෙනවා බාහිරින් එන රූපය, ඇහැට එන රූපය උපනිශ්ශ වෙනකොට තමා ළඟ තියෙන අවිජ්ජාශ්‍රවය පරික්කාර ධර්මතාවයක් බවට පත්වෙලා සිතුවිලි නිෂ්පාදනය කරනවා. එතකොට ඒ සිතුවිලි නිෂ්පාදනය කරන්නේ අවිද්‍යාව. තවදුරටත් යන කොට එය තෘෂ්ණාව බවට පත්වෙනවා. අවිජ්ජා පච්චයා, සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණ විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතනං සලායතන පච්චයා ඵස්සෝ ඵස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා.

අවිද්‍යාව 7 තැනට යන කොට තෘෂ්ණාව වෙනවා. භෞතික ලෝකයේ ගත්තත් ස්වාමියා වැඩිමහල්, බිරිඳ ඊට බාල තත්ත්වයකට පත්වෙලා තියෙන්නෙත් මේ තත්ත්වය නිසා අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක තමයි චිත්ත සන්තානයේ දහරාවන් සකස් කරන්නේ. පුත්ත දාරාවෝ කියන්නේ සිතුවිලි අරමුණු ගැටෙන කොට අවිජ්ජා තෘෂ්ණා ආශ්‍රව ධර්මතා නිසා එසේත් නැත්නම් කෙළෙස් ධර්මතා නිසා අපගේ සන්තානයේ උපදින්නා වූ සිතුවිලි වලට තමයි මෙතන පුත්තදාර කියලා කිව්වේ. එතකොට පැවිදි ජීවිතයක් ගත කරන කොට, අප විමුක්තියක් කරා ළඟා වෙනවා නම් මේ දුකෙන් අත් මිදෙන්න යනවා නම් පරිචිත්ත මාර්ගයට වැටෙනවා නම් ඒ තැනැත්තා මේ ඇතුළත කථාව තමයි අවබෝධ කරගත යුත්තේ. මේ ඇතුළත කථාව අවබෝධ කර ගත්තහම අපට අවබෝධ වෙනවා. අවිද්‍යාව හා තෘෂ්ණාව දුරු කළ යුතු බව. මේ දෙකෙන් තමයි චිත්ත සන්තානයේ සිතුවිලි නිෂ්පාදනය වෙන්නේ. එහෙම සිතුවිලි නිෂ්පාදනය වන්නේ බාහිර ලෝකයේ රූප ධර්මතා ගැටෙන කොට, එතකොට ඇති වෙනවා. මනසිකාරයක් යෝනිසෝ මනසිකාරය. මේ තුළින් මේ සිතුවිලි දහරා බිහිවෙනවා ඒ සිතුවිලි දහරා නිසා අපි විවිධාකාර අනවශ්‍ය නුසුදුසු කර්මාන්ත කරනවා.

ඔය කියන ධර්මතාවය අවබෝධ කර ගෙන මේ සූත්‍ර ධර්මවල සැඟවිලා තියෙන දේ සොයන එක තමයි ධර්මය සොයනවා කියන්නේ. නමුත් වර්තමානයේ පිට පැත්තේ කථාව පමණක් සත්‍ය ලෙස දකිනවා. ඒ ගැන සොයා බලන්නේ නෑ. මෙය අද ධර්මාවබෝධයට විශාල බාධකයක් වි තිබෙනවා.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]