සම්ප්‍රදාය හා යථාර්ථය
සම්ප්‍රදාය කෙරෙහි දැඩි ගැති බව මෙන් ම අත්තනෝමතය අනුව
සම්ප්‍රදාය බැහැර කිරීම ද සුදුසු යැයි අපි නො සිතමු. මන්ද යත්,
සම්ප්‍රදාය ගැතිකම අලුත් අදහස් බිහිවීමට බාධාවක් වන අතර ම
අත්තනෝමතික ලෙස සම්ප්‍රදාය නො සලකා හැරීම මහා ගැටුමකට හේතු විය
හැකි බැවිනි. එම අරුතින් අපි සම්ප්‍රදායික ලෙස සුබ නව වසරක්
වේවා යැයි පතන්නෙමු.
පොදු ව්‍යවහාරය හා සම්ප්‍රදාය අනුගමනය කැරෙමින් අප ඔබට, එළඹි
නව වසර සඳහා සුබ පැතුව ද යථාර්ථය අමතක නො කළ යුතු ය.
දැනට අන්තර්ජාතික වශයෙන් භාවිතා වන පොදු දින දර්ශනය අනුව,
ජනවාරි මස පළමු වන දා, 2008 වසරේ ආරම්භය යි. ශ්‍රී බුද්ධ වර්ෂ
ක්‍රමය යටතේ 2552 වසර ආරම්භ වනුයේ, ඉදිරි වෙසක් පුර පසළොස්වක
පොහොය යෙදී ඇති මැයි මස 19 වන දිනයෙනි. ක්‍රිස්තු වර්ෂයට
අවුරුදු හැත්තෑ අටකට පසු ශක රජු සිහි කැරෙනු වස් බිහි වූ ශක
වර්ෂ ක්‍රමය අනුව 1930 වසර, ඉදිරි අප්‍රේල් මස 13 වන දා එළැඹේ.
නව වසරක් උදාවීම යනු පොදු සම්මුතිය මත තීරණය කැරෙන කරුණක් බව
මේ අනුව පැහැදිලි විය යුතු ය. ආලෝක වර්ෂය නමැති භෞතික
විද්‍යාත්මක භාවිතය මඟින් ද අපට තවත් ඉසව්වක් හඳුනා ගැනීමට
පුළුවන. මාර්ග අටුවාවේ සඳහන් ආකාරයට ආලෝක වර්ෂය යනු මෙය යි.
අනන්ත අපරිමිත විශ්වයේ දුර මැනීම සඳහා තාරකා විද්‍යාඥයන්
විසින් පාවිච්චි කැරෙනු ලබන මිනුම් ඒකකයකි. (කාලය පිළිබඳ
ඒකකයක් නො ව දුර පිළිබඳ ඒකකයකි) පොළොවේ සිට තරුවලට දුර, තරු
අතර දුර, තරු පොකුරු අතර දුර යනාදිය හුදු සැතපුම් වලින් සඳහන්
කිරීමට බිංදු රාශියක් අවශ්‍ය වෙයි. එ බැවින් ආලෝක වර්ෂ ඒකකය ඊට
වඩා පහසු මිනුම් ක්‍රමයකි.
‘ආලෝකයේ ගමන් වේගය තත්පරයට සැතැපුම් 1, 86, 281 කි. මේ වේගයෙන්
ආලෝකය එක් අවුරුද්දක දී ගමන් කැරෙන දුර ආලෝක වර්ෂය වෙයි. එක්
ආලෝක වර්ෂයක් යනු සැතපුම් 5, 87, 850, 05, 000 කි. කිසියම්
තරුවක් පොළොවේ සිට ‘ආලෝක වර්ෂයක්’ දුර යැයි කී මෙන් අදහස්
කැරෙනුයේ තත්පරයට සැතැපුම් 1, 86, 281 ක් වේගයෙන් ගමන් කැරෙන
ආලෝකය එම තරුවේ සිට පොළොවට ළඟා වීමට අවුරුද්දක් ගත වන්නේ ය
යන්න යි.’
අප වෙසෙන විශ්වයේ යථා ස්වභාව මෙයින් තේරුම් ගත හැකි ය. මෙහි දී
යථාර්ථය කුමක් වූව ද අන්තර්ජාතික වශයෙන් ව්‍යවහාර වන දින
දර්ශනය මඟ හැර යෑමට අපට නුපුළුවන. එ හෙත් සම්මුතිය මත පිහිටා
යථාර්ථයෙන් බැහැර වීම වරදකි.
සුබ නව වසරක් වේවා ආදී වශයෙන් පැතීම ඉතා ශිෂ්ටසම්පන්න
ලක්‍ෂණයක් ලෙස සැලැකේ. එ සේ වූව ද ප්‍රාර්ථනා නිසා පහළ වන
යහපතක් පිළිබඳ බෞද්ධයන් විශ්වාසය තැබිය යුතු ද? මහාචාර්ය
වල්පොළ රාහුල හිමියන් ගේ අදහසක් මෙහි දී උපුටා දැක්වීමට
කැමැත්තෙමු.
‘ආශාව නිසා, සත්වයා ගේ සිත්හි ප්‍රාර්ථනා කිරීමේ අදහස ඉබේ ම
පහළවීම ස්වභාවික සිද්ධියකි. එය අමුතුවෙන් පුරුදු කළ යුත්තක් නො
වේ. ‘මා කළ මේ ක්‍රියාවේ විපාකය නො ලැබී ගියොත් අලාභයකැයි’
මුළා වූ මනුෂ්‍යයා, තුළ භය හටගනී. මේ මුළාවත්, භයත්, ආශාවත්
නිසා මේ දේ ලැබේවා යි. හෙතෙමේ ප්‍රාර්ථනා කරයි.’
‘ප්‍රාර්ථනාවට මිනිසුන් පෙළඹවීම ඉතා ම පහසු වැඩකි. මෙය පසු කලක
භික්‍ෂූන් විසින් දියුණු කැරැ වූ බැව් පොත් පත් කියැවීමේ දී
පෙනේ. පොත් පත් ලියූ සමහර කර්තෘවරු ද, ඇතැම් දේශකයෝ ද මුල දී
පස්කම් සැපයට දොස් නඟා, අවසානයේ දී නුවණැතියන් හිනස්සමින් එය ම
ප්‍රාර්ථනා කැරෙති.’
එ බැවින්, තමාට පිහිට තමා ම ය. වෙන කවරෙක් නම් පිහිට වන්නේ ද
යන සත්‍යයෙන් අප බැහැර නොවිය යුතු ය. |