UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපදට්ඨකථාවේ ඓතිහාසික වැදගත්කම

බුද්ධ වචනය කොටස් වශයෙන් තුනකට බෙදෙයි. ඒවා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය වශයෙන් හැඳින්වෙයි. එයින් සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ ප්‍රකරණ නිකාය වශයෙන් ද විනය පිටකයට අයත් ග්‍රන්ථ, පාලි වශයෙන් ද ව්‍යවහාර කරති. සූත්‍ර පිටකයට අයත් කොටස පහත දක්නට ඇත. ඒවා නම් දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් දැක්වෙයි.

අපට මෙහිදී වැදගත් වන්නේ ඛුද්දක නිකායයි. එම නිකායට අයත් පොත් ගණන 15 කි. ඒවා මෙසේ දැක්විය හැකිය.

1. ඛුද්දක පාඨය, 2. ධම්ම පදය, 3. උදාන, 4. ඉති වුත්තක, 5.සුත්ත නිපාත, 6. විමානවත්ථු, 7. පෙතවත්ථු, 8. ථෙරීගාථා, 9. ථෙරගාථා, 10. ජාතක, 11. නිද්දේස, 12. පටිසම්භිදා මග්ග, 13. අපදාන, 14. බුද්ධ වංස, 15. චරියා පිටකයයි.

ඛුද්දක නිකායට අයත් වන්නේ කුඩා පොත් සමූහයක් බව සඳහන් වූවත් එහි දැක්වෙන සමහර ග්‍රන්ථ විශාල වශයෙන් පෙන්වා දිය හැකි ය. උදාහරණ වශයෙන් ධම්මපදය කුඩා ග්‍රන්ථයක් ලෙස දැක්වූවත්, එහි ගාථා 423 ක් දක්නට තිබේ. මෙම ග්‍රන්ථය බෞද්ධ ආචාර ධර්ම සඳහන් හස්තසාර ග්‍රන්ථයක් ලෙස, බෞද්ධ ජනතාව පිළිගනිති. ධම්මපදයේ වර්ග 26 ක්, නම් වශයෙන් අනුපිළිවෙළට දැක්වෙයි. ඒවා මෙසේ ය.

1. යමක, 2. අප්පමාද, 3. චිත්ත, 4. පුප්ඵ, 5. ඛාල, 6. පණ්ඩිත, 7. අරහත්ත, 8. සහස්ස, 9.පාප, 10.දණ්ඩ, 11. ජරා, 12. අත්ත, 13. ලොක, 14. බුද්ධ, 15. සුඛ, 16. පිය, 17. කොධ, 18. මල, 19. ධම්මට්ඨ, 20. මග්ග, 21. පකිණ්ණක, 22. නිරය, 23. නාග, 24. තණ්හ, 25. භික්‍ඛු, 26. බ්‍රාහ්මණ වග්ග වශයෙනි.

ධම්මපදය නම් කෘතියෙහි සඳහන් ගාථා සඳහා දේශනා කරන ලද නිදාන කථා ගණන 299 කි. මෙහිදී දක්නට ලැබෙන විශේෂත්වය නම් ගාථාවන්ට වඩා කථා අඩුවෙන් දක්වා තිබීමයි. එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ සමහර නිදාන කථා සඳහා වැඩි ගාථා ගණනක් දේශනා කිරීමයි. ධම්මපදට්ඨ කථාව විමර්ශනය කළ විට පෙනී යන්නේ එයට භාරතීය සංස්කෘත සාහිත්‍යයේ බලපෑම ද ලැබී ඇති බවයි. උදාහරණ වශයෙන් දිව්‍යවදානය, ස්වප්න වාසවදත්තාව, ස්කන්ධපුරාණය ග්‍රන්ථ දැක්විය හැකි ය.

ධම්මපදට්ඨ කථාවේ සඳහන් සෑම කථාවක්ම වැදගත් අංග අටකින් පරිපූර්ණව \නම එහි අගය වැඩි කිරීමක් වශයෙන් හැඳින්විය හැකි ය. ඒවා මෙසේ සඳහන් වෙයි.

1. ගාථා නිද්දේස, 2. පුග්ගල නිද්දේස, 3. පච්චුප්පන්න වත්ථු, 4. ගාථා, 5. අට්ඨකථා, 6. සංඛෙපට්ඨ, 7. අතීත වත්ථු, 8. සමෝධානය වශයෙනි. මෙම ඓතිහාසික කෘතිය ‘චම්පු’ ගණයට වැටෙන සාහිත්‍ය කෘතියක් වශයෙන් හැඳින්වීම නිවැරදි ය.

මෙම කෘතියෙහි පැරැණි ජන සමාජය හැඳිනගැනීමට මහෝපකාරී වන කරුණු ඇතුළත් වෙයි. එසේම රාජධර්ම, සිරිත් විරිත්, විවිධ ඇදහීම්, ඉන්දියානු රාජ්‍යයන්හි වැදගත් කරුණු සොයා ගැනීමට අපට මෙම ධම්මපදට්ඨ කථාව උපනිශ්‍රය වෙයි. මෙම ග්‍රන්ථයේ සඳහන් මුල් කථා කීපයක් වෙත අපගේ අවධානය යොමු කළ යුතුව ඇත. ඒවා නම් චක්ඛුපාල කථා වස්තුව, මට්ඨකුණ්ඩලී කථාවස්තුව, ථුල්ල තිස්සකථා වස්තුව, කාලයක්ඛිණී කථා වස්තුව, කොසම්බක කථා වස්තුවයි.

ධම්මපදට්ඨ කථාවේ සඳහන් පළමු කථාව වන චක්ඛුපාල කථාව දෙසට අපේ අවධානය යොමු කර බැලීම ඉතා වැදගත් වෙයි. යටගිය දවස බරණැස් නුවර බරණැස් රජු රාජ්‍ය කරන කාලයේ එක් වෙදෙක් ගම් නියම් ගම් හැසිර වෙදකම් කරයි. එක් දිනක් ඇස් පෙනීම දුබල කාන්තවක් දැක ඇස්වල පෙනීම ලබා දෙන්නේ නම් තමාට කුමක් ලබා දෙන්නේ දැයි වෛද්‍යවරයා විමසූ විට, එම කාන්තාව තම දරුවන් සමඟ ඔහුට සේවය කරන බවට පොරොන්දු විය. ඇය තම ඇස් සුවපත් වූ විට

පොරොන්දුව අමතක කළා ය. මේ නිසා වෛද්‍යවරයා නැවත ඇයට බෙහෙත් කරන අයුරු පෙන්වා ඇස් අන්ධ කළේ ය. එහි විපාක වශයෙන් රහත් වීමත්, ඇස් අන්ධ වීමත්, එකම අවස්ථාවේ දී සිදු විය. එදා වෛද්‍යවරයා මෙදා චක්‍ඛුපාල හිමියන් බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙම කථාව තුළින් වෛද්‍යවරයාගේ හා රෝගියාගේ දූෂිත ආකල්ප පැහැදිලි වෙයි.

ධම්මපදට්ඨ කථාවේ සඳහන් මට්ඨකුණ්ඩලී කථාව දෙසට අපේ අවධානය යොමු කර බැලීම සුදුසු ය. අදින්න පුබ්බක සිටාණන්ට 80 කෙළක් ධනය තිබිණි. නමුත් දරුවාගේ අසනීපයට බෙහෙත් නොකළහ. මට්ඨකුණ්ඩලී පුතාට ආභරණයක්, හෝ අවශ්‍ය බෙහෙත් ලබා නොදුන්හ. මේ සිටාණන් තමා හෝ තම බිරිඳ සඳහා එම 80 කෝටියක් ධනය වැය නොකළහ. තම එකම පුතාට බෙහෙත් නොකිරීම නිසා ඔහු මිය ගිය විට සොහොනට ගොස් අඬන්නට පුරුදුව සිටියාය. මෙම කථාවලින් පෙන්වා දෙන්නේ කුමක්ද තම ධනය නිසියාකාරව යොදවන තැනැත්තා බුද්ධිමත් අයකු බවයි. ධනය තමා වෙනුවෙන්ද, තම අඹුදරුවන් වෙනුවෙන් ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙනුවෙන් ද යොදවන තැනැත්තා යහපත් අයකු ලෙස පෙන්වා දී ඇත.

ධම්මපදට්ඨ කථාවෙහි දැක්වෙන 03 වන කථාවස්තුව ථුල්ල තිස්ස කථාවයි. එහි දැක්වෙන අන්දමට බුදුන් වහන්සේගේ නැන්දණියගේ පුතෙකි. ථුල්ල තිස්ස හාමුදුරුවෝ, මොහු බුදුපියාණන්ට ලැබෙන ලාභ සත්කාර දැක මහළු කළ පැවිදි වූ තැනැත්තෙකි. දිනක් විහාර මැද උවටැන් හල්හි වාඩි වී සිටින අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණි ආගන්තුක භික්‍ෂූන් ථුල්ල තිස්ස හිමියන් දැක මොහු මහථෙර කෙනෙක් යැයි සිතා වස් විචාරා වස් නැති බව දැන දොස් නැගූහ. ථුල්ල තිස්ස තෙරණුවෝ තමන් ක්‍ෂ්ත්‍රියකු බැවින් එම මානය ඇතිව කටයුතු කළහ. භික්‍ෂූහු ඔහු බුදු පාමුලට පමුණුවා කරුණු සැළ කළහ. බුදුපියාණෝ භික්‍ෂූන්ගෙන් සමාව අයැදින්න යැයි ථුල්ල තිස්ස හිමියන්ට නියම කළහ. උන්වහන්සේ එසේ නොකළ විට අතීතයේ ද එසේ ක්‍රියා කළ බව පවසමින්, බුදුපියාණන්, භික්‍ෂූන්ට ඔහුගේ අතීත කථාව ගෙන හැර දැක්වූහ. මෙමඟින් පෙනී යන්නේ විවිධ පුද්ගලයන්ගේ විවිධ දුබලතා ය.

ධම්මපදට්ඨ කථාවේ සඳහන් තවත් වැදගත් කථාවක් වශයෙන්, කාල යක්‍ඛිණී, කථාව දැක්විය හැකි ය. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න එම කථාවෙන් අපට දෙන උපදේශයයි. එක්තරා පුතෙක් මවගේ කැමැත්ත පිට තරුණියක් ;ගදරට ගෙනාවේ ය. ඇයට දරුවන් නොලැබුණු නිසා, ඇයගේද කැමැත්ත පිට තවත් තරුණියක් නිවසට කැඳවාගෙන ආවේ ය. දෙවැනිව පැමිණි කාන්තාවට දරු ගැබක් හටගත්තද පළමු හා දෙවැනි වාර වලදී මුල් කාන්තාව විසින් දරුගැබ විනාශ කරන ලදී. පළමු කාත්තාවට, දෙවැනි කාන්තාවගේ තුන්වන දරුගැබ නැති කිරීමට නොහැකි විය. එනිසා පසුව ලබා දුන් බෙහෙතින් දරුවාත්, මවත් දෙදෙනාම මරණයට ආසන්නව සිටියහ. ඒ අවස්ථාවේ දී දෙවැනි බිරිය, පළමු බිරිය සමඟ වෛර බැන්දා ය. මෙම වෛරය අප බුදුපියාණන් දවස තෙක් පැමිණියේ ය.

එහිදී කාලයක්‍ඛිණියට සහ එම කාන්තාවට ධර්මය දේශනා කොට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ වෛරය නිමාවට පත් කළ සේක. අප ද වෛරය නිමා කළ යුතු බවයි ඉන් ගත යුතු පාඩම. ජාතිවාදී ප්‍රශ්න මෛත්‍රී සහගතව දෙපාර්ශවය විසින් සුහදව කථාකොට විසඳාගත යුතු යි. මිනිසුන් වශයෙන් ගත්විට සියල්ලෝම අංගෝපාංග වශයෙන් සමාන ය. කර්මය අනුව මිනිසුන් තුළ බෙදීමක් දැකිය හැකි ය. එහෙත් ජන්මය අනුව බෙදීමක් දැකිය නොහැකි ය.

ධම්මපදට්ඨ කථාව නම් කෘතියේ 05 වන කථාව කොසම්බක කථා වස්තුවයි. එම කථාව දෙසට අපේ නෙත් යොමු කළ යුතුයි. කොසබෑ නුවර ඝෝෂිතාරාමයේ දී 500 ක් භික්‍ෂූන් පිරිවරා සිටින භික්‍ෂූහු දෙදෙනෙක් වැඩ සිටියහ. ඔවුන් අතුරෙන් එක් කෙනෙක් ධර්මධර ය, අනෙක් තැනැත්තා විනයධර ය. විනයධරයෝ සුළු විනයක් කඩවීම හේතුවෙන් ධර්මධරයන්ට චෝදනා කළහ. මෙම කරුණ මුල් කරගෙන දායකයෝ ද බෙදුණහ. එම දෙපිරිස සමඟි කරවීමට බුදුපියාණන් වහන්සේ ගත් උත්සාහය ද අසාර්ථක විය. පසුව වස් කාලය ගෙවී යද්දී භික්‍ෂූහු සමඟි වූහ. එම කාලයේ භික්‍ෂූන් වහන්සේට ප්‍රත්‍ය පහසුව නිසියාකාරව නොලැබිණි. එයද භික්‍ෂූන්ගේ සමගියට හේතුවක් වූවාට සැක නැත.

බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධම්මපදයේ සඳහන් කරුණු 04 ක් අප මෙහිදී සිහියට නගාගත යුතු යි. ඒවා නම් කර්මය, පුනර්භවය, සදාචාරය හා මානසික සංවර්ධනයයි. මෙම කථාවලින් අපට අවධාරණය කරන්නේ, යහපත් සමාජ පැවැත්මට හේතුවන කරුණුයි. ඊට අමතරව ඉහත දක්වන ලද විෂය පිළිබඳ වැදගත් කරුණු රැසක් ද එහි ඇතුළත් වී ඇති බව, අපට නිසැකවම පැවසිය හැකි ය.

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]