මානව අයිතිය කුමක් ද?
අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනය හෙට ට (දෙසැම්බර් මස 10
වන දිනට) යෙදී තිබේ. ලොව වෙනත් රටවල් මෙන් ම ශ්‍රී ලංකාව ද ඒ
වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීම පිණිස වැඩමුළු, දේශන, ප්‍රදර්ශන
ආදිය පවත්වනු ඇත. එ සේ කළ යුත්තේ, මානව අයිතිවාසිකම් හා මූලික
ස්වාධීනත්වයන් කෙරෙහි විශ්ව ගරුත්වයත්, ඒවා රැක දීමත්, එක්සත්
ජාතීන් ගේ සංවිධානයේ සහයෝගයෙන් වර්ධනය කිරීමට එහි සාමාජික රටක්
වශයෙන් ශ්‍රී ලංකාව ද බැඳී සිටින බැවිනි. මෙහි දී එක්සත්
ජාතීන් ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දා මානව
අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කිරීමට පෙර අප රටේ
පැවැති තත්ත්වය අවබෝධ කැර ගැනීම වැදගත් වේ. ඒ සඳහා මානව
අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පළමු වන වගන්තිය වෙත
අවධධානය යොමු කිරීම මැනවැයි සිතමු.
“සියලු මනුෂ්‍යයෝ නිදහස් ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා
අයිතිවාසිකම් වලින් සමාන වෙති. යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන්
හා හෘදය සාක්ෂ්‍යයෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැලැකිය යුත්තේ
සහෝදරත්වය පිළිබද හැඟීමෙනි.”
මේ අදහස මෙයට වඩා පුළුල් අර්ථයකින් යුතු ව ශ්‍රී ලාංකේය ජන
සමාජය තුළ භාවිතයට පැමිණ වසර දෙදහසකට වැඩි කාලයක් ගත වී තිබේ.
ඊට පදනම් වූ බුදු දහමේ ඇතුළත් එක් මඟ පෙන්වීමක් මෙහි උපුටා
දැක්වීමට කැමැත්තෙමු.
“සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. එ බැවින්
අනුන් තමන්ට සමාන සේ සිතා අනුන්ට හිංසා නොකළ යුතු ය. අනුන්ට
හිංසා නො කැරැවිය යුතුය.”
දම්මපදයේ දණ්ඩන වර්ගයේ ඇතුළත් මේ අන¼ඟි ඉගැන්වීම නූතන බටහිර
දේශපාලන සංකල්ප සමඟ සැසැඳීම වරදක් යැයි යමකුට සිතෙන්නට පුළුවන.
එහෙත්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතියට පමණක් අදාළ
කාර්යයක් නො වන බව අවබෝධ කැරැවීම පිණිස එ බඳු සැසැඳීමක් අවශ්‍ය
ය.
නූතන බටහිර දේශපාලන සංකල්ප අනුව නම්, මානව අයිතිවාසිකම්
ක්ෂේත්‍රයෙහි ප්‍රගතිය උදෙසා අවශ්‍ය ශක්තිමත් නීතිමය රාමුවක්
අප සතු ව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය
සම්පූර්ණයෙන් ම වැය කැර ඇත්තේ, මූලික අයිතිවාසිකම් වෙනුවෙනි.
ව්‍යවස්ථාවේ එකසිය විසිහය වන වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම්
සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සතු අධිකරණ බලය ක්‍රියාත්මක වන
ආකාරය පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර
භාවිතය හා මාර්ග බාධක යොදා මඟීන් පරීක්‍ෂාව යන කරුණු අරබයා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතක දී දෙන ලද නියෝග අප ගේ තර්කය සනාථ
කිරීමට ප්‍රමාණවත් ය.
පුද්ගල නිදහස හා සිවිල් සමාජයේ දැනුවත් භාවය මත මානව සංවර්ධනය
තීරණය කැරෙන සමාජයකට ශක්තිමත් අධිකරණ පද්ධතියක් තිබීම
ප්‍රමාණවත් වනු ඇත. එහෙත් ඊට පදනම් වූ මානව අයිතිවාසිකම්
පිළිබඳ බටහිර සංකල්පය අසම්පූර්ණ ය. එ සේ නම්, මානව
අයිතිවාසිකම් පිළිබඳ පරිපූර්ණ සංකල්පය කුමක්ද?
තමාට මෙන් ම අන් අයට ද ජීවත් වීමට අයිතියක් ඇතැයි යන මූලික
පිළිගැනීම මත පදනම් වූ බුදු දහම තරම් මානව හිතවාදී වෙනත් ආගමක්
හෝ දර්ශනයක් ඇතැයි අපි නො සිතමු. සැබෑ බෞද්ධයා පර පණ නැසීමෙන්
වළකිනවා පමණක් නො ව තම ශාරීරික ඉන්ද්‍රියන් දන් දී බාහිර
පුද්ගලයකුට ජීවිතයක් ලබාදීම සාමාන්‍ය දෙයකි. ඒ සඳහා පදනම් වූ
බුදු දහම ඉවත ලා අපට මානව අයිතිය ගැන කතා කළ නො හැකි ය.
එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්තිය අනුව මානව අයිතිවාසිකම් ආරක්‍ෂා
කිරීමට වෙහෙසෙනු වෙනුවට බෞද්ධ සාරධර්ම එක්සත් ජාතීන්ගේ
ප්‍රඥප්තියට ඇතුළත් කිරීමට අපට හැකියාව තිබිය යුතු ය. බෞද්ධ
රටක් වන දකුණු කොරියාවේ බැන් කී මුන් මහතා එහි මහලේකම් ධූරය
දැරීම අපට ඒ සඳහා අතිරේක වාසියකි. එහෙත්, බුදු දහම නමැති මහඟු
දායාදය හුදු ඇදහීමක් බවට පත් කිරීමට වෙහෙසෙන පිරිස අධික ය. |