UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අතිශය අරුත්බර තෙරුවන් වන්දනාව

චාරිත්‍ර ශීලයට අයත්වන තෙරුවන් වන්දනාව බෞද්ධයාගේ බෞද්ධකම ප්‍රකට කැරෙන, මූලික ලක්‍ෂණයකි. ඉන් සිතේ ස්වභාවය යහපත් කර, සිල්වත්භාවය ඇති කරයි. මේ නිසා සෑම වැදගත් කාර්යයක්ම තෙරුවන් වැඳීමෙන් ආරම්භ කිරීම, බෞද්ධයාගේ සිරිතයි. නිවසේ දී උදේ සවස තෙරුවන් නමදින බෞද්ධයා, පොහෝ දිනවල මෙන්ම ඉඩක් ලත් සෑම අවස්ථාවකම ගමේ පන්සලට ගොස් තෙරුවන් වන්දනාවේ නිරත වෙයි. සසර දුක් නසාලීම සඳහා, තුනුරුවන් හැර අන්‍ය සරණක් බෞද්ධයාට නැත. එබැවින් තෙරුවනට වඩ වඩාත් සමීපවීමේ අභිලාෂයෙන්, බෞද්ධයෝ, බුද්ධිමත්ව මේ කාර්යය ඉටු කරති.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ වෙන වෙනම සිහියට නංවා ගෙන වන්දනා කිරීම, සාමාන්‍ය පිළිවෙත ය. එහි දී ප්‍රථමයෙන්ම ඉතිපි සො භගවා ගාථා පාඨයේ, නව අරහාදී බුදු ගුණ ලෙස සංක්ෂිප්ත කොට දක්වා ඇති අනන්ත අප්‍රමාණ බුදුගුණ සම්භාරය සිහි කැරේ. ලොවුතුරා බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ, බුද්ධියෙන් උපරිමට්ටමට පත්ව අසමසම ගුණ සමුදායකින් යුතුව ලෝක සත්ත්වයාට සැලසූ සෙත අවධාරණය කැරේ. වර්තමානයේ බෞද්ධ ජනතාව බුද්ධ වන්දනාවෙන් කරනු ලබන්නේ එකී බුද්ධිමත් භාවයට හිස නැමීම යි. මේ නිසා තෙරුවන් වන්දනාවේ දී බුද්ධ වන්දනාව අතිශය වැදගත් හා උසස් බවකින් සිදු කැරේ. ඒ ඉතා අගය කළ යුතු අතර එම වන්දනාව වඩ වඩාත්, අර්ථවත්වීමට නම් ‘ඉතිපි සො භගවා’ ගාථා පාඨයෙන් උද්දීපනය වන්නා වූ බුදුගුණ මැනවින් අවබෝධ කර ගෙන ඒ, සිහි කරමින් වන්දනා කිරීමත්, හැකි උපරිමයෙන් ඒවා ප්‍රායෝගික ජීවිතයේ දී පිළිපැදීමත් අවශ්‍ය වෙයි.

හිදී ස්වාමීනී, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ලෝභ, දෝෂ, මෝහ, සම්පූර්ණයෙන්ම දුරු කළ සේක. එසේ ලෝභ, දෝෂ, මෝහ දුරු කළ ඔබවහන්සේගේ සිරිපා නමදින මම, ලෝභ, දෝෂ, මෝහ මාගේ ජීවිතයෙන් අඩු කර ගැනීමට උපරිමයෙන් ක්‍රියා කරමි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය සම්පූර්ණයෙන්ම දුරු කළ ඔබ වහන්සේ අනුව යමින්, ඒ පව්කාර චේතනා මාගේ ජීවිතයෙන් ද උපරිමයෙන් දුරු කිරීමට උත්සාහ දරමි. තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සියලු සත්වයා වෙත මහා කරුණාවෙන් යුක්තව, මහාකාරුණික තත්ත්වයකට පත්වූහ. මම ද, එම උතුම් බෝධිසත්ව ගුණේපේත කරුණා ගුණය, මගේ හදවත තුළ වර්ධනය කර ගනිමින් හැමවිටම ක්‍රියා කිරීමට ඉටා ගනිමි.

ස්වාමීනී බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ තරම් අසරණයන්ට පිහිට වූ, අසරණයනට පිළිසරණ සලසන ලද්දා වූ කිසිම උත්තමයෙක් තුන් ලොවෙහිම නැත. එම උතුම් බුදුගුණ සිහියට නංවා ගනිමින් මමද මෙලොව අසරණයන්ට උපරිමයෙන් පිහිට වෙමි. කාරුණික වන්නෙමි. දයාව, සෙනෙහස දක්වන්නෙමි.

ස්වාමීනී, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ලොව අසරණ සත්වයන් දුකින් පිරුණු සසර සයුරෙන් ගොඩගැනීමට මොක්පුර මහ ඔවුනට හෙළි කර දුන් සේක. මම ද, ඔබ වහන්සේගේ ශ්‍රාවකයකු වී බැතිමත්ව ඔබවහන්සේ දෙසූ මගම යමි. මෙසේ මා රැස් කර ගන්නා කුසල බලයෙන්, සහ මොක් මග නසන කාමච්ඡන්දාදී නීවරණ මා කෙරෙන් බැහැර වේවා. සිත සමාධි වේවා. නුවණ දියුණුවේවා. දුක්ඛ සමුදය නිරෝධ, මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.

මෙසේ සෑම බුදු ගුණයක්ම සිහියට නංවා ගනිමින්, එම උතුම් ගුණ ජීවිතය තුළ වර්ධනය කර ගැනීමට ඉටා ගනිමින්, වන්දනා කිරීම ඉතාම යෝග්‍ය ය. එසේ ඉටා ගනිමින් එම ගුණධර්ම උපරිම වශයෙන් තම දෛනික ජීවිත ක්‍රියාවලියට සම්බන්ධ කර ගත යුතු වෙයි. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති, අසමසම විශිෂ්ට ලක්‍ෂණ තමාගේ ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කර ගනිමින්, දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව ක්‍රියාත්මක වීම උසස් ප්‍රතිඵල ලබා දෙනු ඇත.

මේ ආකාරයටම ධර්මරත්නය හා සංඝ රත්නය ද වන්දනා කිරීමට පුළුවන. ඉන් ධර්ම රත්නය වන්දනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර මාර්ග, සතර ඵල, නිර්වාණය යන ලෝකෝත්තර ධර්ම හා වසර 45 තිස්සේ දෙව් බඹ, මිනිසුන් හට දේශනා කර වදාළ ධර්ම සමූහය වූ තුන්පිටකය ද සිහියට නංවා ගැනීම වන්දනා කිරීම ස්මරණය කිරීම ආදිය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මහා ධර්ම ස්කන්ධය නුවණැතියන්, ප්‍රඥාවන්තයන්, බුද්ධිමතුන් සඳහා වූවකි. එය, එක්

එක් පුද්ගලයා විසින් වෙන වෙනම පෞද්ගලික අවබෝධ කර ගත යුතු වෙයි. මම ද මගේ නැණ පමණින්, හැකි සෑම උත්සාහයක්ම දරා, එම ධර්මය අවබෝධ කර ගැනීමට දිරි දරමි. ධර්මය අවබෝධ කර ගෙන සියලු දුකින් මිදුණු නිවන සාක්ෂාත් කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරමි. ඒ සඳහා ධර්ම රත්නය මට නිසි මග පෙන්වා දෙත්වා සේම, එම වාසනාව මට උදාවේවා යනාදී වශයෙන් සිත් සතන්හි අපේක්‍ෂාව තැන්පත් කර ගත යුතු ය. මේ අනුව තම පෞද්ගලික ජීවිතයේ දෛනික කටයුතු වලදී උපරිම වශයෙන් ධර්ම රත්නයේ දැක්වෙන උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කිරීම, වඩ වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය මනාව පිළිවෙත් පුරන, සෑම දෙනාටම ධර්මානුශාසනා පවත්වමින් සිල්වත්, ගුණවත් හරවත් ජීවිත ගත කරන උතුම් පැවිදි පිරිස යි. එම මහා සංඝරත්නය වන්දනා කිරීම ආරම්භ වන්නේ ‘සුපටිපන්නො භගවොතො සාවක සංඝෝ’ යනාදී වශයෙන් වූ ගාථා ධර්මයෙනි. එහි කියැවෙන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ අනන්‍යතාව ප්‍රකාශ කැරෙන සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය, අනුත්තර පුඤ්ඤඛෙත්ත ලෝකස්ස යන ගුණ නවය සිහියට නංවා ගනිමින් වන්දනා කළ හැකි ය. ඊට සමගාමීව, මෙසේ වූ ගුණාංග වලින් පිරි මහා සංඝරත්නය වන්දනා කරන මමද වැරැදි හැසිරීම් වලින් වෙන් වී යහපත් ධාර්මික පිළිවෙත් පිළිපැදීමට අධිෂ්ඨාන කර ගතිමි. හැකි උපරිම ශක්තියෙන් යුතුව පිළිවෙත් පුරමි යනුවෙන් අධිෂ්ඨාන කර ගත හැකි ය. සංඝ රත්නයේ ගුණ සිතට අරමුණු වශයෙන් යොදා ගෙන සංඝානුස්සති භාවනාවේ යෙදිය හැකි ය.

මේ අන්දමට බොදු බැතියෙන් යුතුව අර්ථවත්ව නිතර නිතර තෙරුවන් නමදින තැනැත්තා තුළ මෛත්‍රීය, කරුණාව, දයාව, සෙනෙහස, වර්ධනය වෙයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, කුහකකම ආදී දුර්ගුණ පහව යයි. ගුණ වගාවෙන් පිරි බෞද්ධ උපාසකයකු බවට පත් වෙයි. ‘බෞද්ධ උපාසක’ යන්න මව්පිය උරුමයෙන් දේශපාලනයෙන් හෝ මිල මුදලින් ලබා ගත හැකි නාමයක් නොවේ. එම තත්ත්වයට පත්විය හැකි වන්නේ තම තමන් පෞද්ගලිකවම තෙරුවන් සරණ යෑමෙන් පමණකි. වරක් ‘මහානාම’ නම් ශාක්‍යවංශික සිටුවරයා බෞද්ධ ශාසනයේ උපාසකයකු වන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ය. මීට බුදුරජාණන් වහන්සේගෙන් ලද පිළිතුර වූයේ තෙරුවන් සරණ යෑමෙන් බෞද්ධ උපාසක තත්ත්වය ලබා ගත හැකි බවයි. ;බෟද්ධ ප්‍රතිපත්ති පුරමින් අර්ථාන්විතව නිතර නිතර තෙරුවන් සරණ යෑම එහිදී ඉතා යහපත් වෙයි. එසේම, බෞද්ධ ප්‍රතිපත්ති රකිමින් බෞද්ධ සිතුවිලි තුළින් සිත පුරවාගෙන නිතර නිතර තෙරුවන් වන්දනා කරන්නා ගුණයෙන්, ඤාණයෙන් සපිරෙයි. ඔහු තුළ වර්ධනය වන ආධ්‍යාත්මීය, ප්‍රශංසනීයය, ශ්‍රද්ධාව වැඩි දියුණුවීම සිදු වන අතර, සිල්වතුන් ආශ්‍රය, ධර්මය ශ්‍රවණය කිරීමේ ආශාව, ධර්ම ග්‍රන්ථ පරිශීලනය පරිත්‍යාගශීලී බව ඇති වෙයි. ඊට සමගාමීව ඔහු තුළ වූ මානය, උඩඟුකම පහව ගොස් අතනිමාතී ගුණය වර්ධනය වෙයි. ලෝ වැසි සියලු සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් මුළු ජීවිත කාලය පුරාවට දහම් මඟ පෙන්වා වදාළ, බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම, වන්දනා කිරීම ආදී පිළිවෙත් සමඟ කෘතවේදීත්වය සිත පුරා වැඩෙයි. තමාට හෝ අනුන්ට හිංසා පීඩා ආදියත් ඔහු අතින් සිදු නොවෙයි. එලෙසම කාගේ හෝ නීත්‍යානුකූල අයිතීන් හොරෙන් හෝ බලහත්කාරකමෙන් පැහැර ගැනීමක් ඔහු අතින් සිදු නොවෙයි. සාමකාමී ජීවිතය ගත කළ හැකි වෙයි. වර්තමානයේ සමහරු සිතෙහි ඇති බිය නිසා දෙවියන්, යකුන්, අදෘශ්‍යමාන බලවේග පසුපස යෑමට පුරුදු වී සිටිති. නමුත් අර්ථාන්විතව තෙරුවන් නමදින, ප්‍රායෝගික බෞද්ධ ජීවිත ගත කරන කෙනෙකුට බිය, උවදුරු කම්පන ආදිය ඇති නොවෙයි. බියක්, උවදුරක් කම්පනයක් වූවත් එය වහා පහව යයි. සැබෑ බෞද්ධයා විමුක්තිය සඳහා තෙරුවන් සරණ යෑම හැරෙන්නට අන්‍ය කිසිදු සරණක් නොපිළිගනියි. එසේම ලෞකික ආශා, ලාබ ප්‍රයෝජන ආදියට වහල් වී තෙරුවන් වන්දනාව කිසිම විටක අත් නොහරියි. කෙනෙකුගේ පරලොව උපත පිළිබඳ කිසිදු නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි ය. එහෙත් අර්ථාන්විතව තෙරුවන් නමදින්නාට එබදු අවිනිශ්චිත භාවයක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ. ඔහු සුගතියක උපත ලැබීමේ වාසනා ශක්තිය වර්ධනය කර ගෙන ඇති බැවිනි. මේ අනුව බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය වූ වතාවත් අතර අර්ථාන්විතව කරන තෙරුවන් වන්දනාවට ලැබෙන්නේ, අතිශය වැදගත් ස්ථානයක් බව පෙනෙයි.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]