UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැමුණු බව-දැනුවත් බව පිය වදන-මඟුලකි උතුම්

මිනිස් දිවිය වටිනාකම් වලින් වැඩිවත්ම එහි ලස්සන ඇති වෙයි. මෙහි වටිනාකම් ලෙස භෞතික ලෝකයේ පවතින විවිධ භෞතික සම්පත් හෙවත් මිළ මුදල් වතුපිටි ආදිය අදහස් නොකරයි. බුදු දහමින් අදහස් කරනුයේ ගුණාත්මක ජීවිතයයි. මිනිස් සිතට සැනසුම ගෙන දෙන දෙලොව සැපතට හේතු වන එවන් ගුණ දහම් රැසක් මංගල සූත්‍රය පෙන්වා දෙයි. මේ ලිපියේ අරමුණ වන්නේ එම සූත්‍රාගත හතර වන ගාථාවට අයත් පුද්ගල සැනසුම ගෙන දෙන මංගල කාරණා සාකච්ඡා කිරීමටය.

“බාහු සච්චංච සිප්පංච
විනයෝ ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා
ඒතං මංගල මුත්තමං

බහුශ්‍රැත බව, ශිල්ප ඤාණය, විනය ගරුක වීම, ශික්ෂාකාමී බව, පි‍්‍රය මනාප වචන යන ගුණධර්ම මෙම ගාථාවෙහි අන්තර්ගත වෙයි. මේ සියල්ලෙන් හෙබි ජීවිතයක වටිනාකම හා ලස්සන වැඩිවෙයි.

මෙහි පළමුවැන්න බහුශ්‍රැත බවයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව හෙවත් උගත්කම මින් අදහස් කැරේ. ආදි කාලයේ ශ්‍රවනේන්ද්‍රිය තුළින් තම දැනුම ලබා ඇති නිසයි, ‘බහුශ්‍රැත ‘ යන නමින් උගත් අය හඳුන්වා ඇත්තේ. උපන් සෑම පුද්ගලයෙක්ම පළමුව සමාජානු යෝජනය හෙවත් සමාජයට බැස ගනියි. ඉන්පසු සමාජානුකරණයට ලක් වී සමාජගත දේ පංච ඉන්ද්‍රිය මගින් අනුකරණය කරයි. මෙය උගත්කමේ හෙවත් බහුශ්‍රැත භාවය සඳහා පිළිපන් මාවත වෙයි. අද අධ්‍යාපනයෙහි මූලික අරමුණ ලෙස සළකන දැනුම ආකල්ප ලෙස හඳුන්වන්නේ ද මෙයයි. ඉහත කී සමාජානුකරණයෙන් ලද පෞරුෂය ක්‍රියාවට නැංවීම “ජීවත්වීම” ලෙස හැඳින්විය හැකිය. එසේම දැනුමෙන් සිත හදාගත් පුද්ගලයාගේ හදවතේ ආකල්පමය දියුණුවක් ලබා එය ක්‍රියාවට නැංවීම කුසලතා හෙවත් ක්‍රියා කාරකම් (ජීවත්වීම ) ලෙසින් ද හඳුන්වා දිය හැකිය. මේ සියල්ලම අද උගත්කම ලෙස නම් කැරෙයි. මෙයම බුදු දහමේ දී සුතමය හා චින්තාමය දැනුම ලෙස ද පෙන්වා දී ඇත. මෙන්න මේ උගත්කම සොර සතුරන්ට ගත නොහැකි අංගසම නිධානයකි. උගතාට ඇති ගෞරව සැලකිල්ල ඉල්ලුම කොපමණද යන්න, අද ලොව දෙස බලන විට පෙනී යයි . උගත්කම දිවියෙහි වටිනාකම වැඩි කරයි. උගතුන් තමනට පමණක් නොව, මුළු ලෝකයටම ශාන්තියකි. ආශිර්වාදයකි.

සෑම පුහුදුන් පුද්ගලයකුගේම සිත, තණ්හාව , අතෘප්තිය , ඊර්ෂ්‍යාව , තරහ , තරගකාරි බව, මාන්නය, නොඉවසීම ආදී විවිධ සංතාපයට හේතු වන කෙලෙසුන්ගෙන් පිරී පවතියි. මෙකී කෙලෙස් කුණුවලින් සිතක් පිරි පැවතුණහොත් ඉන් සැපක් සැනසුමක් ඇති නොවෙයි. දෙලොව සැනසුම ගෙන දෙන්නේ චරිතය කෙළෙසන මේ අධම කෙලෙසුන් යටපත් වීමෙනි. එම ක්‍රියා මාර්ගය සඳහා අවශ්‍ය කරන දැනුම ‘බාහුසච්ච’ ලෙස නම් කළ හැකිය. බහුශ්‍රැත බව එම පුද්ගලයාට මංගල කාරණයකි.

මෙහි දෙවන මංගල කරුණ වන්නේ සිප්පං යන්නයි. ඉන් ගම්‍ය වන්නේ ඉහත සඳහන් කළ බහුශ්‍රැත භාවය හෙවත් දැනුම ක්‍රියාත්මක කිරීමය. සමාජානුකරණයෙන් ලත් අත්දැකීම් සමඟ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමයි.

හැම මනුෂ්‍යයෙක්ම කිසියම් ශිල්පයක් ඉගෙන ගත යුතුයි. එවිට එම පුද්ගලයාගේ් වටිනාකම වැඩි වෙයි. එවැනි ශිල්ප ඤාණය ඇති අය රටට විශාල දායාදයකි. රටක් දියුණු වන්නේ එම රටට සරිලන දැනුමෙන් පිරිපුන් පිරිසක් බිහි වුවහොත් පමණකි. මේ පිළිබඳ රටේ අධ්‍යාපන ක්‍රියාවලියට සුවිශේෂී තැනක් හිමි වෙයි. රටේ දියුණුවට අවශ්‍ය සම්පත් දායකයන් බිහි කිරීම එරට අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණ විය යුතුයි. දේශීය කර්මාන්ත නඟා සිටුවීමට ශිල්ප ඤාණය ඇති පුද්ගලයන් සිටිය යුතුයි. මෙම අරමුණ ඉටු කරලන දේශීය අධ්‍යාපන ක්‍රමයක් සැකැසිය යුතුයි. මේ සැලසුම් නොමැති විට පොතේ උගතුන් බිහි වන අතර, එය රටේ දියුණට කිසිසේත් හේතු නොවෙයි. ආණ්ඩුව රටේ අධ්‍යාපනය සඳහා කොපමණ වියදම් කළත් රටේ දියුණුට අදාළ නොවෙයි නම්, එම ඤාණයෙන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. මෙහි දී ශිල්පය ලෙස අවශ්‍ය කරන්නේ පුද්ගලයාගේ සහ සිය රටේ දියුණුට අදාළ දැනුමෙන් පිරිපුන් ස්වභාවයයි. මේ නිසා රටක උපදින හැම මිනිසෙක්ම කිසියම් සේවයක් කළ හැකි ශිල්පයක් දත යුතුයි. මෙය එම පුද්ගලයාට මෙන්ම, රටට ද ආශිර්වාදයකි. ‘සිප්ප’ යන්නට තවත් අර්ථකථනයක් පුද්ගල ආධ්‍යාත්මික ජීවිතය ට අදාළව විග්‍රහ කළ හැකිය. ඉහත සඳහන් කළ බාහුසච්ච යනුවෙන් හැඳින් වූ සන්තානගත කෙලෙස් යටපත් කිරීම සඳහා රැස්කර ගත් දැනුම ඒ සඳහා ක්‍රියාත්මක කිරීම ද ශිල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම අධ්‍යාත්මික ශිල්ප අභ්‍යාස කරනා විට, කෙලෙස් බර සැහැල්ලු වෙයි. සිතේ ඇලීම හීන වී යයි. මෙය සිතට මෙන්ම ගතට ද ඉමහත් සුවයකි. එය මංගල කරුණකි.

ඊළඟ මංගල කරුණ වන්නේ, ‘විනය’ යන්නයි. හික්මීම, නීතිගරුක වීම, මින් අදහස් කැරෙයි. මෙය ද පුද්ගලයාගේ සහ රටේ දියුණට සුවසෙතට අත්‍යවශ්‍ය කාරණයකි.

පැවිදි - ගිහි හැම සමාජයකම විනයක් නීතියක් ක්‍රියාත්මක වුවහොත් එතැන දියුණුව දැක ගත හැකිය. වෙලාවට වැඩ කිරීම, තම වෘත්තියේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම ආදී නීති ඉහළ අයගේ සිට පහළ අය දක්වාම ක්‍රියාත්මක වෙයි නම් එතැන දියුණුව ප්‍රගතිය දැක ගත හැකි වෙයි. රටේ නීතියට ගරු කරමින් තම වගකීම් සපුරා ලීමට යම් හැදියාවක් හික්මීමක් ඇති කරගත හොත් එය රටට සංවර්ධනය මෙන්ම තමන්ට ඉමහත් ආත්ම තෘප්තිය ද ගෙන දෙන මංගල්‍යයක් වෙයි.

මේ විනය යන්නට තවත් වැදගත් නිර්වචනයක් පෙන්වා දිය හැකිය. එනම් “ විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං යන්නයි එනම්, ලෝහ දෝස දෙක විනයනය කිරීම හෙවත් ඉවත් කිරීම යන්නයි. මෙය ‘විනය’ , ‘හික්මීම’, නම් වෙයි. කායානුපස්සනා වේදනානුපස්සනා , චිත්තානුපස්සනා , ධම්මානුපස්සනා යන අනුපස්සනා ඔස්සේ සිත නිසියාකාරව ගමන් කරවීම , විනය යි. මෙය ලෝභාදී කෙලෙසුන් ඉවත් කිරීමට දෙලොව සැනසුමටත් හේතු වන මංගල කාරණයකි.

මේ සමග ‘සුසික්ඛිතෝ’ යන්න ද එක් කළ යුතුයි. නීති ගරුක ශික්ෂා ගරුක පුද්ගලයා මනා හික්මීමක් ලබයි. කය සිත වදන පාලනය කරගත් ඔහු ශික්ෂිතයෙක් වෙයි. ඔහුගෙන් අන් අයට සිය සිතින් කයින් වවනයෙන් නිසි හානියක් ඇති නොවෙයි. එවිට ඔහු තුළ හදවතින්ම සොම්නස් ඇතිවෙයි. එවැනි අය මුළු රටටම ආශිර්වාදයකි.

මෙය ගැඹුරින් විග්‍රහ කරන විට මීට සමාන්තර අදහසක් පෙන්වා දිය හැකිය. මීට පෙර කී පරිදි පුද්ගල සැනසුම නසන අභිධ්‍යා , ව්‍යාපාද ආදී කෙලෙස් සංසිඳුවා ගැනීමට විනය පුරුදු කරගෙන යෑමේදී ඇති වන බාධා මැඬගෙන පූර්ව කර්මාදී බලපෑම් වලින් දුර්වල නොවී, විනය ස්ථිරව පවත්වාගෙන යෑමට කටයුතු කිරීම ‘සුසික්ඛිත’ නම් වෙයි.

‘සුභාසිතාච යා වාචා ‘ යනු , මෙම ගාථාවෙහි අවසන් පදයේ සඳහන් වන මංගල කාරණයයි යහපත් වචන කතා කිරීම, මින් අදහස් කැරෙයි. මුසාවාද, පිසුනාවාචා ,ඵරුසාවාචා ,සම්ප්‍රප්පලාප ආදී වාග් දුසිරිතෙන් වැළකී පි‍්‍රය මනාප පි‍්‍රයශීලි වදන් තෙපළීම යහපත් ජජීවිතයක, ආශිර්වාදය ගෙන දෙන සුවිශේෂ ලක්ෂණයකි. මිනිස් වචනවල ඇති බලය ඉමහත්ය.

රටක් නගන්නට වුවද වචනවල ඇති ශක්තියේ බලපෑම ඉතා විශාලය. ‘හොඳට - නරකට, දෙකට කටමය. ‘ යන්නෙන් ද අර්ථවත් වන්නේ වචන වල බලයයි. හොඳ වදන පුද්ගලයාද පරිසරයද රට ද යහපත් කරවයි. එයම මංගලයක් නොවන්නේ ද?

මෙම මංගල කරුණු, අප ජීවිතවල වටිනාකම් වැඩි කරවයි. එවිට ජීවිතය ලස්සන වෙයි. බුද්ධාදී මහෝත්තමයන්ගේ දේශනා වදන් සුභාෂිත ලෙස නම් කළ හැකිය. ධර්මය අකාලික ය ඒහිපස්සිකය යන්න දැනත්විට එහි සුභාෂිත භාවය තමාට වැටහෙයි.

මෙලොව පරලොව යන දෙලොව ම සැනසෙන ජීවිතයක් උදා කර ගැනීමට මෙම මංගල කරුණු උපයෝගී කරගත හැකිය.

පින්වත් ඔපවත් , ඔබ ලද දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට මෙම මංගල කරුණූ එක්කරගෙන දෙලොව සැනසුම සාදාගන්න. ඒ සඳහා තිසරණ සරණින් ඔබට ශක්තිය උදාවේවායි පතමි.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]