ගිහි - පැවිදි සැමගේ පින් වැඩි කරන වස් පිළිවෙත
ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක,
විමල් බී. ලියනගේ
ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන්ට දැන් උදා වී ඇත්තේ වස් කාලයයි. එම කාලය තුළ
උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන්ව විහාරස්ථානවල වැඩ වාසය කරති. ගිහි
බෞද්ධයෝ උන් වහන්සේට වෙනදාටත් වඩා ඉහළින් සිවු පසයෙන් ඇප උපස්ථාන කරති.
විවිධ පින්කම් කරමින් සැදැහැවත්හු මේ දිනවල කැප වීමෙන් ම ආගමික
වතාවත්වල නිරතව සිටිති.
එබැවින් වස්සාන ප‍්‍රතිපදාව ගැන කරුණූ හොඳින් අවබෝධ කර ගැනීම ගිහි
පැවිදි කාටත් ඉතා ප‍්‍රයෝජනවත් ය. වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ
විසින් ආරක්ෂා කර ගත යුතු ප‍්‍රතිපත්ති සමුදාය “වස්සාන පටිපදාය”
යනුවෙන් හැඳින්වෙයි.
ඇසළ, නිකිණි, බිනර , වප් යන මාස හතර එනම් ජූලි, අගෝස්තු, සැප්තැම්බර්
හා ඔක්තෝම්බර් යන මාස වැසි මාස ලෙස සැලකෙයි. මෙම කාලයේදී දඹදිව මධ්‍ය
දේශයට දිවා රාති‍්‍ර නොකඩවා ම දැඩි වර්ෂාවක් ලැබේ. එම නිසා තෙමි, තෙමී
ගොහොරු මඩේ එරි, එරී මහත් දුෂ්කරතා මධ්‍යයේ භික්ෂූන් වහන්සේ චාරිකාවල
යෙදීම අතිශයින් අසීරුය.
එබැවින් මෙම දැඩි වර්ෂාව ඇති කාලය තුළ උපසම්පදා භික්ෂූන් වහන්සේ,
සාමණේර හිමිවරුන් ද සමග යෝග්‍ය ස්ථාන තෝරා ගෙන, එක තැනක වැඩ වාසය කරති.
උන්වහන්සේ දායක වරුන්ගේ ඇප උපස්ථාන ලබමින් භාවනානුයෝගීව හා සිල්වත්ව
පින් කෙතක් බවට පත්ව සිටිති. ගිහි බෞද්ධයන්ට අර්ථයෙන් හා ධර්මයෙන්
අනුශාසනා කරමින් අන්‍යොන්‍ය වශයෙන් උභයාර්ථ සිද්ධිය සඳහා වස් කාලය හොඳම
අවස්ථාවක් කර ගනු ලැබේ.
මුල් යුගයේ දී වැසි කාලය යැයි වෙනසක් නොමැතිව භික්ෂූන් වහන්සේ සුපුරුදු
පරිදි චාරිකාවෙහි යෙදුණහ. එහෙත් මෙම කාලය තුළදී විශේෂයෙන් පණුවන් පෑගී
මිය යෑමත් තෙමීම නිසා අධික සීතලෙන් රෝගාබාධ වැළදීමත් නිසා දායකයන්ගේ
කිසියම් කළ කිරීමක් හා සානුකම්පික බවක් ඇති වී තිබිණි.
මේ අතර ජෛන තීර්ථකයන් මහ වැසි කාලවලදී නේවාසිකව සිට තම දායකවරුන් සමග
ධර්ම කරුණු සාකච්ඡා කරමින් වැඩ සිටිමින් සිටින බව ඔවුහු දුටහ. ඒ නිසා
දායකවරු බුදුන් වහන්සේ සමීපයට ගොස් වැසි කාලයේ පවතින ආපදා හා ජෛන
තීර්ථකයින් අනුගමනය කරන පිළිවෙත් ගැන කරුණූ දැක්වූහ. තථාගතයන් වහන්සේ ද
දායකයන්ගේ අදහසට ඉතා හොඳින් ප‍්‍රතිචාර දක්වා , බෞද්ධ භික්ෂූන්ට වැසි
කාලය තුළ දී විහාරස්ථානයක නේවාසිකව සිට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ගුණ
නුවණ දියුණුකර ගැනීමට වස් කාලය උපයෝගී කර ගත යුතු බව අනුදැන වදාළහ.
බුදුන් වහන්සේ විනය නීතියක් ලෙස “ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං
උපගන්තුං” යනුවෙන් වස් විසීම ඉතාම සුදුසු යැයි දේශනා කළහ. දායකවරු ද
පිළිවෙත් සපුරන භික්ෂූන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට පුරුදු පුහුණු වූහ.
භික්ෂූන් වහන්සේ ද වස් කාලය තුළ නේවාසිකව පූර්ණකාලීන ව ආගමික වතාවත්වල
නිරත වූහ. පසුකාලීන ව ඇතැම් භික්ෂූන් වහන්සේ ස්ථානගත වූ තැන්ම ආරාම
වශයෙන් පිළිගෙන ඒවා වැඩි දියුණු කරමින් දායකයන් සමග ම ජීවත්වීමට කැමති
වූහ. දායකයන් ද “අපේ හාමුදුරුවන්” යැයි හඳුනාගෙන පෞද්ගලිකව ලෙන්ගතුකමට
උරුමකම් කියමින් දෙපාර්ශ්වයේම සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට හේතු සාධක
වූ බවට ශාසන ඉතිහාසය සාක්ෂි දරයි.
වස්සාන ශික්ෂා පදය අති උතුම් චාරිත‍්‍රයකි. දායකයන්ට මෙන්ම භික්ෂූන්
වහන්සේටත් සසර ගමනේදී පින්සිදු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ලෙස මෙය
හැඳින්විය හැකිය.
මෙම වස්සාන කාලයේදී භික්ෂූන් වහන්සේ සතිකරණයට හා සත්තාහකරණය මුල් තැන
දෙමින් ආගමික ශක්තිය තව තවත් වැඩි දියුණු කර ගනු ඇත.
වස්සාන පටිපදාව සිහි නුවණින් යුතුව පිරිය යුතු ය. එය සතිකරණය යනුවෙන්
හඳුන්වනු ලැබේ. වස් හාර මාසය තුළ නේවාසික විහාරස්ථානයේ දී ස්ථිර වූ
අධිෂ්ඨානයෙන් යුතුව වැඩ වාසය කරන බවට සහතික විය යුතු ය. “ඉමස්මිං
විහාරේ ඉමං තේ මාසං වස්සං උපේමි. ඉධ වස්සං උපේමි” “මම මෙම
විහාරස්ථානයෙහි වස් තුන් මාසය පුරා වෙසෙන්නෙමි” යන්න එම අධිෂ්ඨාන
වාක්‍යයෙන් දැක්වෙයි.
එතැන් සිට විහාරස්ථානයෙන් පිට වන සෑම අවස්ථාවක දී ම “මා වස් විසූ තැනට
නොවරදවාම ආපසු වඩින්නෙමි” යි යන අධිෂ්ඨානයෙන් පිටවීම අනිවාර්යෙන්ම සිදු
විය යුත්තකි. දිනකට කීප වාරයක් වූවද වස් විසූ තැනින් පිට වීමට අවශ්‍ය
වුවහොත් ඒ හැම අවස්ථාවක දීම ම මෙම අධිෂ්ඨානයෙන් පිටතට යා යුතු ය.
කිසියම් ලෙසකින් අමතක වීම වළක්වා ගැනීම සඳහා උපක‍්‍රමයක් ලෙස
විහාරස්ථානයේ පැහැදිලිව පෙනෙන තැනක “අයං වස්සාන කාලෝ” යනුවෙන් ලොකුවට
ලියා තැබීම සිරිතක් වශයෙන් පවතියි. එය දායකයන්ට දැන ගැනුම සඳහා ද
වැදගත් වන්නකි.
ඉහතින් දැක්වූ අධිෂ්ඨානය වස් කාලයට පමණක් සීමිත වූවකි. වස් ආරාධිත
දායකයන්ගේ පුණ්‍ය උල්පත නොසිඳ පවත්වා ගැනීමට වස් සිවු මාසය අතිශයින්ම
ප‍්‍රයෝජනවත් ය. සිහියෙන් යුතුව ආරාමයෙන් පිටවීම හා ඇතුළුවීම වස් කාලයට
පමණක් සීමා කොට ඇත්තේ ය. නොඑසේ නම් අධිෂ්ඨානය පවත්වා ගෙන තව දුරටත්
ඉදිරියට ගියහොත් සෙවණ දුන් ස්ථානය ගැන ඇල්මක් ඇති වී ස්ථිර පදිංචියක්
කර ගැනීමට පෙළඹීමට හැකි ය. එබැවින් සුපුරුදු පරිදි “චරථ භික්‍ඛවේ
චාරිකං” යනුවෙන් චාරිකාවෙහි යෙදෙමින් ජනතාවට අර්ථයෙන් හා ධර්මයෙන්
අනුශාසනා කළ යුතු බව බුදුන් වහන්සේගේ අවවාදයයි.
සත්තාහකරණය වස් වසන භික්‍ෂූන් වහන්සේ විසින් තදින්ම අනුගමනය කළ යුතු
තවත් අධිෂ්ඨානයකි. රාති‍්‍ර හයක උපරිමයකට යටත්ව ඉන් මෙහා ඕනෑම කාලයකට
පිටතට වඩින්නේ නම් මෙම අධිෂ්ඨානයෙන් ශක්තිමත් විය යුතු ය. මෙය වූ කලී
දැඩි වගකීමකට බැඳුණු අවස්ථාවකි. අසනීපයකට, මහා සංඝරත්නයේ කැඳවීමකට,
අසාධ්‍ය භික්‍ෂු නමකගේ ඉල්ලීමකට වැනි හදිසි කටයුතුවලට දින දෙක තුනක්
පිට ආවාසයක වැඩ සිටිය හැකි ය.
එහෙත් එවැනි කරුණක් සඳහා විහාරස්ථානයෙන් බැහැර වන භික්ෂූන් වහන්සේ,
පහත වාක්‍යය සිහි කර ගත යුතු ය. “සෙච් මේ ජීවිතන්තරායෝ න භවිස්ස. පුන
සත්තාහබ්භන්තරේ ආගමිස්සාමි” ඉඳින් මාගේ ජීවිතයට අනතුරක් නොවිණි නම්,
නැවත සත් දිනක් ඇතුළත වස් විසූ ස්ථානයට පැමිණෙන්නෙමි” යන අධිෂ්ඨානයයි.
ඒ සමඟම වස් විසූ භික්‍ෂූන් වහන්සේ එසේ පිටතට වඩින විට වගකිව යුතු
පැවිදි උතුමකුට හෝ කැපකරු ගිහියකුට හෝ දැනුම් දීම, අත්‍යවශ්‍ය කරුණකි.
භික්‍ෂූන් වහන්සේ නමක් වැසිකිළියට, කැසිකිළියට හෝ කුමන කුඩා කරුණක්
සඳහා හෝ එළි පෙහෙලි යන්නේ නම් ආවාසයේ කවරෙකුට හෝ දැනුම් දීම,ශාසන
පිළිවෙතෙහි යහපැවැත්මට හේතු වෙයි. මෙය ගිහි සමාජය ද අනුගමනය කරන්නේ
නම්, අන්‍යොන්‍ය බැඳියාවට ද අවබෝධයට ද එය හේතුවෙයි.
තමන්ගේ ආරාමයෙන් පිටතට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ හත් වන දින අරුණ
නැඟීමට පෙර වස් විසූ ස්ථානයට පැමිණීමට නොහැකි වුවහොත් වස්සාන
ශික්‍ෂාපදය බිඳී යන්නේ ය.ඉන් උන් වහන්සේට වස් අවසානයේ පූජා කරන කඨින
චීවරය පිළිගැනීමේ අයිතිය ද නොලැබී යයි. වගකීම් සහිත මෙම පිළිවෙත සිඳී
යෑමෙන් වස් විසූ උපසපන් භික්‍ෂූන් වහන්සේට ඇවතක් ද සිදු වන්නේ ය.
දායකයන්ට ද කඨිනානිශංස ලබා ගැනීමේ අවස්ථාව එයින් ගිලි හී යන්නේ ය.
එක් අවුරුද්දකට එක් විහාරස්ථානයක දී කඨින චීවර පූජා එකක්ම පමණක්
පැවැත්විය හැකි නිසා, වස්සාන ශික්ෂාපදය සමාදන් වූ උපසම්පදා භික්ෂූන්
වහන්සේ දිවි හිමියෙන් එම ප‍්‍රතිපදාව අනුගමනය කිරීමට කැප වී සිටිති.
පිටතට වැඩම කළත් ජීවිතයට අනතුරක් නොවන්නේ නම් සත් දිනක් ඇතුළත වස් විසූ
ස්ථානයට වැඩම කරන බවට අධිෂ්ඨාන කරන්නේ ද ඒ නිසාම ය. දැන්, වස් කාලයයි.
ඒ නිසා දායක ආදීන් තම යුතුකම් ඉටුකිරීමට උනන්දු විය යුතු ය. භික්‍ෂූන්
වහන්සේ ද තම වගකීම නිසි ලෙස ඉටු කළ යුතු ය. |