Print this Article


බුද්ධ කාරක ධර්ම

බුද්ධ කාරක ධර්ම

නිවනට පමුණුවන පිළිවෙත් පාරමිතා නම් වේ. “පරම” යන්නෙන් “උත්තම” යන අර්ථය ද ලැබේ. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් යන අර්ථයෙන් ද “පාරමිතා” යැයි කිව හැකි ය. ඒවා කුසල ධර්ම ගණයට වැටේ. එබඳු පාරමිතා දහයකි. එම දස වැදෑරුම් පාරමිතාවලට බුද්ධ කාරක ධර්ම යැයි කියනු ලැබේ. එම දස පාරමිතා නම් දාන පාරමිතාව (දාන පාරමිතා), ශීල පාරමිතාව (සීල පාරමිතා), නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව (නෙක්ඛම්ම පාරමිතා), ප්‍රඥා පාරමිතාව (පඤ්ඤා පාරමිතා), වීර්ය පාරමිතාව (විරිය පාරමිතා), ක්ෂාන්ති පාරමිතාව (ඛන්ති පාරමිතා), සත්‍ය පාරමිතාව (සච්ච පාරමිතා), අධිෂ්ඨාන පාරමිතාව (අධිට්ඨාන පාරමිතා), මෛත්‍රී පාරමිතාව (මෙත්තා පාරමිතා) සහ උපේක්ෂා පාරමිතාව (උපේක්ඛා පාරමිතා) යන්නයි.

“දානං සීලංච නෙක්ඛම්මං

පඤ්ඤා විරියේන පංචමං

ඛන්ති සච්ච මධිට්ඨානං

මෙත්තුපෙක්ඛාතිමේ දස”

පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නෙක් කරුණු පහක් සම්පූර්ණ කරයි. එනම් තණ්හාවෙන් තොර ව දාන සීලාදී ගුණධර්ම පිරීම, මානයෙන් තොර ව එම ගුණධර්ම පිරීම, මිථ්‍යා දෘෂ්ඨියෙන් තොර ව එම ගුණධර්ම පිරීම, කරුණාවෙන් යුක්ත ව දාන සීලාදී ගුණ ධර්ම පිරීම, උපාය කෞශල්‍ය ඥානයෙන් යුක්ත ව එම ගුණධර්ම පිරීමයි.

ඉහත දැක්වෙන අයුරින් දස පාරමිතා තණ්හාවෙන්, මානයෙන්, දෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් ප්‍රඥාවෙන් යුතු ව පූරණය කිරීමෙන් බුද්ධත්වය අවබෝධ කර ගත හැකි වේ. නිවන් අවබෝධ කර ගැනීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු ය. අවබෝධ කර ගැනීමට අදාළ පිළිවෙත අනුව එය සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යනුවෙන් තුන් ආකාර වේ. මෙය තුන්තරා බෝධිය යි.

මේ එක් එක් බෝධියකින් නිවන් අවබෝධ කරන බෝසත්වරුන් පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පිළිවෙළක් තිබේ. ඒ අනුව පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යනුවෙන් එක් එක් පාරමිතාවක් තුන් වැදෑරුම් වීමෙන් දස පාරමිතාවෝ තිස් වැදෑරුම් වෙති.

උදාහරණයක් ලෙස දාන පාරමිතාව ත්‍රිවිධාකාර වන ආකාරය පහත දැක්වේ.

දාන පාරමිතාව

දාන පාරමී - බුදු බව පතා සියලු වස්තු දන් දීම

දාන උපපාරමී -

බුදු බව පතා ශරීර අවයව දන් දීම

දාන පරමත්ථ පාරමී - බුදු බව පතා ජීවිතය දන් දීම

මේ අනුව සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්ත්වයන් වහන්සේ පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යන තුන් ආකාරයෙන් ම දස පාරමී වැඩිය යුතු ය. එවිට මේ අනුව පාරමිතාවෝ තිස් වැදෑරුම් වෙති.

පසේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්ත්වයන් වහන්සේ පුරන්නේ පාරමී, උපපාරමී යන පිළිවෙත් ය. එවිට පාරමිතා විසි වැදෑරුම් වේ. අරහත් ඵලය ප්‍රාර්ථනා කරන බෝධිසත්ත්වයන් වහන්සේ පාරමී නම් මූලික ගුණ ධර්ම දහය සම්පූර්ණ කරති.

ගෞතම නමින් බුද්ධත්වයට පත් අප මහ බෝසතාණෝ සියලු පාරමිතා පූරණය කළේ තමන් සසර දුකින් එතෙර ව ලෝ වැසියන් ද එතෙර කරවීමේ අපේක්ෂාවෙනි. ඒ නිසා ම උන්වහන්සේ තුළ වර්ධනය වූ ප්‍රඥාව හා කරුණාව උත්තරීතර ය.

සසර දුක් නැති කිරීමෙන් නිවන් පසක් කර ගැනීමට පමණක් නොව මෙලොව ජීවිතය යහපත් කර ගැනීමට ද පාරමිතාවන්ගෙන් ලැබෙන ආදර්ශය අප සැමට ප්‍රායෝජනවත් වේ.

දාන පාරමිතාව

තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තම අයිතිය අත්හැර අපේක්ෂාවකින් තොරව දීම දානය යි. තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්මවලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම, පූජා බුද්ධියෙන් දෙන දානය යි කෙනකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන්, අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කිරීම අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යි.

දානය පාරමිතාවක් වීමට නම්, තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් එය සිදු කළ යුතු යි.

දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නො ගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතු ය. දන් දෙන්නා අනෙක් අයට වඩා කැපී පෙනීමේ අදහස් ඇති ව හෝ තම වත්පොහොසත්කම පෙන්වීම සඳහා හෝ දීමේ දී එම දානයට මානය පදනම් ව ඇත. එසේම දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ගැනීමේ ආශාව පෙරදැරි කර ගෙන දීමෙන් තෘෂ්ණාව වැඩි දියුණුූ වේ. භාවනාදි අනෙක් ගුණ දහම් නො සලකා හැර දානයෙන් පමණක් විමුක්තිය ලබා ගත හැකි ය, යන අදහස මත දන් දීම දෘෂ්ටියෙන් යුක්ත ව සිදු කරන්නකි. දන් දීමේ දී අයහපත් සිතිවිලිවලින් තොර ව මෛත්‍රී සිතිවිලි ඇති කර ගත යුතු ය. දානයෙන් හොඳ විපාක ඇති බව හා එයින් තමන්ට යහපතක් වන බව සිතා මෝහයෙන් ද ඈත් වී නුවණින් යුක්ත ව දන් දෙන විට අලෝභාදී කුසල සිතිවිලි වර්ධනය වේ.

දානය පාරමිතාවක් වශයෙන් පූරණය කරන උතුමෝ එය, දාන පාරමි වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දීමෙන් (වෙස්සන්තර ජාතකය), දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමෙන් (සිවි ජාතකය), දාන පරමත්ථ පාරමී වශයෙන් තම ශරීරය දන් දීමෙන් (සස ජාතකය) යන ත්‍රිවිධාකාරයෙන් එම පාරමිතාව පූරණය කරති.

නිර්වාණාවබෝධය අපේක්ෂා කරන උතුමෝ මෙම ගුණ ධර්මය ටිකෙන් ටික දියුණු කර ගනිති. මෙය සමාජගත ජීවිතයට ද වැදගත් වන බැවින් අප ද එම ගුණධර්මය පුරුදු පුහුණූු කිරීම ඉතා ප්‍රයෝජනවත් ය.

පරිත්‍යාගශීලී වීම අප ජීවිතයට එක්කර ගත යුතු ගුණධර්මයකි. දන් දීමෙන් අපට මෙම ගුණධර්මය ප්‍රගුණ කර ගත හැකි ය. ලෝභයෙන්, ද්වේෂයෙන් තොරව, මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කර ගැනීමට දානය උපකාරී වේ. අසරණ අයකුට පිහිට වීමෙන් ඔහු එම තත්ත්වයෙන් මුදා ගත හැකි ය. ශිෂ්‍යයන් ලෙස අප දන්නා විෂයය කරුණු මිතුරන්ට කියා දීමෙන් ද, අවශ්‍ය පත පොත හුවමාරු කර ගනිමින් අධ්‍යාපනයෙහි නිරත වීමෙන් ද මෛත්‍රී සිතිවිලි වර්ධනය වේ. මිහිරි පලතුරක් හෝ අහරක් හෝ අනුභව කරන විට බෙදා හදා ගැනීම, අප සතු ව වැඩිපුර ඇති ඇඳුම් පැලඳුම් ආදිය නැති බැරි කෙනකුට පරිත්‍යාග කිරීම ආදිය වැනි කටයුතු මඟින් අපට ද දාන ප්‍රතිපදාව පිරිය හැකි ය.

සීල පාරමිතාව

කය, වචන දෙකෙහි සංවරය සීලය යි. එනම් කායික හා වාචසික වශයෙන් අයහපත් ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවල යෙදීමකි. නරක වචන කතා නො කර හොඳ වචන කතා කිරීමයි. ප්‍රාණඝාතය අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන අකුසලයන්ගෙන් වැළකීම කායික සීල සංවරයයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වචනයෙන් සිදු කරන අකුසලයන්ගෙන් වැළකීම වාචසික සීල සංවරයකි.

එහෙත් සීල ශික්ෂාව සම්පූර්ණ වීමට එසේ නොකළ යුතු, අවැඩදායක, අයහපත් ක්‍රියාවලින් වැළකීම ප්‍රමාණවත් නැත. ඒ සමඟ ම වැඩදායක යහපත් ක්‍රියාවල ද නිරත විය යුතු ය. ඒ අනුව සත්ත්ව ඝාතන, සත්ත්ව හිංසාවලින් වැළකීම මෙන් ම සියලු සත්ත්වයන්ට හිතෛෂී වීම, සානුකම්පිත වීම, කරුණා මෛත්‍රිය දැක්වීම ද අවශ්‍ය ය. සොරකමින්, නුදුන් දේ ගැනීමෙන් වැළකීම සමඟ ම දුන් දේ ගැනීම, දෙනු කැමැති වීම ද අවශ්‍ය ය. අබ්‍රහ්මචාරියාවෙන් වැළකීම මෙන් ම බ්‍රහ්මචාරී වීම ද සීලය යි. මුසාවෙන් වැළැකීමත් සත්‍ය ප්‍රකාශයත් සීලය යි. කේලමින් වැළකීමත්, අනුන් සමඟි වන වචන කීමත් සීලය යි. හිස් වදනින් වැළකීමත්, අර්ථවත් වදන් කීමත්, මිථ්‍යා ආජීවයෙන් තොර ව සම්මා ආජීවයෙහි යෙදීමත් සීලය යි.

තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව සීලය ආරක්ෂා කිරීම සීල පාරමිතාව යි.

බෝසතාණන් වහන්සේ විසින් සීල පාරමිතාව ද පියවර තුනකින් සම්පූර්ණ කළහ.

තම බාහිර වස්තු විනාශ වුව ද සීලය කඩ නොකිරීම (සීල පාරමී), තම ශරීර අවයව විනාශ වුව ද සීලය කඩ නොකිරීම, (සීල උපපාරමී), තම ජීවිතය විනාශ වුව ද සීලය කඩ නොකිරීම (සීල පරමත්ථ පාරමී) වශයෙනි.

අප මහ බෝසතාණෝ සීල පාරමිතාව පිරූ ආකාරය “සීල විමංස” ආදී ජාතක කතාවලින් පැහැදිලි වේ.

සිල්වත් තැනැත්තා පවින් වළකී. හෙතෙම අනුන්ගේ ජීවිත ආරක්ෂා කරයි. දේපළ ආරක්ෂා කරයි. අනුන්ගේ ජීවිතවලට හා දේපළවලට ගරු කරයි. වැරැදි කාමයෙහි නො යෙදේ. අනුන් නො රවටයි. කේලමින්, හිස්වචනවලින් රළු වචනයෙන් අනුන්ට පීඩා නො කරයි. පි‍්‍රයවාදී වෙයි. මද්‍යසාර භාවිතයෙන් වළකියි. මෙසේ සිල්වතා සමාජයේ සෙසු අයට හානි නොකරන බැවින්, යහපතක් ම කරන බැවින් හෙතෙම සමාජය තුළ බියෙන්, සැකෙන් තොර ව ජීවත් වෙයි. සමඟියෙන්, සහයෝගයෙන් ජීවත් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර ලබයි.

ශිෂ්‍යයකු වශයෙන් අපට ද සිල්වත් වීම තුළින් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර එබඳු අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි ය.

නෙක්ඛම්ම පාරමිතාව

පංච ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආසාවෙන් ඉවත්වීමේ ප්‍රතිපදාව නෙක්ඛම්ම පාරමිතාව යි. ඇස, කන, නාසය, දිව, හා ශරීරය පිනවීමට අපි ආසා කරමු. දිවට ගිජුවීම නිසා විවිධ කරදරවලට, අසහනයට, භාජනය වීමට සිදුවේ. එකී පස්කම් සුව අත් නොහැර නිවන් දැකීමට නොහැකි ය. එබැවින් නිවන් අරමුණු කර ගත් බෝසත්වරු කම් සුවයෙන් නිති බැහැර වෙති.

එසේ බෝසත්වරුන් නෙක්ඛම්ම පාරමිතාව සම්පුර්ණ කරන පිළිවෙතක් ඇත. පළමු කොට නිවැරැදි හා අන් අයට හිරිහැරයක් නො වන පරිදි ඇස, කන ආදී පසිඳුරන් පිනවන ඔවුහු දෙවනුව ඉන්ද්‍රියයන් පිනවීමේ ආදීනව ගැන කල්පනා කරති. තාවකාලික ව විඳින සැප ගැන ද, ඒ වෙනුවෙන් බෙහෙවින් වෙහෙසෙන ආකාරය ගැන ද සිහිපත් කරති. එයින් සිදුවන්නේ පසිඳුරන් පිනවීම කෙරෙහි පවත්නා ආශාව ශුන්‍ය වීමයි. පස්කම් සැපතින් ඉවත්වීමේ කල්පනාව හෙවත් නෙක්ඛම්ම සංකල්ප ඇති වන්නේ එවිට යි.

තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව පංච කාම සම්පත්තියෙන් ඉවත්වීම නෙක්ඛම්ම පාරමිතාවයි.

නෙක්ඛම්ම පාරමිතාව පුරන බෝසත් උතුමෝ ත්‍රිවිධ ආකාරයකින් එය පූරණය කරති.

තම බාහිර වස්තු, අඹුදරුවන් අත් හැරීම නෙක්ඛම්ම පාරමිතාවයි.

ශරීර අවයව නැති වුවත් කාමයන්ගෙන් වෙන්වී සිටීම නෙක්ඛම්ම උපපාරමිතාවයි.

ජීවිතයට හානියක් වුව ද කම් සැප නො විඳීම නෙක්ඛම්ම පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පූරණය කළ ආකාරය “මඛාදේව ජාතකයෙන්” පැහැදිලි වේ.

සමාජගත ජීවිතයේ සාර්ථකත්වයට අසීමිත ආසාවන්ගෙන් තොරවීම, අඩු බලාපොරොත්තු ඇති බව, අල්පේච්ඡතාව ඉතා ප්‍රයෝජනවත්ය. සමාජයේ සාපරාධී ක්‍රියා බහුල වීමට මිනිසුන් මහිච්ඡතාවෙන් හෙවත් අසීමිත ආසාවන්ගෙන් යුක්ත වීම හේතුවක් වී තිබේ. මැදහත් ව කටයුතු කිරීමේ පුහුණුවක් නෙක්ඛම්ම පාරමිතාව තුළින් අප ජීවිතයට එක් කර ගත හැකි ය. එමඟින් අපට මානසික සමබරතාවෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ශිෂ්‍යයන් ලෙස අපට ද සැහැල්ලු මනසකින් යුතු ව සෞඛ්‍ය සම්පන්න ව හා සදාචාරාත්මක ව දෛනික කටයුතු සිදු කිරීමට මෙම ගුණධර්මය ප්‍රගුණ කළ හැකි ය.

ප්‍රඥා පාරමිතාව

ජීවිතය හා ලෝකය පිළිබඳ ඇති තතු හෙවත් යථා තත්ත්වය වටහා ගැනීම ප්‍රඥාව යි. නිවන සොයා යන බෝසත්වරු මෙය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කරති. ලෞකික, ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව දෙවැදෑරුම් වේ. එදිනෙදා කටයුතුවල දී අවශ්‍ය වන්නේ ලෞකික ප්‍රඥාව යි. සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. ප්‍රඥාව දියුණු කර ගන්නා ක්‍රම තුනකි. සිතීමෙන් නුවණ දියුණූු කර ගැනීම චින්තාමය ප්‍රඥාවයි. ගුරුතුමාට සවන්දීමෙන්, පොතපත කියවීමෙන් නුවණ දියුණුූ කර ගැනීම සුතමය ප්‍රඥාවයි. භාවනාවෙන් නුවණ ලබා ගැනීම භාවනාමය ප්‍රඥාවයි. මේ තෙවැදෑරුම් ක්‍රමයෙන් ම නුවණ දියුණු කර ගැනීමට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන බෝධිසත්ත්වයන් වහන්සේ ක්‍රියා කරති.

තණ්හාවෙන්, මානයෙන්, මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් යුතු ව තම ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමිතාව යි.

ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන බෝධිසත්ත්වයන් වහන්සේ තෙවැදෑරුම් ආකාරයකින් ක්‍රියා කරති.

සියලු භෞතික වස්තු කෙරේ බැඳීම් නැතිව ප්‍රඥාව දියුණූු කිරීම ප්‍රඥා පාරමී ලෙස ද, ශරීරාංග ගැන නො සලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා උපපාරමී ලෙස ද, ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පරමත්ථ පාරමී ලෙස ද හැඳින්වේ.

අප මහ බෝසතාණන් ප්‍රඥා පාරමිතාව ප්‍රගුණ කළ අවස්ථා රාශියක් ජාතක කතා තුළ දැක ගත හැකි ය. උම්මග්ග ජාතකය ඊට එක් නිදසුනකි.

නුවණින් කටයුතු කිරීම සමාජගත ජීවිතයට ද ඉතා වැදගත් ය. නිවැරැදි දැක්ම සෑම කටයුත්තක ම සාර්ථකත්වයට අවශ්‍ය වේ. පතපොත කියවීම හා අසා දැන ගැනීම ආදිය මඟින් ලෝකය පිළිබඳ අප දැනුවත් විය යුතු ය. එසේ ම විමසිලිමත් නුවණින් කටයුතු කිරීම, ශිෂ්‍ය ජීවිතයට ඉතා වැදගත් ය. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා පැවැත්වීම කරුණු පැහැදිලි කර ගැනීමේ අදහසින් ප්‍රශ්න කිරීම හා තර්ක කිරීම ආදිය ද ප්‍රඥාව ලබා ගැනීමට උපකාරි වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මෙම ප්‍රඥා පාරමිතාවේ ආදර්ශය අපට ද බෙහෙවින් උපකාරි වේ.

වීර්ය පාරමිතාව

උතුම් බලාපොරොත්තුවක් ඉටුවෙන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයකි. පසු බැසීමට හේතුවන කුමක් ඉදිරිපත් වුව ද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවී කටයුතු ඇරඹීමටත්, ඇරඹි කටයුතු නො නවත්වා ඉදිරියට කර ගෙන යාමටත් බලවත් ලෙස ප්‍රයත්න දැරීම වීර්ය පාරමිතාව යි. තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව හා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව තමන්ගේත්, අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස ගන්නා වූ බලවත් උත්සාහය වීර්ය පාරමිතා නම් වේ.

යම් කාර්යයක් ආරම්භ කිරීමේ දී ඇති කර ගත යුතු වීර්යය (ආරම්භ ධාතු) ඉදිරිපත් වීමේ දී ඇති කරගත යුතු වීර්යය (නික්කම ධාතු) නිරත වීමේ දි ඇති කර ගත යුතු වීර්යය (පරක්කම ධාතු) යන පියවර තුනේ දී ම නො පසුබස්නා බව, කැපවීම තිබිය යුතු ය.

බෝසත්වරු මෙම පාරමිතාව පූරණය කරන ආකාර තුනකි.

බාහිර වස්තුවලට ආසාවෙන් අත් නොහරින වීර්යය වීර්ය පාරමිතාවයි.ශරීරාංගවලට ආසාවෙන් අත් නොහරින වීර්යය වීර්ය උපපාරමිතාව යි. ජීවිතයට ආසාවෙන් අත් නොහරින වීර්යය පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වීර්ය පාරමිතාව පිරූ ආකාරය “වණ්ණුපථ” ජාතකයෙන් පැහැදිලි වේ.

සමාජගත ජීවිතයට මෙම පාරමිතාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය. යම් අරමුණක් පෙරදැරි ව ඒ අරමුණ සාර්ථක කර ගන්නා තුරු නොපසුබට උත්සාහයෙන්, වීර්යයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. යමක් ආරම්භ කිරීමේ දී, ඉදිරිපත් වීමේ දී හා නිරතවීමේ දී වීර්යය ඇති කර ගැනීමෙන් සාර්ථකත්වයට පැමිණිය හැකි ය. බොහෝ කටයුතු අඩපණ වී යන්නේ ඉහත දැක්වූ තෙවැදෑරුම් වීර්යයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙනි. ශිෂ්‍යයන් වශයෙන් එක් අරමුණක පිහිටා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කරා ගමන් කළ හැකි ය. තරග විභාග ආදියෙන් ජය ගැනීමට, කුසලතා සම්මාන සහතික ලබා ගැනීමට, වැඩිහිටියන්ගේ ප්‍රශංසා, සමාජයේ දී ගෞරවය ආදිය ළඟා කර ගැනීමට වීර්යවන්ත භාවය බෙහෙවින් ඉවහල් වේ. උත්සාහයෙන් තොර, අලස, පසුගාමි පුද්ගලයකුට ලැබිය හැකි ජයග්‍රහණයක් නැත. උදාකර ගත හැකි ප්‍රගතියක් ද නැත.

මෙම ලිපියේ ඉතිරි කොටස බිනර පුර අටවක පෝ දා අන්තර්ජාල කාලපයේ පළ වේ