මරණය ඉදිරියේ
අසරණ නොවන්නට...
දර්ශනපති
කනංකේ විජිතනන්ද හිමි
මේ ලෝකයෙහි හටගන්නා වූ සියලු සංස්කාර ධර්මයන්හි යථා ස්වභාවය නම් කාලයත් සමඟින්
විනාශ වී යෑමයි. මෙලොව උපන් අප හැමදෙනා ද එලෙස මරණය කරා ගමන් කරන අතර, අවසානයෙහි
රැගෙන යනු ලබන්නේ ජීවිත කාලය පුරා කරන ලද හොඳ, නරක පමණි.
මෙකී යථාර්ථය බොහෝ දෙනාට අවබෝධ කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. නොමැරෙන
මිනිසුන් සේ දිවි ගෙවීමට පෙළෙඹෙන බහුතරයක් දෙනාට අවසානයෙහි උරුම වනුයේ දුක, වේදනාව
පමණි. මේ නිසා මිනිසත් බව ලද අප සැම දෙනා ම මෙකී යථා ස්වභාවය මැනවින් වටහා ගැනීම
දෙලොවට ම සැපදායක වන අතර, ඉතා සුළු කාල පරාසයක් දිවි ගෙවන මිනිසා එකතු කර ගත යුත්තේ
භෞතික සම්පත් නොව කුසල ධර්මයන් ය.
හිස් අතින් මෙලොව එළිය දුටු හැම දෙනා අවසානයෙහි යා යුත්තේ හිස් අතින් නොවන අතර, සසර
සැපත, සැප ගෙන දෙන කුසලතාවලින් හෙබි අයකු ලෙස බව අද අද ම සිහියට ගත යුත්තකි.
උපත හා මරණය යන වචන දෙක අප සැම දෙනාට පොදු වූවකි. මෙලොව උපන් සැම දෙනා අවසානයෙහි
මරණ ධර්මතාවට කෙසේ හෝ පත්වෙති. එය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථා තුළ
විවිධ උපමා මුල්කොට ගෙන දේශනා කොට ඇත. ඒ අනුව විටෙක ජල බිඳුව, විදුලි ධාරාව,
පෙණපිඩ, මැටි භාජනය වැනි බොහෝ උපමා රූපක මෙකී මරණය සඳහා යොදාගෙන ඇත. එලෙස යොදා
ගැනීමට හේතුවී ඇත්තේ ද ජීවිතයේ යථා ස්වභාවය මැනවින් පෙන්වාදීම උදෙසා බව
ත්‍රිපිටකයෙහි ඇතුළත් දේශනා තුළින් මනාව ගම්‍ය වේ. මරණය දරා ගැනීමට නොහැකි ව බුදුන්
වහන්සේ වෙත එළැඹි කිසාගෝතමී වැනි විවිධ අයට උන් වහන්සේ මනසට ගෝචර වන පරිදි මරණයෙහි
ස්වභාවය ඉතා කදිමට උගන්වා ඇත. මෙය ලොකු, කුඩා, බාල, පණ්ඩිත යනුවෙන් ද දුප්පත්,
පොහොසත් ආදී වශයෙන් ද කිසිදු භේදයක් නොමැති ධර්මතාවකි. කර්මය මූලික කොටගත් එය කෙසේ
කොතැන දී සිදු වේ දැයි කිසිවකුට නිශ්චිත ව කිව නොහැකි ධර්මතාවකි. බුදුන් වහන්සේ
කරුණු හතරක් යටතේ එය මනාව දේශනා කොට ඇත.

ආයුක්ඛය - ආයුෂ කෙළවර මිය යෑම
කම්මක්ඛය - කර්මය කෙළවර මිය යෑම
උභයක්ඛය - ආයුෂයත්, කර්මයත් කෙළවර මිය යෑම
උපච්ඡේදකය - නොසිතූ විටෙක හදිසියේ මියයෑම
ආදී වශයෙන් මරණයෙහි ස්වරූපය පෙන්වා වදාළ උන් වහන්සේ ‘සංඛාරා’ යන වචනයෙන් පෙන්වා
දෙනු ලැබුවේ සියලු සංස්කාර ධර්මයන් ය. එනම් පණ ඇති හා පණ නැති සියල්ල යන්නයි.
‘අනිච්චා’ යනුවෙන් උගන්වා වදාළේ එකී සියල්ල අනිත්‍යතාව හෙවත් වෙනස්වී නැසෙන සුළු
බවයි. ‘වත’ යන නිපාතයේ දැක්වෙන්නේ ඒකාන්තයෙන් නැසෙන බවයි. මේ අනුව උපන් හැම දෙනාට ම
කාලය සමඟ වෙනස්වීම ද, අවසානයෙහි මරණය ද ඒකාන්තයෙන් ම උරුම පොදු සාධාරණ ධර්මතාවක් බව
මේ අනුව මැනවින් පසක් වනු ඇත.
බෞද්ධ ධර්මයෙහි එලෙස ඉතා පැහැදිලි ව ජීවිතයේ යථා ස්වභාවය දැක්වුව ද මිනිසුන් එය
අවබෝධ කර නොගැනීම අවසනාවකට හේතුවකි. එහි අනිසි ප්‍රතිඵල අද වන විට සමාජය තුළින් ම
මනාව දැක ගත හැකි ය. ධනය, බලය නිසා නොමැරෙන අයුරින් ජීවත්වන බොහෝ දෙනාට මරණයෙහි
වේදනාව දැනෙනුයේ අවසානයෙහි ය. එවිට බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති ඔවුන් පසු තැවීමට
පත්වී මරණයට ගොදුරු වෙති. තමාට හැකි කාලය තුළ ජීවිතයෙහි යථා ස්වභාවය අවබෝධ කර
නොගන්නා බහුතරයක් වූ පිරිස දිවි ගෙවනු ලබන්නේ අමරණීය අයුරිනි.
ගිහි පැවිදි යන අප දෙපක්ෂය ම මෙය ගැඹුරින් ම සිතට ගත යුත්තකි. දැඩි තෘෂ්ණාවෙන් ගොඩ
ගසා ගැනීම නොව, හැකි තරම් අත්හරිමින් සිත සැහැල්ලු කර ගැනීම මෙකී අවබෝධය සඳහා
බෙහෙවින් ඉවහල් වනු ඇත.
“පුත්තා මත්ථි ධනං මත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනෝ නත්ථි
කුතෝ පුත්තෝ කුතෝ ධනං”
යන බුද්ධ දේශනාවට අනුව බාලයා හෙවත් මෝඩයා හැම විටම සිතනුයේ දරුවන්, ධනය තම යහපත
සතුට බවයි. එහෙත් තමාට තමාවත් නැති කල්හි ධනයෙන් හා දරුවන්ගෙන් ඇති ප්‍රයෝජනයක්
තිබේද? යන්න බුද්ධිමත් ව අප අවබෝධ කර ගත යුත්තකි. ඇතැම් තිරිසන් සතුන්ගේ මරණයෙන්
පසු ශරීරයෙහි විවිධ අංග ප්‍රයෝජනයට ගත හැකි වුව ද මනුෂ්‍ය ශරීරයෙන් ගත හැක්කේ
කුමක්ද යන්න ගැඹුරින් ම සිතට ගත යුතු වටිනා ම කරුණකි. මේ නිසා දුර්ලභ මිනිසත් බව ලද
අප උපත සමඟින් මරණය යන ධර්මතාවට අනිවාර්යයෙන් ම මුහුණ දීමට සිදුවන බව දැන ගෙන
ජීවත්වීම සැහැල්ලු අල්පේච්ඡ දිවි මඟකට බෙහෙවින් හේතු වනු ඇත.
“සබ්බං පහාය ගමනීයං” සියල්ල හැර දමා මෙලොවින් යන අප රැගෙන යන්නේ මොනවා දැයි යන්න
තමා තමාගේ ම බුද්ධියෙන් විමසිය යුතු කාලය එළැඹ ඇත. එවිට නූතන සමාජයෙහි පවතින බොහෝ
ගැටලු සඳහා විසඳුම වන අතර, මරණ ධර්මතාව ඔස්සේ උඩුගං බලා යෑම හෙවත් නිවන් මඟට
බෙහෙවින් හේතු සම්පන්න වන බව මතකෙහි තබා ගන්න.
|