Print this Article


විනය ශාසනයේ ආයුෂය යි

විනය ශාසනයේ ආයුෂය යි

“විනය” යන වචනයෙන් බොහෝ අර්ථ ගෙන දෙයි. ඒවා අතර හික්මීම, හැදියාව, ආචාරශීලි බව, සංවර බව ආදියයි. මෙකී ගුණාංග ගිහි පැවිදි හැම දෙනාට ම අතිශයින් ම වැදගත් වනු ඇත. මෙකී විනය පිරිහීම තුළ සමාජය කෙතරම් දුරට විනාශය කරා යොමු වී තිබෙන්නේද යන්න නූතනයෙහි සිදුවන බොහෝ සිදුවීම් තුළින් මනාව සනාථ වේ. ඒ නිසාම වත්මන් සමාජයට විනය හෙවත් හික්මීම බෙහෙවින් වැදගත් කාලයක් බවත් එය නොමැති කල සිදුවන්නේ තවදුරටත් සමාජය පිරිහීම පමණි.

“විනයෝ නාම සාසනස්ස ආයු” යන දේශනා පාඨයට අනුව විනය ශාසනයේ ආයුෂ බව දක්වා ඇත. වසර 20ක් පමණ කාලයක් තම ශ්‍රාවකයන් බුදුහිමියන් විසින් හික්මවනු ලැබුවේ ඕවාද ප්‍රාතිමෝක්ෂය හෙවත් අවවාදය තුළිනි. එහෙත් ශාසනයේ ඇතිවූ බොහෝ ගැටලු හමුවේ විනය පැනවීම සිදුකළ තථාගතයන් වහන්සේ හැමවිටම හික්මීම හෙවත් ආචාරශීලි බව, අගය කළ බව සමස්ත විනය පිටකය පුරාම ඉතා මැනවින් දක්වා ඇත. ඒ නිසාම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමු ධර්ම සංගීතියේ දී සියල්ලට ම පෙර සංගායනාවට පාත්‍ර වූයේ විනයයි. ඒ තුළින් විනයේ ඇති වැදගත් බව ඉතා කදිමට පැහැදිලි වනු ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් මෙසේ සඳහන් කොට ඇත්තේ විනය විවිධ අදහස් මූලික කරගෙන දේශනා කරන ලද්දක් බව අර්ථකථනය කිරීමෙනි.

“විවිධ විසේස නයන්තා

විනයනතෝ චේව කායවාචානං

විනයත්ථ විදූහි අයං

විනයෝ විනයෝති ආඛ්‍යාතෝ”

විශේෂයෙන් “ආසවට්ඨානීය” ධර්ම තුළින් එය තවදුරටත් විග්‍රහ කොට ඇත්තේ මෙසේය.

1.රත්තන්‍යු මහන්තතා - කල්ගත වීම

2.ලාභග්ග මහන්තතා - ලාභ සත්කාර වැඩිවීම

3. වේපුල්ල මහන්තතා - පිරිස වැඩි වීම

4. බාහු සච්ච මහන්තතා - උගතුන් වැඩි වීම

මෙකී කරුණුවලට අමතරව අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් විනය පැනවීමේ අරමුණූ කරුණු 10ක් යටතේ දක්වා ඇත.

සංඝ සුට්ඨුකාය- සංඝයාගේ මනා පැවැත්ම පිණිස

සංඝ පාසුතාය - සංඝයාගේ පහසුව පිණිස

දුම්මංකුනං පුග්ගලානං නිග්ගහාය - දුර්ගුණ ඇති පුද්ගලයන්ට නිග්‍රහ පිණිස

පේසලානං භික්ඛුනං ඵාසු විහාරාය - සුපේෂල භික්ෂුන්ගේ සුඛ විහරණය පිණිස

දිට්ඨ ධම්මිකානං ආසමානං සංවරාය - මෙලොව කෙලෙස් දුරු කිරීම පිණිස

සම්පරායිකානං ආසවානං පටිඝාතාය - පරලොවට පැමිණිය හැකි දුක් දුරු කිරීම පිණිස

අප්පසන්නානංවා පසාදාය - නොපැහැදුනන්ගේ පැහැදීම පිණිස

පසන්නානං වා භීය්‍යොභාවාය - පැහැදුනන්ගේ වඩා පැහැදීම පිණිස

සද්ධම්මට්ඨිතියාය - සද්ධර්මයෙහි දිගුකාලීන පැවැත්ම පිණිස

විනයානුග්ගහාය - ශාසනික ශික්ෂාවට අනුග්‍රහය පිණිස

මෙකී කරුණු මඟින් පැහැදිලි වන්නේ විනය හෙවත් ආචාරශීලි බව කොතරම් දුරට වැදගත්ද යන්නයි. එය මුළුමහත් ශාසනයෙහිම ආයුෂ බව දක්වන්නේ අන් කිසිවක් නිසා නොව විනය සැබැවින්ම ශාසනයේ කොඳු නාරටිය යි. එය සිඳුනු කල්හි විනාශය කරාම ගමන් කරන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

බුදුදහමෙහි සියල්ලට ම වඩා ඉහළින් විනය තබා ඇත්තේ මෙකී සාධක මුල්කොට ගෙනය. විනය පිරිහීම තුළ සමාජය කො තරම්දුරට පිරිහී ඇත්තේ ද යන්නට හොඳම සාධකය වන්නේ නූතනයෙහි සිදුවන විවිධ සිදුවීම් හා පුද්ගල පරිහානිය යි. එය ගිහි පැවිදි දෙපක්ෂයට ම පොදු වූවකි. ප්‍රධාන වවශයෙන් ශාසනය රැකගැනීමෙහිලා භික්ෂු සමාජය තුළ විනය අතිශයින් ම වැදගත් සාධකයකි. එය පිරිහීම තුළ ලෝකයට බුදුදහමේ පණිවුඩය කෙසේවත් සාර්ථකව ලබාදිය නොහැකිය. මේ නිසා නූතන සමාජයේ සියලු දෙනාටම විනය බෙහෙවින් අවශ්‍ය වූවකි. එය නොමැති කල සිදුවන්නේ පුද්ගල පරිහානිය යි. එකී පුද්ගල පරිහානිය පිළිබඳ පුන පුනා කිවයුතු වන්නේද නැත. මුළු මහත් ශාසනයෙහි ම කොඳුනාරටිය ලෙස සැලකෙන විනය ආරක්ෂා වීම තුළ තවදුරටත් ශාසනය රැකෙන බව බුද්ධ දේශනාව තුළම ඉතා පැහැදිලි ව දක්වා ඇත. මේ නිසා විනය මුළුමහත් සමාජයට ම යහපත ගෙන දෙන්නක් වන්නේ එය අනුගමනය කොට ක්‍රියාකිරීම තුළිනි. ඒ තුළින් බොහෝ ප්‍රතිඵල සියලු දෙනාට ම උදාකර ගැනීමේ භාග්‍ය උදාවනු නියත ය.