සිතේ සොම්නස උපදවන ධර්ම
මහෝපාධ්‍යාය, ත්රිපිටකධාරාචාර්ය
නා උයනේ අරියධම්ම මාහිමි
දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම
ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා
පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත්
තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීම ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය
පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද කියා නා උයනේ අරියධම්ම මාහිමියන් විසින්
රචිතමහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළයුතුය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ
පළ වේ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහ දා වදාළ දානමය පින්කමක් සිදුකිරීමේ දී දන් දෙන
දානපතිතුමා (දායක පක්ෂය) සීලවන්ත ව සිටීම එම දානය මහත් ඵල වීමට හේතු වන එක් අංගයක්.
දන් දෙන දායක පින්වතුන් තම තමාට අයත් නිත්‍ය ශීලයක හෝ, ගිහි පින්වතුන් වශයෙන් නම්
පංචශීලයේ හෝ, අධිශීල සංඛ්‍යාත උපෝසථ අටශීලයේ හෝ දස ශීලයේ හෝ පිහිටා ගෙන එම දන්
පින්කම් සිදුකරනු ලබනවා නම්, ශීලයේ පිහිටා දෙනු ලබන දානය නොවරදවා ම මහත් ඵල මහත්
ආනිශංස ගෙන දෙන පින්කමක් බවට පත් වෙනවා.
දානමය පින්කම මහත්ඵල වීමට අවශ්‍ය වන ඊළඟ කරුණ නම්,
දානය පිළිගනු ලබන ප්‍රතිග්‍රාහක පක්ෂය ශීලවන්ත වීම.
චිත්ත සන්තානය ප්‍රසන්න වීම.
කර්ම ඵල විශ්වාස කිරීමේ නුවණින් යුක්ත වීම.
මේ කරුණු අතරින් සම්පාදනය කළ යුතු කරුණු තුනයි අපට අවශ්‍ය වන්නේ. ඒ මොනවා ද?
දාන වස්තුව ධාර්මිෂ්ඨ කර ගැනීමත්,
චිත්ත සන්තානය ප්‍රසන්න කර ගැනීමත්,
නිරන්තරයෙන් ම ඤාණ සම්ප්‍රයුක්ත ව එම කුසල ක්‍රියාවල යෙදීමත් යන තුන යි.
වස්තුව ධාර්මිෂ්ඨ වීම ගැන අමුතුවෙන් සිතන්න අවශ්‍ය නැහැ. දානපතිතුමා ශීලවන්ත නම්,
ධාන වස්තුව පරම ධාර්මිෂ්ඨවයි උපයා සපයා ගනු ලබන්නේ. එබැවින් ධාර්මිෂ්ඨ දාන වස්තුව
එයින් ම සම්පූර්ණයි.
සුපසන්න චිත්තතාවය
කර්මඵල විශ්වාස කිරීමේ නුවණත් යන දෙකයි අපට අත්‍යවශ්‍ය වන්නේ සකස් කර ගන්නට.
චිත්ත සන්තානය සුපසන්න වීම කියන මෙම කරුණ සම්පූර්ණ වීමට කරුණු රාශියක් අවශ්‍ය
වෙනවා. යම්කිසි ක්‍රමයකින් එම කරුණුවලින් එකක් හරි එකතු වෙනවා නම්, සිත සෝමනස්ස
සහගත කර ගන්නට හැකි වෙනවා. සිත සොම්නස් කිරීමේ කරුණු දාහතක් තිබෙනවා. ඒවා නම්,
ඉට්ඨාරම්මණතා
සිත පැහැදෙන පූජනීය අරමුණු ලැබීම, පූජනීය ස්ථාන දැක ගන්න ලැබීම, බුද්ධ ප්‍රතිමා දැක
ගන්නට ලැබීම, දාගැබ් දැක ගන්නට ලැබීම, බෝධීන් වහන්සේ, පූජනීය මහ සංඝ රත්නය සීලවත්,
ගුණවත් උතුමන් වහන්සේ සිය ඇසින් දැක ගන්නට ලැබීම, ඉෂ්ට අරමුණුයි. ඒවායේ ඉෂ්ට අරමුණු
දැකීම තුළින් සිතේ ප්‍රබෝධයක් ඇති වෙනවා. සොම්නස් සහගත වීමට උපකාර වෙනවා.
“සද්ධා බාහුල්ලං”
බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් කෙරෙහි සිතේ ශ්‍රද්ධාව බහුල වීම දැඩි ශ්‍රද්ධාවකින්
පින්කම්වල යෙදීම තුළින් සිත සොම්නස් වෙනවා.
දිට්ඨි සුද්ධිව
තමාගේ සිතේ සම්මා දිට්ඨිය මනාකොට පිහිටා තිබීම, ‘දිට්ඨි සුද්ධි’ නම් වෙනවා. කර්මය,
කර්ම විපාක, හේතු, හේතුඵල ධර්ම, මැනවින් තේරුම් ගෙන සැබෑ සම්මා දිට්ඨියේ පිහිටාගෙන,
පින්කම්වල යෙදෙන විට, තම තමාගේ සිතට බලවත් සොම්නසක්, සතුටක් ඇති වෙනවා.
ඵල දස්සාවිතාය
පින්කම් කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳ නැණ නුවණින් සලකා තේරුම් කර ගෙන එම පින්කම්හි
යෙදීමෙන්, වඩ වඩාත් කුසල් නැවත නැවත සිදුකිරීමේ උද්‍යෝගය සමඟ ම සිතේ සතුටක්,
සොම්නසක් ඇති වෙනවා.
මේ ආකාරයෙන් දන් දීමෙන්, සසර ගමනේ දී මේ මේ අනුසස් ලැබෙනවා. සිල් රැකීමෙන් මේ මේ
අනුසස් ලැබෙනවා. භාවනා වැඩීමෙන් මේ මේ අනුසස් ලැබෙනවා. මෙසේ දන් පින්කම් කිරීම
තුළින් මතු අනාගතයේ දී, රහත් බෝධිය ලබන්නත් හැකි වෙනවා. පසේබුදු බව ලබන්නත් හැකි
වෙනවා. තව තවත් තානාන්තර ලබන්නටත් හැකි වෙනවා. ලොව්තුරා බුදු බව ලබන්නටත් හැකි
වෙනවා. සියලු සසර දුක් ගෙවා දමා ශාන්ත අමා මහ නිවන් සුව ලබන්නට හේතු උපනිශ්‍රය
වෙනවා. මේ ආදි වශයෙන් පින්කම් සිදු කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳ ව සිතන විටත් තව
තවත් වඩ වඩාත් පින්කම් සිදුකර ගැනීම සඳහා සිතේ සතුටක්, සොම්නස් බවක් ඇති වෙනවා.
පීතිබොජ්ඣංග හේතයෝ එකාදස තථා ධම්මා
පී‍්‍රති සම්බොජ්ඣංගය වැඩීමේ හේතු කරුණු එකොළහක් තිබෙනවා. එම කරුණු එකොළහ නම්,
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති,
දේවතානුස්සති, උපසමානුස්සති, මෙම අනුස්සති හත පුරුදු කිරීමෙන් සිත සොම්නස් සහගත
වෙනවා. තවත් කරුණු හතරක් තිබෙනවා ඒවා නම් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති
පුද්ගලයන්ගෙන් වෙන්වීම, තුනුරුවන් ගැන ප්‍රසාදය තිබෙන පුද්ගලයන් ම ආශ්‍රයට ගැනීම,
සිත පැහැදෙන බුදු බණ ඇසීම, සෑම විට ම සොම්නස් සහගතව ම පින්කම් සිදු කිරීමේ
අධිෂ්ඨානය යන්නයි.
මෙම කරුණු එකොළහ තුළින් සිතේ සතුට, සොම්නස් බවක් ඇති වෙනවා.
මතු සම්බන්ධයි
|