Print this Article


ආකල්පමය වෙනසකට සිත සදමු

ආකල්පමය වෙනසකට සිත සදමු

සමස්ත මානව වර්ගයා තුළම යහපත් ආකල්ප ඇති කර ගැනීමට කරණීය මෙත්ත සූත්‍රය ඉතා වැදගත් වේ. එහි එන සෑම වචනයකට ම යෝනිසෝමනසිකාරයෙන් යුතු ව සවන් දීමෙන් ප්‍රායෝගික ව තමන්ගේ ජීවිතයේ යහපත් ආකල්පමය වෙනසක් ඇති කර ගත හැකි ය. කන්දෙගෙදර සෝභිත හිමියන් මේ සම්බන්ධව කළ ධර්ම දේශනාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

‘න පරෝ පරං නිකුබ්භේත’ කිසිම අවස්ථාවක තවත් කෙනෙක් රවටන්න එපා. කෙනෙක් රැවටීම කරන්නේ අකුසල මූල සිතකිනි. ද්වේෂ සිතකිනි. ද්වේෂ මූලික සිතකින් ඇතිවන හැඟීමක් ලෙස අනුන් රැවටීම පෙන්වා දිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ අපට අවවාද කර තිබෙන්නේ ‘න වණ්ණ රූපෙන නරො සුජානො, න විස්සසෙ ඉත්ථර දස්ස නෙන’ යනුවෙනි. කවදාවත් කිසිම කෙනෙක් හොඳයි හෝ නරකයි හෝ කියා තීරණය කරන්න, නිගමන දෙන්න හදිසි වෙන්න එපා. අපට ජීවිතයේ බොහෝ වෙලාවට වරදින තැනක් වන්නේ අපි පුද්ගලයන් ගැන නිගමන කරන්න හදිසි වීමයි. පිටතින් බලා කිසිදු පුද්ගලයෙක් පිළිබඳ ඉක්මන් තීරණයක් ගැනීමට අපට හැකියාවක් නැත. සමහර විටෙක අපට හොඳට සිනා සී’ කතා කර හිතවත්කම් පෙන්වන පුද්ගලයා එසේ හිතවත්කම් පෙන්වන්නේ කුමන අරමුණකින් ද යන්න අපි දන්නේ නැත. එම පුද්ගලයාගේ අවශ්‍යතා, ඕනෑ එපාකම් ඉෂ්ට වූ පසු ඔහුගේ සැබෑ ස්වභාවය ලෝකෙට පෙනෙන්න පටන් ගනී.

‘මිනිසුන් සමහර වෙලාවට ඔවුන්ගේ නියම වර්ණය මොකක්ද කියලා පෙන්වයි. එවිට ඒ වර්ණය හඳුනා ගන්නවා හැර කවුරුවත් පින්තාරු කරන්න උත්සාහ කරන්න එපා.” යැයි ප්‍රකට කියමනක් තිබේ. අප කළ යුත්තේ අපේ පැත්තෙන් කොතරම් නිවැරැදි වුවත්, අවංක වුවත්, හොඳ වුවත් අනෙක් අය හොඳ හෝ නරක හෝ ලෙස නිගමනය නොකිරීමයි.

‘මුඛ පද්ම දලාකාරං වාචා චන්දන සීතලං මධු තිෂ්ඨති ජිව්හාග්‍රේ හදයේතු හලාහලං’ යනුවෙන් සංස්කෘත කියමනක් ද වේ. ‘මුඛ පද්ම දලාකාරං’ සමහර පුද්ගලයන්ගේ බාහිර ස්වරූපය හරියට පියුම් පෙත්තක් වගේ බොහොම සියුමැලි යි. ඒ අයගේ මතුපිටින් අපට කිසිම රළු බවක්, දරුණු බවක් පේන්නේ නැත. ‘වාචා චන්දන සීතලං’ සමහර පුද්ගලයන්ගේ වචන හරියට සඳුන් වගේ. හරිම සීතලයි. අනිත් අයත් සමඟ බෙදා ගන්නේ හරිම හිතෛශී වදන්. ‘මධු තිෂ්ඨති ජිව්හාග්‍රේ’ සමහර පුද්ගලයන් කතා කරන වචන දිව අගින් මී පැණි වැටෙනවා වැනි ය. ඒ වචනවල පුදුම මිහිරි බවක් දැනේ. එයින් හැඟෙන්නේ ඕන දෙයකට පණ වුවත් දෙන්න ඉන්නවා කියන එකයි.

නමුත් ‘හදයේතු හලාහලං’ හදවතේ දුවන්නේ හලාහල නැමති උග්‍ර විෂයි. තමන්ගේ අවස්ථාවාදීකම්, ආත්මාර්ථකාමීකම් වෙනුවෙන් සමහර පුද්ගලයන් ව්‍යාජ ප්‍රතිරූප මවා ගනිමින් ව්‍යාජ චරිත පෙන්වීම ලෝක ස්වභාවය යි. නමුත් අප කවරදාකවත් කුමන හේතුවකටවත් ව්‍යාජ ප්‍රතිරූපයක් ලෝකය ඉදිරියේ මවා පෙන්වීමට ක්‍රියා නොකළ යුතු ය. සැම විට ම අප තුළ අව්‍යාජ චරිතයක් නිර්මාණය විය යුතු ය. එම අව්‍යාජ චරිතයට කැමති පුද්ගලයන් අපත් සමඟ නතර වී අප ළඟ හිඳී. එයට අකමැති පුද්ගලයන් අපෙන් ඈත් වේ. එනිසා අපි කාගේවත් සිත් දිනා ගැනීමට, කවුරුත් සතුටු කිරීමට අමුතු ප්‍රතිරූප ලෝකය ඉදිරියේ මවන්න අවශ්‍ය නැත. අපට ආවේණික නියම ප්‍රතිරූපයෙන් ජීවත් විය යුතු ය. එනිසා සෑම මොහොතක දී ම අපි අනුන් රවට්ටන්න ව්‍යාජ චරිත හුවා නො දැක්විය යුතු ය. ඒ වෙනුවෙන් ආකල්පමය දියුණුවක් අපි තුළ ඇති කර ගත යුතු ය.

‘නාතිමඤ්ඤෝත කත්ථචිනං කඤ්චි’.

කොතැනකදීවත් අනුන් හෙළා නො දකින්න. අපේ අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ කෙලෙස් තත්ත්වයකි, ‘අත්තුක්කංසන පරවම්භන’ එහි අර්ථය වන්නේ තමන් කොඩියක් වගේ ඉහළට නැඟ අනුන් හෙළා දැකීමයි. අත්තුක්කංසන පරවම්භන ඇති වූ විට ඊට සම්බන්ධ වන තවත් කෙලෙස් තිබේ. එයින් අසාකල්‍යතාව සහ අප්පටිසන්තානය ඉතා වැදගත් වේ. අප්පටිසන්තානය යනු සෑම මොහොතක දී ම තමන් මුදුනා ලෙස කටයුතු කිරීමේ මානසිකත්වය යි. මෙයට තවත් කෙලෙස් අනුබද්ධ වේ. සමහරුන්ට අධිමානය සමහරුන්ට මානාධිමාන ය. මෙවැනි කෙලෙස් නිසා තමන්ට නො දැනීම සෑම මොහොතක දී ම කතාවෙන් සහ චර්යාවෙන් අනෙක් අයට පිළිකුලක් උපදවයි.

පටිසන්තානය යනු අප්පටිසන්තානයට ප්‍රතිපක්ෂ ගුණධර්මය යි. ධර්මය තුළින් අපට උගන්වන්නේ කෙනෙක් සමඟ කතා කරන විට තමන් කතා කරන දෙය තේරුම් ගන්නට තරම් එම පුද්ගලයාට ධර්ම ඥානය නැත්නම් ඔහු අපහසුතාවට පත් නොකර ඒ ගැඹුරු දේ කතා නොකර සිටින ලෙසයි.

එනිසා සැම විට ම අපි සිතිය යුත්තේ මම නිසා කවරකුටවත් වෙහෙසක් නො දැනෙන ලෙසයි. තමන් කවරකුගේවත් සිතක මානසික පීඩනයක් නොවන්නට සැම විට ම ක්‍රියා කළ යුතු ය. ඒ සඳහා අපි ආකල්පමය වශයෙන් දියුණුවීම අත්‍යවශ්‍ය වේ.